පෙඟුණු මල් පෙති 34

නාන කාමරයේ වතුර මල යටට වි චරිත්‍රා උන්නේ සීතල වතුරෙන් පෙඟී යමිනි. ඇය උන්නේ කල්පනාවක් නැතිවය. 

හඬන්නට කඳුලු බිඳක් හෝ ඇසේ වුවාදැයි යන්න පවා සැක සහිතය.

ඒතරම්ම කම්පාවක් මේ ජීවිතය තුල තමා විඳ දරාගෙන නැති බව චරිත්‍රා දනී.

කවිනිගේ ඒ ඇමතුමත් අනතරුව තමා විසින් නිර්මාණය කල ව්‍යාජ ගිණුමෙන් ගොස් තමාගේ ගිණුම පරීක්සා කර විට දුටු දෙයත් චරිත්‍රාගේ මුලු ලොවම දෙදරවා බිමට සමතලා කර දමන්නට සමත් විය.

“හෙලෝ චරිත්‍රා”

“හෙලෝ කවිනි කියන්න. මොකද්ද හදිසියක්ද? මම මේ දැන් ආවෙ”

“ඔයාගේ එෆ් බී අකවුන්ට් එක කවුරු හරි හැක් කරලද?”

ඒ පැනය යට තිබූ බයානක කම චරිත්‍රාට තේරුණා නොවේ. එහෙත් ඇය මෙතරම්ම දෙයක් දකින්නට බලාපොරොත්තු වූයේ නැත.

වට්සැප් ඔස්සේ කවිනි එවා තිබූ ස්ක්‍රීන් ශොට් නිසා ව්‍යාජ ගිණුමෙන් මුහුණ පොතට ගොස් තම නම සර්ච් කල චරිත්‍රාට ඒ වන විටත් එය පොපියුලර් නව් වන්නට පටන් ගෙන ඇති බව දැකීම දරාගන්නට හැකි වූයේ නැත.

ඒ වීඩියෝ පටය තමා නොදැනුවත්ව ගත් එකකි. එහි පැහදිලිව පෙනෙන්නෙ තමන්ගේ මුහුණ පමණක් බවද ඇත්තකි.

එහෙත් ඒ වීඩියෝ පටය ගත් පුද්ගලයාත්, ගත්තේ කවදාද කොතැනකද යන්නත් චරිත්‍රාට රහසක් නොවේ.

ඒ ප්‍රභාත් ය. ඔහු විසින් පවත්වාගෙන යනු ලබන ගල්කිස්සේ හෝටලයකට ඔහු දිනක් තමාව රැගෙන ගියේය. ඒ මෙයට වසර කිහිපයකට පෙරය. එදා ඔහු මෙවන් වීඩියෝ පටයක් ගන්නා බව චරිත්‍රා දැන හුන්නේ නැත. අනෙක් අතට එය කොහේ හෝ සඟවා තිබෙන තමාගේ මුහුණ පමණක් හොඳින් පෙනෙන ලෙස අටවා තිබෙන කැමරාවකින් ගන්නා ලද වීඩියෝවක් බැවින් මෙය ප්‍රභාත් විසින් සැලසුම් කර ගන්නා එකක් බව පහැදිලිය.

“ප්‍රභාත් එහෙම කරේ මම කවදමහරිම එයාට බෑ කියාවි කියල දැනගෙන හිටිය නිසාද?”

ඒ ප්‍රශ්නය චරිත්‍රා ඇසුවේ ඇයගෙන්මය.

මේ සියල්ලේම ආරම්භ ලියන ලද්දේ තමන් බව චරිත්‍රා දනී. එහෙත් තමා ඒ ආරම්භය ලියන ලද්දේ මෙතරම් ඉක්මණින් මෙයාකාර අවසානයක් බලාපොරොත්තුවෙන් නොවේ.

මේ බිඳී යන්නේ තමා පසුගිය අවුරුදු ගණනාව පුරාවටම ගොඩනගමින් හුන් තමාගේ විජිතයයි. ලෝකය ඉදිරියේ මුහුණු පොත ඔස්සේ තමා නිර්මානය කල ඒ විජිතය සැබෑවට වඩා බොරුවෙන් සුන්දර කල එකක් බව තමා නොදන්නවා නොවේ.

එහෙත් තමා කැමති පරිද්දෙන් ජීවිතය ගෙන යාමේ අයිතියක් තමාට ඇත.

තමාගේ ජීවිතය තුල තමා බොරු කියනවාද, ඇත්ත පවසනවාද යන්න කිසිවෙකුටත් අදාල විය හැකිද යන පැනය මුහුණු පොතේ සියල්ලන්ගෙන්ම අසන්නට චරිත්‍රාට සිත් විය.

සීතල වතුර ගලා ශරීරය පුරා ගලා යන්නේ හිම කටු මෙන් දරාගත නොහැකි රිදුමක් සිරුර මතින් අතුරාලමිනි. ඒ වූ කලී දහවලේ දැනෙන දැඩි හිරු රශ්මියට වඩා දරාගත නොහැක්කකි. එහෙත් හැඬීම නිසා රිදුම් දෙන ඇසටත් සිතටත් ඒ හිම කටු සීතල සැනසුමකි.

තමට ජීවිතය වැරදුනෙ කොතනින්ද කියා චරිත්‍රාටවත් මතක නැත.

කුඩා අවදියේ හිඳ තමාට තිබුනේ අවශ්‍ය සියල්ලම කෙසේ හෝ ලබාගන්නා පරමාර්තයකි.ටික ටික ලොකු වෙද්දීත් ඒ පරමාර්තයේ වෙනසක් නොවුන අතර එහි උච්චතම අවස්තාව ලෙස තමන්ට අවශ්‍ය බොහෝ දේ ලබාගන්නට තමා පිරිමින් දහස් ගණනක් ඉදිරියේ නිරුවත් වූ බව චරිත්‍රාට මතකය.

තමා ආදරයට ආදරය කරන බවටත්, ආදරය සහ විවාහය වැනි කරුණු පිළිබඳව තමා සිතන්නේ ඉතාම සම්ප්‍රදායික ලෙස බවත් කියූ ගැහැණියක් වන තමා විසින් ගොඩ නැගූ ඒ බොරුවෙන් වැසුණ සුන්දර විජිතයේ ජරා ජීර්ණ ඇත්ත අද ලොවක් ඉදිරියේ විවර වී තිබේ.

දැන් ඒ ජරා ජිර්ණ වූ සත්‍යයයේ කුණු ගඳ මුහුණු පොත පුරා කුණාටුවක්ව හමන බව චරිත්‍රාට රහසක් නොවේ.

තමා කිසි දිනක කිසිදු ආකාරයකින් ලීක් වූ වීඩියෝ පටවල ලින්ක් හෝ එම වීඩියෝ බෙදා හැර නැත. එහෙත් තමා ලෝකයට සැලකූ ලෙසින්ම ලෝකයා තමාට සලකාවියැයි සිතීම පලක් ඇත්තක් නොවන බව චරිත්‍රා නොදන්නවා නොවේ.

අතීතයේ වල දැමූ කුණු ගොඩවල් ගොඩගන්නට මිනිසුන් පුදුම තරම් ආසා කරති. 

අනෙක් අතට මේ තප්පර ගාණකින් බිඳී ගොසින් ඇත්තේ තමාගේ ආත්ම ගරුත්වය පමණක්ම නොවේ තමා විසින් ගොඩ නැගු බොරුවයි. සත්‍යයට නැගී සිටීමක් මිස බිඳ වැටීමක් නැත. එහෙත් බොරුවක් ගොඩ නැගෙන්නේම කෙදිනක හෝ බිඳ වැටෙන බව දැනගෙන නොවේද?

“අපි ගොඩක් අයට ෆේස් බුක් එකේ එක මූණක් සහ ඇත්ත ජීවිතේ තියෙන්නෙ තව මූණක්. ඒ වෙස් මූණු දෙක පටළ ගන්නෙ නැතුව ජීවත් වෙන තරමට ලේසි කියල අපි හිතනවා. ඒත් අපි නොහිතන වෙලාවක ඒ වෙස් මූණු දෙක පැටලුනොත් අපි මොකද කරන්නේ?

එදාට අපිට මූණ දෙන්න වෙනවා ඇත්ත කියන දේට. අපිට බලාගෙන ඉන්න වෙනවා අපිම ගොඩනගපු බොරුවක් අපි ඉස්සරම කඩං වැටෙන හැටි.

මම ඇත්ත ගැන මාර සංවේදී ගෑණියෙක්. මම හැම තිස්සෙම හිතන දෙයක් තමයි මම කෙනෙක්ව රැවැට්ටුවොත් මම රවට්ටන්නෙ ඒ පුද්ගලයව විතරක් නෙවෙයි මාව කියන එක”

මේ තමා විසින්ම ලියා වසරකට එකහමාරකට පෙර පල කරන ලද ලිපියකි. ඒ ලියමනේ බොහෝ කොටස් උපුටා ගනිමින් වෙනත් මුහුණු පොත් පිටු පෝස්ට් හැදුව ආකාරය පවා චරිත්‍රාට මතක ය.

ඒ මතකයන් අද පිළිලයක් වී සිත ලැජ්ජාවෙන් බර කරයි. “මම කොහොමද ලෝකෙට මූණ දෙන්නේ” කියන පැනය සිතෙන් අසයි. එහෙත් ඒ පැනයට තමා ලඟ පිලිතුරක් නැත. 

තමන් මොනතරම් සවි ශක්තිය ගැහැණියෙක්දැයි ලියා තැබුවත් සිතා සිටියත් එය මායාවක් බව චරිත්‍රාට දැන් සිතේ.

තමා ඉන්නේ තමාටවත් තේරුම් ගත නොහැකි අන්දමේ මානසික වියවුලකය.

ශවරයෙන් එක දිගට වැටෙන මහ වැස්සක් බඳු වතුර යට, නාන කාමරයේ බිම වාඩි වී තමා දැන් තනිවම පැය දෙකක් පමණ වෙලාව ගෙවූ බව චරිත්‍රා දනී.

එහෙත් මෙතනින් නැගිට කාමරයට යන්නට සිතක් ඇයට නැත.

මේ වැටෙන වතුර වැස්ස සැපතකි.

එහෙත් ඒ සිතට පමණකි. ගත සීතල නිසාවෙන් වෙව්ලුම්කමින් හිඳී.

එහෙත් නැගිට ගන්නට වාරුවක් නොමැත. අනෙක් අතට කාමරයට ගියා කියා තමාව සනසවන්නට කිසිවෙකුත් නැති බව චරිත්‍රා දනී.

තමාගේ මුහුණු පොතේ සිටින සියල්ලන්ම මේ වන විට මේ සිදු වූ දේ දැක ඇති බව නොරහසකි. නෑයන් කිසිවෙකු සමග වැඩි සබඳතාවයක් නැති නිසා ඔවුන් කිසිවෙකු මුහුණු පොතේ නොසිටියත් තමන්ගේ මහ ගෙදරට මේ සන්තෑසිය ආරංචි වී ඇති බවට සැකයක් නැත.

කාර්‍යාලය සහ අනෙක් හිත මිතුරන්ද මේ ගැන දැන් දන්නා බව සිතෙද්දී චරිත්‍රාට සිතුනේ මේ වේදනාවෙන් තමා මියදෙන්නේ නම් එය කොතරම් වාසනාවක්ද යන්නයි.

තමා මිය ගියහොත් මේ වීඩියෝවක් අල්ලාගෙන තමාට අපහාස කල සියලු දෙනාගේම සිත රිදෙනු ඇත. ඔවුන් දුක්වෙනු ඇත. “අපරාදේ අපි එහෙම කරේ” කියා පසුතවෙනු ඇත. එසේ සිතීම පවා කෙතරම් නම් සිතට සැනසීමක්ද?

මුලු නිවස පුරාම තිබෙන්නේ නිහඬ තාවයකි.

ශවරයෙන් වැටෙන වතුර වැස්ස හැරෙන්නට වෙන කිසිත් ශබ්දයක් නැත.

තමා එදා ප්‍රභාත් එවූ පණිවිඩයට අනුව ඔහුව හමුවන්නට ගියා නම් මේ කිසිදු ප්‍රශ්නයකට මුහුණ දෙන්නට නොවන බව සිතෙද්දී එසේ නොකල එක ගැන චරිත්‍රා තමාටම බැන ගත්තාය.

ළහිරු සමග රාත්‍රී ආහාරය සඳහ පිටතට යෑම දිනකට පමණ පමා කර ප්‍රභාත් වෙත යෑම කරන්නට තිබුණත් ළහිරු නිසා සිත පිලිපන් ආදරය මෙන්ම ප්‍රභාත් ගැන පෙර නොවූ විරූ ලෙසට සිතට ආ අප්‍රසාදය ඒ ගමන නැවැත්වීම ගැන චරිත්‍රා උන්නේ තමා ගැනම කෝපයකිනි.

ඒ සිතුවිල්ල සහ අප්‍රසාදය නිසා තමාට අද සියල්ල අහිමි වී තිබෙනවා නොවේද?

ප්‍රභාත් අමතා “ඇයි මට මෙහෙම කලේ” කියා අසන්නට සිතුණද දුරකතන ළඟක නැත. දුක සහ වේදනාව නිසා දුරකතනය අතින් අත හැරී බිම වැටුණා චරිත්‍රාට මතකය.

තමා විසින් මැසෙන්ජරය ඔස්සේ වෙනත් පෙම්වතුන්ට යවන ලද සරාගී පණිවිඩ වල තිබූ වදන් සහ ජායරූප මතක් වෙද්දී චරිත්‍රාගේ වේදනාව අලුත් වේ.

වෙන කෙනෙකුට වූවා නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පවසන තමා අද අත පය බැඳ තිබෙන ලෙසින් හැසිරෙන්නේ මේ වූ කලී දරාගත හැකි ප්‍රශ්නයක් නිසා නොව ප්‍රභාත් වැනි ප්‍රභල දේශපාලන සහ මුදල් සබඳතා ඇති අයෙකු සමග සටන් කරන්නට තමාට නොහැකි බව දන්නා නිසාවෙනි.

ලෝකය වෙනස් කරන්නට කතා කරද තමා තවමත් ජීවත් වන්නේ ලංකාවේය. මුදල් සහ දේශපාලන බලය තිබේ නම් ඕනෑම දෙයක් තමාට අවැසි පරිද්දෙන් වෙනස් කරගත හැකි රටකය. එබැවින් ප්‍රභාත් නීතිය ඉදිරියට ගෙනවිත් ඔහුට දඬුවම් දෙන්නය නොහැකි බව චරිත්‍රා දනී.

අනෙක් අතට එසේ දඬුවම් දුන්නත් තමාට මේ අහිමි වුන ආත්ම ගරුත්වය සහ මුහුණු පොත ඔස්සේ උපයාගත් ගෞරවය ළඟ රඳවා ගන්නට හැකිද?

යලි කිසිම දිනක තමා මුහුණු පොතේ ලියා තබන දෙයක් කිසිවෙකුත් පිලිගනීවිද?

තමාට යලි හිස කෙලින් තබා සමාජයට මුහුණ දීමට හැකිද?

ගෙදරට, කාර්‍යාලයට මුහුණු දෙන්නට ඉඩකඩක් තමාට තිබෙනවාද?

ඒ සිතුවිලි පවා චරිත්‍රාට නොකියා කියන්නේ මිය යෑම යහපතක් බවය. 

චරිත්‍රා ශවරය වසා දැමුවේ සීතල දරාගන්නට අපහසුම තැනය.

දිය බේරෙන සිරුරෙන් යුතුව නාන කාමරයේ කණ්ණාඩිය ඉදිරියට ආ ඇය පෙඟුණු ඇඟට ඇලුනු නිදන ඇඳුමෙන් සහ තෙමී හිසටම ඇලුනු හිස කේ සහ සීතල නිල් නිල් පැහැ වී ඇති සිරුරක් ඇති අමුතුම ජීවියා දෙස කණ්ණාඩියෙන් බලා සිටියේ මනස අමුතුම ආකාරයකින් අවුල් වියවුල් වී යද්දීය.

කොපමණ වේලා තමා එසේ බලා සිටියාද කියා චරිත්‍රාට මතක නැත.

ඇය යලිත් මෙලොවට ආවේ මහ හඬින් නද දෙන නිවසේ දොර සීනුවේ හඬටයි.

දිය බේරෙන සිරුරෙන්ම දොර වෙත සෙමෙන් ඇවිද ගිය චරිත්‍රා දොර විවර කලාය.

ඒ වූ කලී බලාපොරොත්තු වූ දසුනක් නොවේ.

එහෙත් සියල්ල අහිමිව සුන් බුන්ව ගිය යුවතියට ඒ දසුන ගෙන ආවේ ඉමහත් හයියකි.

දෑසින් කඳුලු කඩා වැටෙද්දී සීතල තෙත බරිත සිරුරෙන්ම ඇය ඒ විසල් පපුතුරේ මුහුණ සඟවා ගෙන මහ හඬින් හඬන්නට විය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles