ලෝචන මදුරාපුර මුලින් ම ප්‍රේමාරාධනය කළ දවස් ගැන මම නැවත මෙනෙහි කළෙමි. එතකොට මා සිටියේ උසස් පෙළ පළමු වසරේ ය. එදා ලෝචනට සිසිල් බීම වීදුරුවක් ගෙන කාමරයට ගිය වෙලාවේ ඔහු කාමරයේ දොර වසත්දී දැනුණා වූ චකිතය මට දැනුත් සිහි කර ගත හැක. එදා තදින් ඔහු මා වැළඳ ගත්දී මා ඇස් දෙක පියා ගත්තේ ඒ සැබෑවක් ද නැත්නම් සිහිනයක් ද කියා වෙන් කොට හැඳින ගත නො හැකි තරම් හැඟුමන් සයුරක කිමිදෙමිනි. ඒ ගැස්ම දැනුත් හදවතේ එහෙමම ය. නමුත් තරිඳු විසින් විවාහ යෝජනාවක් ගෙන ආ වෙලාවේ මම එවන් තිගැස්මකට බඳුන් නොවුණෙමි.
“එහෙම තමයි. තරිඳු නෙවෙයි වෙන කිසිම කිසි පිරිමියෙක් ළඟදි ආයෙ ඒ වගේ එක්සයිට්මන්ට් එකක් දැනෙන එකක් නෑ. ඒක තමයි ෆස්ට් ලව් එකේ හැටි”
තරිඳුගෙන් පැමිණි විවාහ යෝජනාව ගැන මා සඳනි ට දුරකතනයෙන් දැනුම් දී තිබිණි. ඊළඟට ගෙදර ගිය වෙලාවේ ඇය හමු වී ගැඹුරින් ඒ පිළිබඳ අවංක හැඟීම් කතා කරත්දී ඇය මට එසේ කීවා ය.
“ඒ කොල්ලව දකිද්දි වගේ ෆ්‍රීස් වෙලා කකුල් වෙව්ලල කලන්තෙ දාන්න එන්නෑ. අනිත් එක එදා හිටිය හිරිමල් වයසෙ ලාමක කෙල්ල නෙවෙයි දැන් ඔයා. කාලෙ හුඟක් දේවල් වෙනස් කරනව කියන්නෙ ඒකයි නිබ්බු”
එදා ලෝචන මත්තේ හැපුණ සඳනි නම් නව යෞවනිය මට සිහි විය. අද ඇය දෙදරු මවකි. ඉසුරු සමගින් විවාහ වෙත්දී ද ඔහු ට පෙම් කරන්නට ඇයට හැකි වේ යයි විශ්වාස නොකළ ඇය ව මා විශ්වාස කළ යුතු ය.
“රාහුල් පිළිවෙලක් වෙයි. ඊට පස්සෙ ඔයාට කවුද ඉන්නෙ…තනියම ජීවිතයක් ඇදං යන එක හරි අමාරුයි නිබ්බුතා. ඔයා ඩොක්ට කෙනෙක් නෙවෙයි කවුරු වුණත් ඒක එහෙම තමයි. අපිට ජීවිතයක් කියල දෙයක් තියෙන්න ඕන. හවසට වැඩ ඇරිල එන්න ගෙදරක් කියල තැනක් තියෙන්න ඕන. ඒ ගෙදර ළමයි කෑගහන්න ඕන…අපි ඒ ළමයින්ගෙ අනාගතේ ගැන හිතන්න ඕන. මං මේ කියන්නෙ ගෑනියෙක් මිනිහෙක් වුණාම කසාදයක් කර ගත්තෙ නැත්තං ජීවිතේ අසම්පූර්ණයි කියල නෙවෙයි. එහෙම සම්පූර්ණ ජීවිතයක් ගත කරන අයත් ඇති. ඒත් ඔයා වගේ ගෑනු ළමේක්ට එහෙම ලයිෆ් එකක් හරි අමාරුයි. ඔයා පිරිමියෙක්ගෙ ආදරේ රැකවරණෙ යටතෙ ඉන්න ඕන විදිහෙ අහිංසක ගෑනු ළමයෙක්”
දැන් සඳනි ඉස්සර වාගේ බොළඳ නැත. ප්‍රායෝගික ජීවිතය කියන්නේ කුමක්දැයි මැනවින් දැන ක්‍රමානුකූල යුග දිවියක් ගත කරන්නී ය. ඇය කියන විදිහට පෙම් කොට විවාහ වූව ද පෙම් නොකොට විවාහ වූව ද අවසානයේ ගෙවන්නට වෙන්නේ එක ම විදිහේ ජීවිතයකි.
“බැඳල ඉවර වෙලා ලව් කරන එකෙත් වෙනම ගතියක් තියනව”
මා හිටියේ සන්සුන්ව ය. ඇයට එකඟව හෝ එරෙහිව කියන්නට යමක් මට නැත. මා දන්නේ තවමත් මගේ හිතේ වෙනකෙකුට පිරවිය හැකි හිස් තැනක් නැත ය කියා පමණකි. මා අහක බලා ගෙන සිටියාට ලෝචන මදුරාපුර මදෙස ම බලා හිඳිනා බව පමණකි.
“ලෝචන ගැන තව දුරටත් බලාපොරොත්තු තියා ගන්න එක විහිළුවක් නිබ්බු. ඔයාට එයාව ඕනමනං අපි එයාව හොයමු කියල මං ඔයාට කිව්ව. මධාරා අක්කට බල කරල බැරිනං තර්ජනේ කරල හරි අහල ඇත්ත දැනගමු කියල මං ඔයාට කිව්ව. ඒත් ඔයා ඒ එකකටවත් කැමති වුණේ නෑ”
“ඒකට කැමති වුණෙ නෑ කියන එක ගැලපෙන්නෙ නෑ සඳ…ඇයි මං බලෙන් මොන දේ වුණත් දැන ගන්නෙ…දැන ගෙන මොනා කරන්නද…දැන ගන්න ඕන නෑ කියල එයා තීරණේ කළානං…මං බලහත්කාරෙන් දැන ගත්තා කියල මොනා කරන්නද…ඒක එයාගෙ තීරණේ. එයා කොහොම කෙනෙක්ද කියල මං දන්නව. මට කියන්න ඕන දෙයක්නං එයා නොකියා යන්නෑ. මාව දාල යන්නම ඕන හේතුවක් නොතිබුණානං එයා මාව දාල යන්නෑ. ඒක මං හොඳටම දන්නව. එහෙම එකේ මං කොහොමද බලහත්කාරෙන් එයාව පන්නගෙන යන්නෙ…එයාට සැනසීමක් තියෙන්නෙ මෙහෙම කරපු එකෙන්නං…එයාට කරන්න තිබුණ හොඳම දේ මේකනං…බලං ඉන්නව මිස මං කොහොමද එයාගෙ හිතට වදයක් වෙන්නෙ…එයාට වෙන ඔප්ශන් එකක් නැති වෙන්න ඇති. මං කවදාවත් ඒ ගැන දොස් කියන්නෑ. ඒ වගේම මට තවමත් එයාව හිතෙන් අයින් කරන්න පුළුවන් වුණෙ නෑ”
කාලයකට පස්සේ අප ලෝචන ගැන කතා කළේ එදා ය. ඇස් කඳුළින් සෝදා හරිමින්, ලෝචනගේ අභිනික්මන ගැන සන්තාප වූ නිබ්බුතා ගෝතමී අද ඊට වඩා තැන්පත් තරුණියකි.
“මගුලක් කතා කරනව. ඒ යකා පැදුරටත් නොකියා යන්න ගියා කියන එක අමතකද…”
“සිදුහත් අභිනිෂ්ක්‍රමණය කළෙත් යශෝදරාට කියල නෙවෙයි”
“මගෙ කේන්ති අවුස්සන්නෙපා නිබූ හොඳේ. දැන් තමුසෙ ලෝචනව සිදුහත්ට සමාන කරගෙනද මේ ඉන්නෙ…බුදු වෙලා තොගෙ සිරියහන් ගබඩාවට වඩී කියල…”
සඳනි ඇත්තට ම කේන්ති ගෙන සිටියා ය. මම සැහැල්ලුවෙන් සිනහ වීමි.
“මන්දන්නෑ. ඒත් මට ලෝචනව දැනෙනව සඳ…එයා ඉන්නව වගේ දැනෙනව. එයා මං ළඟමයි වගේ දැනෙනව. එයාටත් මාව අමතක කරන්නවත් අත්අරින්නවත් බෑ වගේ දැනෙනව. ඉස්සරටත් වඩා එයා මං එක්ක ඉන්නව සඳ…”
ඇය මදෙස බලා සිටියේ දෑස් ලොකු කරගෙන ය.
“ඒ කියන්නෙ තරිඳුව මැරි කරන්නෙ නෑ…”
මම හිතා මතා ම ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටියෙමි.
තරිඳු කියන්නේ යහපත් මිනිසෙකු බව මේ වන විටත් මම පසක් කර ගෙන සිටියෙමි. ප්‍රේමය මත්තේ ජීවිතයකින් වන්දි ගෙවිය යුතු නැති බව ද වැඩිහිටි ලෝකය තුළ සැරීමේ අත්දැකීම් විසින් මට අවබෝධ කරනු ලැබ තිබිණ. මෙලොව බොහෝ මිනිසුන් අවසානයේ ජීවත් වන්නේ ඔවුන් මුලින් පෙම් බැඳි අයවලුන් සමග නොවන බව මා අවට සිටිනා අය ම උදාහරණ සහිතව මට පෙන්නුම් කරමින් සිටියහ. එහෙව් එකේ තරිඳු වනසිංහ සමග විවාහයකට එළඹීම වඩාත් ප්‍රායෝගික තීරණය නොවන්නේ ද?
නමුත් මට ඊට හිත හදා ගත නො හැකි වූයේ මන්දැයි නොදනිමි.
“ඔයා තාමත් හරියට වචනයක් දුන්නෙ නෑ. නිබ්බුතාට හිතෙන්නැද්ද අපි දෙන්න එකතු වෙලා මිනිස් වර්ගයට ලොකු සේවයක් කරන්න පුළුවන් කියල…”
මා කල් මරමින් පසු වෙත්දී දිනක් තරිඳු ඍජු ව ප්‍රශ්න කළේ ය. මා ද ඍජු පිළිතුරක් දිය යුතුව තිබිණ.
“ඔයාව බඳින්න බෑ කියන්න මට සාධාරණ හේතුවක් නෑ තරිඳු. ඒත් ඔයාව බඳිනව කියන වචනෙ කියන්න තාමත් මගෙ හිත ඉඩ දෙන්නෑ”
“ඒ කියන්නෙ ලෝචන එයි කියල තවමත් ඔයා බලං ඉන්නව…”
“එයා එයි කියල බලං ඉන්නව නෙවෙයි. ඒත් එයා මං දිහා බලං ඉන්නව වගේ දැනෙනව. එයාට මාව ඕන වගේ දැනෙනව”
“ඔයා බොළඳ ගෑනු ළමයෙක් නෙවෙයි නිබ්බුතා”
“ඔව්. මං දන්නව. කෙනෙක්ව බැඳල ලස්සන ජීවිතයක් ගෙවන්න ආදරේ කියන දේ අනිවාර්ය සාධකයක් නෙවෙයි කියල. මන්දා…ඒත් මං තාම එහෙම දේකට සූදානම් නෑ තරිඳු”
“හරි මට තේරෙනව”
සුසුමක් ද හෙළමින් ඔහු වහා එහෙම කීවේ ය.
“මට කලබලයක් නෑ. ඔයා නිදහසේ ඔයාගෙ හිතට එකඟ තීරණයක් ගන්න”
“තෑන්ක් යූ තරිඳු…මාව තේරුං ගත්තට”
“අපි කවුරුත් පරණ තුවාල එක්ක ජීවත් වෙන මිනිස්සු නිබ්බුතා. ඒත් මට හිතෙනව ඔයා ඉක්මනට මේ සිටුවේශන් එකට හැඩගැහෙයි කියල”
මා හිස සැළුවේ මුළුමනින් ඔහු ට එකඟ ව නොවේ. මගේ හිතේ යමක් වැඩ කරමින් තිබිණ. හිතේ හිස්තැන් ඇති මිනිසුන් සාර්ථක මිනිසුන් වීමේ සම්භාවිතාවය වැඩි ය. ඒ ඔවුන් වැඩි වැඩියෙන් වැඩ කරනා නිසාවෙනි. ආසන්න ම උදාහරණය මදුරාපුර මැතිණියයි. මමත් වැඩ කිරීමේ උමතුවක සිටියෙමි. වැඩි දුර අධ්‍යයනය ඒ උමතුව සුව කිරීමේ හොඳ ම මගයි. විශේෂඥ පුහුණුව සඳහා විදෙස්ගත වෙන්නට මා කටයුතු සූදානම් කළේ අරමුණක එල්බ ගන්නට හදවතට වූ නො ඉවසිලිමත් බව නිසාම ය.
“ඔයා ගත්ත තීරණේ හරි”
තරිඳු කීවේ ය. මට ප්‍රථම වතාවට ඔහු ගැන ඉසිහින් දුකක් දැනිණ. එනමුදු වචනයකින් හෝ බලාපොරොත්තුවක් දී පිටු පා යනවාට වඩා මේ විදිහට ඔහුගෙන් සමු ගැනීම මැනවැයි මට සිතිණ.
“තරිඳුටත් තියෙන්නෙ ස්පෙශලිස්ට් ට්‍රේනින් එකට යන්න”
“ඒක මං කවදාවත් කරන එකක් නෑ නිබ්බුතා”
ඔහු සිනහ වෙවී කීවේ ය.
“මං හිතන්නෙ මට අසරණ මිනිස්සුන්ට වැඩි සේවයක් කරන්න පුළුවන් මේ තත්වෙන්. ස්පෙශලිස්ට් කෙනෙක් වෙන එක මගෙ අරමුණත් එක්ක පෑහෙන්නෙ නෑ”
කවදා හෝ දවසක විවාහ වීමේ සිතිවිල්ලක් පහළ වූවොත් නිසැක වශයෙන් ම මා ඔහු සොයා එනු ඇතැයි මම තරිඳු ට නො කියා සිටියෙමි. මගේ පාර කොයි දෙසට විහිද යනු ඇත්ද හෝ කොතැනක මගේ නැවතීම වනු ඇති ද කියා මා නො දැන සිටි බැවිනි.
සඳනි ඇරෙන්නට යනවා කියා කියන්නට මට සිටිනුයේ මධාරා අක්කා පමණ ය. නමුත් එදා ගෙදර යතුර ඇයට භාර දී පැමිණීමෙන් පස්සේ මම ඇයට දුරකතන ඇමතුමක් දීමට හෝ ඇය දකින්නට යාමට නො පෙළඹුණෙමි. ඒ මධාරා අක්කා ගේ හදවත මා කුඩා කල පටන් ම විනිවිද දැක තිබූ නිසාවෙනි. මා දැකීමත් මට කතා කිරීමත් ඇයව කෙතරම් අපහසුතාවයකට පත් කරනවාද කියාත් වේදනාත්මක කරවනවාද කියාත් මම හොඳින් ම දැන සිටියෙමි. දිගින් දිගට ම ඒ වේදනාවෙන් ඇය පෙළන්නේ කුමට ද? ඒ අපහසුව තුළ ඇය ට වද දෙන්නේ කුමට ද? ඇය ද මට අහිමි වූවායි බැලූ බැල්මට කෙනෙකුට සිතෙන්නට පුළුවන. නමුත් එක මොහොතකටවත් මට ඇය අහිමි වූයේ නැත. ඇය මගේ අක්කා ලෙස හැම හුස්මක ම ජීවත් වූවා ය. ඇගේ හදවතේත් නංගී ලෙස මට තිබූ තැන සදා නොවෙනස් බව මම දැන සිටියෙමි. ඈතින් හිටියා කියා මිනිස් බැඳීම් බිඳී යන්නේ නැත. හදවත් බැඳීම් නො දැක සිටිය ද දලු ලා වැඩෙන්නේ ය. නමුත් කාලය මිනිසුන් ඈත් කොට තබන්නට පුළුවන!
හිතත් එක්ක හුඟක් වෙලා තර්ක විතර්ක කිරීමෙන් පස්සේ මම මධාරා අක්කා ගේ දුරකතනය අංකනය කළෙමි. පුදුමය නම් ඒ අංකය තවමත් මගේ මතකයේ නොවෙනස් ව පැවතීමයි.