පසුතැවීම

“අපේ බබාලගෙ මොන්ටිසෝරියට තිලංකත් ඇවිත් හිටියා..”

මං දුලාට කෝල් කරේ ඒ ආරංචිය කියන්න.දුලානි,මගෙ හොඳම යාළුවා තරහෙන් පිඹලා හිනා වෙන සද්දේ ඇහුණා.

“ඇයි ඒ..ආපහු මොන්ටිසෝරි යවනවද එයා..ඒක නම් හොඳයි.”

දුලානිගෙ ඒ කතාවට මට හිනා යන්නත් එනවා.අවුරුදු දහයකට එහා පරණ තුවාල සුව කරගන්න මම පුලුවන් තරම් උත්සාහ ගත්තත් දුලානි නම් තාමත් තිලංකට බනින්නේ වන සතෙක්ට ගාණට.

“දුවෙක් ඉන්නේ දුලා.ඒ පැංචා දුවගෙන ඇවිල්ලා අපේ දෝණියගෙ අතින් අල්ලා ගත්ත..”

මං ආයෙත් ඕපාදූපේ සම්පූර්ණ කළා.දුලානි හිනා වෙනවා ඇහෙනවා.

“දෝණිගේ අතින් නම් අල්ල ගත්තට කමක් නෑ.පුතාගෙ අතින් අල්ලා ගන්න හදයිද දන් නෑ.”

Angry millennial couple arguing shouting blaming each other of problem, frustrated husband and annoyed wife quarreling about bad marriage relationships, unhappy young family fighting at home concept

මොනවද දුලෝ මේ කියන කතා කියලා හිනා වුණත් ඒ පුංචි මුහුණ දකිනකොට මට එන්නේ මොකක්දෝ වේදනාවක්.”මගේ වන්නට තිබූ කුඩා ඔබවරු”කියලා වර්ණ රසිකා ගුණවර්ධන කිවිඳියගේ කවියක තිබුණු පදයක් මට මතක් වෙනවා.ඒත් ඕවා හිතල මොකටද?

“මේ ගෑනු ළමයි යන්නෙත් මේ බස් එකේද?”

තිලංක එහෙම අහපු දවස මට තවම මතකයි.අවුරුදු කීයකට එහා දවසක් ද? පාරේ ඕනෑතරම් බස් යන්න පුලුවන් බව දුලානි සැරෙන් කියද්දිත් තිලංක හිනා වෙවී හිටියා.

“ගාමිණි සර් අදත් ඔය කොල්ලට ගැහුව දැක්කද? පුදුම විසයක් තියෙන්නෙ..”

මං හැරිලා බලන හින්දා වෙන්න ඇති දුලානි වහාම කිව්වා.මං නෑහුණු ගාණට අහක බලා ගත්තා.

“උත්පලා!”

ඊළඟ දවසේ තිලංක මට කතා කළේ මහා හයියෙන්.බස් මැද්දේ නම් ලකුණු කරන්න එපා කියලා දුලානි කෑගැහුවට තිලංක මට ආදරෙයි කියලා කිව්වෙත් මහා සද්දෙන් තමයි.

“ගැළපෙන් නැති විකාර කරන්න ගිහින් අඬාගෙන එන්න එපා හරිද?”

දුලානි මට පුලුවන් උපරිම කරුණාවෙන් එහෙම කිව්වේ තිලංකගේ චර්යාව ගැන හොඳටම තේරුම් අරගෙන හිටිය නිසා.ටියුෂන් පන්තිවල තිලංකට වඩා දඟකාර කොල්ලෙක් හිටියේ නෑ.ඒ දඟකාරකමක් කියල මම කිව්වට දුලානි කිව්වේ ඒකට කියන්නේ ඇට්ටරකම කියලා.

“අර කොල්ලො ටිකක් අද තමුන්ව වට කරගෙන හිටියේ ඇයි?”

පන්තියෙන් එළියට එනකොටම මගෙන් තිලංක ඇහුවේ සැරෙන්.පන්තියේ දක්ෂයෙක් කියලා ලේබලයක් වැදිලා තිබ්බ මට එයාලට පාඩමක් උගන්වන්න වුණු බව මම කිව්වට තිලංක හිටියේ කේන්තියෙන්.එතන ගැහැනු ළමයිත් හිටපු බව දුලානි වහාම තිලංකට මතක් කළා.

“කන පැලෙන්න ගහනව ආයේ එහෙම කොල්ලො එක්ක කතාවට ගියොත්.”

තිලංක එහෙම කියලා යන්න ගියා.මම ඉන්න තැනම ඉඳගෙන අඬන්න ගත්තේ දුලානි කුටුකුටු ගගා මට බනිනකොට.

“ටියුෂන් එකක කොල්ලෙක් ඉන්න එක නම් සාමාන්‍ය දෙයක් නංගි.ඒත් ඉස්කෝලෙ යනකාලේ ඉඳන්ම ඒ කොල්ලා හිතන් ඉන්නේ කෙල්ලො කියන්නේ මුළුගැන්වෙන්න ඕන කෙනෙක් කියල නම් ඔයාට ලබන්න යන්නෙ හොඳ කාලයක් නෙවෙයි..”

කොහෙන්දො ඕපාදූපය ආරංචි කරගත්තු මගේ එකම අයියා මට කිව්වා. උන්මාද චිත්‍රාගේ අයියල වගේ නෙවෙයි අපේ අයියලා.ලෝකේ දිහා පුළුල්ව බලන්න දන්නවා.ඒ නිසා නංගිට ආදරයක් තිබීම රණ්ඩු කරන්න දෙයක් නෙවෙයි කියලත් දන්නවා.

“මට කියන්න තියෙන්නේ දෙපාරක් හිතන්න..”

අයියා ආයේම මට කිව්වා.ඒ දෙපාරක් හිතන්න ඕනෑ දවස ආවේ ගාමිණි සර්ගේ ටියුෂන් පන්තියෙදි තිලංක මට පාරක් ගහපු වෙලාවක.

“මං මගේ නෝනා එක්ක යාලු වුණේ කැම්පස් එකේදී උත්පලා.දැන් අපි කසාද බැඳලා අවුරුදු විසි හතක්.මගෙ ලොකු දුවත් ලබන මාසෙ බඳිනව.මං අපේ නෝනාට අතක් උස්සලා නෑ තවමත්.මං උත්පලාව වගේම ගිම්හානවත් අඳුනන හින්දා ඔයාලගෙ අම්මයි තාත්තයි ගැන ඔයාට තියන අත්දැකීමත් ඒක වෙන්න ඇති කියල හිතනවා.”

ගාමිණී සර් මට කිව්වේ බොහොම කරුණාවෙන්.දුලානිත් අපේ අයියත් ඇත්ත පැහැදිලි කරමින් මාව බේරා නොගන්න මට මොනවා වෙන්න තිබ්බද කියලා මං තාම හිතනවා.

“ලොකු කල්පනාවක වගේ..”

මගේ මතක කන්ද නාය ගියේ කෞෂාල්ගේ කටහඬට.තිලංකගෙන් ඈත් වෙලා හිත හයිය කරගෙන සරසවියට ගිය මට ලැබුණු ලොකුම තෑග්ග කෞෂාල්. ජීවිතේ මට ලැබුණු ලොකුම තෑග්ග එයා කියන්න බැරි අපි විවාහ වෙලා අවුරුද්දක් යනකොට අපේ ලෝකෙට ඉරත් හඳත් පෑව්වේ එකවර හින්දා. නිවුන්නු ජෝඩුවක් අයියා සහ නංගි වෙලා අපිව හොයාගෙන ආවා.

“තිලංකගෙ බබත් ඉන්නෙ අපේ බබාලගෙ නර්සරිමනෙ..තිලංක..මං ඔයාට කියල තියේ.”

රහස් නැති ජීවිතයක් ඇති මං දිහා බලාගෙන හිටපු කෞෂාල් පුංචියට හිනා වුණා.

“කතා කරලා ඉන්න ඉතිං..මට ඉස්කෝලෙ කාලෙ කෙල්ලො රොත්තම ෆේස්බුක් එකේ හාට්ස් දාන්නෙ..”

මගෙන් කෙනිත්තිල්ලක් එහෙම තෑගි අරගෙන කෞෂාල් ගෙට යන්නේ හයියෙන් හිනා වෙවී.ළාබාල වයසක හැඟීම් ආයේම උපදින්නේ නැති නිසා තිලංක ගාව මාව සසැලෙන්නේ නැති බව මම දන්නවා.

පුංචිත්තන්ගේ උත්සවයක් ආවේ ඔය අතරේ.එදා ආයෙම මට තිලංක දකින්න ලැබුණා.අතීතය අමතක කරලා මං හිනා වෙනකොට තිලංකත් හිනා වුණා.
තිලංකගේ දූ මගේ පුතාගේ අතේ තියන යමක් උදුරන බවත් පුතා ඒ දූට පාරක් දුන්නු බවත් මම දැක්කේ ඒ වෙලාවේ.මමත් කෞෂාලුත් වගේම තිලංකත් බිරිඳත් දරුවෝ ළඟට ආවේ ඉක්මනින්.

“පුතූ,ගෑනු ළමයින්ට ගහන්නෙ නෑ හොඳද හොඳට හැදෙන කොල්ලො.කාටවත්ම ගහලා ප්‍රශ්න විසඳන්න බෑ.”

මං එහෙම කියද්දී පුතා කට බෙරි කරගෙන තමන්ගෙ පුංචි මිතුරියට “සුරී..” කිව්වා.තිලංක ඇස් උස්සලා මං දිහා බැලුවේ පසුතැවීමෙන්.

අවුරුදු දහයකටත් එහා දවසක කියන්නට බැරි වුණු සමාව ඉල්ලීමක් ඒ ඇස්වල ලියවිලා තිබුණා.

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content