ජීවිතය මොන තරම් නම් සුන්දරදැයි ආරාධ්‍යා කල්පනා කළාය. ජීවිතයේ ප්‍රථම වරට අම්මා වෙනුවෙන් සූදානම් කරන තේ පැන් සංග්‍රහයට නිවසේ සියලු දෙනාම සහභාගි වීම එක් අතකින් සිහිනයක් මෙනි. මලීෂ සහ විහාරා බැලුන් පුම්බමින් සිටින්නේ කුඩා දරුවන් මෙනැයි ඇයට සිතිණ. විහාරා විසින් පමණට වඩා පිම්බූ බැලුන් බෝලය එක්වරම පිපිරී ගියෙන් ඇය කුඩා දැරියක මෙන් හඬ නගා සිනාසුනාය.
“හිනාවෙනවද? වැඩ කරනවද?”
තාත්තා විසින් ඇණවුම් කරන ලද කේක් එකද රැගෙන අරාධ්‍යා ඔවුන් අතරට ගියේ සිනාසෙමිනි.
“අපි හිනාවෙන ගමන් වැඩ කරනවා. වැඩ කරන ගමන් හිනාවෙනවා.”
පැලී ගිය බැලූන් කැබැල්ලකින් මිදි ගෙඩියක් සාදාගෙන එය අල්ලේ උලමින් ශබ්ද නගන විහාරා පැවසුවාය.
“අම්මා නැගිටින්න කලින් මෙව්වා ඔක්කොම ඉවර කරන්න ඕන අක්කෙ.”
මලීෂ පැවසුවේය. පහත මහලේ විහාරා සහ මලීෂ විසින් කරන ලද සැරසිලි බෙහෙවින් අලංකාර යයි ආරාධ්‍යාට සිතිණ.
“අනිත් කෙනා කිසිම වැඩක් නොකර කොකා වගේ බෙල්ල දික් කර කර බලන්නෙ කවුරු එනකන්ද කියලා අපි දන්නවා.”
විහාරා සරදම් කළාය.
“බැලුවෙද? බැලුවෙ අපේ රශ්මි කියන කෙනාගෙ සර් එනවද කියලා”
“අයියෝ… ඇති අනේ… ආයෙම පරණ දේවල් මතක් කරන්න එපා.”
“කතාව නවත්තලා මෙන්න මේක ඉවර කරනවා.”
ආරාධ්‍යා අත වූ කේක් එක රැගෙන තැන්පත් කරන මලීෂ පැවසුවේය. සිය කාර්යාල කාමරය තුළ සිට දීර්ඝ දුරකතන ඇමතුමක නිරතව සිටි කවීන් ඔවුන් අසළට පැමිණියේ විස්මය රැඳුනු දෙනෙතින් යුතුවය.
“ෂා… ලස්සන. අම්මා එන්න කලින් ඉවර කරන්න වේවි. මට උදව් කරන්න එන්න බැරි වුනාට සොරි ළමයි. ක්ලයන්ට් කෙනෙක් එක්ක මෙච්චර වෙලා කතා කර කර හිටියෙ. ආරාධ්‍යා… ආයු එනවා කිව්වෙ කීයටද?”
“මග එනවා කිව්වා තාත්තෙ. මං මේ බල බලා හිටියෙත් ඒකතමයි.”
“අයියෝ…”
පියගැට පෙළ ඉහළ බැලූ විහාරා දුක්මුසු හඬින් පැවසුවාය.
“වැඩ ඉවර කරන්නත් කලින් මැඩම් සුහර්ෂා සැපත් වෙනවා.”
දීර්ඝ නින්දකට පසු දිය නා අලුත් ඇඳුමින් සැරසුණු සුහර්ෂා සැමියා සහ දරුවන් අතරට පැමිණියාය.
“මේ මොකද? මගුල් ගෙදරක්ද?”
සුහර්ෂා ඇසුවාය.
“ඔව්. ඔව්. පුංචි මගුල් ගෙදරක් තමයි.”
ඇසකින් ආරාධ්‍යාට ඉඟි කළ විහාරා පැවසුවාය.
“හොඳයි. හොඳයි.”
පුටුවක් ඇද හිඳගත් සුහර්ෂා පැවසුවාය.
“නිදාගත්තට පස්සෙ මහන්සිය ගියා. අද දවසෙ මෙහෙම විවේකෙන් ඉඳීවි. දැන් ඉතින් ආයෙම මම වැඩ පටන් ගන්න එපැයි. අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නත් මම හිතාගෙන ඉන්නවා කවීන්. ඊට කලින් හසිත්ව එම් ඩී කරන්නත් හිතාගෙන ඉන්නෙ.”
“හසිත්?”
මුහුණ නරක් කරගත් විහාරා ප්‍රශ්න කළාය.
“අනේ අම්මා. හසිත්ට ඉන්න විදියට ඉන්න දෙන්න. අම්මා දන්නෙ නෑ මිනිස්සු හසිත්ටයි අම්මටයි කියන කතා.”
“කට තියෙනවා නම් හිතෙන සිතිවිලි වචන කරන්න ඕන කෙනෙකුට පුලුවන්. මට කියනවා විහාරා. කවුද ඔයාට ඔය කේළම් කියන එකා? වරුණ නේද?”
“කවුද කියලා කිව්වොත් අම්මා එයාව ජොබ් එකෙන් අස් කරනවනෙ.”
“ඔයා කිව්වත් නැතත් මං වරුණව එළියට දාන්න තීරණය කරලා ඉවරයි. අඟේ ඉඳන් කණ කන මිනිස්සුන්ට මම කැමති නෑ. කවුරු වුනත් දිනේ නැතිව ඉල්ලා අස්වීමේ ලියුම මගේ අතට දීලා තමයි වැඩට එන්නෙ. මට තියෙන්නෙ ඩේට් එක දාන්න කියන එක විතරයි.”
විහාරා මුහුණ බිමට නැඹුරු කර ගත්තාය. අම්මා ගන්නා තීරණ පහසුවෙන් වෙනස් කරන්නියක නොවන බව ඇය දැන සිටියාය. තමාට දුරකතන ඇමතුම් දෙමින් වරුණ පවසා සිටි සියල්ල සත්‍යයක් විය නොහැකි බව දැන සිටියද, හසිත්ට මෝටර් රථයක් රැගෙන දීමට තරම් අම්මාට ඔහු විශේෂ වූයේ කෙසේදැයි ඇය කල්පනා කළාය.
“අන්න. ආයු එනවා.”
ආරාධ්‍යා ඉදිරියට දිව ගියාය. ආයුෂ් පැමිණියේ සුහර්ෂා වෙත මල් කළඹක්ද රැගෙනය. ඔහු සුහර්ෂාට මල් කළඹ පිළිගන්වා ඇයගේ දෙකොපුල් සිප ගන්නා ආකාරය ආරාධ්‍යා බලා සිටියාය.
“කන්ග්‍රැජුලේෂන්ස් ආන්ටි.”
“තෑන්ක් යු පුතා. අද තමයි ඔන්න ඉස්සරවෙලාම ඔයාව දැක්කෙ.”
“ආන්ටියි මල්ලියි ඇරෙන්න අනිත් හැමෝම මං දන්නවනෙ. නැද්ද රශ්මි?”
ආයුෂ් විහාරාට සරදම් කළේය.
“ඔව් සර්. දන්නවා.”
“මට ආරංචියි. ගෙදරදි තේකක්වත් හදාගන්න නැති කෙනා එක අතකට එහෙමවත් ගිහින් වැඩ පුරුදු වෙච්ච එක හොඳ දෙයක්.”
“දැන් ඉතින් ගණ පූරණය තියෙනවනෙ. අපි කේක් එක කපමු.”
කවීන් යෝජනා කළේය. රංජනී පිහිය රැගෙන ආවාය.
“අපේ අම්මා හයවෙනි වරටත් ලැබූ සම්මානය වෙනුවෙන් අපි හැමෝම අම්මට සුබ ප්‍රාර්ථනා කරනවා. ”
මලීෂ හඬ නගා පැවසුවේය. සුහර්ෂා කේක් එක කැපීමට සුදානම් වූවාය. වේගයෙන් පැමිණි මෝටර් රථයක් නිවස ඉදිරිපස නවත්වන හඬ ඇසිණ. කේක් එක මත තැබූ පිහිය සුහර්ෂා පසෙකට ගත්තාය.
“කවුද ආවා. බලන්න රංජනී…”
රංජනී ඉදිරියට දිව යන්නට සූදානම් වෙත්ම හසිත් වේගයෙන් ගෙතුළට දිව ආවේය. ඔහුගේ හිසකෙස් අවුල්ව තිබිණ. පොඩි වූ ඇඳුම් හැඳ සිටි ඔහු කිසියම් ආවේගයකින් හෝ අවුල් ස්වභාවයකින් පසුවන බව පෙනිණ.
“හසිත්… ඇයි මේ?”
සුහර්ෂා නැගිට්ටාය. හසිත් පැමිණ සුහර්ෂා ඉදිරියේ සිට ගත්තේය. ඔහුගේ දෙනෙත් සෘජුවම ඇය දෙසට යොමුව තිබිණ.
“හසිත්… ඇයි මේ? ප්‍රශ්නයක්ද? කොහොමද අප්පච්චිට?”
හසිත් කිසිවක් නොපවසා නිහඬව සිටියේය. කවීන්ගේද, ආරාධ්යාගේද, ආයුෂ්ගේ සහ මලීෂ ගේද, විහාරාගේද දෙනෙත් යොමුව තිබුනේ හසිත් වෙතටය. ඔහු කිසියම් පීඩාවකින් පසුවන බව ආරාධ්‍යාට හැඟිණ. කිසිවක් පවසා ගැනීමට උවමනා වුව ද ඇය එම අදහස ආයාසයෙන් මැඩ පවත්වා ගත්තාය.
“කියන්න හසිත්. මොකක්ද ප්‍රශ්නෙ?”
සුහර්ෂා යළිත් කාරුණිකව ප්‍රශ්න කළාය.
“මේ මොකක්ද මැඩම්?”
හසිත් සාක්කුව තුළින් ගත් ලිපි කවරයක් සුහර්ෂා අත තබනු ආරාධ්‍යා දුටුවාය. ඇය මව සමීපයට ගියේ කිසිවක් වටහා ගත නොහැකිවය. සුහර්ෂා හසිත් තම අත තැබු කවරය තුළින් ඡායාරූපයක් පිටතට ගන්නා අයුරුත්, ඇගේ මුහුණ සුදුමැලි වන අයුරුත් දුටු ආරාධ්‍යා මව අතින් එය උදුරා ගත්තාය. එහි තරුණියන් දෙදෙනෙකු වූ අතර ඉන් එක් අයෙක් සුහර්ෂා බව ආරාධ්‍යා හඳුනා ගත්තාය.
“මේ කවුද මැඩම්?”
හසිත් ඇසුවේය. ආරාධ්‍යා පියාගේ මුහුණ දෙස බැලුවාය. ඔහු බොහෝ සන්සුන් ලෙසින් බලා සිටින අයුරු දුටු ආරාධ්‍යා සැනසුම් සුසුමක් හෙලුවාය. ඡායාරූපය රැගත් ඇය උඩුමහලට දිව ගියාය. මෙබඳුම ඡායාරූපයක් ඇල්බමයක ඇති බවත් එහි මව සිටින කොටස ඉතිරි වන සේ ඉතිරි කොටස කපා ඉවත් කර ඇති බවත් ඇයට සිහි විය. ඇල්බමය තුළ වු ඡායාරූපය රැගත් ඇය යළිත් පහළට දිව ආවාය. මව දෑත් බැඳගෙන නොසැලීි බලා සිටින අයුරු ආරාධ්‍යා නිරීක්ෂණය කළාය.
“මට කියන්න. කවුද මැඩම් මේ?”
හසිත් යළිත් ඇසුවේය. සුහර්ෂා මඳ සිනා නැගුවාය.
“මේ මමයි, මගේ අක්කයි.”
“අක්කා? මේ ඉන්නෙ මගේ අම්මා.”
හසිත් පැවසුවේ වෙව්ලන හඬිනි.
“ඔව්. මම දන්නවා හසිත්. මේ මොහොතේ නෙමෙයි. ඔයා පුංචිම පුංචි කාලෙ ඉඳලම මම ඒ බව දන්නවා.”
ආරාධ්‍යා පමණක් නොව සියලු දෙනාම විස්මයෙන් බලා සිටියද, කවීන් පමණක් සිනාමුසු මුහුණින් යුතුව සුහර්ෂා සහ හසිත් දෙස බලා සිටියේය. තාත්තා මේ සියල්ලම දැන සිටින බවක් ආරාධ්‍යාට හැඟිණ.
“හසිත්… මේ ඉන්නෙ ඔයාගෙ පුංචි අම්මා.”
හසිත්ගේ උරහිස මත අත තැබූ කවීන් පැවසුවේය.
“පුංචි අම්මා..? පුංචි අම්මා නෙමෙයි සර්. මේ මගේ අම්මා.”
හසිත් දණ ගසා සුහර්ෂාගේ දෙපා වැන්දාය. කඳුලකුදු නොසලා සුහර්ෂා ඔහුගේ දෙඋරහිසින් අල්ලා ඔසවන අයුරු දුටු ආරාධ්‍යාගේ, විහාරාගේ මෙන්ම රංජනීගේ ද දෙනෙත් වල කඳුලු පිරිණ.
“ඉඳගන්න. හැමෝම ඉඳගන්න.”
විස්මයෙන් බලා සිටින ආරාධ්‍යා, විහාරා, මලීෂ මෙන්ම ආයුෂ් ද ඇමතූ කවීන් පැවසුවේය.
“ලොකු කතාවක් තියෙනවා කියන්න. හසිත්ගෙ අම්මා විදර්ෂා, හසිත්ගෙ අප්පච්චි ජනකව බැන්දෙ හිතුවක්කාරකමට. අම්මගෙ තාත්තා ඒ සම්බන්ධෙට ගොඩක් විරුද්ධ වුනා විතරක් නෙමෙයි. අම්මයි, අප්පච්චියි බැන්දට පස්සෙ විදර්ෂා මළා කියලා දානයක් දීලා එයාව පවුලෙන් සදහටම අයින් කරා.”
ආරාධ්‍යා හසිත්ගේ මුහුණ දෙස බැලුවාය. බිම බලාගෙන සිටින හසිත් වරින් වර ලේන්සුවකින් දෙනෙත් පිස ගන්නා අයුරු ඇය දුටුවාය.
“ඒත් විදර්ෂාව අමතක කරන්න අම්මට පුලුවන්කමක් තිබුනෙ නෑ. ඒ අතරෙදි තමයි විදර්ෂා තදින්ම අසනීප වුනේ. උණ හැදිලා හොඳටම අමාරු වුනු වෙලාවෙ ජනක සුහර්ෂාට පණිවිඩයක් එවලා තිබුනා. මමයි සුහර්ෂයි එදා විදර්ශව බලන්න ගියා. ඒ අලුත් අවුරුදු දවසක්. ”
“නංගි. මං ජීවත් වෙන එකක් නෑ. මගේ දරුවව හොඳින් බලාගන්න.” කියලා අන්තිම මොහොතේ විදර්ෂා අම්මගෙන් ඉල්ලීමක් කළා. අම්මා අක්කගෙ අත් දෙක අල්ලගෙන පොරොන්දු වුනා හසිත් විවාහයක් කර ගන්නතුරුම ආදරෙන් බලා ගන්නවා කියලා. ඒත් හසිත්ව අපි ළඟට ගන්න ජනක ඉඩ දුන්නෙ නෑ එයාට දරුවා නැතිව ඉන්න බෑ කියලා. අම්මා එදා ඉඳලම හසිත් වෙනුවෙන් කරන්න ඕන යුතුකම් හැමදෙයක්ම අඩුවක් නැතිව ඉටු කළා. පවුල් වල කීර්ති නාමය රැක ගන්න ඕන නිසා ජනක මේ රහස කවදාවත් පුතාට එළි කරන්නෙ නෑ කියලා පොරොන්දු වෙලයි හිටියෙ. හසිත්ව අම්මා ළඟ රස්සාවට ගන්න කටයුතු කළෙත් රහසිගතව. කියන්න හසිත්. හසිත්ට කොහෙන්ද මේ පින්තූරෙ?”
හසිත් ආරාධ්‍යා දෙස බැලුවේය. කඳුලු පිරි දෙනෙතින් යුතුව ආරාධ්‍යා බිම බලාගත්තාය.
“අප්පච්චි තවම ඉන්නෙ හොස්පිටල් එකේ සර්. පරණ රිපෝට්ස් වගයක් හොයන්න මම අප්පච්චිගෙ පරණ සූට්කේස් එකක් ඇවිස්සුවා. එතකොටයි ඩයරි එකක් අස්සෙ තිබිලා මම මේ පින්තූරෙ දැක්කෙ. ඒක දැකපු ගමන් මම මැඩම්ව අඳුනගත්තා.”
“මැඩම්?”
විහාරා ප්‍රශ්න කළාය.
“මැඩම් කියන්න එපා. පුංචි අම්මා කියන්න හසිත්.”
“හසිත් කියන්න එපා. හසිත් අයියා කියන්න නංගි.”
ආරාධ්‍යා පැවසුවාය.
“හරි. දැන් පරණ නෑදෑයො හමු වුනානේ. අපි දැන් ඒ සතුට සමරන්නත් එක්ක කේක් කමු.”… යි ආයුෂ් නැගී සිටියේය.
සිනාසුනු සුහර්ෂා කේක් කපා පළමු කේක් කැබැල්ල කවීන්ට කැව්වාය. දෙවන කේක් කැබැල්ල හසිත්ගේ මුවට ළං කරද්දී සියලු දෙනාම අත් පොලසන් හඬ නැගූහ.
“මට තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා.”
කේක් කපා අවසානයේ රංජනී ගෙන ආ ෆලුඩා වීදුරුවක් අතට ගත් සුහර්ෂා පැවසුවාය.
“හෙට අපි හැමෝම නුවරඑළියෙ යන්න ඕන.”
“නුවරඑළියෙ? ඇයි ඒ?”
විහාරා ප්‍රශ්න කළාය.
“ආරාධ්යගෙයි, මලීෂගෙයි, විහාරගෙයි විතරක් නෙමෙයි. හසිත්ගෙත් සීයයි ආච්චියි බලන්න.”
“අපි දන්න විදියට එහෙම කෙනෙක් නෑනෙ.”
“නැත්තෙ නෑ. ඉන්නවා. සීයගෙයි තාත්තගෙයි විරසකේ නිසා හැමෝම හිටියෙ ඈත් වෙලා. ඒත් මම මගේ දෙමව්පියො අමතක කළේ නෑ. හැම සිංහල අලුත් අවුරුද්දකටම මම හිටියෙ ඒ දෙන්නත් එක්ක.”
“එහෙමනම් ඔයා හොටෙල් එකක ඉන්නවා කිව්වෙ?”
විහාරා පැවසුවේ අමනාප ස්වරයෙනි.
“ඔව්. ඒ සීයා මට දුන්න හොටෙල් එක. අවුරුද්දකට සැරයක් හරි මං ගිහින් බලලා එනවා තාත්තා නොආවට.”
“නඩුවක් හින්දා සීයයි මමයි තරහ වුනා. දැන් ඒ නඩුවට හිටිය පැමිණිලිකාරයොයි, විත්තිකාරයොයි ජීවතුන් අතර ඇත්තෙත් නෑ. ආඩම්බරකාර පොලිස් මාමණ්ඩි බලන්න යන්න ඕන කියලා කීප වරක්ම හිතුවට මගේ ආඩම්බර හිතත් කවදාවත් ඒකට ඉඩ දුන්නෙ නෑ. ඒනිසා දරුවන්ට යන්න දුන්නෙත් නෑ.”
“ඔයාට මම පුලුවන් විදියට තේරුම් කරා කවීන්. ඒ ප්‍රශ්නෙ නිසා නෙවෙයිද අපි දෙන්නා ඈත් වුනේ? මං ආයතනෙට කැප වුනා. ඔයා නඩු වෙනුවෙන් කැප වුනා.”
“ඇත්ත. අපි හැමෝම හෙට උදෙන්ම යමු. යන ගමන හසිත්ගෙ අප්පච්චිවත් බලාගෙනම අපි යමු.”
“හැබැයි එක්කෙනෙක් මෙතනට අඩුයි.”
විහාරා සෙමෙන් පැවසුවද සුහර්ෂාට එය ඇසිණ.
“එයා එක්ක ගමන් යන්න තවම ඔයා පුංචි වැඩියි. තව කල් ගියදෙන්. එතකන් නටන්නෙ නැතිව ඉන්නවා.”
ආරාධ්‍යා හසිත් දෙස බලා සිනාසුනාය.
“හසිත්. අපි ආවට පස්සෙ හෑන්ඩ් මේඩ් පේපර් ප්‍රොජෙක්ට් එක පටන් ගනිමු. ඒකෙ ඉන්චාජ් විදියට අර ටේ්රනින් එකට යවපු ළමයව අපි ගනිමු.”
සුහර්ෂා පැවසුවාය.
“සුහේල්ව?”
දිළිසෙන දෙනෙතින් යුතුව මව දෙස බැලූ විහාරා ඇය වෙත පැමිණ අතොරක් නොමැතිව ඇගේ මුහුණට හාදු දෙන අන්දම සියලු දෙනා බලා සිටියේ සිනා පිරි මුවින් යුතුවය.
සමාප්තයි.
නවකතා ජීවිතයේ නවමු අත්දැකීමක් ලබා දෙමින් බිම්මල් සහ සිහින අසපුව නවකතා smartlady වෙබ් අඩවියට ලියන්නට ආරාධනා කළ කෞමදී මහත්මියටත්, එහි කාර්ය මණ්ඩලයටත් ස්තුතියි. අප යළි හමු නොවුනද මෙම කාලය මුලුල්ලේ ආදරණීය ප්රතිචාරයන් සටහන් කළ ආදරණීය පාඨක ඔබ කිසිදිනෙක මට අමතක නොවනු ඇත. ස්තුතියි.