නුවර සිට නික්මෙද්දී චරිත්‍රාගේ සිතේ තිබුනේ කියාගන්නට නොහැකි අන්දමේ මහා බරැති හැඟීමකි.
ඒ වූ කලී මිහිකව එහි තබා තමාට මෙහි එන්නට වූ නිසාද නොඑසේනම් මිහික අවසානයට පැවසූ දේ නිසාද?
“මම ලබන සතියේ කොළඹ එනවා. අපි හැමදෙයක් ගැනම කතාකරමු චරිත්‍රා”
එතුල වූයේ මහා බරසාර කතාවක අත්තිවාරමයි. ඒ වදන තුල තමා බලාපොරොත්තු වන නිදහසට කරා යන්නට අවැසි වන මාර්ගය තිබෙන බව දැන උන්නද ඒ පිළිබඳ කිසිත් සතුටක් හෝ සැනසුමක් චරිත්‍රාට දැනුනේ නැත. තමා බලාපොරොත්තුවෙන් හුන් නිදහස තමාටම මහා බරක් ලෙස දැනෙන්නේ ඇයිද යන්න චරිත්‍රාට තේරුම්ගන්නට නොහැක.
මිහික විසින් කතා කර දුන් කුලී රියට නගිද්දී චරිත්‍රාගේ ඇඳුම් කැඩුම් සියල්ල ඩිකියෙන් තබා දුන් මිහික චරිත්‍රා රැගෙන රිය පිටත් වන තුරුම කොහෙදෝ ඈතක දෙනෙත් රඳවා ගනිමින් එහි නතර වී හිඳියේය.
තමා මිහික දෙස කොපමණ වාරයක් බැලුවාද යන්න පිළිබඳ නිනව්වක් චරිත්‍රාට නොතිබිණි.
එහෙත් තමා එතරම් වාරයක් ඔහු දෙස මේ ගෙවුණු වකවානුව තුල බලා නැති බව චරිත්‍රාට මතකය. මේ තමා දකින්නේ මෙතරම් කාලයක් තමාගේ සැමියාව හුන් මිහිකව නොවන බවටත් වෙනස්ම පෞරුෂයකින් හෙබි අයෙකු දෙසත් යන හැඟීම පවා චරිත්‍රා බියට පත්කරන්නට විය.
ඒ බියට සහ කණස්සල්ලට තවත් ගිනි අවුලුවන්නට හේතුවක් වූයේ උදෑසන සිට තමාට තම මුහුණු පොතට ලොග් වන්නට වූ නොහැකියාවයි. කුමක් හෝ හේතුවක් නිසාවෙන් තමා කෙතරම් වාරයක් ඊමේල් ලිපිනය සහ මුර පදය දුන්නද එයට පිවිසීමට නොහැකි බව කියයි.
මෙතෙක් කලක් තමා විසින් භාවිත කරමින් තිබූ ද්විත්ව සත්‍යාපන ක්‍රමය අතහරින්නට සිදු වූ පසුව ගූගල් ඔස්සේ හඳුන්වා දුන් නවතම ගූගල් ඔතෙන්ටිකේටර් සත්‍යාපන ක්‍රමය භාවිතා කරන්නට තමාට අමතක වීම තම මුහුණු පොත් ගිණුම සහ තම පෞද්ගලිකත්වයට හානි කරන්නක් බව චරිත්‍රාට මතක් වූයේ ඇසිල්ලකිනි.
අනෙක් අතට තමාට සඟවා ගන්නට රහස් රැසක් තිබියදී මුහුණු පොත් ගිණුමේ ආරක්ෂාව පිළිබඳව ගන්නට තිබූ එවන් කුඩා දෙයක් පවා නොකර හරින්නට තරම් තමාට අමතක වූයේ කෙසේද?
රීසෙට් යුවර් පාස් වර්ඩ් යෙදවුම ඔස්සේ මුර පදය වෙනස් කරන්නට ගත් තැත ව්‍යර්ත වූ මොහොතේ චරිත්‍රාට දැනුනේ පණ පිටින් ලෝදිය හැලියකි බැස සිටින්නාක් බඳුවය.
දුරකතනයෙන් පවා ලොග් වී හිඳින්නේ කාර්‍යාල ඊමේල් ගිණුමටය. පෞද්ගලික ඊමේල් ගිණුමේ මුර පදය යොදා ලොග් වන්නට ගත් උත්සහයෙන්ද කියන්නේ මුර පදය වෙනස් කර ඇති බවකි.
සිත හටගත් කැළඹීම දෑත් වෙව්ලයි. වාහනයේ ඒ සී සීතල මැදත් සියොලඟින් දහදිය වගුරුවන බවක් මෙන්ම දෑසට කඳුලු පිරී එන බවක්ද චරිත්‍රාට දැනේ.
තමා විසින් අතීතයේදී පවත්වාගෙන ගිය ව්‍යාජ මුහුණු පොත් ගිණුමක් ඇති බව චරිත්‍රාට මතක් වූයේ අහම්බෙනි. එහි මුර පදය සහ විස්තර තවමත් මතක තිබීම සතුටකි. සැනසුමකි.
ඒ මුරපදය යොදා ව්‍යාජ ගිණුමට පිවිසෙන්නට චරිත්‍රාට මද වේලාවල් ඉවසන්නට වූයේ වේගයෙන් කඳු ගමන් කරමින් හුන් රියේ හිඳ සිග්නල් අල්ලා ගැනීමට වූ අපහසුව නිසාවනි.
වෙව්ලන දෑතින් එහි “චරිත්‍රා විජේබණ්ඩාර” යන ඉංග්‍රීසියෙන් ටයිප් කල චරිත්‍රා තම මුහුණු පොත් ගිණුම විවෘත වන තුරු බලා උන්නේ නොඉවසිල්ලෙනි.
තමාගේ ජායාරුපයක් සහිත එකී ගිණුම විවෘත ගිණුමක් හෙයින් එහි පලවී ඇති සියල්ල ඕනෑම අයෙකුට පහසුවෙන් බලා ගත හැකි වීම සහනයකි.
වේගයෙන් තම ගිණුමේ උඩ පල්ලෙහා ගිය චරිත්‍රාගේ සිතට මදක් හෝ සැනසුමක් ආවේ ගිණුම නිරුපද්‍රිතව තිබෙනු දැකීමෙනි.තමා එය හැක් වී ඇතැයි බියට පත් වී හිඳියත් එසේ කිසිවක් වී නොමැත.
තමා අවසානයට පල කල කිසිම දෙයකට එහායින් කිසිවක් එහි පලවී නැත.
එය සතුටකි එහෙත් ගිණුමට මෙසේ වන්නට හේතුව ගැටලුවකි.
චරිත්‍රා දුරකතනය ගෙන නදුන් ගේ නම සොයන්නට විය.
නදුන් අතීතයේදී චරිත්‍රාට හමු වූ තවත් එක් පෙම්වතෙකි. පෙම්වතුන් තබා ගැනීම චරිත්‍රාගේ ජීවිත පොතේ පටුනේ තිබූ දෙයක් නොවූ නමුත් නදුන් ලඟ තිබූ නිදහස සහ ඕපන් රිලේශන්ශිප් යන වදන් පෙලට චරිත්‍රා ඉමහත් ආසාවක් දැක් වූවාය.
ප්‍රශ්න වලදී උදව් කරගෙන, නිතර කතා බස් කරමින් ගෙවා දැමූ ඒ ප්‍රේම කතාවේ චරිත්‍රා සහ නදුන් අතරට දෙදෙනාගේම පාර්ශ්ව වලින් ආ ගිය බොහෝ චරිත විය. ඒ ආ ඇතැම් චරිත මේ නදුන් චරිත්‍රා බැඳීම තේරුම් ගත් නමුත් සදාකාලිකවම නතර වන බලාපොරොත්තුවෙන් එහි ආ ඇතැමුන්ට එය තේරුම්ගන්නට නොහැකි විය.
ඒ සබඳතා ගිලිහී යද්දී කාලයත් සමග වූ දුරස්ත බාවය නදුන් සහ චරිත්‍රා අතර දුර වැඩි කරන්නට හේතුවක් වූ නමුදු උපකාරයක් අවශ්‍ය මොහොතක සහ මතක් වූ මොහොතක පණිවිඩයක් දමා සුව දුක් විමසන්නට දෙදෙනාම අමතක කලේ නැත.
නදුන් වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. එදවස පවා ඔහු මුහුණු පොත් ගිණුම් වල ප්‍රශ්න ඇති වූ පුද්ගලයන්ට තම ගිණුම් යතා තත්ත්වයට පත කර ගැනීම සඳහා උදව් උපකාර දුන්නා චරිත්‍රාට මතකය. ඉතින් මේ නදුන්ගේ උදව් අවැසිම මොහොතයි.
නදුන්ගේ දුරකතන අංකය නාද දෙන සෑම තප්පරයකදීම ඔහුට කිව යුතු දේ සිතින් ගොනු කෑමින් හුන් චරිත්‍රාගේ සිත බිඳුනේ නාද වී අවසානයේ ඇමතුම සම්බන්ධ නොවී බිඳ වැටුණි විටකය. මාස හය හතකින් හෝ ඊටත් වැඩි කාලයකින් තමා නදුන්ටවත් නදුන් තමාටවත් අමතා තිබුනේ නැත. ඉතින් බාගදා ඔහු දුරකතන අංකයන් වෙනස් කර තිබෙන්නට හැකි බව ඒ අතරේම චරිත්‍රාට සිතුණි.
“දැන් මොකද කරන්නේ”
චරිත්‍රා ඇසුවේ තමාගෙන්මය.
මුහුණු පොත යනු තමාගේ ජීවිතයේ සන්තකයන්ගෙන් වැඩිම වටිනාකම්ක් ඇති වස්තුවකි. තමාට ආදරය කරන, තමා පෙන්වා දෙන මග යන බොහෝ හිතවතුන් සිටිනා තමාගේ මුහුණු පොත් ගිණුම අතැර දමා අලුතෙන් ගිණුමක් ඇරඹීම කල නොහැකි දෙයකි. අවුරුදු ගනනාවක් තිස්සේ අකුරු ලියමින් පවත්වාගෙන ගිය ගිණුමක් එසේ ලේසියෙන් අතැර දමන්නට හැකිද?
අනෙක් අතට මෙසේ සිදුවන්නට ඇති හේතුව කුමක්ද යන්න පවා චරිත්‍රාට ගැටලුවකි.
මේ පිළිබඳව විමසන්නට නදුන් හැර වෙන කිසිවෙකුත් චරිත්‍රාගේ මතකය නොඒ.
සීතල පිරී තිබුන වාහනයේ ශටරය මදක් පහතට හැර දොර දෑත තබාගත් චරිත්‍රාට කල්පනා කරන්නට බොහෝ දේ තිබුණි.
සිත කොටස් තුනකට කැඩී වෙන් වෙන් හේතු කිහිපයක් උදෙසා වේදනා විඳී.
එක් කොටසක් මිහික වෙනුවෙනි. අනෙක ලහිරු වෙනුවෙනි. අනෙක් කොටස මුහුණු පොත් ගිණුමට වූ දේ පිළිබඳවය.
වේගයෙන් යන වාහනය තවත් බොහෝ යාන වාහන, ගස් කොලන්, සතා සීපාවා සහ ගේ දොර ඉඩකඩම් පසු කරමින් යන වේගය තරම්ම වේගයකින් චරිත්‍රාගේ සිතුවිලි රියද ඉදිරියට ඇදේ.
චරිත්‍රා නුගේගොඩ තම නවාතැනා වෙත එද්දී සැඳෑවේ හත පමන වී තිබුණි. මහ ලොකු බඩගින්නක් නොතිබුනත්, සුරංගි නැන්දා විසින් ඔතා දෙන ලද දානයේ ඉතුරු බිතුරු ටිකක් සමග බත් මුලක් බෑගයේ ඇත. බඩගිනි වුවහොත් එය කන්නට සිතා චරිත්‍රා කෑම පාර්සලය මයික්‍රොවේව් අවනය තුලින් තැබුවේ කූඹින්ට එන්නාට බැරි වන්නටය.
මහන්සිය සිරුරම වෙලා ගෙන හිඳී.
ඉතින් සීතල වතුරෙන් ඇඟ සෝදා පිජාමා ඇඳුම ඇඳ ගැනීමට සිත බලකරයි.
දින ගණනකින් සාත්තු කිරීමට නොහැකි වූ සිරුර සාත්තුවක් ලෙසත් සනීපයක් ලෙසත් චරිත්‍රා ස්පා සිලොන් වෙතින් මිල දී ගෙන තිබුණ බොඩි රිෆයින් ස්ක්‍රබ් එක රැඟෙන දියෙන් මදක් පොඟවා ගත් ශරීරය මත අතුල්ලන්නට විය.
කුරුඳු සහ මී පැණි මුසු කර තිබෙන ඒ බොඩි රිෆයිනරයෙන් එන්නේ සිත සනසාලන සුවඳකි. සිරුරට බොඩි රිෆයිනරයයි. මුහුණ මතද ස්පා සිලෝන් වෙතින්ම මිල දී ගත් වයිට් ජැස්මින් ෆේස් ස්ක්‍රබ් එක තවරන්නට පෙර උණු දියෙන් පොඟවා ගත් මුහුනේ ඉල්පී තිබෙන වයිට් හෙඩ්ස් ඉවත් කරන්නට චරිත්‍රා කණ්ණාඩිය වෙත නැඹුරු විය.
දුරකතනය තබා තිබුනේ සින්ක් එක මතය.
ඒ තමා නාන කාමරයේ හිඳින අවස්තාවක වුවත් ඇමතුමක් ආවහොත් අමතනු පිණිස පහසුවටය.
නාන කාමරය පුරා මද උණුසුමක් පැතිරී තිබුනේ ඒ උණුසුම අධික අගෝස්තු මාසය නිසාවෙන්ද එසේත් නැතිනම් මුහුණ පොඟවා ගන්නට තමා උණු වතුර ගත් නිසාවෙන්ද කියා චරිත්‍රාට සිතා ගත නොහැක.
ගත ගල්වන ලද කුරුඳු මී පැණි ස්ක්‍රබ් එක ඒ උණුසුම නිසා මදක් දියවෙන්නට අරඹා ඇත.
වයිට් හෙඩ්ස් ඉවත් කර මුහුණ නැවත වතාවක් පිරිසිඳු කල චරිත්‍රා මුහුන පුරා රවුම් ආකාරයට ෆේස් ස්ක්‍රබ් එක තවරා සෙමෙන් එය මුදුව කවාකාරව පිරිමදින්නට වූයේ එහි ඇසුරුමේ කියා තිබූ අන්දමටයි.
රුව සත්කාර යනු නිවි හැනහිල්ලේ කල යුතු දෙයක් වුවත් දුරකතනය මහ හඬින් නද දෙන්නේ ඇයිද කියා නොවිමසා බැරිය.
ඒ කවිනි ය.
කාර්‍යාලයේ මිතුරිය කවිනිය.
ඇය සාමාන්‍යයෙන් තමාව අමතන්නේ ඉතාම විශේෂිත හේතුවක් තිබේනම් පමණකි. ඉතින් මේ ඇමතුම හිතට ගෙන ආවේ කුකුසකි.
“හෙලෝ”
මුහුණ ස්ක්‍රබ් කරමින් හුන් චරිත්‍රා දුරකතන ලවුඩ් ස්පීකර් ඔන් කරද්දී අතේ වූ ස්ක්‍රබ් වලින් බිඳක් දුරකතන මුහුණතේ ද තැවරුණි.
“හෙලෝ චරිත්‍රා”
“හෙලෝ කවිනි කියන්න. මොකද්ද හදිසියක්ද? මම මේ දැන් ආවෙ”
“ඔයාගේ එෆ් බී අකවුන්ට් එක කවුරු හරි හැක් කරලද?”