මගේ හදවත තදින් ගැහෙන්නට වූයේ මන්දැයි මට නොවැටහිණ. හේෂාන්ගේ නිවසේ දුරකතනයෙන් පැමිණි ඇමතුම හා සම්බන්ධ විය යුතුද, නැද්ද යන්න කල්පනා කරමින් සිටියදී දුරකතනය විසන්ධි වූ නමුත් සවල්ප වේලාවකින් නැවතත් එය නද දෙන්නට පටන් ගත්තේය.
“හලෝ…”
ඇමතුම හා සම්බන්ධ වෙමින් මා පැවසුවේ බොහෝ සෙමෙනි.
“ඩිනාලි… කෝ මගේ පුතා?”
හේෂාන්ගේ මවගේ දයා විරහිත කටහඬ අකුණක් පුපුරන්නාක් මෙන් ඇසිණ. ඔහු මෙහි නැතැයි පැවසිය යුතු වුව ද මගේ මුවට වදනක් නොනැගිණ.
“පුතාට දෙනවා ෆෝන් එක.”
ඇගේ හඬෙහි වු සැරපරුෂ ස්වභාවය මගේ සිත තැති ගැන්මට පත් කරන්නට සමත් විය. හේෂාන් අප සමග පැමිණි පුවත ඇයට ආරංචි වන්නට ඇත්ද?
“හේෂාන් මෙහේ නෑ.”
මම ආයාසයෙන් පැවසුවෙමි.
“නෑ? බොරු කියන්න එපා. උදේ ඉඳලා ෆෝන් එකත් ඕෆ් කරගෙන ඔතන ලැගලා ඉන්නෙ වෙන වැඩ නැතිවද? දෙනවා ෆෝන් එක එයාට.
“හේෂාන් මෙහේ නෑ කිව්වම අහන්න ආන්ටි.”
එවර මා පැවසුවේ තරහෙනි.
“එහෙමද? එහෙමනම් මේක හොඳට අහගන්නවා ඩිනාලි. අම්මලා දූලා එකතු වෙලා මගේ කොල්ලව රවට්ට ගන්න හැදුවට කිසිම දවසක උඹ වගේ කෙනෙක්ව බඳින්න මම මගේ පුතාට ඉඩ තියන්නෙ නෑ.”
මට මගේ දෙසවන් අදහා ගත නොහැකි විය. ඉඳහිට දිනෙක තාත්තා ‘උඹ’ යනුවෙන් පැවසුවද, එය සාමාන්‍ය දෙයක් ලෙස දැනුනා මිසක අපහාසාත්මක වදනක් ලෙස කිසිවිටෙක මට නොසිතිණ. එහෙත් හේෂාන්ගේ මව මට ‘උඹ ’යනුවෙන් ආමන්ත්‍රණය කරද්දී මට දැනුන හැඟීම විස්තර කළ නොහැකිය.
“ආන්ටි…”
“මට ආන්ටි කියන්න එපා.”
හේෂාන්ගේ මව කෑගැසුවාය.
“එකක් මතක තියාගනින් ඩිනාලි. අමුතුවෙන් කියාදෙන්න ඕන නෑනෙ. උඹට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ. අපේ පරම්පරාවෙ නම ගෙනියන්න පුලුවන් කෙනෙක් මිසක උඹ වගේ කාලකණ්ණි කෙල්ලෙකුට හේෂාන්ව බඳින්න මම ඉඩ තියන්නෙ නෑ. මගේ හැටි දන්නෙ නෑ උඹලා තවම… මම…”
“මෙහාට දෙනවා ඕක…”
කිසිවකු හේෂාන්ගේ මව අතින් දුරකතනය උදුරා ගන්නට තැත් කරන බව මට දැනිණ. ඒ අන් කිසිවෙක් නොව හේෂාන්ගේ පියා විය යුතු යයි මට සිතිණ.
“ඔයා පැත්තකට වෙන්න. කාටවත් කතා කරන්න බැරිනම් මංවත් කතා කරන්න ඕන… මගේ කොල්ලා අමාරුවෙ දාන්න මට බෑ.”
හේෂාන්ගේ මව කෑගසන හඬ දුරින් ඇසුණ නමුත් අනතුරුව දුරකතනය නිහඬ විය.
මට මගේ දෙසවන් අදහා ගත නොහැකි විය. ‘ඇහැල මල’ යන ආදරණීය ඇමතුමෙන් බොහෝ ලෙන්ගතුව මා ඇමතූ හේෂාන්ගේ මව මෙතරම් කුරිරු ගැහැනියක් බව මට වැටහෙන්නේ දැන්ය. මම දුරකතනය යහනෙහි පසෙකට දැමුවෙමි. යහන මත වැතිර ගත් මට කෑගසා හඬන්නට සිතුණද, මගේ දෙනෙතට කඳුලක් නොනැගිණ. හේෂාන් අද උදෑසන සිටම ඔහුගේ දුරකතනය විසන්ධි කර තබන්නට ඇත්තේ මව නගන ප්‍රශ්න වලට පිළිතුරු දිය නොහැකි බැවින් වන්නට ඇත. මේ පැමිණි ගමනේදී මා සමග රුවන්වැලි සෑය වන්දනා කිරීමටත්, ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමටත් වජිරා සහ අම්මා තුළ නොතිත් ආශාවක් පැවතියද, හේෂාන් ඉක්මනින් ආපසු යායුතු නිසා එම ගමන් පසුවට කල් තබන්නට ඇත. මා රෝහල්ගත වූ බවක් හේෂාන්ගේ මව නොදනියි. ඇය සිතනු ඇත්තේ හේෂාන් අප නිවසේ සිටින බවයි.
“උඹට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ.”
හේෂාන්ගේ මව පැවසූ වදන් මගේ සිත පතුළෙහි දෝංකාර දෙන්නාක් මෙන් මට දැනිණ. මම කොට්ටයෙහි මුහුණ ඔබා ගතිමි.
*
කිසිවකු දොරට තට්ටු කරන හඬ, වෙහෙසත්, සිත් වේදනාවත් නිසා දීර්ඝ නින්දකට වැටී සිටි මට සිහිනයෙන් මෙන් ඇසිණ. වරක්, දෙවරක් නොව තෙවරක්ම දොරට තට්ටු කරන හඬ ඇසුණ අතර ඉන් අනතුරුව කාමරයේ දොර විවෘත විය. වෛද්‍ය පීහු ෂර්මා ද, විදුලි සෝපානයේදී අප දුටු වෛද්‍ය කුෂ්වාන්ත් සිං ද කාමරයට පිවිසෙන අයුරු මම දුටුවෙමි. කිසිදු හේතුවක් නොමැති වුව ද, මගේ හදවත කෙතරම් තදින් ගැහෙන්නට පටන් ගත්තේ ද යත් එම හඬ ඔවුන් දෙදෙනාට ඇසෙනු ඇතැයි මම බිය වීමි.
“ඩිනාලිට නින්ද ගියාද?”
මගේ ඇඳ අසළට පැමිණි වෛද්‍ය පීහු ෂර්මා මිත්‍රශීලී ලෙසින් මගෙන් ඇසුවාය.
“මේ ඩොක්ට කුෂ්වාන්ත් සිං.”
ඇය වෛද්‍ය කුෂ්වාන්ත් සිං මට හඳුන්වා දුන්නාය. මා සිනාසුණද, ඔහු සිනාසුනේ නැත. අතිශයින් දීප්තිමත් ගැඹුරු දෙනෙතින් ඔහු මදෙස බලා සිටියේ මා නිරීක්ෂණය කිරීමට මෙනි.
“සුබ දවසක්…”
අනතුරුව වෛද්‍ය කුෂ්වාන්ත් සිං මට සුබ පැතුවේය.
“මිස් ඩිනාලිගේ වෛද්‍ය වාර්තා හැම එකක්ම මම හොඳින් ස්ටඩි කළා. පිළිකා මර්දනය කිරීමේ නවීන වෛද්‍ය ක්‍රමත් එක්කම අපි මෙහේදි පාරම්පරික ඉන්දියානු වෛද්‍ය ක්‍රමත් භාවිතා කරන බව ඩිනාලිට කියන්න ඕන. ඩිනාලි ගෙ භාරකාරයාට මේ හැමදේම ඇතුළත් පත්‍රිකාවක් දීලා කැමැත්ත ප්‍රකාශ කරලා අත්සන් අරගෙන තියෙන්නෙ. මොනවත් දැනගන්න තියෙනවද?”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං සිය දීප්තිමත් දෙනෙත් කුඩා කර මා දෙස බලා සිටියේ පිළිතුරක් අපේක්ෂාවෙනි.
“නෑ ඩොක්ට.”
මම අපහසුවෙන් වචන ගලපා ගතිමි.
“පිළිකා රෝගය කියන්නෙ මිනිසුන් බයවෙලා ඉන්න රෝගයක්. සමහරු හිතාගෙන ඉන්නෙ පිළිකාවක් වැළඳෙනවා කියන්නෙ මරණයට දුන්න සහතිකයක් කියලා. වෛද්‍ය විද්‍යාව ඒතරම් දියුණු නැති කාලයේ එහෙම වුනා. ඒත් කැන්සර් එකක් මුලදිම අඳුනගත්තම ඒක සුව කරන්න පුළුවන්. ඩිනාලිගෙ වයස කීයද?”
වෛද්‍ය කුෂ්වාන්ත් පැහැදිලි සිංහල බසින් කතා කළේ මා පුදුමයට පත් කරමිනි.
“විසි තුනයි.”
මම පැවසුවෙමි.
“විසි තුනයි?”
ඔහු මගේ මුහුණ දෙස බලා සිටියේය. ඒ දෙනෙත් වල වූයේ වේදනාවක්දැයි මට සිතිණ.
“පීහු… මට පේෂන්ට් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕන.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසුවේය. මදෙස බලා සිනාසුන වෛද්‍ය පීහු මගේ වාර්තා ඇතුළත් ලිපි ගොනුව මේසය මත තබා කතා බහක් නොමැතිවම කාමරයෙන් පිටව ගියාය.
“හරි. මට දැනගන්න ඕන ඩිනාලි. කොහොමද මේක පටන් ගත්තෙ කියලා.”
ඇය නික්ම ගිය පසු කාමරය තුළ වූ පුටුව මගේ යහන සමීපයට ගත් වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසුවේය. මම මොහොතක් නිහඬව සිටියෙමි. ඔහු පරීක්ෂාකාරී ලෙසින් මගේ මුහුණ දෙස බලා සිටියේය. වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ මුහුණ පුරා වැවී තිබු රැවුලෙහි තැනින් තැන සුදු පැහැයෙන් දිස් වූ අතර, එය ඔහුගේ මුහුණට අලංකාරයක් යයි මට සිතිණ.
“කියන්න දරුවා. හැමදේම මට කියන්න. ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න කලින් මට හැමදෙයක්ම දැන ගන්න ඕන.”
“ඩොක්ට…” යි කතා කරන්නට තැත් කළ ද මට ඉකි ගැසී හැඬිණ.
“කියන්න ඩිනාලි. හැමදේම කියන්න.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං නැවතත් කාරුණික ලෙසින් පැවසුවේය.
මගේත්, හේෂාන්ගේත් මංගල උත්සවයට සූදානම් වෙමින් සිටියදී හදිසියේ ඇති වූ උදරයේ වේදනාව ගැන පවසන්නට සැරසුණද මට හැඬුම් වළක්වා ගත නොහැකි විය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං නැගිට ජනෙල් පෙල දෙසට ඇවිද යන අයුරු මා දුටුවේ ද කඳුළු අතරිනි. කෙතරම් පාලනය කර ගැනීමට තැත් කළ ද, හැඬුම් වළක්වා ගැනීමට මට නොහැකි විය. සිතේ දුක පහව යන තුරු මම හැඬුවෙමි. ඒ කාලය තුළම වෛද්‍ය කුෂ්වාන්ත් සිං ජනේලය අසළ සිටගෙන බලා සිටින්නට ඇත්තේ ඈතින් දක්නට ලැබෙන වැව දෙසද?
“අඬලා ඉවරද?”
ස්වල්ප වේලාවක් ගත වු පසු ඔහු ජනේලය අසළ සිටගෙනම මා දෙසට හැරුණේය.
“කියන්න දරුවා. මාව විශ්වාස කරන්න. සිද්ද වුනු හැමදෙයක්ම මට කියන්න. හෙට ඉඳලා අපි ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න ඕන නේ.”
කාමරයේ වු කුඩා මේසය මත වජිරා විසින් තබා යන ලද පුලුන් පිරවු සුදු හාවා ඔහු අතට ගත්තේය. එය ඒ මේ අත හරවා බලා මගේ යහන මත තැබූ ඔහු පැමිණ මා ඉදිරියෙන් හිඳගත්තේය. මගේ දෙනෙත් දෙස සෘජුවම බලා සිටින ඔහු කෙරෙහි අප්‍රමාණ විශ්වාසයක් මා තුළ ගොඩ නැගුණේ මන්දැයි මම නොදැන සිටියෙමි. මම කටහඬ අවදි කළෙමි. කලක සිට වරින් වර ඇති වූ ක්ලාන්ත ස්වභාවයත්, මගේත්, හේෂාන්ගේත් විවාහ මංගල්‍යයට සූදානම් වෙමින් සිටියදී ඇති වූ උදරයේ වේදනාවේ සිටම සියලු තොරතුරු මා ඔහු සමග පැවසුවේ මහත් වු විශ්වාසයෙන් යුතුවය.
වෛද්‍ය කුෂ්වාන්ත් සිං මා පවසන වදන් වලට බොහෝ ඉවසිල්ලෙන් සවන් දී සිටියේය. මා පිළිබඳව පවසා අවසන් වන විට මගේ සිතට ඉමහත් සැහැල්ලුවක් දැනෙමින් තිබූ අතර, එතෙක් දෑසෙහි පිරී තිබූ කඳුළු වියලී ගොස් තිබිණ.
“හොඳයි.”
අවසානයේ ඔහු පැවසුවේය.
“අපට මෙහේදි තව පරීක්ෂණ කීපයක් කරන්න තියෙනවා. ඒ දේවල් කරලා ඉවර වෙලා අපට ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න පුළුවන්. ජීවිත කාලය තුළදි අපට නොයෙක් විදියට ප්‍රශ්න එනවා. ඒ හැමදේටම විසඳුමක් තියෙනවා ඩිනාලි. කණගාටු වෙන්න එපා.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං නැගිට්ටේය.
“ඔයා තවම තරුණ ළමයෙක්. එක දෙයක් මතක තියාගන්න. සතුට තියෙන්නෙ අපි තුළමයි. සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. මේක හොඳ අවස්ථාවක් කියලා හිතන්න. අපිට අපි කවුද වගේම අනිත් අය කවුද කියලා හඳුනගන්න තියෙන හොඳ අවස්ථාවක්.”
ඔහු පවසා අවසන් වෙත්ම වෛද්‍ය පීහු ශර්මා කාමරයට පිවිසියාය. ඇය ලිපි ගොනුව අතට ගත්තේ මා දෙස බලා සුහදශීලී ලෙසින් සිනාසෙමිනි.
වෛද්‍ය කුෂ්වාන්ත් සිං සහ පීහු ශර්මා කාමරයෙන් පිටව ගියේ දොර වසාගෙනය. මා අසනීප වූවාට පසු මෙතෙක් නොදැනුන ආකාරයේ සතුටක් සහ සැහැල්ලු හැඟීමක් මා තුළ ඇති වෙමින් තිබිණ. මා යහන මත වැතිරුණේ ද සැහැල්ලු සිතින් යුතුවය. සැබවින්ම වෛද්‍ය කුෂ්වාන්ත් සිං හමුවේ මා විසින් කරන ලද්දේ සිත් විරේකයක් නොවේද?
හේෂාන්, අම්මා සහ සුදු නංගීත්, වජිරාත් මේවනතුරුත් නිවසට ගොස් නැතැයි මට සිතිණ. ඔවුන් මා මෙහි දමා යන්නට ඇත්තේ ශෝකයෙන් බව නිසැකය. මෙතරම් සුන්දර සහ පහසුකම් සහිත රෝහලක් මා වෙනුවෙන් සොයා දීම පිළිබඳව මම හදවතින් හේෂාන්ට කෘතඥ වූයෙමි. එහෙත් මෙවන් පහසුකම් සහිත රෝහලක ප්‍රතිකාර කිරීම නොමිලයේ සිදු කරන්නක් නොවේ. මා වෙනුවෙන් විය පැහැදම් කරන්නේ හේෂාන් ද? එසේත් නැත්නම් අම්මා ද? තමා ළඟ එක්රැස් කළ මුදල් ඇති බව අම්මා කිහිප වතාවක්ම මා සමග පවසා තිබිණ. ඇය තම කේක් සාප්පුවෙන්ද සෑහෙන ආදායමක් ලැබුවාය. තාත්තා නිවසින් පිටව යාමට පෙර පවා නිවසෙහි වියදමට කිසිදු මුදලක් නොදෙන බවත්, එය තමාට ගැටලුවක් නොවන බවත් ඔවුන් දෙදෙනා අතර සිදුව බහින්බස් වීම් වලදී පවා අම්මා පවසනු මට ඇසී තිබිණ.
“කාගෙවත් සල්ලි නැතිවට මටයි, කෙල්ලො දෙන්නටයි ජීවත් වෙන්න මං ළඟ තියෙන සල්ලි හොඳටම ඇති. මං නිකන් ඉන්නවා නෙමෙයිනෙ. තවමත් මං හම්බ කරනවා. මගේ ෂොප් එක වහලා දාලා වුනත් කෙල්ලො දෙන්නගෙ වැඩත් කරගෙන මැරෙනකන් ජීවත් වෙන්න පුලුවන් තරම් මා ළඟ සල්ලි තියෙනවා. මට මගේ සීයා බිස්නස් එක හදලා දීලා තියෙන්නෙ. අම්මයි තාත්තයි වුනත් මගේ නමට සෑහෙන ඉඩකඩම් ලියලා දීලයි තියෙන්නෙ. මුකුත්ම නැති වුනත් ඒවා විකුණලා හරි මැරෙනකම්ම ජීවත් වෙන්න මට පුලුවන්.”
අම්මා පවසන්නේ තාත්තා කෝප ගන්වමින් වුව ද, රවා බලා හෝ අතට හසුවන යමක් පොළවේ ගසා හෝ කෝපය පිට කරනු මිසක ඔහු එයට පිළිතුරක් දුන් බවක් මගේ මතකයේ නොමැත. හමුදාවේ උසස් තනතුරක් දැරූ තාත්තාගෙන් යැපෙන ගැහැනියක නොවී අම්මා ස්වාධීනව නැගී සිටි ගැහැනියක වූ බැවින් ඔහු අම්මාට ඊර්ෂ්‍යා කරන්නට ඇත්ද?
මිනිස් සිත් තරම් වෙනස් වන අන් කිසිවක් ලොව නැතැයි මට සිතෙයි. සිතෙහි ස්වභාවය තත්පරයෙන් තත්පරයට වෙනස් වෙයි. තාත්තාට, අම්මාට, හේෂාන්ට හා මට පමණක් නොව ලොව සියලු දෙනාටම එම ධර්මතාවය පොදු නොවේදැයි මම කල්පනා කළෙමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසූ ආකාරයට අපට අප මෙන්ම අප වටා සිටින අනෙකුත් අය හොඳින් හඳුනා ගත හැකි අවස්ථාව වන්නේ මෙවන් අසනීපයකින් පසුවන අවස්ථාවේදී නොවේද?
මගේ ජංගම දුරකතනය හඬ දෙන්නට වූයේ මා බියපත් කරමිනි. නැවතත් හේෂාන්ගේ මව මා අමතනු ඇතැයි සැක සිතින් දුරකතනය අතට ගත්තද, අම්මාගේ රුව දුරකතන තිරයෙහි සටහන්ව ඇති අයුරු දකිද්දී මගේ සිත තුළ දහසක් මල් පිබිදුනේ නිමේශයකිනි.