ඉන්දියාවේ තරමක් කර්කශ ප්‍රදේශයක් වූ කර්ණාටකයේ කුඩා ගමක ඇය ජීවත් වුණා.ඇය කම්කරු වෘත්තියේ නිරත වුණා. විවාහයට විසිපස් වසරක් ගෙවී ගියත් තිම්මක්කාට දරු සුරතල් බැලීමේ හැකියාවක් තිබුණේ නෑ. ආසියාතික රටවල ගැහැනුන් මුහුණ දෙන පොදු ප්‍රශ්නයට මුහුණ දෙන්නට පටන් ගත්තා. ඇය වඳ ගැහැනියක ලෙස නිරන්තරයෙන් අවලාද වලට ලක් වන්නට පටන් ගත්තා. මේ අවලාද දැරිය හැකි සීමාවෙන් එපිටට යන්නට පටන් ගත්තා. තිම්මක්කා සමහර අවස්ථාවලදී සිය දිවි නසා ගන්නට පවා කල්පනා කළා.
හැම කෙනෙකුට ජීවිතයේ රිදවීම් ලැබෙනවා. රිදීම් ලබමින් සිටියදී ඒවා නැති කරගන්නට කුමක් හෝ මාවතක් හැම කෙනෙකුටම විවර වෙනවා. තිම්මක්කාට ද එවැනි අදහසක් පහළ වුණා.
“මට දරුවෝ හදන්න බෑ තමයි. ඒත් මම මේ කර්කශ පරිසරයට ගස් හිටවනවා.”
ඇය තීරණයකට ආවා. සැමියාගේ ද උදව් ඇතිව පස සකස් කළා. ඉන්පසු ඇය පාර දෙපැත්තේ නුග පැල සිටවන්නට පටන් ගත්තා. ඒ බොහෝ කාලයක් තිස්සේ එක ජල බිඳක් නුදුටු පොළොවක්. නමුත් ඇය ඒ පොළොවේ හරිහරියට හැප්පෙන්නට තීරණය කළා. වැස්ස නැති කාලයේ ඉන්ද්‍ර දෙවියන්ට පුද පූජා පැවැත්වීම, ඈතට ගොස් වතුර ගෙන ඒම, කැලෑ සතුන්ගෙන් පැළ රැක ගන්නට ඉඩමේ කුඩා පැළ වගා කිරීම ඇය ඉතා ධෛර්යමත් ව සිදු කළා. නුග පැළ දවසින් දවස වැඩෙන්නට පටන් ගත්තා.
දැන් පාර දෙපස සිසිල් සෙවණ ඇති නුග ගස් වැඩී අවසන්. කර්කශ පරිසරයක් වන අරණක් වී තිබුණා. වඳ ගැහැනිය ගම්මුන් අතර වීරවරියක බවට පත් වුණා. මේ සියල්ල අතර ඈ ගොවිතැන් කටයුතුද සිදු කළා.ඇගේ සැමියා මිය ගියත් ඇය ඒ ගස් වැවීම අත් හැරියේ නෑ.
“කර්ණාටයේ ගස් අම්මා” ඒ තිම්මක්කාව ඉන්දියාව පුරා ජනප්‍රිය වූ නමයි. ඇය පරිසරය ගැන ගුරුහරුකම් දෙන්නියක් වුණා. Saalumarada Thimmakka International Foundation නම් පරිසර සංවිධානයක් ද බිහි වුණා.තිම්මක්කා අකුරු කියවීමට හෝ ලිවීමට දන්නේ නෑ. නමුත් ඇගේ කතාව ඉන්දියාවේ පාසල් විෂය මාලාවට ඇතුළත් වී අවසන්. ඇය 2019 දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා.
ඇගේ පරිසර දැනුම ලබා ගන්නට ආ උමේෂ් නම් තරුණයා ඇයට මවකට සේ ආදරය කරන්නට ගත්තා. ඔහු දැන් තිම්මක්කාගේ හදා ගත් පුතු බවට පත් වී අවසන්. 2020 වසරේදි Central University of Karnataka විසින් තිම්මක්කාට ගෞරව උපාධියක් ද පිරිනැමුණා.
ජීවිතය තුළ රිදීම් බිඳීම්වලට ලක් වූ ගැහැනුන්ට ඇගේ වේදනාව ගැන කියමින් රිදවීම ඉතාම කමකට නැති වැඩක්. එවැනි පීඩා ලැබූ ගැහැනුන් හිස ඔසවන්නේ ද අලුත් සංකල්ප හඹා යන්නේ ද කිසිවෙකුටත් සිතා ගන්නට නොහැකි ලෙසයි. පරිසරය කෙරෙහි ප්‍රේමයෙන් බැඳී සොබාදහමට අම්මා කෙනෙකු වූ තිම්මක්කා ඒ කතාවට සජීවී උදාහරණයක්.