මා හද මට නැති විට – 02

“අනෝජාගේ භාරකාරයෝ කවුද?”

කඩා බිඳගෙන නැගිටගත් ලාවණ්‍යාට සහයට මෙන් ඉන්ද්‍රා ද නැගිට ගත්තා ය. තේජනම් බලා සිටියේ ගැහෙන හදකිනි. මේ හොඳ ආරංචි ඇහෙන කාලයක් නොවේ.

“මං එයාගේ දුව”

ලාවණ්‍යාගේ හඬ අසීරු මොහොතක පවා මිහිරි බව තේජට හදිසියේ සිතිණ. අම්මාට කොහොමදැයි ඇය ඇසුවේ ගැහෙමිනි. එහෙත් ඇගේ හඬ ගැඹුරු මිහිරක් ඇති හඬක් බව ඔහුගේ හිත කියයි.

“හාට් කේස් එකක් නෑ. ප්‍රෙෂර් තමා. අම්මා මොකුත් ප්‍රශ්නෙකද ඉන්නේ? ඩොක්ට ඔයාට කතා කරනවා.”

හෙදිය කියද්දී ලාවණ්‍යා වහා ඇතුළට ගියා ය. තේජ සැනසුම් සුසුමක් හෙළී ය. මොනවා වුණත් ඇයට අම්මා අහිමි වී නැත. ඇයව දැක්කේ අද බව ඇත්තකි. එහෙත් ඔහුට කුඩා ලියෝන් සිහිපත් විණ. කිසිම දරුවෙකුට අම්මා අහිමි වන්නට ඕනෑ නැත. 

“ප්‍රෙෂර් හැදිලා නතර වෙනවා මදැයි. පපුවෙ අමාරුවක් නෑවිල්ලා. අද ලාවණ්‍යා කෑගහගෙන දුවගෙන එනකොට මට මතක් වුණේ එදා ලාවණ්‍යා ගැන කියාගෙන අනෝජා දුවන් ආව විදිය. අර පෙති බීපු දවසේ.”

ඉන්ද්‍රා එසේ කියන්නේ තමන්ට ද ඉෂාරට ද යන්න තේජට නොවැටහිණ.නමුත් ඉෂාර අම්මාට රවා බැලූ වග ඔහු දිටී ය. හදිසියකදී පිහිට වූ නමුත් තමන් පිට මනුස්සයෙකි. ඔවුන් දිගු කාලීන අසල්වැසියන් වන්නට ඇත. අනෙක් අතට ඉෂාර ලාවණ්‍යාට සලකන්නේ තමන්ගේම සහෝදරියකට වාගේ බව තේජට මේ හෝරා දෙක තුනට වැටහී තිබිණ.

නමුත් එක් දෙයක් පැහැදිලි ය. ඇය ජීවිතය නැති කරගන්නට උත්සාහයක් දරා තිබේ!

අබිරහසක් සොයන ආශාවක් තේජට ඇති විණ. නමුත් එය සොයන්නටනම් ඇය හිතවත් කර ගන්නට ඕනෑ වග ඔහුට ඉනික්බිතිව කල්පනාවට ආවේ ය. 

“ලාවණ්‍යාලා ඒ ගේ රෙන්ට් එකට අරන්ද ඉන්නේ? නැත්තං ඒ එයාලගෙ ගේ ද?”

තේජ ඇසුවේ ඕපාදූපමය නොවන ප්‍රශ්නයකි. මේ පලාත්වල මාවතක ගෙවල් තුන හතරකවත් සිටින්නේ කුලී නිවැසියන් ය. ඒ හන්දා මෙය ඕපාදූපයක් වන්නේත් නැත. 

“අවුරුදු හතරකට කලින් සල්ලිවලට ගත්තු ගේනෙ. දිගටම ඉඳීද නම් අනේ මන්දා”

ඉන්ද්‍රා එතැනින් එහා ද යමක් නොකියන්නට ප්‍රවේසම් විණ. ඒ ඉෂාරගේ සැර බැල්ම නිසා ය. මිනිසුන් රහස් සඟවා ගත් පෙට්ටගම් වග තේජට සිතෙන්නේ මෙහෙම වෙලාවකට ය. නමුත් එයට චෝදනාවක් නඟන්නටත් අසීරු ය.ඔහු ද එහෙම පෙට්ටගමකි. ඒ හන්දා වෙන කෙනෙකුට චෝදනා නොකර ඉන්නට ඔහු සිතා ගත්තේ ය.

“මාව බය කරන්න එපා අම්මා.”

අනෝජාගේ තත්ත්වය දැන් සහමුලින්ම හොඳ අතට හැරී ඇති බව වෛද්‍යවරිය තහවුරු කිරීමෙන් පසු ලාවන්‍යා අම්මාව වැලඳ ගත්තා ය. අනෝජාගේ දෑස්වල කඳුළු ය. ඇය ලාවණ්‍යාගේ පිට අත ගෑවා ය.

“ඔන්න ඔන්න.. ඔයා ඔහොම ඉමෝෂනල් වෙන්න ගත්තොත් අම්මට දවසක් දෙකක් අපි එක්ක ඉන්න වෙයි.”

ලාවණ්‍යාට වෛද්‍යවරිය සොඳුරු තර්ජනයක් කළා ය. ඇය වහා අම්මාගෙන් මෑත් වූවා ය.

“ප්‍රශ්න අපි කාටත් එනවා අම්මා. මම වුණත් මේ පුටුවේ රෑ දොළහටත් වාඩි වෙලා ඉන්න වෙලාවේ මගෙ ගෙදර ප්‍රශ්න උතුරනවා. අම්මා දේවල් හිතන්න එපා. හිතන තරමට අපිව ලෙඩ වෙනවා. මට නම් හිතෙන්නෙ හොඳම දේ අම්මාත් ලාවන්‍යාගේ සයික්‍රැටික්ට පෙන්නන එක.”

වෛද්‍යවරිය එහෙම නිර්දේශයක් කළා ය. මනස ලෙඩ වෙන මොහොතක කායික ආබාධ වහා මතු වේ. මනස රෝගී වෙද්දී එයට ප්‍රතිකාර ගන්නට වයස් භේදයක් තිබිය යුතු ද නොවේ. ඒ ගැන වෛද්‍යවරිය අනෝජාට දීර්ඝව පැහැදිලි කළා ය. අනෝජා විශ්‍රාමලත් රජයේ නිලධාරිනියකි. ඇයට මේවා හොඳින් වැටහේ. නමුත් අම්මාකම සියල්ලටම ඉහළින් ය.

“දුවගේ ප්‍රශ්න එකක්වත්ම එයා විහින් දාගත්තුවා නෙවේනෙ අම්මා. ඔය වගේ ප්‍රශ්න ගෑනුන්ට එනවා. එතනදි දුව වැරදිත් නෑ. එයාගෙ තීරණේ නිර්භීතයි. අම්මා එයාට උදව් කරනවා මිසක මෙහෙම ලෙඩ වෙන්න නරකයි.”

අනෝජා ඒ වග ද දන්නී ය. නමුත් වේදනාව නම් ලසඳනී ද ලිහිණි ද තරම් ලාවන්‍යා මනසින් ශක්තිමත් නැති බව ඇය දැන සිටීම ය.ලොකු කෙල්ලන් දෙදෙනා මෙහෙම ගැටලුවකට නොව හිරේ විලංගුවේ වැටෙන ගැටළුවක පැටලුණ ද ගොඩ එන්නට දන්නා බව අනෝජා දන්නී ය.

නමුත් ලාවණ්‍යා ඕනෑවටත් වඩා අහිංසක ය.

නිවසට පැමිණීමෙන් මතු නොව එන මඟදී පවා ලාවණ්‍යා තේජට කිහිප වාරයක්ම ස්තූති කළා ය. වාහනයත් රැගෙන යන්නට බැරිදැයි මුලදී ඇසූ මිනිසාට ඔය තරම් ස්තූති නොකළ යුතු බව ඉෂාරටනම් සිතේ. කොහොමටත් අක්කා හැදෙන්නේ නැත. දවස් තුන හතරක් යන්නට හැර දෙකක් කියන්නට ඉෂාර සිතා ගත්තේ ය.

“කෙනෙක් කරදරේක වැටුණාම උදව් කරන එක මේ සිංහල රටේ සිරිතනෙ නංගි. මමයි පුතයි මේ ගෙදර තනියම ඉන්නවා. ඔයාලා ඔතන ඉන්නවා. සෝමෙ අංකල්ලා එහා පැත්තේ ඉන්නවා. මං තාම අනිත් අය හරියට දැකලවත් නෑ. ඉතිං අපි කාටත් එක්කෙනාට එක්කෙනා උදව් ගන්න වෙලාවක් එනවා. ඕකට ඔච්චර ස්තූතියි කියන්න ඕන්නෑ. තනියම ඉන්න මටයි පුතාටයි වුණත් උදව් කරන්න වෙලාවක් ඔයාලට එන්න බැරි නෑනෙ”

තේජ ඇගේ අවසාන ස්තූතිය පිළි ගත්තේ අම්මාව නිවස තුළින් තබා ලාවන්‍යා නැවත පිටතට පැමිණ තේජට ස්තූති කරද්දී ය.ඔහු එය හැකිතාක් ආචාරශීලීව කරන්නට මතක තබා ගත්තේ ය. එයට හේතු දෙකක් වේ. පළමුවැන්න ඒ ඔහුගේ සාමාන්‍ය ක්‍රමය ය. මිනිසුන් සමඟ ආචාරශීලිව සහ වෘත්තිමය ආකාරයට ගනුදෙනු කිරීම ඇඟ බේරා ගැනීමට පහසුවක් බව ඔහු විශ්වාස කරයි. දෙවැන්න නම් ඔහුට කෝපය අවුළුවන හේතුවකි. ඉෂාර ඇය අසලටම වී සිටියි. ලාවන්‍යා ද පාසල් වයසේ හෝ ඊට ආසන්න වයසක වූවානම් එයට හේතුව පැහැදිලි ය. නමුත් මේ කොලුවා ලාවන්‍යා රකින්නේ සහෝදර බැම්මක් ඔළුවට අරගෙන ය. ඒ හන්දා ඕනෑවට වඩා ළතෙත් වීම අනවශ්‍ය ය.

එහෙත් ආචාරශීලීව හෝ නිවසේ හිඳින්නේ තනිවම බව කියාගන්නට ලැබීම ගැන ඔහුට සතුටක් දැනිණ. එය ඇය දැන ගැනීම නරක නැත. සමහරවිට එය දිග කතාවක ආරම්භයක් වන්නට පවා ඉඩ තිබේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles