මම දුරකතන තිරය මත දිස්වන අම්මාගේ රුව දෙස බලා සිටියෙමි. සිනාමුසු මුහුණින් යුතුව සිටින අම්මාගේ එම ඡායාරූපය මා විසින් ගන්නා ලද්දේ හේෂාන් සහ ඔහුගේ මව අප නිවසට පැමිණි මුල් දිනයේදී බව මගේ මතකයට නැගිණ. එදින අම්මා කෙතරම් සතුටට පත්ව සිටි දිනයක්ද කිවහොත් එම ඡායාරූපයෙහි ඇගේ මුහුණ දිස්වන්නේ පිපුණ මලක් පරිද්දෙනි. අම්මාගේ මුහුණ දෙස බලා සිටිද්දී දුරකතන ඇමතුම විසන්ධි වූ නමුත් සැනෙකින් නැවතත් දුරකතනය හඬ දුන්නේය. මම වහා ඇමතුම හා සම්බන්ධ වූයෙමි.
“අම්මා…”
මා පැවසුවේ ආදරයෙනි.
“ඩිනාලි… මගෙ දූ… මං බය වුනා ඇයි කතා නොකරන්නෙ කියලා.”
“මං අම්මගෙ මූණ දිහා බලාගෙන හිටියා. ඒක ගත්තෙ හේෂාන්ගෙ අම්මා අපේ ගෙදර මුලින්ම ආව දවසෙ කියලා මතක් වුනා.”
“අපි ඒ අතීතය අමාරුවෙන් හරි අමතක කරමු.”
අම්මා පැවසුවේ දුක් හඬිනි.
“චාන්දනී කියලා කෙනෙක් කවදාවත් අපේ ජීවිත වල හිටියෙ නෑ කියලා හිත හදාගත්තම ඒක අපට සහනයක්.”
හේෂාන්ගේ මව මට දුරකතනයෙන් ඇමතූ පුවත පවසන්නට සිත් වුව ද මා එය නොපවසන්නට තීරණය කළේ අම්මාගේ සිත රිදෙන බැවිනි. බොහෝ මුදු සිතක් ඇති අම්මා එය ඇසුවහොත් කෝප ගනු නියතය. ඇතැම් විට ඇය හේෂාන්ගේ නිවසට ගොස් ඔහුගේ මවට බැණ වැදීමට ද ඉඩ ඇතැයි මට සිතිණ.
“අම්මා… දැන් කොහේද ඉන්නෙ? තවම යන ගමන්ද?”
මම ඇසුවෙමි.
“අපි දැන් තමයි ගෙදර ආවෙ. හේෂාන් අපිව දාලා ප්‍රෙස් එකට යනවා කියලා ගියා. හවස ඔයාට කතා කරාවි.”
“අපරාදෙ. රුවන් වැලි සෑයයි ශ්‍රී මහා බෝධියයි වඳින්න බැරි වුනා නේද? මාත් ආසාවෙන් හිටියෙ යන්න.”
“හේෂාන්ට ඉක්මනට එන්න ඕන නිසා අපි කොහේවත් ගියේ නෑ. අපි වෙන දවසක යමු.”
“මට දුකයි අම්මා.”
“අපි ගැන හිතන්න එපා. ඔයා සතුටෙන් ඉන්න පුතේ. මට හොඳටම විශ්වාසයි ඉක්මනින්ම ඔයාට ගෙදර එන්න ලැබෙනවා කියලා. ඔය වගේ තැනක් ගැන කවදාවත්ම අපි දැනගෙන හිටියෙ නෑනෙ. හේෂාන්ට පින් සිද්ද වෙන්න ඕන ඔයාට නිදහසේ ඉන්න හොඳ තැනක් හොයා දුන්නට.”
“මට එක දෙයක් දැනගන්න ඕන අම්මා. කවුද හොස්පිටල් එකට සල්ලි ගෙවන්නෙ?”
මම ඇසුවෙමි. අම්මා මොහොතක් නිහඬව සිටියාය.
“කියන්න අම්මා. හේෂාන්ට අපිව අනවශ්‍ය කරදරයක් වෙනවට මම කැමති නෑ.”
“මේකයි වුනේ ඩිනාලි. මම ඒක දැනගත්තෙත් පස්සෙ. හේෂාන් ඔයා වෙනුවෙන් ලොකු ඩිපොසිට් එකක් කරලා තියෙනවා හොස්පිටල් එකට. මම හේෂාන්ට දොස් කිව්වත් එක්ක. මට ඔයා වෙනුවෙන් වියදම් කරන්න බැරි කමක් නෑනෙ. මාස ගානක් නෙමෙයි. අවුරුද්දක් ඔයා හොස්පිටල් එකේ හිටියත් ඒක මට ප්‍රශ්නයක් නෑ. දන්නවනෙ. කවුරුත් හිතනවට වඩා මං පොහොසත් කෙනෙක්.”
අම්මා සිනාසුනාය. අත් පොඩි ගැසුවේ අම්මා අසළම සිටින සුදු නංගී විය යුතුය.
“දන්නවද වැඩක්? අපි ගෙදර එනකොට සාෂා ආන්ටියි අංකලුයි ඇවිත් ඔයාව බලන්න. ඔයා හොස්පිටල් ඇඩ්මිට් කලා කිව්වම හරියට දුක් වුනා කලින් එන්න බැරි වුනු එකට. කොහොමද පුතේ? අපි ආවට පස්සෙ මොකක්ද සිද්ද වුනේ? ඩොක්ට ආවද ඔයාව බලන්න?”
“ආවා අම්මා. ලොකු ඩොක්ටයි ඩොක්ට පීහුයි ඇවිත් ගියා. මා එක්ක ගොඩක් කතා කරා. මට සනීප වෙලා ඉක්මනටම ගෙදර යන්න පුලුවන් කියලා කිව්වා. ඒ ඩොක්ට කතා කළාට පස්සෙ මගේ හිත නිවුනා වගේ දැනුනා.”
“කුෂ් හැන්ඩියා නේද?”
අම්මා අතින් දුරකතනය උදුරා ගත් සුදු නංගී පැවසුවාය.
“මොනවද සුදු මේ කියන කතා? තාත්තා කෙනෙක් වගේ ඉන්න කෙනාව විහිලුවට ගත්තද?”
අම්මා සුදු නංගීට පවසන හඬ ඇසිණ.
“තාත්තා කෙනෙක් වගේ? එහෙනම් ඉතින් එයා අම්මව මැරි කරන්න ඕන. නේද ලොකු?”
“ඒයි පිස්සි. දෙනවා ෆෝන් එක මෙහාට.”
“දෙන්නම්. ලොකු… ඔයා මං කිව්ව එක කිව්වද කුෂ් ට? එක්කො එහෙම කියන්න එපා ඔයාම කියන්න මේ තුම්සේ ප්‍යාර් කර්තී හූ කියලා. එතකොට එයත් කියාවි මාත් ඔයාට ආදරෙයි කියලා.”
අම්මා සුදු නංගීගෙන් දුරකතනය උදුරා ගන්නට ඇතැයි මට සිතුණේ ඇගේ සිනා හඬ ඇසෙද්දීය.
“මේ කෙල්ලට පිස්සුද කොහෙද ඩිනාලි. නැත්නම් අර රටක් වටින මනුස්සයෙක්ව විහිලුවට ගන්නවද?”
අම්මා පැවසුවේ සිනාව සඟවාගෙන විය යුතුය.
“සුදුගෙ හැටිමනෙ අම්මා. ඔය කතා අහලා ඊළඟට ඩොක්ට ආවම මට හිනාත් යාවි. ”
මම පැවසුවෙමි. කවර හේතුවක් නිසා හෝ වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ මුහුණ මට මැවී පෙනිණ. ජීවිත කාලය තුළම කිසිම දෙනෙතක නොදුටු අන්දමේ දීප්තියකින් යුත් ඒ දෑසෙහි වූ කරුණාව අතරින් සිත පෙලන කිසියම් වේදනාවක සේයාවක් මම දුටුවෙමි. මේ වනතුරුත් ඔහු සිනාසෙන අයුරු මා දුටුවේ නැත. ඇතැම් විට ‘ලේඩි ජාන්සි මෙමෝරියල් කැන්සර් හොස්පිටල්’ එක පසුපස ඔහුගේ ජීවිතය හා සබැඳුනු වේදනාත්මක මතකයක් තිබෙනු ඇත්දැයි මම කල්පනා කළෙමි.
“ඇයි පුතේ කතා නැත්තෙ?”
මගේ නිහඬතාවය දරා සිටිය නොහැකි තැන අම්මා ඇසුවාය.
“මට ඩොක්ට කුෂ්වාන්ත් සිං මතක් වුනා. හරිම හොඳ කෙනෙක්.”
“පින්වන්ත මිනිස්සු පුතේ. වෙන රටකට ඇවිත් ඒ රටේ මිනිසුන් වෙනුවෙන් ඔය වගේ සේවයක් කරන එක ඇත්තටම මහා පුණ්‍ය කර්මයක්.”
“සාදු… සාදු…”
සුදු නංගීගේ කටහඬ දුරින් ඇසිණ.
“පිස්සි…”
අම්මා තරහෙන් කෑගැසුවාය.
“මං තියන්නම් ඩිනාලි. රෑට කතා කරන්නම්. සතුටින් ඉන්න. වෙන මොනවද කියන්න තියෙන්නෙ?”
“සාෂා ආන්ටිවයි අංකල්වයි මතක් කරා කියන්න.”
“මං කියන්නම් පුතේ. අපි ඉක්මනටම එනවා ඔයාව බලන්නත බුදු සරණයි මගෙ පුතාට.”
“අම්මටත්…”
මම හැඬුම් තද කරගෙන පැවසුවෙමි. දුරකතනය තබා මම යහන මත හිඳගෙන සිටියෙමි. කාමරය තුළ වායු සමනය කර තිබු බැවින් ජනේල කිසිවක් විවෘතව නොතිබුණද, ඒවනවිට තිර රෙදි හැර දමා තිබුනෙන් ඈතින් වූ වැවෙහි සුන්දරත්වය මම දුටුවෙමි. වැව් දිය පිස එන සිහිල් සුළඟෙහි පහස මා වින්දේ මනසිනි. මෙතරම් සුන්දර පරිසරයක මෙම රෝහල ඉදි කිරීමට තරම් වෛද්‍ය කුෂ්වාන්ත් සිං මොනතරම් නම් කලාකාමී සිතක් ඇත්තෙක් විය යුතුද?
දොරට තෙවරක් තට්ටු කරන හඬත් සමගම කාමරයේ දොර විවර විය. ට්‍රොලියක් තල්ලු කරගෙන කාමරය තුළට පිවිසියේ හෙදියක් විය යුතු යයි මට සිතිණ. ටියුනික් කොලරය සහිත අත් දිග කමිසයකින් ද, සුදු දිග කලිසමකින්ද සැරසී සිටි ඇගේ හිස් ආවරණය අප රටේ හෙදියන් පළඳින ආකාරයේ එකක් නොවීය. මගේ යහන අසළ නතර වූ ඇය පුළුල් සිනාවක් පෑවාය.
“මිස් ඩිනාලි. නින්ද ගියාද?”
ඇය ඇසුවේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන උෂ්ණත්වමානයක් මගේ නළලතට ළං කරමිනි.
“නෑ.”
“හොඳට විවේක ගන්න. උණ නම් නෑ. අපි බ්ලඩ් එකක් ගනිමු. නේද?”
හෙදිය මගේ වැළමිටට ඉහළින් රබර් පටියකින් තද කර බැන්දාය. ඇය සිරින්ජය අතට ගනිත්ම මම දෑස් පියා ගතිමි. කුඩා කළ සිටම කවර ලෙසකින් හෝ ලේ දැකීමට මම බිය වූයෙමි. පරීක්ෂණයක් සඳහා ලේ ගන්නා අවස්ථා වලදී පවා මා දෑස් පියාගන්නේ ලේ දැකීමේදී ක්ලාන්ත වන බැවිනි. කඩියකු කන්නාක් මෙන් සියුම් වේදනාවක් ඇති වු පසුත් මම සෑහෙන වේලාවක් දෑස් පියාගෙන සිටියෙමි.
“දැන් හරි. මිස් ඩිනාලි බ්ලඩ් දකින්න බයද?”
රුධිරය ගන්නා ලද ස්ථානයේ පුලුන් කැබැල්ලක් තබා ප්ලාස්ටරයක් දැමූ හෙදිය පැවසුවාය.
“බයයි.”
“පුංචි කාලෙ මාත් බයයි. ඒත් නර්සින් වලට ආවට පස්සෙ බය නැති වුනා. ඒකනෙමෙයි. මගේ නම පූනම්.”
“පූනම්?”
“ඔව්. පූනම් කියන්නෙ පුරහඳ…”
මම හෙදියගේ සිනාවෙන් පිරුණ මුහුණ දෙස බලා සිටියෙමි. සැබවින්ම ලප කැළලින් තොර වූ ඇගේ මුහුණ පුරහඳ මෙන්ම ශෝභමාන විය.
“ගැලපෙනම නමක්.”
මට කියවිණ.
“තෑන්ක් යූ. හැමෝම කියනවා එහෙම. අපි යූරින් එකකුත් ගනිමු. නේද?”
පූනම් හෙදිය මා අතට කුඩා කුප්පියක් දුන්නාය. මා නාන කාමරයට ගොස් එනවිට ඇය ජනේලය අසළ සිටගෙන ඈතින් දිස් වන වැව දෙස බලා සිටියාය.
“මිස් ඩිනාලිට ලැබිලා තියෙන්නෙ හොඳම රූම් එක. මෙතනට ලස්සනට මුලු පරිසරයම පේනවා.”
මා අතින් මුත්‍රා සාම්පලය ගෙන එය සුරක්ෂිතව තැන්පත් කරන පූනම් පැවසුවාය.
“අර පේන වැව හොස්පිටල් එක හදන කාලෙ වැහිලලු තිබිලා තියෙන්නෙ. ඩොක්ට කුෂ්ගෙ උවමනාවට තමයි ආයෙම වැව හාරලා ලස්සන පරිසරයක් නිර්මාණය කරලා තියෙන්නෙ.”
“ඇත්තටම ඒක නම් හරිම ලස්සනයි.”
“ඒ වැවේ නම කවුරුවත් දන්නෙ නෑ. අපි කියන්නෙ ජාන්සි වැව කියලා. මෙහේ හැමදෙයක්ම ලස්සනයි. කලාත්මකයි. මම යන්නම් මිස් ඩිනාලි. ඕන දේකට මට කතා කරන්න.”
හෙදිය නික්ම ගිය පසු මම නැවතත් යහන මත වැතිරුණෙමි. මෙම රෝහලට පැමිණි මොහොතේ සිටම අත් විඳින සුන්දර සිදුවීම් සියල්ල පසුපස ඇත්තේ වේදනාවක් නොවේදැයි මට සිතිණ. හෙට දිනයේ ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු අත්විඳින්නට සිදුවන සියලු දෑ එසේ සුන්දර යයි කිව හැකිද?
මම මගේ සුදු හාවා මා සමීපයට ගතිමි. පුලුන් පිරවූ සතුන් අතරින් හාවුන්ට මා තුළ වූයේ මහත් ආශාවකි. කුඩා කාලයේ දී පමණක් නොව යුවතියක වු පසු පවා අම්මා මගේ උපන් දිනයන්ට තෑගි කළ ටෙඩි බෙයාවුන් සහ බෝනික්කන් රැසක් තවමත් සුරක්ෂිතව තබා තිබේ. එහෙත් මගේ කාමරය තුළ මා තබාගත්තේ හාවුන් පමණකි. මා ඇති කළ සුදු හාවුන් යුවළගේ අහිසංක දෙනෙත් පුලුන් පුරවන ලද හාවා දකිද්දී මට නිතැතින්ම සිහිපත් වෙයි.
“කරදරකාර සත්තු ගෙනත් දීලා ගෙදරම නැති කරන්නද තමුසෙ හදන්නෙ?”
මගේ එක් උපන් දිනයකට අම්මා තෑගි කළ හාවුන් ජෝඩුවට කූඩුවක් තනා දීමට පෙර ඔවුන් සිටියේ නිවස තුළමය. තාත්තාගේ ෆෝන් චාජරය හාවකු විසින් සපා දැමීම නිසා උරණ වු තාත්තා අම්මාට බැණ වැදුනු ආකාරය මගේ මතකයට තවමත් නැගෙයි.
“මම දැනගෙන හිටියෙ නෑ මේගොල්ලො මේවා හපනවා කියලා. මම හෙටම කූඩුවක් අරන් එන්නම්.”
තම ෆෝන් චාජරය තාත්තාට දුන් අම්මා පැවසු ආකාරය තවමත් මට සිහි වෙයි. කූඩුවක් රැගෙන එනතුරු නිවසේ කාමරයක් තුළ හාවුන් තැබීමට අම්මා යෝජනා කළ ද එදින මම මගේ කාමරය තුළ හාවුන් තබා ගත්තේ ඔවුන් තනිකර තැබීමට මා තුළ වු අකැමැත්ත නිසාය. එදින රාත්‍රියේ මගේ ෆෝන් චාජරය පමණක් නොව මවුස් එකේ වයරය ද ඔවුන් කා දමා තිබිණ. අප එය තාත්තාගෙන් වසන් කරගෙන සිටියද, සති ගණනාවකට පසු මා පාසල් ගොස් සිටියදී තම මිතුරෙකුට හාවුන් යුවළ දීමට තාත්තා කටයුතු කර තිබිණ.
“මමවත් දරුවෙක්වත් සතුටින් ඉන්නවට මේ මනුස්සයා කැමති නෑ.”
මා හඬද්දී අම්මා මා තුරුලු කරගෙන පැවසූ අයුරු තවමත් මගේ සිහියට නැගෙයි.
හාවුන්ගේ ලෝකයෙන් මා මිදුනේ කිසිවක් දොරට තට්ටු කරන හඬ ඇසීමෙනි. මගේ රාත්‍රී ආහාර සහිත ට්‍රොලිය රැගෙන පැමිණි කාන්තාව ආහාර බඳුන් මේසය මත තැන්පත් කරන අයුරු මම බලා සිටියෙමි.