කහවණුගොඩ මන්දිරයේ රාත්‍රී කෑම මේසය සූදානම් වී තිබිණි. එය කවදත් සරුසාර වූවකි. නමුත් මදිරා ගේ රිය අනතුරෙන් පස්සේ ඒ කෑම මේසයෙහි ඊට පෙර වූ සතුට ක්ෂය වී යන්නට ගති. පුරුද්දට වාගේ මේසය ළඟ හිඳ ගෙන කෑම ගත්තා ට මයිකල් කහවුණුගොඩ ගේ සේ ම ඔහු ගේ නිවුන් පුතුන් දෙදෙනා ගේ ද හිත් වල සැහැල්ලුවක් හෝ සතුටක් වූවායි කිව නො හැක. මදිරා ගැන වේදනාවක්, රිදුම් දෙන කටුවක් සේ පපුව මැද පෑරි පෑරී තිබිණ.
අනතුර සිදුව තිබුණේ මදිරා විසින් ම රිය පදවා ගෙන යත්දී පහන් කණුවක එය ගැටීමෙනි. එසේ සිදු වූයේ අනපේක්ෂිත ලෙස පාර මාරු වෙන්නට ගිය කාන්තාවක අනතුරෙන් වලකා ගන්නට ඇය දැරූ උත්සාහයක් නිසාවෙනි. එදායින් පස්සේ බොහෝ දේ වෙනස් විය. කහවුණුගොඩ පවුලේ වූ මානසික සාමය ඔවුන්ට මුළුමනින් අහිමි විය. සුෂුම්නාවට සිදු ව තිබූ හානි නිසා ඇගේ ශරීරයේ අපර කොටස අප්‍රාණික වීම ඔවුන්ට දරා ගත නො හැකි වූ දෙයයි. සිංගප්පූරුවේ රෝහලකට ද ගෙන ගොස් සැත්කමක් සිදු කළ අතර ඉනුදු සැලකිය යුතු තරම් ලොකු ප්‍රතිඵලයක් ලැබුණා නොවේ. ඉන්පසු මදිරා ගිලන් යහනට සීමා වූවා ය.
“අලුත් ගෑනු ළමය අක්කගෙ හිත හදන්න මොනාම හරි කරයි කියල මට හිතෙනව”
මුලින් ම මුණිවත බින්දේ සනාතන කහවුණුගොඩ ය. මයිකල් උවමනාවෙන් පුතු දෙස බැලූ අතර සදාතන පිඟාන දෙසට නෙත් හරවා ගත්තේ ය.
“ඇයි පුතා එහෙම කියන්නෙ…”
මයිකල් සිය ගැඹුරු හඬින් විචාලේ අලුත් බලාපොරොත්තුවක් කදෝකිමි එළියක් සේ හදවත පත්ලෙන් සංඥාවක් නිකුත් කළ නිසාවෙනි. දියණිය ගේ ජීවිතය මීට වඩා යහපත් වූ තැනකට ගෙන එන්නට පුළුවන් නම් මයිකල් ඒ වෙනුවෙන් ඕනෑ ම දෙයක් කරනු ඇත. සිය ජීවිත කාලය තුළ උපයා සපයා ගත් මුළු ධනය ම වුව විය පැහැදම් කරනු ඇත. එක ම දියණිය, රෝස මලක් වාගේ සුන්දර දැරිය, අනුන් ගේ යහපත ම පැතූ සුරංගනාව, මේ විදිහට ජීවත් වෙනවා දකින්නට ඔහු ගේ ඇස් පව් කළ එක ගැන ඔහුට දැනෙනා තැවීම වචන වලින් පැහැදිය නො හැකි තරම ය.
“නෑ තාත්තෙ ඉතිං….අක්ක මාස ගාණකින් රූම් එකෙන් පිටට ඇවිත් නෑ. එළියට එන්න අපි කතා කළත් එයා කිව්වෙ එයාට මූඩ් එකක් නෑ කියල. මං කියන්නෙ මේ ගෑනු ළමය අඩුම තරමින් එයාගෙ මූඩ් එක ෆික්ස් කරල තියනවනෙ…ආපු පළවෙනිම දවසෙ…මටනං දැනෙන්නෙ ඒක ලොකු ස්ටෙප් එකක්. ඔයා මොකද හිතන්නෙ සදාතන…”
නළල රැලි නැංවීමක් ද එක්ක ඒ ඇස් එසැවිණි.
“ඔව් ඒක ලොකු දෙයක්”
සදාතන හා සනාතන ඒක ඩිම්බක සමරූපී නිවුන්නු ය. සදාතන සනාතන ට වැඩිය විනාඩි කිහිපයකින් වැඩිමහල් වූයේ ය. පොඩි කාලේ පටන් ම ඔවුන් දෙදෙනා වෙන් කොට හැඳින ගැනීම පහසු වූයේ නැත. එපමණට ම එක ම රූපයකි. නමුත් මයිකල් ගේ බිරිඳ වූ මායා සිය පුතුන් දෙදෙනා අතර වන වෙනස මුලින් ම හැඳින ගත්තා ය. ලොක්කා වැඩි කලබලයක් නැත්තෙකි. නින්දෙන් අවදි වුණත් මොර දී හඬන්නේ සනාතන ය. ලොකු වෙන්න වෙන්න මේ ලක්ෂණ වඩාත් පැහැදිලි වන්නට විය. සදාතන වැඩිය කතා කළේ නැත. සනාතන ගිරවෙකු සේ කියවූයේ ය. සදාතන නිතර සිනහ වූයේ නැත. සනාතන ගේ මුහුණේ හැම මොහොතක ම සිනහවකි. සදාතන ඉක්මනට මිතුරන් ඇති කර ගත්තේ නැත. සනාතන වහ වහා ඕනෑ ම කෙනෙකු හා මිතුරු වූයේ ය. සරලව ම කියනවා නම් සදාතන ආඩම්බර ය. සනාතන මිත්‍රශීලී ය.
“බලමුකො මොකද වෙන්නෙ කියල”
නළලේ රැලි ටික පහත් කරමින් එසේ කියා සදාතන නැවත ද බත් පත දෙස බලා ගත්තේ ය.
“එහෙමනං ඒ ළමයට හොඳට සලකන්න ඕනෙ අපි. අවශ්‍ය හැම පහුකමක්ම දෙන්න ඕනෙ. සනාතන ඒ ළමයත් එක්ක කතා කරල බලන්න. අවශ්‍යනං ට්‍රාන්ස්පෝට් එකක් වුණත් අරේන්ජ් කරල දෙන්න පුළුවන්නෙ”
“හරි මං ඒ ගැන බලන්නං තාත්ත”
මයිකල් සිය ජීවිතයෙන් වැඩි ම කාලයක් කැප කළේ ‘ගෝල්ඩන් ටී’ සිය ව්‍යාපාරය වෙනුවෙනි. තරුණ වියෙහි දී ම බිරිඳ පිළිකාවක් නිසා ජීවිතය හැර යාම ද රිය අනතුරක් නිසා දියණිය ගේ දිවිය අඳුරු වීම ද යන කාරණා දෙක ම ඔහු ට බරපතල පහරක් වූයේ ය. දරුවන් වෙනුවෙන් හිත හදා ගෙන බිරිඳ ගේ වියෝව දරා ගත් පියෙකුට, සිය දියණිය සදා කාලිකව ඇඳකට සීමා වීම යනු දරා ගත හැකි දෙයක් නොවේ. මානසික වියවුල නිසා ම ඔහු ව්‍යාපාරය පුතුන් දෙදෙනා ට බාර දී පසෙකින් සිටින්නට තීරණය කළේ ය. පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ව්‍යාපාර කලමණාකරණය පිළිබඳ විදෙස් උපාධි ලබා උන් ඔවුන් දෙදෙනා ගෙන් ගිනුම් හා ව්‍යාපාර ප්‍රවර්ධනය යන අංශයන් ගෙන් වැඩිපුර සමත්කම් පෑවේ සදාතන බව මයිකල් විශ්වාස කළේ ය. එනයින් ඒ අංශ වල වැඩි වගකීම ඔහු ට පවරා මානව සම්පත් කළමනාකරණය සනාතන ගේ වගකීමක් කොට භාර දුන්නේ ය. මිනිසුන් සමග ගනුදෙනු කිරීමේ විශේෂ කුසලතාවයක් ඔහු ට වන බව පියා දැන සිටියේ ය.
“සදාතන ඒ ළමයට රීසනබල් සැලරි එකක් ඩිසයිඩ් කරන්න…අක්ක වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හැම දේම…අන්තිම තත්පරේත් අපි කරන්න ඕනෙ”
ඒ මාතෘකාව හදවත් වලට බර වැඩි බවක් දැනුණෙන් ඔවුන් තව දුරටත් ඒ ගැන කතා කළේ නැත. මයිකල් ගේ හදවත තුළ මදිරා ගැන වන්නේ වාවා ගත නො හැකි වේදනාවකි. ඇය වූ කලී පවුලක් වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළ දියණියකි. මව් මිය ගියාට පස්සේ මල්ලිලා දෙන්නා ගැන වගේ ම පියා ගැන ද සියල්ල සොයා බලමින් ඇය පවුලක වගකීම කරට ගත්තා ය. කෙතරම් ධනය උපයා තිබුණ ද කෙතරම් දැසි දස්සන් ගෙදර සිටිය ද අම්මා කෙනෙකු ගේ භූමිකාව මුදල් වලින් සපයා ගත නො හැකි බව මයිකල් අත්දැකීමෙන් පසක් කර ගෙන සිටියේ ය. ගෘහ පාලිකාවන් දහ දෙනෙකු ට කළ නො හැකි දෑ පුංචි කෙල්ල තනිව මෙහෙයවූවා ය. මල්ලිලා දෙන්නාට අක්කෙකු නොව අම්මා කෙනෙකු වූවා ය. මල්ලිලා ගේ වගකීම් කර මත තබා ගෙන ම උපාධිය ද හැදෑරුවා ය. රුවෙන් ද ගුණයෙන් ද හෙබියේ වී ද පවුලේ වගකීම් නිසා ම ඇය ප්‍රේමයක පැටලෙන්නට නො පෙළඹුණා ය. නොහොත් ඊට අවස්ථාවක් උදා වූයේ නැත. දියණිය විවාහ කර දීම සඳහා කල වයස උදා වී ඇති බව වටහා ගත් මයිකල් ඊට සුදුසු සහකරුවෙකු ව්‍යාපාරික පවුලකින් ම තෝරා ගත්තේ ය. නමුත් ඒ සියල්ල බිඳ වැටුණේ මදිරා මුහුණ පෑ හදිසි අනතුරත් එක්ක ය. ඇගේ සුශුම්නාවට සිදු වූ අනතුර නිවැරදි කළ නො හැකි තත්වයක පවතිත්දී මනාල පාර්ශවය ඒ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය.
නමුත් කහවණුගොඩ පවුල තවමත් මදිරා අත්හරින්නට සූදනම් නැත.
සිය රැකියාව ගැන තෘප්තිමත් හැඟීමකිනි සියපත් එදා ගෙදර ගියේ. නමුත් ගිය ගමන් රැකියාවේ වරුණ කිය කියා ඉන්නට බැරි තරමට කුස්සියේ වැඩ තිබිණ. ආප්ප ඕඩර කිහිපයක් ම වූයෙන් ශාන්ත හිටියේ ආප්ප තාච්චි කිහිපය මාරුවෙන් මාරුවට හිස් කරමින් හා පුරවමිනි. සුජීවා අතින් ගුලි කොට පොඩි වඩේ හදමින් තෙල් හට්ටියට දමා බැද්දා ය. ඒ අතරේ ඉල්ලන අයට වඩේ හා බැද්ද මිරිස් කරල් දුන්නා ය. ආප්පයක් හෝ බිත්තර ආප්පයක් කන කෙනෙකුට කහට කෝප්පයක් හැදුවා ය. ඒ අතරේත් සීනි මදි කියනා අය ද ලුණු මිරිස් තව ඉල්ලන අය ද තව ආප්පයක් ඉල්ලන අය ද එමට ය. එතකොට ඒ කුඩා ගෙතුළ වුව සැතපුම් ගණනක් එහෙ මෙහෙ ඇවිදින්නට වන නිසා ඇගේ දෙපා රිදුම් දෙයි. නමුත් ඒ වාගේ දේවල් ගැන සිතිය නො හැකි තරමට ඔවුන්ගේ ජීවිත අග හිඟ කම් වලින් තෙරපී ය.
සෙනග පිරුණු බසයක හිටගෙන ම පැමිණි නිසා සියපත් ට ද විඩාවක් නො දැනුණා ම නොවේ. නමුත් ඕ අම්මා ගේ දෙපයට විවේකයක් දී ඇයව වඩේ බදින තැන රඳවා පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම ඇය විසින් භාර ගනු ලැබුවා ය. පංකජී උසස් පෙළට සූදානම් වන නිසා ඒ වැඩ වලට උදව් වෙන්නට සියපත් ඇයට ඉඩ නොදෙයි.
“මට යන්න බැරි වුණ තැනට ඔයා හරි යන්න ඕන. යන්න යන්න ගිහිං පාඩං කරන්න”
කියා, ඇය කුස්සියට ආවොත් සියපත් පංකජී ව එළවා ගනී.
තරමක් රෑ බෝ වන විට කෑම ගන්නට සෙනග නැතිව ගියේ ය. ඉස්සරහා ලෑලි දොර වසා දමා ඔවුන් තැන් තැන් වල හිඳ විවේක ගන්නේ එතකොට ය.
“කොහොමද පුතේ රස්සාව…දිගටම යන්න පුළුවන් එකද්ද…”
“කෙල්ල දවසෙම නැහිල නැහිල ඇවිත් කඩේටත් නැහෙන්න වුණානෙ”
“ඒක මහන්සි වෙන රස්සාවක් නෙවෙයි අම්මෙ. සැපට පුටුවක් උඩ ඉඳගෙන මදිරා මිස් එක්ක කතා කර කර ඉන්නයි තියෙන්නෙ. ජීවිතේ කියන්නෙ මොකද්ද කියල මට හරියට හිතා ගන්න බැරි තත්වයක් ඇති වුණා තාත්තෙ එහෙට ගියාම. ඒ මිනිස්සුන්ට මොනාද නැත්තෙ…ඒව නිකං දිව්‍ය ලෝකෙ ගෙවෙන ජීවිත වගේ. ඒ ජීවිතයි අපේ ජීවිතයි එකට තියල බලනකොට…අනේ මන්දා…මුකුත් හිතා ගන්න බෑ”
ශාන්ත සහ සුජීවා උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ.
“අපිට කොහොම වුණත් පුතාලටත් ඉරක් පායයි පුතේ. ඒ ගැන දුක් වෙන්න එපා”
“නෑ ඒක එහෙම දුකක් නෙවේ තාත්තෙ. මන්දා…මට හිතා ගන්න බෑ. හැබැයි ඒ මිනිස්සු මාර හොඳයි වගේ”
දියණිය සිය මුල්ම රැකියාව කරනා තැන ස්වාමි පුතුන් හොඳ මිනිසුන් ය කියා දැන ගැනීම ශාන්තටත් සුජීවාටත් සැනසිල්ලක් දනවන්නට ඇත.
සියපත් සඳපිනි සූරියගොඩ පසු දා කහවණුගොඩ මන්දිරියට පිවිසෙත්දී, දොරකඩ ම මෝටර් රථය ළඟ හිට ගෙන ලිපි ගොනුවකට මූණ ඔබා ගෙන සදාතන හිටියේ ය. මෝටර් රථයේ ඉදිරි දොර හැර දමා, අසුන මත ෆයිල් ගොඩක් ගොඩ ගසා තිබිණ. සියපත් පිවිසුම් දොරටුවෙන් ඇතුළු වත්දී ම සදාතන ඇය දුටුවේ ය. නමුත් නො දැක්කා සේ ෆයිල් එකට ඇස් දෙක ඔබා ගත්තේ ය. සිය ප්‍රධානියාට උදෑසනට සුබ පැතීම ආචාරශීලීත්වයේ ලක්ෂණයක් බව දැන සිටිය ද සියපත් ට එසේ කළ නො හැකි දෙගිඩියාවක් දැනුණේ ඔහු ගේ අවධානය මුළුමනින් ම වෙනත් අරමුණක් වෙත යොමුව තිබි නිසා ය.
“මං එනව කියල පේන්නැතුව නෙවේනෙ. තියන ආඩම්බර කමට ඔය ඇහැක් උස්සල බලන්නැතුව ඉන්නෙ. අර අක්කගෙයි මල්ලිගෙයි අහලකිංවත් තියන්න බෑ මනුස්සකම අතින්නං”
සියපත් එසේ සිතමින් ඔහු අසලින් පිය නගත්දී ම ලිපි ගොනුවේ පිටුවක් පෙරළන්නා සේ සදාතන හිස එසවූයේ ය.
“ගුඩ් මෝනිං සර්”
ඒ පමාවෙන් සියපත් වහා සිය සුබ පැතුම ඔහු ඉදිරියේ තැබුවා ය.
“ගුඩ් මෝනිං”
එය වූ කලී එක සිනහ පොදක් හෝ නොවූ බැල්මකි. ඒ සුබ පැතුම පවා නො සැලකිලිමත් ලෙස වචන විසි කිරීමක් වාගේ ය. නමුත් ඒ තද නිල්වන් තියුණු අයිරිශ් දෑස් විත් පපුවේ හැපුණා වාගේ සියපත් ට දැනිණ. හදවත ඇතුළේ මොන තරම් කලබලයක් ඇති වූයේ ද යත් ඇය ඉක්මන් කොට බිම බලමින් අඩිය ඉක්මන් කළා ය. නමුත් දෙඅඩියකට වඩා තබන්නට ඇයට අවස්ථාව උදා වූයේ නැත.
“හායි සියපත්. ගුඩ් මෝනිං”
කියාගෙන සනාතන මිදුලට බැස්සේ ය. හිම පතනයකට හසු වී ගල් වෙන්නට වාගේ ගිය දෙතොල් පෙති යන්තම් විදා සියපත් සිනහවක් පෑවා ය.
“ගුඩ් මෝනිං සර්”
“ඒ…පිස්සුද සර් කියන්නෙ…ඔයා මේ අපේ කම්පනි එකේ වැඩ කරන ළමයෙක් නෙවේනෙ. මෙහෙට එන්නෙ අපේ අක්කගෙ යාළුව විදිහට…එයාව සනීප කරගන්න අපිට උදව් වෙන්න. එතකොට ඔයා අපිට දේව දූතිකාවක් වගේ පේන්නෙ. මං සනාතන. මට නම කියල කතා කරන්න. අක්කගෙ යාළුවනං අපෙත් යාළුවෙක්නෙ…හරිද…”
එය කොයි තරම් උණුහුම් හැඟීමක් දැනවූවා ද කියා පහදා කියන්නට සියපත් ට තේරෙන්නේ ම නැත. ඇය යටි තොල් පට සපා ගත්තා ය. සනාතන කලිසම් සාක්කු වල දෑත් ඔබා ගනිමින් ද මිත්‍රශීලී සිනහවකින් ද සියපත් විනිවිද බැලුවේ ය. සදාතන යන්තම් හිස හරවා ඔවුන් දෙස බැලූ බවක් දෙදෙනා ම දුටුවේ නැත.