මුඛයේ ඇතිවෙන ඌෂ්ණ බිබිළි වලට නිවසේදීම කලහැකි ප්‍රතිකාර

ඔබත් නිතරම මුඛයේ ඇතිවෙන උෂ්ණ බිබිළි නිසා පීඩාවට පත්වෙනවද ? 

ආහාර ගැනීම අපහසු වෙනව වගේම උෂ්ණ බිබිළි නිසා බොහෝදෙනෙක් මානසික ආතතියටත් ලක්වෙන බව අපි කවුරුත් එක ලෙසම පිළිගන්න කාරණාවක්.

එහෙනම් අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ ඌෂ්ණ බිබිළි සුවකර ගැනීමට නිවසේදීම කල හැකි ප්‍රතිකර්ම කීපයක් ගැනයි.

ඒ මොනවද බලන්න කලින් අපි බලමු ඌෂ්ණ බිබිළි ඇතිවෙන්න හේතු මොනවද කියල

විටමින් B12, සින්ක්, යකඩ, ෆෝලේට් වගේ අත්‍යාවශ්‍ය විටමින් සහ ඛණිජ වල හිඟබව,

මුඛයේ ඇති බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය, 

ලෙමන්, අන්නාසි සහ ස්ට්‍රෝබෙරි වැනි ආම්ලික ආහාර,

සෝඩියම් ලෝරල් සල්පේට් අඩංගු දන්තාලේප සහ මුඛ පිරිසිදුකාරක (mouth wash) භාවිතය සහ

මුඛ සෞඛ්‍ය නිසි ආකාරව පවත්වා නොගැනීම

උෂ්ණ බිබිළි ඇතිවීම සඳහා හේතුවෙන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් දින 10 ක් 14 ක් ඇතුළත කාල සීමාවකදී ස්වභාවිකවම ඌෂ්ණ බිබිළි සුව වීම සිදුවෙනවා. 

ඒ කාලය තුල සිසිල් ජලය සහ බීම වර්ග පානය කිරීමත් ඒ සඳහා බීම බටයක් යොදා ගැනීමත් ඌෂ්ණ බිබිළි නිසා ඇතිවෙන වේදනාවන් අවම කරන්න ඔබට උදව් වෙනවා. 

නමුත් එපමණ දවසක් වේදනා විඳිමින් සිටීම අපහසු නිසා ඉක්මනින් ඌෂ්ණ බිබිළි වලින් සහනයක් ලබා ගැනීමට අපිට උදව් වෙන නිවසේදීම බොහොම පහසුවෙන් සොයා භාවිතයට ගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන ඔබට කියල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

අපි බලමු ඒ මොනවද කියල 

මී පැණි

මී පැණිවල අඩංගු ප්‍රතික්ෂුද්‍ර ජීවී ගුණ නිසා ඕනෑම විවෘත තුවාලයක් ඉක්මණින් සුව කිරීමටත් ආසාදන ප්‍රදේශය විෂබිජ වලින් ආරක්ෂා කිරීමත් සිදු කරනවා. 

ඒ නිසා සෑම පැය කීපයකට වරක්ම ඌෂ්ණ බිබිළි මත සහ ඒ ආසන්න ප්‍රදේශයේ මී පැණි ආලේප කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න ඔබට පුළුවන්. 

බේකින් සෝඩා 

බේකින් සෝඩා වල අඩංගු සෝඩියම් බයිකාබනේට් වල ඉහළ පිරිසුදුකාරක ගුණ පවතිනවා. 

ඒ නිසා බේකින් සෝඩා සහ වතුර සමාන ප්‍රමාණවලින් ගෙන උකු මිශ්‍රණයක් සාදා එය ඌෂ්ණ බිබිළි මත සහ ඒ ආසන්න ප්‍රදේශයේ ආලේප කර වේලීමට තබන්න ඔබට පුළුවන්.

මේ ප්‍රතිකාරය අවම වශයෙන් දිනකට තෙවරක්වත් කිරීමෙන් හොඳ සහ ඉක්මන් ප්‍රතිඵල ලබාගන්න ඔබට පුළුවන්. 

පොල්තෙල්

මී පැණි වලට වගේම පොල්තෙල් වලටත් ඉහළ ප්‍රති ක්ෂුද්‍රජීවී ගුණ තියෙන බව ඔබ සමහරවිට නොදන්නවා ඇති. 

ඒ වගේම දැවීම් සහ වේදනාවන් අඩු කිරීමේ හැකියාවත් පොල්තෙල් වලට තිබෙනවා. 

රාත්‍රීයේදී ඌෂ්ණ බිබිළි සහ ඒ ආසන්න ප්‍රදේශයේ පොල්තෙල් ආලේප කිරීමත් හොඳ ප්‍රතිඵල ලබාදෙනවා. 

ලුණු වතුර

මඳ රස්නෙ වතුර වීදුරුවකට ලුණු මේස හැඳි 01 ක් මිශ්‍ර කර ඒ වතුරින් හොඳින් කට සේදීම කල යුතුයි. 

ඉන්පසු මඳ රස්නෙ වතුරින් කට සෝදා කටේ ඇති ලුණු රස ඉවත්කර ගන්න ඔබට පුළුවන්. 

ලුණු වල ඇති විෂබීජ නාශක ගුණය  ඌෂ්ණ බිබිළි ඉක්මනින් සුවකරන්න වගේම වේදනාව අඩු කරන්නත් උදව් වෙනවා. 

දන්තාලේප

දන්තාලේප ස්වල්පයක් ගෙන දිනපතා ඌෂ්ණ බිබිලේ උඩ ආලේප කිරීම සිදු කරන්න ඔබට පුළුවන්.

ඌෂ්ණ බිබිළේ උඩ ඇති සුදු පැහැය නැතිවී යන තෙක්ම මෙය සිදුකල යුතුයි. 

මුලින්ම දන්තාලේප ආලේප කරන විට වේදනාවක් දැනෙන්න පුළුවන්. නමුත් එය බිය වීමට කාරණාවක් නෙමෙයි වගේම ඒ වේදනාව ඉතා ඉක්මනින් නැතිවී යන බවත් ඔබට විඳින්න ලැබේවී.

ඉතිං නිවසේදීම ඉතාම පහසුවෙන් සොයාගන්න පුළුවන් මේ දේවල් වලින් ඌෂ්ණ බිබිළි වලින් ඔබට ඇතිවෙන වේදනාවන් අඩුකර සහනයක් ලබාගන්න පුළුවන් වේවි යැයි අපි විශ්වාස කරනවා.

මෙවැනි වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles