නැවුම් පැතුම් පිරි ලස්සන දවසක
සියොතුන්ගේ කිචිබිචි නාදේ
ආදරයෙන් පිරි දෙහදක ලස්සන
මුලු ලොවටම දැනිලා වාගේ…
මම මනාලියක වී සිටිමි. සුදු සාරියකින් සැරසී මල් කළඹක් දෝතින් දරාගෙන සිටින මා පසෙකින් සිටගෙන සිටින්නේ හේෂාන් ය. අම්මා, සුදු නංගී, වජිරා මෙන්ම හේෂාන්ගේ මව සහ පියාගේ ද ඥාති හිතමිතුරන්ගේ ද දෙනෙත් යොමුව ඇත්තේ අප දෙදෙනා දෙසටය. මම මහත් අවධානයෙන් යුතුව මා හා හේෂාන් වෙනුවෙන් පබඳින ලද ගීතයට සවන් දී සිටිමි. රෝස පැහැති ළමා සාරියෙන් සැරසුණු බාළිකාවන්ගේ මිහිරි ගී හඬ අතිශයින් සුන්දරය. මම සෙමෙන් හිස හරවා හේෂාන් දෙස බලමි. එහෙත් මගේ මනාලයා ලෙස මා පසෙකින් සිටගෙන සිටියේ හේෂාන් නොව අන් අයෙකි. මම ඔහු අතෙහි පැටලී තිබූ මගේ අත වේගයෙන් ඉවතට ඇද ගතිමි.
ඒ හා සමගම මට ඇහැරිණ. මා දැක ඇත්තේ සිහිනයක් බව පසක් වෙද්දී සිතට දැනුනේ මහත් සැනසීමකි. මෙවන් සිහිනයක් මා දුටුවේ ඇයි?
“දවල් හීන…”
මම මටම පවසා ගතිමි. රාත්‍රිය ගෙවී ගොස් නැවුම් දවසක් උදා වී ඇති බව විවෘත ජනෙල් කවුළු අතරින් කාමරය තුළට පතිත වන නැවුම් හිරු එළිය කියා පාන්නාක් මෙනි. හේෂාන්ගේත්, මගේත් මංගල දිනය යෙදී තිබුනේ අද දිනයට බව සිහිපත් වන්නේ හදවත තුළින් මතු වන සියුම් වේදනාවක් සමගිනි.
“ඒක යටි හිතේ තිබුන නිසා විකාර හීනයක් පේන්න ඇති.” යි මම හිත හදාගන්නට තැත් කළෙමි.
“ගුඩ් මෝනින්…”
කාමරයේ දොර විවෘත කරගෙන අම්මා කාමරයට පැමිණියාය.
“නැගිටලා. මං හිතුවා ඔයා තවමත් නිදි ඇති කියලා.”
අ්මමා මා අසළට පැමිණ මගේ හිස සිප ගත්තාය. මම නැගිට යහන මත හිඳ ගතිමි.
“දැන් ඇහැරුණේ. මම අමුතු හීනයක් දැක්කා අම්මා..”
“හීන කියන්නෙ මහ අමුතු දෙයක්. අපේ හිතකවත් නැති දේවල් හීනෙන් පේනවා. එහෙම වෙන්නෙත් අපේ හිත් වල සමබරතාවය රැක දෙන්න කියලා මං අහලා තියෙනවා.”
මා දුටු සිහිනය පිළිබඳව විමසීමක් නොකළ අම්මා පැවසුවාය.
“ඒකතමයි. මං දැක්කෙ මගුල් ගෙදරක්.”
“අද අපට වෙඩින් එකකට යන්න තියෙනවා කියලා අමතක වුනේ නෑ නේද?”
කණ්ණාඩි මේසය ඉදිරියට ගොස් කැඩපත තුළින් තම රුව නරඹන අම්මා ඇසුවාය.
“අමතක වුනේ නෑ. ඒක ඊයෙ රෑත් හිතේ තියාගෙනම තමයි නිදාගත්තෙත්.”
“එහෙමනම් අපි පමා නොවී ලෑස්ති වෙමු. ඔයාගෙ ඇඳුම් ඔක්කොම මං ලෑස්ති කරලා තියෙන්නෙ. ඉන්න. මං තේ ගේන්න කියලා වජිරට කියන්නම්.”
අම්මා කාමරයෙන් පිටව යාමට සැරසෙන විටම වජිරා කාමරයට පැමිණියාය. ඇය නැවුම් මලින් පිරි මල් කළඹක් මගේ දෝතට පිරි නැමුවේ පුළුල් සිනාවක් මුවග නංවා ගනිමිනි.
“මේ කොහෙන්ද?”
අම්මා ඇසුවේ විස්මයෙනි.
“කුරියර් එකෙන් ආවෙ මැඩම්.”
“වැරදිලා එහෙම නෙමෙයි නේද?”
මම මල් කළඹට සම්බන්ධ කර තිබු කාඩ්පත කියවා බැලුවෙමි. එහි පිටතින් සඳහන් කර තිබුනේ මගේ නමයි. මම කාඩ්පත ගලවා එය දිග හැර බැලුවෙමි.
“මගේ ආදරණීය ඩිනාලිට… හේෂාන්”
කාඩ් පතෙහි ඇතුළත සඳහන් කර තිබිණ. මගේ දෙනෙතට කඳුලක් නැගිණ. අප දෙදෙනාගේ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ අද දිනය කිසි ලෙසකින්වත් හේෂාන්ට අමතක වී නැතැයි මට සිතිණ. මම මල් කළඹෙහි වූ නැවුම් රෝස මල් මහත් ආදරයෙන් සිප ගතිමි. වර්ණය මිසක සුවඳකින් තොර වූ රෝස මල් වලින් සුගන්ධයක් නොනැගිණ.
“කවුද එවලා තියෙන්නෙ?”
මෙතෙක් වේලාවක් මා දෙස බලා සිටි අම්මා ඇසුවාය.
“හේෂාන්…”
“මොනවා වුනත් හේෂාන් ඩිනාලිට ආදරෙයි.”
ඇය පැවසුවේ සිනාමුසු මුහුණින් යුතුවය. මම මල් කළඹ අම්මා අතට දුන්නෙමි. ඇය එය මේසය මත තැබුවාය.
“මං ඉක්මනට බබාට තේ හදාගෙන එන්නම්.” යි වජිරා කාමරයෙන් නික්ම ගියාය.
“මං වොෂ් දාගෙන එන්නම්.”
මම ඇඳුම් වැට මත වූ තුවාය ද ගෙන නාන කාමරයට ගියෙමි.
*
මා ආපසු පැමිණෙන විට අම්මාත්, සුදු නංගීත් මගේ කාමරය තුළ සූදානම් වෙමින් සිටියහ. අම්මා සාරියෙන් සැරසී කණ්ණාඩි මේසය ඉදිරිපිට සිටගෙන මුහුණ හැඩ ගන්වමින් සිටියාය. සුදු නංගී සැරසී සිටියේ මගේත් හේෂාන්ගේත් මංගල උළෙලේ දෙවන මනාළියට සූදානම් කර තිබූ රෝස පැහැති සාරියයි.
“ලස්සනයි.”
මම පැවසුවෙමි.
“මං මහත් වීගෙන එනවා. ජැකට් එක තව ටික දවසකින් මදි වෙයි කියලයි මේක ඇන්දෙ.”
සුදු නංගී පැවසුවේ වරදක් කර හසු වූ දැරියකගේ හඬිනි.
“ඒකට කමක් නෑ. අපි ආයෙ ඕන වෙනකොට මීටත් වඩා ලස්සන වෙන සාරි එකක් හදා ගනිමු.”
අම්මා මා සැනසීමට මෙන් පැවසුවාය. කිසිවකු විසින් කොනිත්තාගෙන සිටින කල දැනෙන වේදනාව මගේ හදවතට දැනිණ.
“ඒ සාරි එක ඇන්ද එක හොඳයි. ආයෙ ඔය සාරි එක අඳින්න වෙන දවසක් එන එකක් නෑ සුදු.”
මා පැවසුවේ වජිරා විසින් ගෙනැවිත් තබන ලද තේ කෝප්පය අතට ගනිමිනි.
“එහෙම කියන්නෙ ඇයි? එනවා. අනිවාර්යයෙන් එනවා. මට ඒක ඉර හඳ වගේ විශ්වාසයි.”
මුහුණෙහි හැඩ ගැන්වීම් නිමා කළ අම්මා නැගී සිටියාය.
“මෙන්න බලන්නකො මෙයාගෙ ලස්සන.”
සුදු නංගී කෑගැසුවාය.
“මනමාලි පරාදයි. ෂුවර් අද නම් මෙයාට කවුරුහරි සෙට් වෙනවා.”
සුදු නංගී අම්මාට සරදම් කළේ මා සිනා ගැන්වීමට බව මම දැන සිටියෙමි.
“විහිලුවෙත් සීමාවක් තියෙනවා ළමයා. එහෙම කවුරු හරි ඕන වුනා නම් මං හොයාගන්නෙ මීට අවුරුදු විස්සකට විසි පහකට කලින්.”
සුදු නංගීට අතින් පහරක් ගැසූ අම්මා මගේ යහන මත වූ ආබරණ පෙට්ටිය තුළින් ගත් චාම් කරාබු යුවළක් ගෙන දෙකන් පෙති වල පළඳින ආකාරය දෙස මම බලා සිටියෙමි. සැබවින්ම චාම් බවම ආබරණයක් කරගත් අම්මා සිනමා නිළියක මෙන් සුන්දර නොවේදැයි මා සිතුවේ ආඩම්බරය පෙරදැරි කරගත් සිතිනි. කවර උත්සවයකට ගිය ද, රූපලාවන්‍යාගාරයකට නොගොස් මේකප් කර ගැනීමත්, කොණ්ඩය සකස් කර ගැනීමත්, සාරිය ඇඳ ගැනීමත් තනිවම කර ගන්නා අම්මාගේ දක්ෂතාවය පිළිබඳව මම ආඩම්බර වූයෙමි.
“සැලොන් භාග්‍යා වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා මැඩම්. වාඩිවෙන්න ඔයාව මේකප් කරන්න.”
ඒවනවිට අම්මා සූදානම් කර තිබූ දිගු ගවුමෙන් සැරසී සිටි මගේ දෙඋරහිසින් අල්ලා කණ්ණාඩි මේසය ඉදිරියෙන් හිඳවූ සුදු නංගී පැවසුවාය.
“අපේ චාජස් නම් ගොඩක් වැඩියි. මැඩම් ඩිනාලිට නිසා අඩුවෙන් කරන්නම්.”
අපේ මංගල උත්සවයේ පිටත්වීමේ ඇඳුම ලෙස සකස් කර තිබූ කහ පැහැති දිගු ගවුමෙන් සැරසී සිටිද්දී ඇතිවන ශෝකී හැඟීම මා තුළින් ඉවත් කිරීම සඳහා සුදු නංගී හැකි සෑම උත්සාහයක්ම යොදන බව මම දැන සිටියෙමි. මා තුළ ඇය කෙරෙහි ඇති වූයේ මහත් ආදරයකි.
“මැඩම්ගෙ මූණට නම් මේකප් ඕන නෑ. පිපිච්ච මලක් වගේ ලස්සන මූණක්.”
සුදු නංගී බොහෝ සීරුවෙන් මුහුණෙහි ආලේප තවරන ආකාරය දෙස මම කැඩපත තුළින් බලා සිටියෙමි.
“හැබැයි යන්තමට ඔන්න. මං ආස නෑ මූණ පාට පෙට්ටිය වගේ වෙනවට.”
උසස් පෙළ විභාගයෙන් පසු මනාළියන් හැඩ ගැන්වීමේ පාඨමාලාවක් හදාරා සිටින සුදු නංගී එම කාර්යයෙහි විශේෂ නිපුණත්වයක් දැක්වූවාය. ඇය මගේ මුහුණ හැඩ ගන්වන ආකාරය අම්මා ද බලා සිටින අයුරු මම දුටුවෙමි.
“සැලොන් එකක් දාලා දෙන්නම් කියලා කිව්වට මේ ළමයා කැමති නෑනෙ. බලන්නකො. කොච්චර ලස්සනට මේකප් කරනවද?”
“සැලොන් එකක් කරන්න ගත්තොත් මට මේ විදියට නිදහසේ ඉන්න හම්බ වෙන්නෙ නෑ. මං කරගෙන යන දේ කරගෙන ඉන්නම්.”
මුහුණ හැඩ ගැන්වීම අවසන් කළ සුදු නංගී ගොතා තිබූ මගේ හිසකෙස් ලිහා පීරන්නට වූවාය. ඒවනිවට සූදානම් වීම අවසන් කළ අම්මා යහන මත වාඩි වී අප දෙස බලා සිටියාය. හිසකෙස් පීරා අවසන් කළ සුදු නංගී මා හැඳ සිටි ගවුමේ පැහැයට ගැලපෙන දිගු කරාබු යුවළක් දෙකන් පෙති වල පැළැන්දුවාය.
“ලස්සනයි.”
අම්මා පැවසුවාය. ඇයට ද සුදු නංගීට ද අද මගේත් හේෂාන්ගේත් විවාහ මංගල්‍යයට නියම කර ගත් දිනය බව වරින් වර මතකයට නැගෙන්නට ඇතත්, ඒ බව කිසිවෙක් සිහිපත් නොකරේ මගේ සිත රිදෙනු ඇතැයි සිතා විය යුතුය. එහෙත් ඒවනවිටත් අපේ මංගල දිනය මම මනසින් දකිමින් සිටියෙමි. සියල්ල සිහිනයක් වූයේ කෙතරම් ඉක්මනින්ද?
“නෙක්ලස් එකක් ඕනද?”
අම්මා සුදු නංගීගෙන් ඇසුවාය.
“එපා. මේ හොඳටම ඇති. බලන්නකො ප්‍රින්සස් ඩයනා වගේ ඉන්න ලස්සන.”
“අපි බැඳපු කාලෙ මගේ ජුවෙලරි ඔක්කොම තිබුනෙ මගේ නැන්දම්මා ළඟ.”
අම්මා යහන මත වූ මගේ ආබරණ පෙට්ටිය වසා පසෙකින් තැබුවාය. මම නැගිට අම්මා අසළින් හිඳ ගතිමි.
“කොහේ හරි යන්න ඕන වුනාම මං එයාගෙන් ඒවා ඉල්ල ගන්න ඕන. ගිහින් ආවම හරියටම බාර දෙන්නත් ඕන.”
“එයාගෙ පුතා අරන් දුන්න ඒවා නිසා වෙන්න ඇති එහෙම කරන්න ඇත්තෙ.”
කණ්ණාඩි මේසය ඉදිරියෙහි හිඳගෙන තම මුහුණෙහි ආලේප ගන්වන සුදු නංගී පැවසුවාය.
“පුතා අරන් දුන්න ඒවා විතරක් නෙමෙයි. මට අපේ අම්මා තාත්තා දුන්න, සීයා ආච්චි දුන්න ජුවෙලරිත් එයා තියාගත්තෙ එයාගෙ භාරයේ.”
“තනිකර ඔයාගෙ වැරැද්ද.”
ඉතා සීරුවෙන් ඇහි පිහාටු මත වර්ණ තවරන සුදු නංගී දෙස මම බලා සිටියෙමි. තනිව ඒ කාර්යය කරගන්නට ඇය තුළ වු දක්ෂතාවය සැබවින්ම විස්මිතය.
“මං මොනවා කරන්නද? එතකොට මං පුංචියි. මට ඒගොල්ලන්ට විරුද්ධව යන්න පුලුවන්කමක් තිබුනෙ නෑ සුදු.”
“ඒකතමයි මං කියන්නෙ. ගෑනියක් වුනාම හස්බන්ඩ් තියා කවුරු කරා වුනත් වැරදි දේට වැරදියි කියන්න, ඒවට විරුද්ධව නැගී ඉන්න පුලුවන්කම තියෙන්න ඕන.”
“ඔව්. ඒත් එතනට එන්න මට ගොඩක් කල් ගියා සුදු. ඒගොල්ලන්ගෙ මහ ගෙදර ඉඳලා මේ ගෙදරට ආවට පස්සෙ මට මහා ලොකු නිදහසක් දැනුනා. ඒ වුනාට….” යි අම්මා වදන් ගිල ගත්තාය.
“ඉතිරි හරිය අපි දන්නවා. මේජර් වංශනාථ ඔයාව පාලනය කරන්න පටන් ගත්තා. මුලදි මුලදි නිහඬව හිටිය ඔයා ඉන්පස්සෙ කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් කරන්න ගත්තා.”
“ඔයාලා ඒ කතාවෙන් දන්නෙ දශමයක් විතරයි. දවසක මං හැමදේම ඔයදෙන්නට කියන්නම්. පරක්කු වුනා. අපි දැන්වත් යමු.”
සුදු නංගී හැඩ ගැන්වීම් නිමා කර නැගී සිටිය පසු අම්මා පැවසුවාය.
“ඊට කලින් අපි තුන්දෙනා සෙල්ෆි එකක් ගනිමු.”
සුදු නංගී අප තුන්දෙනාගේ සෙල්ෆි ඡායාරූපයක් ගත්තාය. මේ මා සමග ගන්නා අවසන් ඡායාරූපය විය හැකි බව සිතුණද, අම්මාගේ සහ සුදු නංගීගේ සිත රිදවීමට නොහැකි බැවින් මම නිහඬව සිටියෙමි.
*
අප උත්සව ශාලාවට යනවිට පෝරුවේ චාරිත්‍ර ආරම්භ වී නොතිබිණ. මගේ දෙනෙත් අරුණෝදි සොයා සෙනග අතරින් ඒ මේ අත දිව ගිය නමුත් ඇය දකින්නට නොවූවාය. අරුණෝදිගේ මව ද බෙහෙවින් කාර්ය බහුලව සිටියේ පෝරුවේ චාරිත්‍ර ළං වෙමින් තිබූ නිසා විය යුතුය. අප ශාලාවේ කෙළවර වූ මේසයක් අසළ අසුන් ගතිමු. ශාලාවේ සියලු සැරසිලි නෙලුම් මල් වලින් සහ නෙලුම් මලේ පැහැයෙන් නිමා වී තිබිණ. අම්මා විසින් සාදන ලද නෙලුම් මල් පොහොට්ටු වලින් සරසන ලද කේක් එකටද ශාලාවේ විශේෂිත ස්ථානයක් හිමිව තිබු අතර මගේ දෙනෙත් බොහෝ වේලාවක් ඒ අසළ නතර වී තිබිණ.
එක්වරම සුදු නංගී මා කෙනිත්තුවාය.
“ඇයි?”
මා ඇසුවේ ඇගේ කෙනිත්තීම මා රිදවූ බැවිනි.
“බලන්නකො.”
ඇය දෑසින් පෙන්වු දෙස මම බැලුවෙමි. මගේ හදවත නතර වූවාක් මෙන් මට දැනිණ.
හේෂාන්…