“අඩේ උඹ මාර ලස්සන වෙලානෙ මේ දවසට දෙකට”
නිලුපුලීගේ සිහිනමය අහුර බිඳ වැටුණේ රුක්ෂානිගේ හඬට ය. ඇය අසීරු සිනාවක් නගා ගන්නට තැත් කළා ය. රුක්ෂානි හොඳම යාළුවා වූ දවස් තිබූ වග ඇත්තකි. එහෙත් අවංක හදවත ඇයට විවෘත කිරීම කිසිම අයුරකින් කළ නොහැක්කකි.
“නිලුවා වැඩට ගිහින් එතන ලොක්කගෙ හොර ගෑනිත් වෙලා. “
එහෙම කතාවක් වත්තේ අස්සක් මුල්ලක් නෑර පතුරන්නට ඉඩ ලබා දිය යුතු නොවේ. නිලුපුලී වචන සේරෝම ගිල ගත්තා ය.
“ඒසී එකට වෙලා ඉන්න නිසයි මල් අස්සෙ ඉන්න නිසයි වෙන්නැති.”
ඇය එහෙම කියද්දී රුක්ෂානාට කියන්නට වෙනත් කතාවක් තිබිණ. නිලුපුලී රස්සාවට යන්නේ “මල් කඩයකට” වග දැනගත් දිනයේ පටන්ම ඇයට ඒ කතාව අහන්නට ඕනෑ වී තිබිණ.
“ඇත්තටම ඇයි බං මිනිස්සු ඔය සල්ලි වියදම් කර කර මල් යවන්නෙ? ඊට වඩා වැදගත් තෑගි නැද්ද? දවසකින් පර වෙන මල් යව යව මොකක්ද ඒ නටන නාඩගම.”
ප්‍රේමය මලක නැවතී තිබෙන්නට පුලුවන් වග රුක්ෂානිට තේරුම් කරන්නට නිලුපුලී ළඟ වචන නොවේ. සමහර ප්‍රේමවන්තයන් තම පෙම්වතියට රතු රෝස මල් යවන්නේ ඉතා විශාල මුදලක් වියදම් කිරීමෙන් අනතුරුව ය.නමුත් එක් දෙයකි. ඒ සල්ලිකාර මිනිස්සු ය. ආදරය කරන්නට පවා සල්ලි ඕනෑ බව සිතෙන්නේ මේ වත්තේ පිරිමි ගැහැනුන්ට සලකන ආකාරය දකිද්දී ය.
“ප්‍රේමය කවදාවත්ම තර්ක කරන්නේ නෑ. ප්‍රේමය තුළ විවාද නෑ ඒකට හේතුව ප්‍රේමය ඇතුළේ කිසිම ආක්‍රමණයක් නෑ.ප්‍රේමය ඉමිහිරි කතා කවි ගීත මුමුණනවා. හොඳින් ඇහුම්කන් දෙන ගමන් බලන්න. ගස් වැල් මහමුහුද කඳු ගංගා පවා ප්‍රේමයෙන් කියලා දැන ගන්න පුලුවන්. ප්‍රේමය ඒ වගේ දෙයක්.හැබැයි ගැටලුව ඔයා කොහොම කෙනෙක් ද කියලා”
නිලුපුලී දුරකථන තිරය දෙස බලාගෙන කියවාගෙන ගියා ය. රස්සාවට යන්නට ගත් විට ඇයට පිස්සු වැටී ඇතිදැයි රුක්ෂානි බලා සිටියේ පුදුමයෙනි.
“ඒක කියලා තියෙන්නේ ඕෂෝ. දාර්ශනිකයෙක්. අද කොල්ලෙක් එයාගේ කෙල්ලට යවපු මල් බොකේ එකේ ඕකත් අමුණලා යැව්වා.”
කැත නොසරුප් බස් පමණක් අසන්නට ලැබෙන රුක්ෂානා පුදුම වූවා ය.අඩුම තරමේ එහි තිබෙන්නේ මොනවාදැයි වත් කියන්නට ඇයට නොතේරේ. එහෙව් කොට මේවා ලැබෙන කෙල්ලන්ට ඒවායින් අත් වෙන සතුට ඇයට සිතා ගන්නට අසීරු ය.
“මට ජීවිතේ ප්‍රථම පිවිතුරු ප්‍රේමෙ පුදන ගෑනු මට ඕනෑ නෑ
මට ඕන ජීවිතේ විඳින ගෑනු.සැහැල්ලුවෙන් පාවෙන ගෑනු.මාව අයිති කරගන්න නොහිතා මාත් එක්ක ඉන්න මොහොත අයිති කරගන්න ගෑනු..”
ඒ කතාව ලියන්නේ තවත් තරුණයෙකි.ඔහු පෙම්වතියට යැව්වේ ලිලී මල් පොකුරකි. ඒ ඇගේ විවාහය වෙනුවෙනි.ඔහු පෙම් කරන ඇය වෙනත් තරුණයෙක් සමඟ විවාහ වන්නට සූදානම් වෙමින් සිටියි.
“ඉන්න මොහොත අයිති කර ගන්නවා කියන්නෙ මොකක්ද කියහංකො. ඌ මෙතනින් පස්සෙ ඒකිගෙ හොර මිනිහා. ඒකට කොච්චර ලස්සන ආටෝප දුන්නත් වැඩක් නෑ.”
රුක්ෂානා කියයි. ප්‍රේමය කියන්නේ අයත් කර ගැනීමක් නොවන බවට ඇය හා තර්ක කිරීම තේරුමක් ඇත්තේම නැති වැඩකි. රුක්ෂානාගෙන් සමුගන්නට නිලුපුලී හිතුවේ ඒ හන්දා ය. ඇයට කල්පනා කරන්නට ඕනෑතරම් දේවල් තිබේ. ඒවා හිතන්නට ඕනෑ තනිවම ය. රුක්ෂානා ඒ සිතුවිලි වලට කුඩා වැඩි ය.
නිලුපුලී නිවසට එද්දී අම්මා නිවසේ නොසිටියා ය. ඇය තවමත් කොහේ හෝ නිවසක මෙහෙකාරකම ය. ආච්චිවත් සිටියා නම් මොනතරම් නොසරුප් බස් දුන්න ද තනිකමක් දැනෙන්නේ නැත.
“කෝ ආච්චේ මගෙ තාත්තා.”
ඒ ප්‍රශ්නය අසන්නට අම්මා නැති මොහොතක් බලා ඇය ආච්චිගෙන් විමසුවේ ළදැරියක කාලයේ සිට ය.
“උඹේ අප්පා මොකාද කියල උඹේ අම්ම දන්නෙත් නෑ..”
මැහැල්ල ඉන්පසු අසභ්‍ය වචන මාලාවක් ඇද දමන අන්දම සිහි වද්දී බිත්තියක මතුපිටෙහි හිස හප්පාගන්නා තරමේ කෝපයක් නිලුපුලීට මතුව එයි.
“ඒ නාකිච්චි හරියට හිටියනම් අම්මට ඔහොම වෙන් නෑ කෙල්ලෙ..”
කඩේ ගෙදර නැන්දා නිලුපුලීට එවගක් පැවසුවේ වතාවක් දෙකක් නොවේ.දහස් වාරයකි.ආදරය කියන වචනයේ තේරුමක්වත් නොදන්නා අප්‍රසන්න මැහැල්ල සම්බන්ධයෙන් කෝප ගන්නට නිලුපුලීට ඒ වචන ද හොඳ ඉන්ධනයක් විණ.
අම්මාගේ ආදරය ද තාත්තාගේ සේයාවක් ද නොදැන උස්මහත් වූ කෙල්ලක ආදරය කරන්නට දන්නේ නැත. ඉතින් රදීෂ් අහස්‍යාට කතා කරද්දී ඒ ප්‍රේමණීය හඬ දරා ගන්නට ඇයට අසීරු වන්නේ ඒ නිසා ය.ජීවිතය තුළ විඳදරා ගත් තාඩන පීඩන අවසානය සැපයෙන් කෙළවර කර ගන්නට ඇය සිතූ බව සත්‍යයකි.නමුත් ආදරය ගැන හැඟීමක්වත් නැතිව හැදී වැඩුණු කෙල්ලකට මේ දැනෙන අමුතු හැඟීම ඉතා අසීරු ය.