පතිදම්වැල් 34

“අම්මා ඕන” කියමින් කෙඳිරිගාන දුලන්‍යා ඉන්නේ අඩ අසිහියකින් මෙනි. බෙහෙත් වේල්කීපයක් ලැබීමත් ගතට දැනෙන අප්‍රාණිකත්වයක් නිසා ඇද මත වියැලුණු පරඬැලක් මෙන් වැතිරී හිඳින දුලන්‍යා දෙස බලාගෙන හිඳින උශාලිගේ නෙතේ ඇත්තේ පුදුමාකාර වේදනාවකි. ඒ බැල්ම ජීවිතයේ කෙදිනක හෝ මෙයට පෙර ඇති බව අනුපට මතකය.

ඒ තමන්ගේ අම්මාගේ නෙත්වලය. තමා අසනීප වූ මොහොතක තම සයනය අසල හිඳගෙන තමා දෙසම බලා උන් අම්මාගේ නෙත් වලද එදවස ඇඳී තිබුනේ මේ පෙනුම බව අනුපට සහතිකය.

දුලන්‍යාව කුසින් බිහි කල අම්මාටවත් නොවු විරූ ආදරයක්, මාතෘත්වයක් මේ පිටස්තර ගැහැණියකගෙන් දකින්න ලැබීම ගැන තමා සතුටු විය යුතුද දුක් විය යුතුද යන්න ගැන නිනව්වක් අනුපට තිබුනේ නැත. ඒ වූ කලි නිස්කලංක මොහොතක තනි වී සිතිය යුතු අන්දමේ කාරණාවකි. අම්මා නැති දරුවකුට තම ගුරුවරියකගේ වුව ආදරය ඉමහත්‍ ය.

එළියේ වැටෙන මද වැස්ස නිසා කාමරය ඇතුලතට දැනෙන්නේද සිසිලසකි. දුලන්‍යා ඒ සිහිලසට දො කෙටි එහෙත් ඉක්මන් නින්දකට වැටී තිබුනි. ඇයගේ ඇඳට පසෙකින් ඇති කබඩය මත උණුසුම් බව කියාපාන සුප් බඳුනකි. ඒ රැගෙන ආවේ උශාලිය. ඉතින් ස්තුති නොකර හිඳින්නට හැකිද?

“සුප් හදන් එන්න කරදර වුණේ ඇයි”

ඒ උණුසුම් කතාබහකට මුල පුරන වදන් කිහිපයකි. මෙතෙක් වේලා දුලන්‍යා මතම රඳවාගෙන උන් තම ආදරයෙන් බර දෙනෙත උශාලි අනුපගේ නෙතු මත රැඳෙව්වාය. ඇයගේ දෑස් මත ගැල්වී තිබෙන ආදරයේ හැඟුම් දහරාව චමත්කාරජනකය. ඉඹින්න හිතෙන අන්දමේ කෝල රෝස පැහැයක් ඉහිරුණ කම්මුල් තවමත් තමාට ආගන්තුක සහ අනවසර කලාපයකි. එහෙත් හිත අස්සේ පිපෙන හාදු මල් වලට පිපෙන්නට එපා යැයි කිව හැකිද?

“අනේ කරදරයක් උනේ නෑ. සුප් එකක් හදන එක මොකද්ද? අනික අම්මා තමයි ගොඩක්ම හරිය හැදුවේ”

දුලන්‍යාද වැඩිවිය පත් දිනයක මෙවන් හුරතල් කෙල්ලක වනවා නම් අපූරුය. ඇය හුරුබුහුටිය. හිස දෙපසට නලවමින් කරන කතා බහ අපූරුය. මනස්කාන්තය. ඊටත් වඩා ඒ කාරුණික ආරදබර දෑස නෙතට රසඳුනකි.

“අදත් මොන්ටිසෝරි ගියාද?

අනුප එසේ ඇසුවේ කතාබහ අතරතුරම ඇයට අසුන්ගන්නට පසෙක ඇති පුටුවක් පෙන්වමිනි. හැඳ සිටින කහ මල් වැටුණ දිගු ගවුම පිටුපසින් අත තබා පිලිවලට සකසාගෙන පුටුව මත වාඩි වී හෑන්ඩ් බැගය උකුල මත තබාගත් ලීලාවේ ඇත්තේ පුදුමාකාර සුන්දරත්වයකි. ඒ අපූරු ගැහැණුකම මින් කිසිදු දිනයක කිසිදු කාන්තාවකගෙන් දැන නොමැති තරම් අපූර්ව චමත්කාරයක් සිත තුල සරැළි නංවයි.

එක එල්ලේ පැය ගාණක් පුරාවට වුව බලා හිඳින්නට හැකි වුවද තම තප්පර ගානක බැල්ම ඉදිරියේ පවා ලැජ්ජාවෙන් බිමට බර වන ඒ අපූරු ගැහැනු කම තවත් විලිබර කරන්නට ඉතින් අවශ්‍ය නැත. ජනෙල් වීදුරුවෙන් එහා පැත්තේ පෙනෙන වැසි දියවරත්, ඉන් තෙමී යන ගහ කොලත් මහ මාර්ගත් දෙස බලමින් අනුප නිහඬ වුයේ තමා ඇසූ පැනයට පිලිතුරු දෙන්නට ඇයට ඉඩකඩ සකසමීනි.

“ඔව්, කට්ටියත් අහනව ඇයි දුලා නැත්තෙ කියල”

“මේ දවස්වල හරියට මේ ලෙඩනෙ. වැස්ස නිසා”

“ඔව් මේ කාලෙට බබාලව හරියට පරිස්සම් කරන්න වෙනවා”

“පෙරේදා රෑ ඉඳල නින්දක් නෑ ඉතින්. අනික පොඩි නිසා ඇඟට දැනෙන අමාරුව වැඩිනෙ”

ඔහුගේ මුහුණින් මහන්සිය බේරෙන බව උශාලිට පෙනේ. සුන්දර ඒ මුහුන මැදින් සිනාවක් පවා නැගෙන්නේ අපහසුවෙනි.

“මම ආ එක කරදරයක්ද දන්නේ නෑ”

“අනේ නෑ, ඔයා ආ එක හොඳයි. මම හරිම පාලුවෙනුයි කම්මැලිකමෙනුයි හිටියෙ. නින්ද යන්නෙත් නෑ”

“දැන් රෑටත් ඔයාද ඉන්නෙ?”

“ඔව් අම්මට එන්න විදියක් නැනෙ. මම තමයි ඉන්නෙ”

උත්තර හිස උඩ පහල හිස සෙලවීමකි. වදනක් පිටකරන්නට දෙතොල් මෑත්  නොවුවද ඒ දෙතොල් මත ඇඳි ඇති සුන්දර සිනහව අනුපගේ තොල් මතට ගෙන එන්නේද සරල එහෙත් සුන්දර සිනහවකි.

මහන්සිය. සිතට මෙන්ම ගතටද මහන්සිය. එහෙත් ඒ මහන්සිය පලවා හරිම කුමක්දෝ අපූරුතම හැඟීමක් මද පවන සමග කැලතී එන ඇගේ සුවඳේ ඇත. එය සිත සනසවයි. නිස්කලංක කරයි.

තමන් එහෙම හිතීම පවා ඇයට කරන වරදක් බව හැඟීමයි.

ෂෝබිතාගේ දික්කසාදයන් ගැන කියවෙන තර්ජන ද, දුලන්‍යගේ හදිසි අසනීපයන්ද නිසාවෙන් ඔත්පල සිත බොහෝ කාලයකට පසුව පිරිමිකමේ උණුසුම් සුවඳ හද නහර පුරා රැගෙන යමින් හිඳී. 

“ගොඩක් කල් ද මොන්ටිසෝරි එකේ ටීච් කරන්න පටන් අරගෙන?”

“අවුරුදු එකහමාරක් විතර වෙනව දැන්”

“ඒ කිව්වෙ ස්ටඩීස් ඉවර උන ගමන්ම ජොබ් එකට ආව එහෙමද?”

ආයෙමත් මද මුදු සිනා සමග හිස ඉහල පහල හැරවීමකි.

“ඇයි ඉතින් මොන්ටිසෝරි ටීචින් වලට එන්න හිතුවෙ? මම මෙහෙම කියන එක වරදක් ද දන්නෙ නෑ ඩෝන්ට් මයින්ඩ් මී සෙයින් දිස් ඒත් එහෙම ලොකු සැලරි ලැබෙන ජොබ් එකකුත් නෙවෙයිනේ”

“මම ආසයි පොඩි අයට. හිතට සතුටක් එයාලා එක්ක කාලෙ ගෙවන එක. සතුට ඉතින් සල්ලි වලින් මනින්න බෑනෙ”

ඒ වූ කලී සරල වාක්‍යයක් ලෙස කෙනෙකුට සිතෙන්නට හැකිවුවද ඒ වචන තුල ගැබ් වී තිබුන මහ විශාල කතාව නොතේරුණා නොවේ. ඒ කතාව තම ජීවිතයට වුව කෙතරම් නම් වලංගුද? කොතරම් ප්‍රමාණයක් මුදල් හරි හම්බු කරද තමා ඉන්නේ සතුටෙන් නොවන බවද ඒ නොමැති සතුට මුදල් වලින් ලබාගන්නටද නොහැකිය.ඇය මේ සෙමෙන් සෙමෙන් පිරිමදිමින් සිටින්නේ තමන්ගේ ඒ බිඳුන හිත නොවේද? 

සිතුවිලි සමග තර්ක කරමින් හුන් අනුපත් උශාලිත් අතර වූයේ පුදුමාකාර නිහඬතාවයකි. එකි නිහඬතාවය තොටිල්ලක් කරගෙන පුංචි දුලන්‍යා නින්දකට වැටී උන්නාය.

“මම දැන් යන්නම් සර්”

තමා කල්පනාවක දැහැන් ගතව ඉද්දී බොහෝ කාලය ගතව ගොසින් බව අනුපට තේරුම් ගියේ උශාලිගේ ඒ වදන් ළඟදීය. තවත් හිඳින්න යැයි කියන්නට හැකියාවක් නැත.

“තැන්ක්‍යු වෙරි මච් ටීච ආවට, මම දුලා නැගිට්ටම කියන්නම් ටීච ඇවිත් ගියා කියල”

ඉතින් සුපුරුදු පරිදි සිනාබර පිළිතුරක් පමණි. සිනහවකින්ම ඇයට සමුදුන් අනුප නිදා හිඳින දුලන්‍යාගේ කැරළි හිස කෙස් අත ගෑවේය. ඉන්පසු අත නහය ළඟට ගෙන සුවඳ බැලුවාය. බෙහෙත් සුවඳ පරදවා එන කිරි සුවඳ හිත තුල සංවේගයේ මහෝඝ රැළි නංවයි. ඒ වූ කලී පිරිමි හිතකට වුව දරුවාගේ අනාගතය ගැන ඇතිවන බිය ගැන කරුණකි.  

දොර හැරුණේ මුහුණමත දුක්බර සිනහවක් තවරාගෙන හිඳින අම්මාගේ රුව නෙතු මත අඳිමිනි.

“කොහොමද පුතේ දැන් කෙල්ලට?”

නිදියන දුලන්‍යා ඇහැරේය යන බියෙන් අම්මා කතා කරන්නේ රහසින් මෙනි.

“බයවෙන්න දෙයක් නැ කිව්ව. ඇඟ පොඩ්ඩක් වීක් කිව්වා. බෙහෙත් දුන්නා. ඩොක්ටර් ආයෙ රෑට එනව බලන්න”

“පුතා රෑට ඉන්නවද?”

“ඔව් තනියෙන් තියන්න බෑනෙ”

“ප්‍රයිවට් ඒව නිසා ඉන්න බැරි නෑනෙ, මම රෑට කෑම අරගෙන ආවා දරුවට. පුතා ගෙදර ගිහින් වොශ් එකක් දාලා චේන්ජ් කරගෙන එන්න. ඔයා නිවාඩු දැම්මද ඔෆිස් එකේ?”

“ඔව් ඒත් යන්න වෙනව මට ඩොක්‍යුමන්ටස් වගයක් සයින් කරන්න තියෙනව අර්ජන්ට්. මම දැන් ගිහින් ඒ ටික කරල ගෙදර ගිහින් ඉක්මනට එන්නම්. මම ඇවිත් අම්මට යන්න පික් මී එකක් දාලා දෙන්නම්. අම්මට ඉන්න පුලුවන්ද?”

“ඔව් ඔව් ඒක මොකද්ද? දැන් යනවද පුතා? කුඩේ අරගෙන යන්න. නැත්තම් තෙමිල ඊලගට ඔයා ලෙඩ වෙයි”

අම්මාගෙන් කුඩය ඉල්ලාගෙන විදුලි සෝපානය දිගේ ආ ගමන නතර වූයේ එලියට බසින්නට පඩිපෙලට පය තියනවාත් එක්කමය.

එළියේ වැටෙන මහ වැස්සට බියෙන් මෙන් රෝහල් ගොඩනැගිල්ලේ හිඳ පහලට බසින පඩිපෙල ලඟ සිටගෙන දුරකතනය අතේ තබාගෙන මුහුණේ කරදරයක ලකුණු පැළඳ ගෙන හිඳින්නී දුලන්‍යාගේ ටීච ය.

නැත.

උශාලිය.

ඇයගේ ගෙවල් තිබෙන්නේඇස් වාට්ටුව හරියේය. කාර්‍යාලයට යන්නට තිබෙන නිසා තමාද ඒ පැත්තට යයි. ඇයවද යන අතරමග නිවස අසලින්ම බස්සවාගෙන යාමේ අපහසුවක් නැත. සිත අස්සෙන් සෙමෙන් සතුටක් මෝදුවෙන්නේ ඒ නිසාම විය හැක. එහෙත් උශාලි තමන්ගේ ඇරයුම පිළිගනීවිද යන්න සිහින් සැකයක් ද නැතුවා නොවේ. මේ ඇයව තම රියේ ගෙනයන පළමු වර නොවේ. දුලන්‍යා සමග ජාග්‍රෝ වෙත ගිය දිනයේත්, මධුකගේ විවාහ මංගල්‍යය අවසන් වීත්, නුගේගොඩ දී හමු වූ මොහොතේත් ඇය තමාගේ රියේ නැගී ගියාය. එහෙත් එදිනට වඩා අද තමන් අතර වූ ඔඅරතරය අඩු වී ඇති බව දැනෙන්නේ ඇයිද යන්න ලෙහා ගත නොහැකි සිතුවිලි ගැට ගැසීමකි.

එහෙත් මේ වැස්සේ ලස්සන කෙල්ලෙක් තනිව රෝහල් ලොබියක තබා යාම තම පිරිමිකමට ලැජ්ජාවකි.

තමා අසලට ළං වූ කගෙ හෝ ජායා මාත්‍රයක් ඇස් කොණක සටහන් වූ නිසාවෙන්ද ඇය හැරී බලයි. ඒ නෙතු පුදුමයෙන් විසල් වූයේත් අනතුරුව සිනාවකින් එළිය වූයේත් ඇසිල්ලකිනි.

ඒ දෙනෙතේ කාන්තිය දරාගත නොහැකි තරම් ය. බිම බලා ගත යුතු වූයේ තමා වුවද මද මුදු සිනහවක් ලා රත් දෙතොලේ රඳවාගෙන බිම බලා හිනැහුනේ ඇය ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles