විඳින්න තිබූ ජීවිතය විඳවූ තරුණියකගේ කතාවක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“මොකද්ද අනේ ඔයා ඔය ගෙවන ජීවිතේ තේරුම?”

උමාලි කෝසලාගෙන් එහෙම ඇහුවෙ මෙච්චර හොද ජොබ් එකක් කරල, හොඳම හොඳ සැලරි එකක් ලැබෙද්දි වුණත් තනියෙම ඉන්න කොට කොහෙද දුර කල්පනාවකට යන බව කීප වතාවක්ම දැකපු හන්දා.

කෝසලා හරි දක්ෂයි. හරි ලස්සනයි. ඔෆිස් එකේ වැඩ ටිකත් හරිම හොඳට කරනවා.

ඒත් එච්චර දේවල් තිබිලත් කෝසලා ඉන්නෙ මොකක් හරිම ලොකු වේදනාවක, හිත අස්සෙ හංග ගත්ත පසුතැවීමක කියන එක එයාගේ මූනෙන් පෙනිච්ච අවස්තා තිබුනා.

“ඇයි එහෙම ඇහුවෙ?”

“ඇයි එහෙම ඇහුවෙ කියන්නෙ, කම්මැලි නැද්ද අනේ වීකෙන්ඩ් එකේ බෝඩිම අස්සටම වෙලා ඉන්න”

“කම්මැලි උනාම ඉතින් නිදාගන්නව”

“මොකද්ද අනේ ෆිල්ම් එකක් බලන්න යන්නකො, එලියෙන් කන්න යන්නකො, පොඩි රවුමක් උනත් දාන්න පුලුවන් නේ”

උමාලි එහෙම කිව්වෙ තමන් එහෙම කරන නිසා. තමන්ට කොල්ලෙක් ඉන්න බව ඇත්ත. කෝසලීට එහෙම කෙනෙක් නැති බවත් ඇත්ත. ඒත් ඉතින් ජීවිතේ එන්ජෝයි කරන්න කොල්ලෙක් ඉන්නම ඕන නෑනෙ.

“කාත් එක්ක යන්නද අනේ? ඊට වඩා හොඳයි බෝඩිමට වෙලා ඉන්න එක”

ඒ කතාව එතනින් ඉවර වුණාට උමාලි ඒ කතාව ඉවර කරේ කෝසලාට හිතන්න ලොකුම ලොකු දෙයක් ඉතුරු කරලා.

තමන් ඇත්තටම ගෙවන්නෙ හරි නීරස ජීවිතයක් නේද කියන ප්‍රශ්නෙ කෝසලා පලවෙනි වතාවට තමන්ගෙන් ඇහුවෙ එදා රැ ඔෆිස් ඉවරවෙලා ගෙදර ඇවිත්.

ලස්සන රූපයක් තිබුණ, ලස්සන පර්සනැලිටි එකක් තිබුණ තමන්ගෙ ඒ ලස්සන පහුගිය කාලයක් පුරාවට හිත අස්සෙ ගොඩගැහිච්ච නමක් නොදන්න හිත් වේදනාවකින්, දුකකින්, ඒ දුක හින්ද ඇතිවෙච්ච අන්දකාරෙකින් වැහිල නේද කියල කෝසලා කණ්ණාඩියෙන් පේන තමන්ගෙ ඇස් යට කලුවෙච්ච මූණ දිහා බලාගෙන කල්පනා කරා.

කෝසලා මගෙ ළඟට ආවෙ ඒ හිත් කලකිරීම හිතෙන් අයින් කරගන්නෙ කොහොමද කියල අහගන්න.

“මම මොනතරම් උත්සහ කරත් ලස්සන ඉන්න ඕන,අඳින්න පලඳින්න ඕන කියල ඒක කරන්න ඕන මෝමන්ට් එක ආවම මට කවදාවත් ඒක කරන්න පුලුවන් වෙලා නෑ. මට හරි කම්මැලි කමක් නිදිමත ගතියක් දැනෙනව. කිසිම දෙයක් කරන්න, ලස්සනට ඇඳ පැළඳගෙන එලියට යන්න, ෆිල්ම් එකක් බලන්න මට ඒ කිසිම දෙයක් කරන්න උවමනාවක් නෑ’

කෝසලා මං එක්ක එයාගේ වේදනාව බෙදාගත්තෙ ඒ විදියට.

“ඔයා හිතන්නෙ මේ ප්‍රශ්නෙ පටන් ගන්න ඇත්තෙ කොතනින්ද?”

“මට දැන් කිසිම අෆෙයාර් එකක් නෑ. ඒත් දැනට අවුරුදු දෙකකට විතර කලින් මට අෆෙයාර් එකක් තිබුනා. මම ඒ අෆෙයාර් එක ඇතුලෙ හරි සන්තෝසෙන් හිටියෙ. මම සෑහෙන ලයිෆ් එක එන්ජෝයි කරා.

ඒ අෆෙයාර් එක බ්‍රේක් උනේ බ්‍රේක් වෙන්න ඕන හේතුවකටද කියල දැන් හිතුණත්  එයා මගෙ ලයිෆ් එකෙන් ගියේ මගෙ ඔක්කොම සතුට අරගෙන කියලයි මට හිතෙන්නෙ. මට නිතරම හිතෙනව මේ ජීවිතේ මම මේ මහන්සිවෙලා වැඩකරන්නෙ, සල්ලි හම්බකරන්නෙ කවුරු වෙනුවෙන්ද කියල.

මගෙන් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවද කියල. අඩුම ගාණෙ මටවත් මගෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියල.  ඔෆිස් එකේ වැඩ මම හොඳින් කරනව. ඒත් මට හැම තිස්සෙම හිතෙන්නෙ මිනිස්සු මාව ආශ්‍රය කරන්න මේ වැඩ ටික කරගන්න උවමනා හින්දා විතරයි, කෙනෙක් මාත් එක්ක කතාකරන්නෙ මොකක් හරිම උදව්වක් ඕන නිසා කියල.

මට උදේට නැගිටල ඇස් දෙක ඇරගෙන ගෙවන පැය ගාණ මම ගෙවන්නෙ හරියට එපා වෙලා, මම අවංකවම සැනසීමකින් ඉන්නෙ මට නින්ද යන ටිකේ විතරයි”

සමහර වෙලාවට ජීවිතේ එන ප්‍රශ්න අපි හිතනවට වඩා අපේ හිත් ඇතුලට ජීවිතේ ඇතුලට කිඳා බහිනවා. අපේ ජීවිතවලට එන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්නෙ අපිනෙ. එහෙම නැත්තම් විසඳුම් හොයාගන්න උත්සහ කරන්නෙ අපි. වෙන කෙනෙක් එක්ක ඒ ප්‍රශ්නෙ බෙදාගන්න, එහෙම නැත්තම් ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්න වෘත්තිය සහය ලබාගන්න අපි කටයුතු කරන්නෙ හරි අඩුවෙන්.

ඇත්ත ඒ සමහර ප්‍රශ්නවලට අපි විසින්ම සොයන උත්තර ඔස්සේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න පිට පුලුවන්කම ලැබෙනව. ඒක හොඳ දෙයක්.

ඒත් අපි නොහිතුවට ඒ අපි විසින් තනිවම ඕවර්කම් කරපු ඒ ප්‍රශ්නවලින් ඇතිවන බිඳීම්, රිදීම් සහ සිත් වේදනා අලු අස්සෙ හැංගිල තියෙන ගිනි පුපුරු වගේ තිබිලා ජීවිතේ අපි නොහිතන මොහොතක නොහිතන විදියකින් එළියට එන්න පුලුවන්.

ඒ නිසා තමයි අපි නිතරම කියන්නෙ ඔබ විසින් මුහුන දෙන ප්‍රශ්නයේ තියෙන බරපතල කම මත ඒ ප්‍රශ්නයට විසඳුමක් සොයාගත යුත්තේ ඔබ විසින් තනිවමද එහෙම නැත්තම් වෘත්තිය නිපුණත්වයක් තියෙන අයෙකුගෙ උදව්වෙන්ද කියන එක තීරණය කල යුත්තේ.

කෝසලා තමන්ගෙ බිඳුණු ආදරය නිසා සන්තෝසෙන් හිටියා. ඒ ආදරය බිඳුණ එක තවත් එක සාමාන්‍ය බ්‍රේක් අප් එකක් කියල තමන් විසින්ම තීරණය කරලා ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්න තමන් විසින්ම තීරණය කලා. වාසනාවකට කාලය සමග ඒ දේ අමතක කරල රැකියා කටයුතු වලින් ඉදිරියට යන්න පුලුවන් උනාට ජීවිතේ ක පැත්තකට ඒ බිඳ වැටුණ ආදරය නිසා වුන අතුරු ප්‍රතිපල ලොකු බලපෑමක් කරල තිබුණා.

බලාපොරොත්තු බිඳ වැටීම්වලට අපිට ජීවිත කාලය පුරාවටම මූන දෙන්න වෙනව. ඒකතමයි ජීවිත ස්වභාවය.

ආදරය කියන්නෙ සැනසීම වගේම වේදනාවත් අරගෙන එන හැඟීමක්නේ. ආදරය තිබෙන මොහොතේ සතුටෙන් ඉන්න අපිට පුලුවන් වගේම, ආදරය අහිමිවුන තැනදි අපි කඩා වැටෙනවා. වේදනාවට පත්වෙනවා.

ඒත් අමතක කරන්න එපා.

ජීවිතේ දහසක් දේ අහිමි වුණත් ඔයාට ඔයාව අහිමිකරගන්න එපා.

ඒ නිසා තමයි අපි නිතරම මතක් කරන්නෙ මානසිකව බලපාන ගැටලු පැන නගින තැන්වලදි වෘත්තිය උපදේශන සහය ලබාගැනීම වඩා වැදගත් බව සහ වඩා හොඳ ප්‍රතිපල අරගෙන එන බව.

අමතක කරන්න එපා, ඔබේ ජීවිතේ ඔබට සැබෑවටම අහිමිවෙන්නෙ ඔබ ඔබව අහිමි කරගත් දිනක. ඉතින් ඔබ වෙනුවෙන් සතුටෙන් ඉන්න, ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න!

Related Articles

Don't Miss


Latest Articles