මිදුලේ අඹ ගස යට තැන්පත් කොට ඇති පරණ සිමෙන්ති බංකුව මත වූ පොත් ටික උඩට, තද දම් පාට මලක් කැරකී විත් පතිත විය. ඒ මල් පිපෙන්නේ අඹ ගසට නැගී ඇති මල් වැලේ ය. මල් වැල අඹ ගසේ පදාසයක් ම වසා ගෙන ඇති නිසා හොඳින් ගෙඩි හට ගන්නේ නැතැයි අසල් වාසීන් ද ඉඳ හිට ගෙදරට ගොඩ වන අම්මා ගේ ඥාතීන් ද කොතෙකුත් කියා තිබේ. නමුත් මල් වැල කපා දමන්නට කිසි දා අපට උවමනා වී නැත. නිතර නිතර මේ මල් වැල දම් පාට මල් පොකුරු වලින් බර වෙයි. ඒ පොකුරු කැරලි මෙන් දිගටි ය. ලා දම් පාට මනි පත්‍රය තුළ තද දම් පාට කවාකාර මලක් හට ගනී. මා කුඩා කල පටන් ම මේ මල් නිතර නිතර නෙත ගැටී ද තවමත් මා ඒ මල් වලට කියනා නමක් දන්නේ නැත!
මල පතිත වූයේ විහාර වෛශාක්‍ය අමරසිංහ ගේ ගෘහ සේවකයා විසින් මා අත පත් කරන ලද පාර්සලය තුල වූ කවි පොත් කිහිපය මතට ය. එතැන ප්‍රවීණ කිවිවරුන් ගේ සේ ම නූතන කවි කිවිඳියන් ගේ පොත් කිහිපයක් ද තිබිණ.
මා ආවොත් දෙන්න ය කියා විහාර ඒවා සේවකයා අතට පත් කොට යාමෙහි අරුතක් මට තවමත් සිතා ගත නො හැකි ය. නූරි ට නම් ඒ ගැන අදහසක් තිබිණි.
“ඔයා කෙත්මින් එක්ක මුකුළු කළේ බොරුවට කියල නොතේරෙන්න එයා බබෙක් නෙවේනෙ. ඔව් ඒ වෙලාවෙ හර්ට් වෙන්න ඇති. බොරුවට වුණත් තමං ආදරේ කරන කෙල්ල වෙන කොල්ලෙක්ට ලං වෙලා මාර සතුටක් පෙන්නනකොට ඕන කොල්ලෙක්ට හර්ට් වෙනවනෙ. හැබැයි ඔයා එයාගෙං මොනාද බලාපොරොත්තු වෙන්නෙ කියල එයාට නොතේරෙන්න විදිහක් නෑ. ඒ වගේම ඒක එයාට යන්න ඕනම වෙලා තිබුණ ඒත් ඔයා ඇස් වලින් මේ පැත්තට අදින නිසා යා ගන්න බැරි වෙලා හිටිය ගමනක්. මේ වගේ කන්ඩිශන් එකකදි එහෙම ඉක්මන් තීරණයක් ගන්න ලේසියි. වොච්මන් ඔහොම කිව්වට විහාර කතා නොකර ඉන්නව වෙන්න බෑ. තාම කතා නොකළත් කතා කරයි. විහාර ඕක තියල යන්න ඇත්තෙ ඔයා එයාව හොයනව ද කියල දැනගන්න සිග්නල් එකක් විදිහට. කවද හරි එයා දැන ගන්නව ඕක ඔයා ගෙනිච්ච කියල. ඒ කියන්නෙ ඔයා තාමත් එයා ගැන හිතනව කියල”
නූරි ගේ අනුමානය හරි ද වැරදි ද කියා කියන්නට නිශ්චිත ව මා දන්නේ නැත. නමුත් එය එසේයි සිතන්නට මම ද රිසි වෙමි.
මේ කවි පොත් වල තැන් තැන් වලින් මම අහඹු ලෙස කවි කිහිපයක් කියවීමි. මට ඒ තැන් වලින් ‘ඔහු සුවඳ’ දැනේ!
ඒ විදිහට විහාර ව පිටත් කොට හැරීම ගැන නූරි ද මට දොස් කී එකේ, මගේ කතාව දන්නා ඔබ උරණ නොවී නො සිටින බව මම දනිමි. ඇතැම් විට මින් මනතට මගේ කතාව නො කියවනවා කියා එදා ම ඔබ තීරණය කරන්නට ද ඇත. තනි කැමැත්තට විවාහ වෙමු කියා නිමල් කෙතරම් ඇවිටිලි කළත් ‘අම්මා ගේ කැමැත්ත අරගෙන එන්න’ කියමින් කුසුම් ඔහු ව ජීවිතයෙන් ඈත් කොට තබත්දී විඳි වේදනාව මට ද අමතක කළ නො හැකි ය. ඉන් ඉදිරියට ‘ගැහැනු ළමයි’ කියවන්නේ නෑ කියා එදා මම සිතුවෙමි. නමුත් කී වාරයක් එය කියවූවා දැයි මා වුව දන්නේ නැත.
කමලාවතී ගේ විරුද්ධත්වය මත නිමල් හා විවාහ වී නම් කිසි දා සැනසීමෙන් ඉතිරි ජීවිතය ගෙවන්නට කුසුම් ට නො හැකි වන වග මට හරියට ම දැනෙන්නේ දැන් ය. විහාර මා සන්තකයේ ලෝභ කමින් රඳවා ගෙන සිටියේ වී නම් මටත් කිසි දා සැනසීමකින් හුස්ම ගත නො හැකි වනු ඇත. ඒ වරදකාර හැඟීම ප්‍රේමයේ සියල් සුන්දරත්වයන් ගිනිබත් කොට දමනු ඇත.
ඔහු ආයේ ඒවි දැයි මා දන්නේ නැත. මේ අහසත් පොළොවත් අතරේ සිදු වන්නේ අප කිසි සේත් අපේක්ෂා කරන දේවල් නො වන බැවිනි. නමුත් මා අස සුවඳක් ඉතිරි වී තියේ. ඒ වින්ටේජමය සුවඳට මම ‘ඔහු සුවඳ’ කියා කියමි.
උදේ සිට ම අහසේ මන්දාරම් ගතියක් තියේ. පසළොස්වක පෝය නිසා වැස්සක් කඩා වැටිය හැකි යයි අම්මා කීවා ය. පෝය නිසා අද ‘විශ් යූ’ විවර කළේ නැත. නූරි මිගාර ගේ ගෙදර අය සමග කැළණි පන්සල් යන බව කීවා ය. මීට පෙර නම් පෝයට විවිධ පන්සල් වලට ගියේ අප දෙදෙනා ය. ඇතැම් විට අම්මලා දෙදෙනා ද අප හා පැමිණියහ. නමුත් දැන් එහෙම බැරි ය. ඇයට වෙන ම ජීවිතයක් තිබේ. කාලය වෙනස් වෙමින් යයි. කාලයත් එක්ක ජීවිත ද වෙනස් කම් වලට හසු වෙයි. අප කැමති වී ද නො කැමති වී ද ඒ වෙනස් කළ නො හැකි ය. ජීවිතය කියන්නේ එහෙම දෙයකි!
ගේට්ටුව විවර වන හඬක් ඇසුණෙන් මම හැරී බැලුවෙමි. සුජානි ඇතුළට එමින් සිටියා ය. මම එසේ සිටිමින් ම “අම්මේ” යි හඬ ගෑවෙමි. මා එසේ කෑ ගසන්නට හේතු කාලයක් තිස්සේ ම දන්නා නිසාවෙන් දෝ අම්මා මහන මැෂිම නතර කොට දොරකඩට ආවා ය.
තාත්තා ජීවත් ව සිටින කාලයේ අපට ඔවුන් හා ඇසුරක් වූයේ නැත. තාත්තා මිය ගිය ඉක්බිති අලුත් නෑ කමක් අප අතර ඇති වී තියේ.
සුජානි ඇවිත් තිබුණේ දින කිහිපයකින් ඇය මැද පෙරදිග ගෘහ සේවය සඳහා නික්ම යන බව කියන්නට ය.
“මෙහෙ ඉඳල මොන මගුලක් කරල කොහොම ජීවත් වෙන්නද…අර කෙල්ලට හරි යන කල දසාවක් තියෙන්න එපැයි. අඩු ගානෙ අපිට වැටිල ඉන්න තැනක් හරි තියනවද…ගෙවල් අයිතිකාරයො දැං ඇති පලයල්ල කියනකොට අකුලගෙන යන්න ඕනෙ”
ඒ ඇය හිතා මතා අප වෙත එල්ල කළ කම්මුල් පහරක් ද කියන්නට නො දනිමි. නමුත් මගේ පපුවේ නම් ඒ වචන ටික වැදිණ. නීතියෙන් කෙසේ වී ද හෘදය සාක්ෂියෙන් මට හා අම්මාට තාත්තා සම්බන්ධයෙන් වන සියල් අයිතිවාසිකම් ඔවුන් ට ද හිමි විය යුතු ය කියා මට සිතේ.
“ඉතිං දුව කොහෙද තියල යන්නෙ..”
අම්මා ඒ පැනය නැගූවේ මා එය අසන්නට කට ගන්නකොට ම ය.
“කෙල්ලව අපේ නංගි කෙනෙක්ගෙ ගෙදර නතර කරනව. ඒජන්සියෙන් ගාණක් දෙනව මැද පෙරදිග යනකොට. මටත් හම්බුණා බාගයක්. ඉතුරු ටික යද්දි දෙනව කිව්ව. ලක්ෂයක් නංගිලට දුන්න…වීල් එකක් ගන්න. එතකොට කෙල්ල ඉන්නවට හිලව්වට අපිත් දෙයක් කරල තියනවනෙ. උං වීල් එකක් ගන්න සල්ලි මදි කියල කියෝ කියෝ හිටියෙ. ඉතිං පැනල බාර ගත්ත කෙල්ලව. මොනා වුණත් ඒක මට ඔළුවට නිදහසක්. පුළුවන් වෙලාවක ඉනෝකලත් ඒකි ගැන පොඩ්ඩක් බලන්න. මොකද්ද කෝස් එකකට බඳින්න සල්ලි ඕනෙ කිය කිය හිටියෙ.මං ඒකත් ඒකිට දීලයි යන්නෙ”
“ළමයව තියල යන්නෙ විශ්වාසවන්ත තැනකනං කමක් නෑ”
අම්මා සුසුමකින් කීවා ය. සුජානි යළි නික්ම ගියේ මා නො දන්නා බරක් මගේ පපුව මත පටවා තබා ය. ඒ බර කුමක් ද කියා හෝ කුමක් නිසා හට ගත්තක් ද කියන්නට මා දන්නේ නැත. වේදනාත්මක සීරීමක් කියා විතරක් දනිමි.
පසළොස්වක සඳ තුරු වියනට මතින් නැගෙනහිර අහසට පනිනකොටත් මා හිටියේ ආලින්දයට ගොඩ වෙන පඩිය මත හිඳගෙන අහස දෙස බලා ගෙන ය. දෙතුන් දවසක සිට දුරකතනය ගැන තිබූ අවධානය අතැර දමන්නට මම හිතා ගතිමි. ඔහු යා යුතු ව තිබූ බව ඇත්ත ය. මා යන්න කියූ බවත් ඇත්ත ය. නමුත් ඔහු ට එහි ගිය බවට එක පණිවිඩයක් තබන්නට බැරි වන්නේ නැත. ඔහු වෙත ප්‍රවේශ විය හැකි සියලු සන්නිවේදන මාර්ග අවහිර කොට ගෙන ඔහු සැඟවී ගියේ මන්දැයි මට සිතා ගත නො හැකි ය. වේදනාවක් නිරන්තර හිතේ වූවත් මම විහාර ගැන අහිතක් හිතන්නට නො යමි. ඇතැම් කතා අප හිතන ස්වරූපයේ ඒවා නො වන බව තාත්තා මට පසක් කොට දී ගියේ ය!
සුළි කුණාටු, සුනාමි, මෝසම් වැහි, සංවහන ප්‍රවාහ, හිම පතන, අයිස් වර්ෂා ඒ කවරක් වී ද ඇවිත් ගිය පසු සොබා දහම යළි සාමාන්‍ය තත්වයට පත් වන්නේ ඒ කිසිත් සිදු වූවායි නො දන්නා සේ ය. විහාර ගේ නික්ම යාමත් එක්ක කැළඹුණු මගේ ජීවිතය එම සිදුවීමෙන් මාසයක් දෙකක් ඉක්ම යන විට පරණ පුරුදු ජීවිතය සේ සාමාන්‍යකරණය වෙමින් තිබියේ ද එසේ ය. දෛනික කටයුතු පෙර පරිදි ම විය. නමුත් පෙත් මගෙහි වැටකින් මලක් කඩත්දීත්, වැටේ හිස් තැනකින් හබරල ගහක් දකිත්දීත් උදර පෙදෙසේ සිට දැවිල්ලක් ඉහළට ආවේ ය.
විශේෂ යමකට කියා වූයේ තාත්තා ගේ තුන් මාසයේ දාන කටයුතු සිදු කිරීම පමණකි. ඒ දින වල මා නංගී ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගන්නට කිහිප විටක් උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. ඇය නතර වෙනවා කී නිවස පිහිටි තැනක් ගැන තොරතුරක් අප දැන සිටියේ ද නැත. ඒ අනුව ඒ සියලු සබඳතා ඒ අයුරින් නිමාවට පත් වනු ඇතැයි සිතන්නට මට සිදු විය.
ඊට අමතරව මට පරිබාහිර වශයෙන් සිදු වූ විශේෂ දෙය නම් කෙත්මින් නිතර නිතර විශ් යූ වෙතට එන්න ගැනීමයි. ඔහු ආවේ ගියේ යතුරු පැදියකිනි. පෞද්ගලික ආයතනයක සේවය කළ හෙතෙම මනා උස් දේහයකින් යුත් කඩවසම් තරුණයෙකි. මිගාර ගේ සොයුරා වූවා ට මිගාර ට නැති මිත්‍රශීලී බවක් කෙත්මින් ට විය. ඔහු අයියා වාගේ සන්සුන් තැන්පත් තැනැත්තෙකු වූයේ ද නැත.
“මෙතනිං යන ගමං මතක් වුණා නුරානිවත් දාං යන්න පුළුවන්නෙ කියල”
මුලින් ම විශ් යූ ළඟ නතර වූ හැන්දෑවේ ඔහු කීවේ එහෙම ය. ඒ පාර එක පැත්තකට දිවෙන්නේ මහරගම,කොට්ටාව, හෝමාගම දෙසට ය.අනිත් පැත්තට ගියොත් හොරණ නගරය හමු වේ. මිගාර ලා ගේ ගෙවල් පිහිටන්නේ හොරණ ආසන්නයේ නිසා ඔහු ගේ ප්‍රකාශයෙහි නො ගැලපීමක් පේන්නට තිබුණේ නැත. නමුත් හැමදාමත් හැන්දෑවට ඔහු එතැන නතර වෙත්දී සේ ම ඔහු ගේ ඇස් මා පසු පස දුවන්නට වෙත්දී, ඒ නතර වීමෙහි ඍජු හේතුව නූරි නොවන බව මට වටහා ගත හැකි විය.
“ඔන්නොහෙ කමක් නෑ. ඒකෙං මටත් ට්‍රාන්ස්පෝට් හම්බ වෙනවනෙ. නැත්තං බස් වල යන එක වගේ එපා වෙන දෙයක් නෑ. ඒ ගෙදර ඉන්නවට වඩා ඒ වදේ විඳින එක හොඳ නිසයි මං අමාරුවෙං හරි එන්නෙ”
නූරි ඒ ගැන කීවේ එහෙම ය.
“අනිත් එක මූ හොඳ කොල්ල. ගෙදර අනිත් එවුං වගේ නෑ. අයියල දෙන්න අම්මගෙ පදේට නැටුවට මේකා එහෙම නෑ”
එදා නූරි ගේ විවාහ උත්සවය දවසේ ඔහු කෙරේ දැක්වූ මිත්‍රශීලී බව ඉනික්බිති ඔහු වෙනුවෙන් ඇති කර ගන්නට මට කිසි සේත් නො හැකි වූයේ ඇයි කියා මම නො දනිමි. නමුත් මගේ දැඩි බව ඉදිරියේ ද ඉතා ඉවසීමෙන් මා කෙරේ පවතින්නට ඔහු ට හැකි වූ බව කිව යුතු ය.
සාමාන්‍යයෙන් මා පිරිමි ළමයින් විෂයේ කුළෑටි වූ ගෑනු ළමයෙකු නොවේ. පාසල් කාලයේදීත් එය එසේ විය. මගේ මුඛරි බව නිසා ම මට ප්‍රේමාරාධනා කරන්නට බලාපොරොත්තුවෙන් උන් පිරිමි ළමයෙකු වෙන අතක් බලා ගත් බව ද මා දැන ගත්තේ පසුව ය. එතකොටත් මට දැනුණේ කණගාටුවක් නොවන බව සහතික ය. එය හාස්‍යයට කිට්ටු හැඟීමක් කියා සිතමි.
මගේ හදවතේ ස්ත්‍රීත්වයේ නිල ස්ථානයට එක එල්ලේ අත තැබිය හැකි වූයේ විහාර වෛශාක්‍ය ට ය. ඔහු ගේ එක ඇස් බැල්මක් ඉදිරියේ දෙදරා ගිය මට කෙත්මින් ව දැනුණේ හෝ නැති බව කිව යුතු ය. නමුත් ඔහු යහපත් තරුණයෙකු බව අවබෝධ වී තිබූ නිසාත්, විශේෂයෙන් ම ඔහු නූරි ගේ සැමියා ගේ සහෝදරයා නිසාත් කෙත්මින් කෙරේ මා රළු ව හැසිරෙන්නට ගියේ නැත. නමුත් ඔහු දකිත්දී හදවත මැද්දේ සුළියක් ඇති වී වේදනාවක් අතරින් විහාර මතක් වෙන එක වැළකිය නො හැකි වූයේ ය. කෙත්මින් සමග එකතු වී මා විහාර ට බරපතල අපරාධයක් කළ සෙයින් එතකොට පපුව රිදේ. මේ හේතු මත මට ඔහු ගෙන් එක හෙළා ඈත් වන්නට සේ ම ලං වෙන්නට ද නොහැකි විය. එතැන්හි දී මා සිටියේ අඩමාන ස්ථානයක ය. භයානක ම තැන අඩමානය ය. ඒ කොයි පැත්තට වැටේ දැයි නිශ්චිත නැති බැවිනි.
“ඔයාට මං යන්න කිව්ව තමයි. ඒත් ඒ යන්නම යන්න කියල නෙවේනෙ විහාර. ගිහිං ඔයා අමේලි බලල එයි කියලයි මං හිතුවෙ…සලකුණක්වත් ඉතුරු නොකර මෙහෙම ගියාම…මට මොකද්ද වෙන්නෙ …ලේසියෙන් අමතක කරල දාන්න පුළුවන් මතකයක්ද ඔයා මට දුන්නෙ…”
මගේ ඇසින් වට කඳුළක් ඔහු තියා ගිය කවි පොතක පිටුවකට තෙත උරා ගත්තේ ය. ඒ කඳුළින් මා දැවෙන්නට ඇත.
දින සති මාස වශයෙන් කාලය ගෙවී යත්දී හා ඔහු ගැන මතක මාත්‍ර පමණක් මා ළඟ ඉතිරි වී තිබියදී පටකයක්, තන්තුවක්, ස්නායුවක් ගානේ මා ඉරී යන්නට විය. බිඳී යන්නට විය.