පෙඟුණු මල්පෙති 25

චරිත්‍රා කතාකරන්නට උවමනා යැයි පණිවිඩයක් එවා තිබුණද ඒ කුමටද යන්න ගැන මිහිකට වගක් තිබුනේ නැත.

මේ එවන් දේ ගැන ලතවෙන්නට මොහොතක් නොවේ.

තමාට ඇය සමග විසඳාගන්නට කෙතරම් ප්‍රශ්න තිබුණද අම්මා පිළිබඳව සිතද්දී මේ සියලු ප්‍රශ්න වැටෙන්නෙ දෙවන තැනටය.චරිත්‍රා සමග කුමනාකාරයේ ගැටලු තිබුනද මේ ඒවා පසෙක ලා ඇයට සිදු වී ඇති දේ පිළිබඳව දැන්විය යුතු මොහොතකි. චරිත්‍රා යනු බිරිඳයි. සියලු නෑ හිත මිතුරන් ඉදිරියේ සරණ පාවා ගත් තරුණියයි. අම්මා මිය ගිය පිරිමියෙකුට බිරිඳ හැර වෙනත් අයෙක් මෙලොව සිටින්නේද වේදනාව බෙදා ගන්නට?

“හෙලෝ”

“මම ඔයාට කතා කරන්න හිටියෙ. ඔයා ෆ්‍රී…”

“චරිත්‍රා අපේ අම්මා නැතිවෙලා”

දුරකතන ඇමතුම සම්බන්ධ වූ මොහොතේම තමන්ට කුමක් හෝ දෙයක් කියන්නට තැනුව චරිත්‍රාගේ හඬ එහාපසින් නෑසේ. 

“හෙලෝ”

“මොකද්ද කිව්වේ?”

“අපේ අම්මා නැතිවෙලා චරිත්‍රා. දැන් පැය කීපෙකට කළින්. හාට් ඇටෑක් එකකින්”

“දෙයියනේ… අම්මා…දෙයියනේ”

“මම දැන් ෆුල් ට්‍රයි කරන ගමන් මට එන්න ටිකට් එකක් බුක් කරගන්න. ඔයාට පුලුවන්ද අපේ ගෙදර යන්න? පික් මි එකක යන්න. මම සල්ලි දාන්නම්”

“නෑ නෑ මගෙ ලඟ සල්ලි තියෙනව.මම යන්නම්. ඔයා පරිස්සමෙන් එන්න. මම මෙහෙ වැඩ බලන්නම්”

ආදරය පිළිබඳව මොන අන්දමේ සැක සංකාවන් චරිත්‍රා සිතේ මතු කර තිබුණද චරිත්‍රා මෙබඳු කාරණාවලදී මොනතරම් හිත උණුවන ගැහැණියක්ද යන්න මිහික නොදන්නවා නොවේ.

අනෙක් අතට අම්මා තමන්ට තරමටම හෝ එයටත් වඩා වැඩියෙන් චරිත්‍රාට තම දියණියකට මෙන් ආදරය කලාය. ඉතින් තමාගේ ප්‍රේමය වෙනුවෙන් උණු නොවුණ චරිත්‍රාගේ සිත ඇයට තම දියණියකට මෙන් ආලය කල අම්මාගේ මියගිය ප්‍රේමය වෙනුවෙන් උණුව වැගිරෙනු ඇත.

නුවර වලව්වේ පහන් නිවුණාක් බඳුව ඇති මොහොතක අම්මාගෙන් පසුව ඒ නිවස ආලෝකමත් කරන්නට හැකි යැයි තමා සිතූ තම බිරිඳට යෑමට හැකි වීම වාසනාවකි. තමා එනතුරු ඇයට එහි සියලුම වැඩ කටයුතු බලා ගන්නට හැකිවනු ඇත. අනෙක ඇය හිඳීම අප්පච්චිට වුව සහයක්, සහනයක් වනු ඇත.

මිහික උන්නේ ඊළඟට කල යුත්තේ කුමක්ද යන්න ගැන නිනව්වක් නැතුවය. 

ඉන්දියන් සාගරයේ කුඩා මුතු ඇටයක් බඳු තම රටේ මැදක පිහිටා ඇති තම නිවස කම්පිතව, දෙදරා ගොසින් හිඳින මොහොතක තමාට මේ මව් රටෙන් ඈත රටක තට්ට තනියම අඳුරේ ඉකිලන්නට පෙර ආත්මයක හෝ කර තිබෙන පාපකර්මය ගැන මිහිකට හිතාගන්නටවත් නොහැක.

ජීවිතය තමා ඉදිරියේ ගෙනැවිත් තබා ඇත්තේ විසඳාලන්නට ඉතාම අපහසු අන්දමේ ප්‍රහේලිකාවකි. ඒ ප්‍රහේලිකාව නිසි පරිදි පුරවා ඉන් පිටතට පැමිණීමේ සැනසුම අත්විඳිනු පිණිස මේ දුක දරාගන්නට තමාට වන මිහික සිතට ඒත්තු ගන්වමින් උන්නාය. මිනිසා පරිසරයේම කොටසකි. මිනිස් ජීවිතය ගසකට සමාන කල හොත් ඕනෑම ගසක් කුඩා අංකුරයක්ව, අනතුරුව පැළයක්, මධ්‍යම ප්‍රමාණයේ ගසක් වී හිඳ අනතුරුව අහස දෙසට විහිදී ගොසින් තවත් කුඩා පැල රැසකට සෙවණ ලබා දේ. එහෙත් පරිසරයේම කොටසක් වන ගසකට වුවත් කෙදිනක හෝ මහලු වියට පත්ව සොබාදම් නීතිය අනුව මියැදෙන්නට සිදුවේ. ජීවිතයේ සත්‍යය එයම බ්ව පසක් කරගත් බොහෝ තරුණ හදවත් අද මේ දියුණු සමාජයේ හිඳී. මිහිකද එවැන්නෙකි. එහෙත් එවැනි තරුණ හිතක් වුව දෙදරා යා හැකි අන්දමේ වේදනාවකි මවකගේ මරණය.

අම්මා තමා කුඩා කල කෙතරම් නම් වේදනා වින්දේද යන අන්දම මිහිකට අරුමයක් නොවේ.

අවිහිංසක වුවත් දඟකාර කොලු පැටියා පෙර පාසලේදී හෝ පාසලේදී වෙන කොලු පැටියෙකුගෙන් ගුටි කා හෝ නොඑසේනම් බිම වැටී අත් පා තුවාල කරගෙන එන හැම විටකම ඒ වේදනාව මකාලන්නට උණුසුම්ම වැලඳගැනීමකින් සිත නිවාලූවේ අම්මා ය.

තරුණ හිතක් වුව ගැහෙන රාවය හොඳින් අඳුනාගෙන උන් අම්මා එකී තරුණ වියේ ළඳ බොළඳකම්ද දඟකාර මුරණ්ඩුකම් ද දරාගත්තේ සිනාවකිනි. තම පුතු කෙදිනකවත් වරදක් නොකරන බව ස්වර්ණා පානබොක්ක දැන හුන්නාය.

එවන් මවකගෙන් ලද වසන්ත මල් ගොමුවක් බඳු ආදරය අද සුවඳ පමණක් ඉතිරි කරමින් මිලාන වී ගොසිනි.

ජීවිතය සුවපත් කලේත්, සහනය සැලසුවේත්, සැනසුවේත්, ජීවිතය මෙතෙක් කලක් පණ ගසන්නට උවමනා කරන ප්‍රාණය සහ සවි ශක්තිය සපයා ඇත්තේත් අම්මා බව මිහිකට පසක් වූයේ අම්මා මිය ගිය බව දැනගෙන ලංකාවට යන්නට උත්සාහ කරමින්  හිඳිද්දීය.

තමා අම්මාගේ අවසන් කටයුතු සඳහා ලංකාවට යන්නට මෙතරම් වෙහෙස වූවාට ඒ නිමේශය, ඒ මොහොත සැබෑවටම දරාගන්නට හැකියාවක් තිබේදැයි මිහිකට විශ්වාස නැත.

ඒ මෙයට පෙර මුහුණ දී තිබෙන නිමේශයක් නොවේ. මුහුන දෙන්නට සිදුවෙතැයි බලාපොරොත්තු වූ දෙයක්ද නොවේ.

“අපි මැරුණ දවසක වුණත් පුතේ ඔයාලට හයිය තියෙන්ට ඕන ජීවිතේට මූණ දෙන්ට”

අම්මා එහෙම කිව්වේ ඉතාම ඈත දවසක උසස් පෙල අවසන්ව පාසලෙන් අස් වූ තරුණ කොල්ලෙක් නිවසට ඇතුලුවන පඩිපෙල මත වාඩි වී අහස දෙස බලා හිඳිද්දීය.

නිවසේ සිටි සෑම දිනකම අම්මාත් අප්පච්චිත් ඉස්තෝප්පුවෙ වාඩි වී නිහඬව පරිසරය දෙස බලා හිඳීම මිහිකට අමුත්තක් වූයේ නැත. ඔහුද එහි නිහඬ කොටස් කරුවෙකු වුනේ කුඩා කාලයේ හිඳය.

ඒ නිහඬකම මැද ඉතාම ගීතවත් හෝරාවක් ගෙවන්නට හැකිවුන බව ඔහුට අතීත මතකයන් මතක් කර දෙයි.

නිහඬ රැයක, බත් කා අවසන්ව අප්පච්චි හාන්සි පුටුවේත්, අම්මා එයට එහා පසින් ඇති බංකුවකත්, මිහික පඩිපෙල මතත් වාඩි වී අහස දෙසත්, කෑලි කැපිය හැකි අන්ධකාරය දෙස බලා හිඳිමින් නිහඬව කල්පනා කල බොහෝ දේද තිදෙනා එක්ව බෙදා හදාගත් බොහෝ කතා ද මිහිකට එකින් එක මතක් වේ.

කොල පැහැ එළි දල්වමින් නිහඬ රාත්‍රියක එහෙ මෙහේ සංචාරයක නිරත වුණු කණාමැදිරියන් පෙලි ද, නිල් අහස පුරාවට රන් තැටියක් මෙන් පායා අවුදින් තිබු සඳ ද, තාරකා පිරිවරද සමග මිහිකට අම්මාගේ සඳක් වන් සුන්දර සිනහ බර මුහුණ මතක් වේ.

පිඟානට බත් බෙදා ගෙනැවිත් “ඔන්න පුතා ආසම නිසා පොළොස් හැදුවා” කියමින් අතටම දෙන අම්මාගේ සුන්දර මුහුණ අමතක කරන්නේ කෙසේද?

ඇයව තවත් දකින්නට නොලැබේයැයි සිතන්නේ කෙසේද?

ඇට්ටේරියා මල් පිපෙන කාලයට එන ඒ ඉමිහිරි සුවඳ විඳිමින්, තරුණ කොල්ලෙකු අම්මා ලවා හිස අතගා ගන්නා මතකයන් ඒ නිහඬ මතකයන් සමග මිහිකගේ සිත මත්තට පීනා එන්නෙ දෙනෙත් වලට කඳුලු ගංගා එක් රැස් කරමිනි.

අම්මා ගැන මිහිකට ඇත්තේ සුන්දරම මතකයන්‍ ය.

අම්මාගේ අතින් අල්ලාගෙන ජීවිත පියගැටපෙල නැග ගිය තරුණයෙක් අද අම්මාගේ අත්වාරුව ගිලිහී ගොසින් පිය ගැට පෙල මැදක නතර වී හිඳී. එක්කෝ ආ මාර්ගයේම ආපසු බැස යා යුතුය. නොඑසේනම් ඉතිරි අඩ තනිවම නැග යා යුතුය. ආ මග ආයේම ගියද අම්මාට ආයේ එන්නට හැකියාවක් නොමැත. මරණය යනු ආපසු හැරවිය හැකි දෙයක් නොවේ.

ඉතින් අම්මා කියූ පරිදි මේ සියල්ලම දරාගෙන පතොක් ගසක් මෙන් සුන්දරම මල් පිබිදවිය යුතු කාල වකවානුවකි. ජීවිතය දෙස සාදාරණ ඇසකින්, බලාපොරොත්තු පුංජයක් සහිත හිතකින් බලන්නට ඒ පතොක් මල් අප්පච්චිටත් තමන්ටත් උදව් උපකාර කරනු ඇත.

මිහික සැමදාමත් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට උත්සාහ කල අයෙකි. ඒ පාඩම් මිහිකට කියා දුන්නෙද ස්වර්ණාය. 

මේ ඒ පාඩම ක්‍රියාත්මක කරනු පිණිස බිහිවුන මොහොතකි. 

මරණය වනාහී දුක් විය යුතු දෙයක් නොවේ. මරණය යනු අප නොදැන හුන් දෙයක්ද නොවේ. අප ඉපදෙන විටම කෙදිනක හෝ මිය යන බව දැනගෙන ඉපදුණු මිනිසුන්‍ ය.

ජීවත් වනු පිණිස බොහෝ වෙහෙස මහන්සි වී මුදල් උපයන මිනිසුන් ඒ මුදල් තරමට හෝ නොඑසේනම් එයටත් වඩා වැඩියෙන් ජීවත් වී හිඳින කාලය පුරාවට වේදනාවන් උසුලයි.

දිනය පුරා වෙහෙසෙන සිතකට දිනය අවසානයේ ලැබෙන නින්ද කෙතරම් සැනසිලිදායක්ද කප්පරක් දුක් විඳි ජීවිතයක් අවසානයේ අත්වෙන මරණය කෙතරම් නම් සුවපහසු විය හැකිද?

ඒ අප කිසිදා නොසිතූ දෙයකි. මරණය සන්තෝස සිතකින් පිළිගන්නට හැකියාව ඇත්තේ කීයෙන් කීදෙනාටද?

මරණය වනා හී කෙනෙකුගේ දුක්බර ජීවිතය කෙලවර සැනසීමක් අත්පත් කර දෙන්නක් යැයි තේරුම් ගත් කිසිවෙකු තමන්ගේ හිතවතකු මිය ගිය විට මහ හඬින් වැලපෙන්නේ නැත.

අනෙක් අතට අප කිසිවෙකු මිය ගිය විට හඬා වැටෙන්නේ එය ඔහු දුකින් මිදීම සහ අපගෙන් වෙන්වීම හේතු කොටගෙන නොව, අපට තිබූ පිහිටක්, උදව්වක් නොමැති වීමෙන් ඇති වූ ජීවිතය පිළිබඳ සැක සංකා සහගත බව නිසාවෙන් නොවේද?

මේ පිළිතුරු නොමැති ප්‍රශ්නය. නොඑසේනම් තම තමන්ට රුචි පරිදි පිළිතුරු සොයාගෙන නිරාකරනය කරගත යුතු ප්‍රශ්නය.

මිහික උන්නෙ සිතින් තමන් හා දොඩමලු වෙමිනි. 

ඔහුට දැනුන ඒ අසීමිත තනිකම එක් පසෙකින් වේදනාව ඇති කරන්නක්ම වුවද අනෙක් අතකින් එකී වේදනාව විඳ දරාගන්නට උපකාරයකි.

හඳුනන කිසිවකු නැති මෙහිදීම හඬා දොඩා බිම හැපී හෝ සිත හදාගෙන හිඳීම වඩාත් යෝග්‍ය වේ.

එවිට මැදහත් සිතකින්, නොබිඳී, දෙදරීමකින් තොරව අප්පච්චිට අත්වැලක් විය හැක. මෙවෙලේ තමාගේ සවිය වඩාත්ම අවශ්‍ය වන්නේ අප්පච්චිටය.

තමා මේ ගමන යා යුත්තේ අප්පච්චි වෙනුවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles