මල් තුහින -03

“මිනිස්සුන්ට ජීවිතේ සෑහෙන්න මඟ ඇරෙනව. ඒත් ජීවිතේ කියන්නේ මඟ ඇරෙන්න ඕන තැනක් නෙවෙයි කියලවත් තේරෙන දවසක් මිනිස්සුන්ට එන්න ඕන.”

රුවිනි කියද්දී මලිති හිනැහුණේ වැහි අඳුරට ය.ජීවිතය වඩවඩාත් මඟ හැරෙන්නට යන බව පැවසූ විට රුවිනි බැනුම ආරම්භ කරන බව ඇය දනියි.ඒ හන්දා මලිති කතාව සඟවා ගන්නට හදිසි තීරණයක් ගත්තා ය.

“දෙන්නෙක් කසාද බඳින්නේ ආදරෙන් ඉන්න.ඒත් ඒ ආදරෙන් ඉඳිල්ල දිගටම කරන්න බැරි නම් එකාට එකා පේන්න බැරුව යනව නම් නයි මුගටි වගේ ජීවත් වෙන්න ඕන නෑනෙ. වෙන් වෙන්න ඕන.”

රුවිනි මේ පවසන්නේ නවීන් ගැන බව මලිති දනියි. ඇය වරදක් නිවැරදි කරන්නට සිතුවා ය.

“නවීන් මාත් එක්ක රණ්ඩු කරන් නෑ රූ. නවීන් ඒ මනුස්සයගෙ පාඩුවෙ ඉන්නව විතරයි.”

මලිතිගේ හඬ කෝපයට බර වී ඇති බව රුවිනිට සිතෙයි. ඇය නවීන්ට දොස් පවරනවාට අකමැති ය. එහි අදහස ඇය නවීන්ට තවමත් ආදරය කරන බවදැයි රුවිනි සිතුවා ය. තමන් අකමැති අප්‍රිය කරන කෙනෙකුට දොස් නැඟීම ගැන කිසිවෙකුත් වේදනාවට පත් වන්නේ නැත.

“මං මට තේරෙන දෙයක් කියන්නං?”

රුවිනි එසේ අසා එවා තවත් මොනවා හෝ ලියන අන්දම මලිති බලා සිටියා ය.

“උඹ කාට හරි ආදරෙයි කිව්වනෙ. ඒ මනුස්සයත් උඹට ආදරෙයිද ඒ කවුද වගේ ප්‍රශ්න මං අහන් නෑ. ඒවා පෞද්ගලික කාරණා. මං ඉස්සරහ වුණත් ඒක කියන්න ඕනද නැද්ද කියලා තීරණය කිරිල්ල තියෙන්නේ උඹේ අතේ.”

ඉතා ඉහළින් කියන්නට ගිය මුත් හදිසියේ හටගත් ප්‍රේමය ගැන රුවිනිගෙන් පවා සඟවන්නට මලිතිට සිත් වී තවම එතරම් වෙලාවක් ගෙවී නැත.ඒ හන්දාම ඇගේ ඒ කතාව මලිතිට ගෙනාවේ සැනසුමකි.ඒ මොහොතකට ය.

“කාට ආදරෙයි කියලා ඔයා හිතන් හිටියත් උඹ ඇත්තටම තාමත් ආදරේ නවීන්ට. ඒක නෑ කියන්න එපා. ඒකයි ඒ මනුස්සයගෙ වරදක් කියනකොට උඹ කලබල වෙන්නෙ. මට පැතුම් ගැන එහෙම අසනීප තිබ්බෙ නෑනේ.ඒකයි මං එයාගෙන් අයින් වුණේ.”

රුවිනි එපමණක් පවසා නිහඬ වූවා ය.නවීන් රියට ගොඩ වූයේ ද ඒ මොහොතේ ය. කියන්නට දේ නැති බවත් නිහඬ වීම ප්‍රමාණවත් බවත් මලිති තීරණය කළා ය.

“ඔළුව රිදෙනව නවීන්.”

මලිති එසේ කියන්නේ හඬ හැකිතාක් මෘදු වන්නට ඉඩ හරිමිනි. ඇයට ඇති හිස කැක්කුමක් නැත. අවධානය ගැනීම වෙනුවෙන් මෙවැනි බොළඳ බොරු කියන්නට සිදු වීම ගැන මලිතිට මහත් ආත්මානුකම්පාවක් දැනේ. නමුත් ඇය උත්සාහය අත් නොහැරියා ය.

“මෙහෙමම බෙහෙත් ගන්න යං?”

සමහර හිස කැක්කුම් වලට බෙහෙත් අවශ්‍ය නැති බව කියන්නට සිතුණත් මලිති නිහඬ වූවා ය. ආදරය වැස්සට සේදී යමින් තිබේ. නවීන් දැන් යුතුකම් පමණක් ඉටු කරන්නට ප්‍රවේසම් ය.

“ඔළුව කැක්කුම් හැදෙන්න ලොකුම හේතුව මිස් රංගනී. පුදුම වදයක් අප්පා දෙන්නෙ. මට වෙලාවකට හිතෙනව ඒ මනුස්සයට මානසික ලෙඩක්ද කියලත්.”

නවීන් සිටියේ නෑසූකන්ව ය.සරසවියේ ඉගෙන ගන්නා කාලයේ සිදුවීමක් මලිතිට සිහි විණ.ඒ ඇය නවාතැන මාරු කළ කාලයකි. අලුත් නවාතැන ඉතා හොඳ බව සිතා සිටි ඇගේ ඒ අදහස බිඳී ගියේ මධ්‍යම රාත්‍රියක ය.

“මාර වැඩක්නෙ වුණේ.මම හිතුවේ මේ කපල් එක හරි ඩීසන්ට් කියලා. අංකල් මේ මහ රෑ බීගෙන කෑගහනව නවීන්.මාරම හිසරදයක්.”

අසැබි වදන් තෙපළන ගෙහිමියා ගැන නවීන්ට දුක කියා අඩ හෝරාවකට වඩා ගෙවී ගියේ නැත. ඔහු නවාතැනේ ගේට්ටුව අසල විය. ඒ රාත්‍රියේම මිතුරියකගේ නවාතැනකට මලිතිව හැරලූ ඔහු දැන් අතුරුදහන් වූයේ කොහේටදැයි මලිති සිතුවේ ශෝකයෙනි.

“ජීවිතේ හැටි ඔහොම තමයි නේද? එක එක විදියේ මිනිස්සු මුණ ගැහෙනව. ඒ මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න අපි දැන ගන්න ඕන.

වෙන තැනකට ගියා කියමු.එතනත් රංගනී වගේ අය ඉන්න පුලුවන්.”

නවීන් ඕනෑවට වැඩි උපේක්ෂාව පිරුණු කටහඬකින් කියද්දී මලිති කෝපයට පත් වූවා ය.නමුත් ඔහු සමඟ වාද කිරීම පවා කමකට නැති දෙයකි.

“අඩුම තරමේ පැතුම් රණ්ඩුවත් වෙනවනෙ බං.”

රුවිනි දික්කසාදයට සැරසෙන කාලයේ එසේ පැවසූ අන්දම ඇය සිහි කළා ය.අඩුම තරමේ තමන්ගේ කෝපය පාලනයෙන් තොරව පිට කරන්නටවත් පැතුම් දැන සිටියේ ය. නවීන් කියන්නේ ආදරය තබා කෝපයවත් පෙන්වන මිනිසෙක් නොවීම මොනතරමට වේදනාවක්දැයි මලිති සිතුවා ය.

“මං දුකින් ඉන්න වෙලාවට ඔයාට ඔයිට වඩා ආදරෙන් කතා කරන්න බැරිද?”

අඳුරේ ගිලී ඇති නිවස දෙස බලමින් මලිති ඇසුවේ සාංකාවෙනි. ශෝකයේ ගිලී යන ජීවිතය තරමට ම නිවස ද අඳුරු වී තිබේ. ඊට ඇතුළු වන්නට පවා ඇයට දැන් දැනෙන්නේ බිය මුසු වේදනාවකි.

“පවර් කට් නේද?”

නිවසට ඇතුළු වෙද්දී මලිති ඇසුවේ පුරුද්දට ය. ඇය අඳුරේම තබා නවීන් නාන කාමරයට වැදිණ.අඩුම තරමේ මුලින් යන්නේ කවුදැයි අසන්නටවත් ඔහුට අමතක ය.

දැන් ඔහුට බොහෝ දේ අමතක ය.

(Smartlady.lk වෙබ් අඩවියේ පළ වෙන හැම කතාවක්ම ආදර කතාම විය යුතු නැති බව හිතනවා. ඒ නිසා මේ කතාව ඉවසීමෙන් කියවන්න.ඔබේ ප්‍රතිචාර තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles