මම වෙන ම මලක් – 14

“මේ නංගි අපි කිට්ටුවෙන් ආස්සරේ කරන පවුලක ළමයෙක්.එයාට ආසාවක් තිබ්බා ස්ටුඩියෝ එකකට ගිහින් බලන්න එහෙම. මං එයාව එක්කන් එන්නේ ඒකයි.නැතුව රදීෂ්ට ඕනෑ නෑ යන යන තැන මගේ ආරක්ෂාවට කවුරුත් යවන්න.”

අහස්‍යා එසේ කියද්දී දුලාජ් උස් හඬින් හිනැහිණ. ඔහු කැමති කුරුලු කූඩු වලට ගල් ගසන්නට ය. ඉනික්බිතිව සිදු වන දෑ හන්දා වාසිය ඔහුට ය.

අහස්‍යා දුලාජ්ව එක්තරා සීමාවක තබන අන්දම නිලුපුලී බලා සිටියේ ආශාවෙනි. දුලාජ් කියන්නේ වශී වෙන සුළු මිනිසෙකු බව සත්‍යයක් නමුත් ඇයට එහෙම වශී වන්නට ඕනෑකමක් නැති බව අහස්‍යා අඟවයි.ප්‍රේමය රැක ගැනීම අසීරු නැති බව නිලුපුලීට සිතිණ. ඇය වත්තේ දකින්නේ ම කැඩී බිඳී විසිර යන පවුල් ය. අනියම් සම්බන්ධතා කියන්නේ මොනවාදැයි ඇය කුඩා කාලයේ පටන්ම ලුණු ඇඹුල් ඇතිව දැන සිටියා ය. එක අතකට ඒ හන්දා අනියම් සම්බන්ධතා කියන්නේ  නිලුපුලීට නම් අතිශය සාමාන්‍ය කතාවකි. එහෙත් එවැන්නක් සාමාන්‍ය විය යුතු නැති බව ඇයට දැනෙන්නේ අහස්‍යා හන්දා ය.

දුලාජ් කල්පනා කළේ අහස්‍යා සහ සෙව්වන්දි අතර වෙනස ගැන ය. ඔහුට සිදුවීමක් සිහිව ආයේ ය.

ඔයාට දුක් වෙන්න හේතුවක් නෑනෙ.මගේ ලයිෆ් එකේ හොඳම කොටස ඔයා..” දුලාජ් එසේ පවසද්දී සෙව්වන්දිට සිහින් සිනාවක් නැගිණ. ඒ ඔවුන්ගේ ප්‍රේමය ගැන ඇය දුකින් පසු වෙන බව කියද්දී ය.

“තිරේ පිටිපස්සේ පෙම්වතියක් වෙන එකේ තියෙන රහ මොකද්ද” ඇය කියන්නේ සුසුම් සර අතරිනි. සැබෑවකි. සෙව්වන්දිට එළිපිට ආදරය කරන්නට ඉඩ තිබුණේම නැති තරම් ය. ඇගේ මුල් විවාහයේ දික්කසාදය පවා ඇයට ලැබී නැත.

“තිරය පිටිපස්සෙ උනාට  මගේ මනුස්සයගෙ හදවතේ ඉස්සරහ ඉන්නෙ ඔයා හින්ද.ඔයා දන්නවද  කසාද ගෑනි උනානම් මටත් සාමාන්‍ය ගෑනියෙක්.ඊටපස්සෙ මට ඔයාව නැති වෙනවට බයක් නෑ.ඊට පස්සෙ මේ තියන අසීමාන්තික ආදරේ කොහොමත් නෑ..”

එය අසත්‍යයක් නොවන බව සෙව්වන්දි සිතුවා ය.නමුත් මේ සැඟවීම සහ ඔහු අහිමිදැයි බියට පත් වීම ඇයට ඇත්තටම දරන්නට අපහසුම හැඟීමකි. නමුත් ඇය එය දරා ඉන්නට ද තීරණය කළා ය.

“කසාදයක් කියන්නෙම ආදරේ නාකි වෙන එකට සෙව්..ඕක මේ පිස්සු වැටෙන්න ආදරේ කරන්න දන්න ඔයාට මට උනත් පොදු ලක්ෂණයක්.ඊටපස්සේ ජීවිතේ එක තැන පල් වෙනව..”

ඒ දුලාජ්ගේ ජීවන දර්ශනය ය.නමුත් සෙව්වන්දි තමන්ගේම පවුලකට ප්‍රිය කළා ය.සිහින දැක්කා ය.හදවතේ හට ගත් නොසංසිඳෙන ආදරය හන්දාම ඒ පවුල ගොඩ නගන්නට ඇයට අවශ්‍ය වූයේ දුලාජ්ම  ය.ඉටු නොවන සිහිනයක් වෙනුවෙන් සෙව්වන්දිට හූල්ලන්නට වූයේ ද එනිසාම ය.

“ආදරේ ඔන්නොහෙ තිබ්බදෙන් කියල හිත හදාගන්න ගෑනුන්ට බෑ දුලාජ්.ඒක හරි අමාරුයි.ඒ උනාට කරන්නම දෙයක් නැත්නම් එහෙම ඉන්නත් වෙනව..”

ඇය දුක්ඛිත හඬකින් එසේ කියද්දී දුලාජ්ට ආදරය නිසා පීඩා විඳින මේ ගැහැනිය ගැන දුකක් නොදැනුණා ද නොවේ.එනමුත් ඔහුට කැපකිරීම් කරන්නට අවශ්‍ය වූයේ නැත.එය කරන්නටම ඕනෑ දෙයක් නොවේ.

“රුක්මනී දේවි කිව්වට ආදරේ හින්දා ජීවිත හානි කර ගන්න ඕන නෑ සෙව්.විඳින්න එච්චරයි.විඳවන්න එපා.ජීවිතේ හැම මොහොතක්ම වින්දම ඇති.ඔයාලා නොකරන්නෙම ඒක.පිරිමියෙක් තමන්ට හිර කරගන්න හිතාගෙන කුරු කුරු ගානවට වඩා ආදරෙන් ඉන්න එක සහනයක් කියල හිතනවනම් ඔයාලත් සතුටින් අපිත් සතුටින්..

එවැනි පණ්ඩිත කතා රැල් බුරුල් ඇතිව අහස්‍යාට කියන්නට ගියහොත් කුමක් වේදැයි දුලාජ් සිතී ය. ලොකු කාරණා ඕනෑ නැත. ඇය රදීෂ්ව ඉස් මුදුනේ තබා පිළි ගැනීම පවා කිසි විටෙක නවත්වන්නේ නැත. ඒවා නවත්වන්නට හැකියාවක් ද නැත. 

“ඇත්ත ආදරයක් ජීවිතෙන් අයින් කරගන්න එපා.ඊටපස්සේ ඇවිදින මළ මිනියක් වෙන්න වෙනව.කසාද බඳින්න දරුවො හදන්න බැරි උනාට කමක් නෑ.ඇත්ත ආදරේකට ජීවිතෙන් යන්න ඉඩ තියන්න එපා.”

ඒ අහස්‍යා නිතරෝම පවසන කතාවකි. ඇත්ත ආදරයක් යැයි කෙහෙල්මලක් ලෝකයේ නැති බවත් ඇත්තේ ආකර්ෂණය පමණක්ම බවත් කියන්නට දුලාජ්ට අනේක වාරයක් සිතෙයි.

නමුත් අහස්‍යා කියන්නේ ප්‍රවේසම් සහගතව ගනුදෙනු කළ යුතු වර්ගයේ ගැහැනියකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles