බිම්මල් – 08

සුදු නංගී හේෂාන්ගේ මවට දොස් නගන්නේ ඇය කෙරෙහි ඇති තරහ නිසාම නොව මගේ සිත සැනසීමට බව මම දැන සිටියෙමි. අම්මා ද ඒ බව දැන සිටින්නට ඇතත් ඇය සුදු නංගීට තදින් අවවාද කළාය.

“විහිලුවෙත් සීමාවක් තියෙනවා සුදු. එයත් ඔයාගෙ අම්මා වගේ කියලා හිතන්න පුරුදු වෙන්න. අනික එයා පිට කවුරුවත් නෙමෙයි. අක්කගෙ නැන්දම්මා.”

 වටපිට බැලූ අම්මා සුදු නංගීගේ හිසට ටොක්කක් ඇන්නාය. 

“අම්මෝ… නැන්දම්මා කෙනෙක්ගෙ හැටි අදනෙ දැක්කෙ.”

හිස අත ගා ගත් සුදු නංගී පැවසුවේ අම්මාගේ මුවගට සිනාවක් නංවමිනි. 

“ඔන්න අම්මා මට නම් නැන්දම්මා කෙනෙක් ඉන්න තැනකින් මනමාලයො හොයන්න එපා.”

“අපි හොයන්නෙ නෑ. ඔයාම හොයා ගන්න.”

සුදු නංගීගේ සැහැල්ලු කතා බහ සහ විහිලු තහලු නිසා මගේ සිත පෙලන වේදනාවන් මඳක් සමනය වූවාක් මෙන් මට දැනිණ. 

“අපි දැන් යමු. ඔයා මොනවත් නොහිතා සතුටින් ඉන්න ඩිනාලි. මොකක් නමුත් වැරදි වැටහීමක් එක්කයි චාන්දනී ඇවිත් තියෙන්නෙ. හේෂාන් එයාට ඇත්ත පහදලා දේවි.”

අම්මා මගේ කිළිටි ඇඳුම් සහිත බෑගය ඇය අත වූ බෑගයට දමා ගත්තාය.

“වෙලාවට කෑම කන්න. මං ඔයා ආස නිසා ඉඳිආප්පයි කිරි හොදියි ගෙනාවා. මං යන ගමන් ඩොක්ටවත් හම්බ වෙලාම යන්නම්.”

“අනේ මට ගෙදර යන්න ඕන අම්මා. මට දැන් මෙහේ ඉඳලා ඇති වෙලා.”

මම ඇවිටිලි කළෙමි.

“සමහරවිට හෙට ඩිස්චාජ් කරාවි. හිත රිද්ද ගන්න එපා. පරෙස්සමෙන් ඉන්න. අපි ගිහින් එන්නම්.”

අම්මාත්, සුදු නංගීත් මගේ මුහුණ සිප නික්ම ගියේ මගේ දෙනෙත් කඳුලින් පුරවමිනි. 

රෝගීන් බැලීමට නියමිත කාලය හමාර වී තිබුණෙන් රෝගීන්ගේ ඇඳන් දෙපස රැස්වී සිටි ඥාතීන් හිතමිතුරන් සියලු දෙනාම නික්ම යමින් තිබිණ. යාබද ඇඳේ සිටි ශල්‍ය කර්මයකට භාජනය වී සිටි කාන්තාව මගෙන් කිසිවක් විමසීමට සූදානමින් සිටින බවක් පෙනුනෙන් මම යහන මත වැතිර දෙනෙත් පියා ගතිමි. අඩක් විවර වුනු දෙනෙත් අතරින් ඇය මා දෙස බලා සිටින අන්දම මට පෙනිණ. ස්වල්ප වේලාවක් එසේ සිටි ඇය බලාපොරොත්තු සුන් වූ ලෙසින් යහන මත වැතිර දෙනෙත් පියාගත්තාය. හේෂාන්ගේ මව කවරෙක්ද යන්නත් ඇය අම්මාටත්, මටත් දොස් නැගුවේ මන්දැයි අසන්නටත් ඇයට උවමනා වී තිබෙන්නට ඇතැයි මට සිතිණ. 

දෙනෙත් පියාගෙන නිදන්නට උත්සාහ කළ ද, හේෂාන් ගේ මව වරින් වර පැවසූ වදන් මගේ සිත පතුලේ දෝංකාර දෙමින් සුව නින්දකට මට ඉඩ නොදුන්නේය. 

“එන්න හදන හැම වෙලාවෙම මෙයා මට එන්න දුන්නෙ නෑ. දැනුයි හේතුව තේරෙන්නෙ.”

යන්තමින් දෙනෙත් කරා නින්ද ළඟා වෙද්දී හේෂාන්ගේ මව පැවසූ වදන් සිහිනයෙන් මෙන් මට ඇසිණ.

“ඩිනාලි මගේම දුවක් වගෙයි.”… යි නිතර පවසමින් මට බොහෝ ආදරය දැක්වූ ඇය අද මා දෙස බැලුවේ වෛරක්කාරියක දෙස බලන බැල්මෙන් නොවේද? විවාහ මංගල්‍යය ළං වෙමින් පවතිද්දී අසනීප වීම බාධාවක් ලෙසින් ඇය සිතනු ඇත්ද?

“එහෙම වෙන්න ඇති. සමහර අය ඒ වගේ දේවල් වුනාම ඒවා බාධාවන් විදියට හිතනවා.”

අවසානයේ මම එසේ සිතා සිත හදා ගැනීමට උත්සාහ කළෙමි. කවර හේතුවක් නිසා හෝ මගේ සිත තුළ හේෂාන්ගේ මව කෙරෙහි තරහක් ඇති කරගන්නට මම අපොහොසත් වීමි.

හේෂාන්ගේ මව මට මුලින්ම හමු වූ දවස කරා වේගයෙන් මගේ සිත ඉගිල ගියේය. හේෂාන් හඳුනා ගැනීමෙන් දෙමසක් පමණ ඉකුත් වූ දිනෙක මගේ විසි එක්වන උපන් දිනය යෙදී තිබිණ. එදින පැවැත්වූ චාම් උපන්දින උත්සවයට අම්මා හේෂාන්ට ද ආරාධනා කළ අතර, ඔහු ඒ සඳහා සහභාගි වූයේ සිය මව ද සමගය. 

“ඩිනාලි ගැන පුතා කියපු දවසෙ ඉඳලම මම ඩිනාලිව දකින්නෙ ආසාවෙන් හිටියෙ.”

මා වෙනුවෙන් රැගෙන පැමිණි ත්‍යාගය පිරිනමා මගේ දෙකොපුල සිපගත් ඇය පැවසූ ආකාරය මට කිසිදිනෙක අමතක නොවේ.

“මගේ හිතේ හිටියෙත් මේ වගේ ලස්සන දුවක්. ලස්සනයි. ඇහැල මලක් වගෙයි.”

එදින මා සැරසී සිටියේ කහ පාට දිගු ගවුමකිනි. හේෂාන්ගේ මව එදින සිට මා ගැන පවසා ඇත්තේ ‘ඇහැල මල’ යන සුරතල් නාමයෙනි.

“අපේ අම්මා ඩිනාලිට කියන්නෙ ‘ඇහැල මල’ කියලා.”

හේෂාන් පවසා සිටියේ අම්මා ඉදිරිපිටදීය.

“ඇහැල මල ඉක්මනටම කැන්දගෙන එන්න ඕන කියලා අපේ අම්මා කියනවා ආන්ටි.”

“චාන්දනි මා එක්කත් ෆෝන් එකෙන් ඔය ගැන කතා කළා. ඩිනාලිගෙ තාත්තා ගැන පුතා අම්මා එක්ක කියලද තියෙන්නෙ?”

ඒවනවිට තාත්තා නිවසින් නික්ම ගොස් තිබිණ. දැඩි ගතිගුණ ඇති, එමෙන්ම විවාහ ජීවිතයක් පවත්වා ගත නොහැකි පියකුගේ දියණිය තම පුතුගේ බිරිඳ ලෙසින් පිළිගන්නට හේෂාන්ගේ මව අකැමැති වනු ඇතැයි අම්මා සිතන්නට ඇත.

හේෂාන් සහ මා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වූ පසු අම්මා, තාත්තා පිළිබඳව හේෂාන් සමග පවසා සිටියේ ඔහු පිළිබඳව ආරංචි වුවහොත් පසුවට ප්‍රශ්න ඇති වනු ඇතැයි යන සැකයෙන් යුතුවය.  එපමණක් නොව තාත්තා නිවසින් පිටව යාම පිළිබඳව මව හා පවසන්නැයි අම්මා හේෂාන්ට බල කර කියා සිටියාය. 

“මං අංකල් ගැන අම්මා එක්ක කිව්වා ආන්ටි. අම්මා ආන්ටිටයි ඩිනාලිටයි අනුකම්පා කරනවා. එක අතකට එයා යන්න ගිය එක හොඳයිලු.”

ඉන්පසු දිනෙක අප නිවසට පැමිණි හේෂාන් අම්මා සමග පැවසුවේය. 

“ඒකනම් හැම අතින්ම හොඳයි. නැත්නම් මට කිසිම දෙයක් හරියට කරගන්න ඒ මනුස්සයා ඉඩ දෙන්නෙ නෑ පුතා. මේ දෙන්නගෙ කිසිම වැදගත් දේකට එයා අඩුම තරමෙ ගෙදරවත් හිටියෙ නෑ. මග ඇරලා ගෙදරින් ගිහින් හිටියා මිසක්.”

අම්මා ‘වැදගත් දවස්’ යනුවෙන් පවසන්නට ඇත්තේ අප දෙදෙනාගේ උපන් දින උත්සහ මෙන්ම වැඩිවිය පත් වූ දින පිළිබඳව සිතා විය යුතුය. සැබවින්ම අප වැඩිවියට පත් වූ පසු දොරට වඩින දිනයේ පවා ඔහු නිවසට නොපැමිණි බව මට සිහිපත් විය.

“මං දන්නවා ආන්ටි. අංකල් නිසාම ඩිනාලි හිටියෙත් පිරිමින්ට බය වෙලා. මුලදි මුලදි මා එක්කවත් හරියට මූණ බලලා කතා කරේ නෑ.”

“මං ඒක දන්නවා. මේ හැමදෙයක්ම පුතාගෙ අම්මා දැනගන්න ඕන. නැත්නම් ඒවා පහු වෙනකොට ප්‍රශ්න වෙන්න පුලුවන්.”

“මං දවසක අම්මව එක්ක එන්නම්. ආන්ටි එදාට අපේ අම්මත් එක්ක හැමදේම කතා කරන්නකෝ.”

පොරොන්දු වූ ලෙසින්ම හේෂාන් එක්තරා ඉරිදා දිනෙක ඔහුගේ මව අප නිවසට කැඳවාගෙන පැමිණියේය. එය අපේ අම්මාගේත්, හේෂාන්ගේ මවගේත් දිනය විය. දෙදෙනා එක්ව බොහෝ වේලාවක් කත බහ කළ අතර දිවා ආහාරය පිළියෙල කෙරුණේ ද දෙදෙනා එක්වය.

“ඔන්න අද කෑම ඉව්වෙ වජිරා නෙමෙයි. අපි දෙන්නා.”

කෑම මේසය පිළියෙල කරන අම්මා පැවසුවාය.

“අන්නාසි කරි එක හැදුවෙ හේෂාන් පුතාගෙ අම්මා. රසද බලන්නකො.”

අප කෑම මේසයට හිඳගෙන සිටියදී හේෂාන්ගේ මව සාදන ලද වෑංජන අම්මා මට බෙදූ අතර, අම්මා සාදන ලද වෑංජන හේෂාන්ගේ මව හේෂාන්ට විශේෂයෙන්ම බෙදුවාය.

“නෑනලා දෙන්නා රහට කෑම උයලා.”

ආහාර ගන්නා අතරතුර හේෂාන් විහිලු කළේය.

“නෑනලා නෙමෙයි. අපි දෙන්නා අක්කයි නංගියි මිසක්.”

හේෂාන්ගේ මව පැවසුවේ මගේ සිතට සතුටක් දනවමිනි.

“අපේ දෙන්නා මැරි කළාට පස්සෙ වුනත් අපි දෙන්නා හැමදාමත් මෙහෙම ඉන්නවා. නේද සකුන්තලා? කවදාවත් අපි අතර විරසකයක් ඇති කර ගන්න හොඳ නෑ.”

“නැතිව? මගේ කියලා කෙනෙකුත් ළඟපාතක නැති එකේ අක්කා මට මගේම අක්කා වගේ.”

අම්මාගේත්, හේෂාන්ගේ මවගේත් සමගි සම්පන්න බව අප තුළ මහත් සැනසීමක් ඇති කිරීමට සමත් විය. තාත්තා නිසා රිදුණු සිතින් යුතුව සිටි අම්මා විඳින සතුට සැබවින්ම අපගේ ද සතුට විය. ඉඳහිට දිනෙක හේෂාන්ගේ මව අප නිවසට පැමිණි අතර, අම්මා ද සිය සාප්පුවේ වැඩ කටයුතු වලින් ලද විවේකී අවස්ථා වල හේෂාන්ගේ මව හමුවීමට ඔවුන්ගේ නිවසට ගියාය. ඇතැම් දින වල ඔවුන් දෙදෙනා සාප්පු සවාරි ගියේ එකටය.

“චාන්දනී වගේ කෙනෙක් ඔයාගෙ නැන්දම්මා වෙන එක ගැන මට හරි සතුටුයි ඩිනාලි.”

එවන් දිනවල නිවසට පැමිණි අම්මා පැවසුවාය.

“ඒකට මගේ නැන්දම්මා? මගේ විවාහ ජීවිතේ මුලින්ම දුකක් වුනේ මගේ නැන්දම්මා නිසා. අනේ… ඒ මනුස්සයා මට දීපු වධයක්. මුලදි මුලදි මගේ පැත්තට හිටියත් අන්තිමේදි හිතාගන්න බැරි විදියට තාත්තා වුනත් වෙනස් කළේ වෙන කවුරුවත් නෙමෙයි. මගේ නැන්දම්මා.”

අම්මා පවසන්නේ වේදනාවෙනි.

“ඔයාට තිබුනෙ දෙන්නටම කුද ගහගන්න කියලා ඒකාලෙම එයාව දාලා යන්න.”

එවන් අවස්ථා වලදී සුදු නංගී පැවසුවේ අම්මා මෙන්ම මා ද සිනා ගන්වමිනි.

නින්දත්, නොනින්දත් අතර සිට අතීතයට පිවිස සිටි මා ඉන් මිදුනේ කිසිවකු මගේ උරහිසට අත තබද්දීය. මම දෑස් හැරියෙමි. සිනාමුසු මුහුණින් යුතු හෙදියක් මගේ යහන අසළ සිටගෙන සිටියාය.

                    *

රෝහලේ ගත කළ කාලය සතියකට ආසන්න වුව ද, ඒ කාලය මට කල්පයක් සේ දිගු විය. රෝහලේ සිට මා නිවසට කැඳවාගෙන යන්නට හේෂාන් පැමිණීම මගේ සිතට මහත් සතුටක් ගෙන දුන්නේය. මව රෝහලට පැමිණ ගිය දින පටන්ම දිනකට වරක් පමණක් මා දකින්නට පැමිණි ඔහු එයට හේතු වශයෙන් දැක්වුයේ මුද්‍රණාලයේ කටයුතු අධික බවයි. නිවසට යන අතරතුරදී පවා ඔහු මුද්‍රණාලයේ කටයුතු සම්බන්ධයෙන් කළ විස්තරය උවමනාවට වඩා වැඩි යයි නිකමට මෙන් මට සිතිණ.

“මේ දවස් වල කැලැන්ඩර් සීසන්නෙ ආන්ටි. පහුගිය දවස් ටිකේම මං රෑට ගෙදර ගියෙත් නෑ. නිදි මරපු එකේ ඉවරෙකුත් නෑ.”

රෝහලේ සිට නිවසට යන අතරමගදී හේෂාන් පැවසුවේය. අම්මා සමග පසුපස අසුනේ හිඳගෙන සිටි සුදු නංගී හේෂාන්ට නොපෙනෙන්නට මගේ උරහිස කෙනිත්තුවාය. මුද්‍රණාලයේ කටයුතු සම්බන්ධයෙන් හේෂාන් පවසන විස්තරය උවමනාවට වඩා වැඩි බව ඇයට ද සිතෙන්නට ඇත. 

“අම්මා වුනත් මහ රෑට මට කතා කරලා බනිනවා. නිදි මරලා අසනීප වෙන්නද හදන්නෙ කියලා. වෙලාවකට මේක එපා වෙනවා ආන්ටි. ඉස්සර තාත්තා ප්‍රෙස් එක කරන කාලෙ වුනත් එහෙමනෙ. විවේකයක් තිබුනෙම නෑ.”

“මැෂින් වල වැඩට කට්ටිය ඉඳිද්දි අම්මා කියන්න වගේ පුතා මොනවටද ඔය හැටි මහන්සි වෙන්නෙ?”

හේෂාන් දිගටම කතා කරද්දී නිහඬව සිටීම අනුචිතදැයි අම්මාට සිතෙන්නට ඇත. ඇයගේ වදන් ඇසූ හේෂාන් සිනාසුනේය. එය ව්‍යාජ සිනාවක් යයි මට සිතිණ.

“ඒගොල්ලන්ටම භාර දීලා හරි යන්නෙ නෑ. ඇහැ ගහගෙන නොහිටියොත් හොර බොරු කරනවා. අන්තිමේදි කස්ටමර්ස්ලගෙන් බැනුම් අහන්න වෙන්නෙ උන්ට නෙමෙයි. මටයි. වැඩ වැඩි නිසාම ඩයරි ඕඩර්ස් කීපයක්ම ඇවිල්ලත් මං භාර ගත්තෙ නෑ.”

“කවදද ඔය කැලැන්ඩර් සීසන් එක ඉවර වෙන්නෙ?”

සුදු නංගී ඇසුවාය.

“කොහොමටත් සුදු නංගි ජනවාරි පටන් ගන්නකොට ඉවර වෙන්න ඕන.”

“එහෙමනම් ඔයාට වෙඩින් එක දාගන්න තිබුනෙ මාර්තු අප්‍රේල් වලට. ඔය හැටි වැඩ තියෙනවනම් ෂුවර් නෑ මනමාලයා නැකතට පෝරුවේ නගින්නවත් ඒවි කියලා.”

“සුදු…”

අම්මා සැර කළාය. සුදු නංගීගේ වදනින් හේෂාන් කෝප ගනු ඇතැයි මා සිතුවද, ඇය විහිලුවක් කළ කලෙක මෙන් හේෂාන් හඬ නගා සිනාසුනේය.

“සුදු නංගි හරි.”

සිනාව අතරින්ම ඔහු පැවසුවේය.

“මට අම්මත් ඊයෙ පෙරේදා දවසක ඕකම කිව්වා ආන්ටි.”

අම්මා කිසිවක් නොපැවසුවාය. හේෂාන්ගේ මව රෝහලට පැමිණ කතා කළ නිර්දය ආකාරය ඇගේ සිහියට නැගෙන්නට ඇත. 

මම කවුළුවෙන් පිටත බලා සිටියෙමි. අමතර පන්තියක් නිමා වී කතා කරමින් සිනාසෙමින් ගමන් කරන යුවතියන් කිහිප දෙනෙකු මම දුටුවෙමි. උසස් පෙළ හදාරන අවධියේ අමතර පන්ති වලට සහභාගි වූ කාලය මගේ සිතට නැගිණ. පුලුන් පෙඳක් සේ සැහැල්ලු නව යොවුන් වියේ එම සැහැල්ලුව පූර්ණ ලෙසින් විඳ ගැනීමට මට හැකියාව නොලැබුනේ තාත්තා නිසාය.

“අද කොහෙද උඹ ගියේ?”

පන්තිය නිමාවී නිවසට පැමිණෙද්දී තාත්තා නිවසෙහි සිටියහොත් ඔහු අසන්නේ මා බියගන්වමිනි. සැබවින්ම බොහෝ කඩවසම් රුවකට හිමිකම් පැවසුවද, නිවසෙහිදී ඔහුගේ මුහුණෙහි වූයේ නපුරු ස්වභාවයකි.

“කොහේ ගියාද අහන්නෙ? ළමයා ගියේ කෙමිස්ටි්‍ර ක්ලාස් එකට. මට කියලා ගියේ.”

මට කාමරයට යන ලෙසින් අතින් සංඥා කරන අම්මා එවන් අවස්ථා වල මා  වෙනුවෙන් කතා කළාය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles