පතිදම්වැල් 47

“මේකි යාලුවෙලා ඉන්නෙ කසාඳ බැඳපු මිනිහෙක් එක්ක”

කිසල්ගේ වදන් නිවස පුරා විහිද යද්දී ගීතාංජලී උන්නේ පුදුම තරම් කම්පාවකිනි. කම්මුල් මත රැඳවුණ දෑත අස්සෙන් නෙතින් වට කඳුලු බිඳු ගවුම් සාය තෙමද්දි ගීතාංජලී ලඟම තිබ්බ බංකුවෙන් වාඩි වුනේ තමන් මේ කම්පනේට බිම ඇඳගෙන වැටෙව්වි කියල බයට වගේ.

“මම දවස් දෙක තුනක්ම දැක්ක ඒ මනුස්සය එක්ක මෙයා එහෙ මෙහෙ යනව. මම සෑහෙන මහන්සිවෙලා විස්තර හොයාගත්තෙ. බලද්දි ඒ මිනිහ බැඳපු මිනිහෙක්. මෙයා මේ උගෙ නලු පෙනුමටයි යාන වාහනවලටයි රැවටිල. ගොන් ගහක් මේකි බලාගෙන ගියාම”

අයියා මොන තරම් තරහ ගියත් කවදාවත් මේ විදියට කෑගහල නැති බව මතක් වෙද්දි උනත් උශාලි උන්නෙ බයකින් නෙවෙයි. හිත අස්සෙ පුංචි තිගැස්මක් තිබුනත්, අයිය කියන කතාව ඇත්තක් බව දැනගෙන උන්නත් කිසිම හේතුවක් නිසා දුලන්‍යාවත් අනුපවත් අමතක කරන්නෙ නෑ කියල අනුපට වගේම තමන්ගෙ හිතට දීපු පොරොන්දුව කොහෙන්දෝ අරන් ආව මහ පුදුම හයියක් විදියට දැනෙමින් තිබුණා.

අයියාගේ වදන් සවන් අස්සට රිංගවූ යකඩ කූරක් විසින් ගෙන එන්නට ඇතැයි සිතිය හැකි වේදනාවක් වුව සිත තිබුණේ ආදරයේ සවියෙන් සවිමත්වය.

අනුප රැවටිලි කරුවකු නොවන බවටත්, තමාත් ඔහුත් එකිනෙකා හා ලං වූයේ ආදරයේ නාමයෙන් නිසාම පමණක් බවත් දැන හිඳිමම අයියාගේ වදන් ඉදිරියේ සවිමත්ව හිඳින්නට ඉඩකඩ සකසමින් හිඳිනා බව සිතට තේරුම් යමින් තිබුණාය.

“කසාද බැඳපු මිනිහෙක් එක්ක යාලුවෙන්නද මෙච්චර අමාරුවෙන් පරිස්සම් කරල උස් මහත් කරේ? මං අම්මට කිව්වනෙ හිමිජ්ජි වගේ ඉඳන් කවදහරි මහ ලොකු විනාසයක් කරගනී ඒ හින්ද ඉක්මනට කසාදයක් කරල දෙන්න කියල. කොහෙද අම්මලටත් උවමනාවක් තිබ්බෙ නෑ. දැන් අන්තිමෙ ඔක්කොම විනාස වුනාට පස්සෙ අඬල වැඩක් නෑ”

අයියාගේ ඇස් වලින් පිටවෙන ගින්දර විත් තමාගේ දෙනෙතේ හැප්පෙන බව දැන හුන් නිසාවෙන් මෙන් බිම බලන් උන්නද සවන් මත ඒ වදන් නැවතීම වලක්වන්නට නොහැකිය.

“තාත්තා ඔයාට කොච්චර ආදරේද පුතේ? මොනවද ඔයා මේ කරගෙන තියෙන්නෙ? දෙයියනේ වෙන කොල්ලො නැතුවද මේ බැඳපු මනුස්සයෙක් එක්ක යාලුවෙලා තියෙන්නෙ”

අම්මාගෙ නෙතින් ගලන කඳුලු බිංදු වල වූ වේදනාව දරාගන්නට නොහැකි තරම් වුවත් හිස ඔසවා ඇය දෙස බලන්නට හෝ ඇය ඇසූවකට පිලිතුරක් දෙන්නට හැකියාවක් උශාලිට තිබුනේ නැත. හිත තිබෙන්නේ කැළඹීය. අනෙක් අතට බියක් නැත්තේ යැයි කියන්නට නොහැක. එහෙත් පිලිතුරු නොදී හිඳින්නට හැකියාවක්ද නැත.

“එයා ඩිවෝස් වෙන්න යන්නෙ අම්මේ, එයාගේ නෝනට වෙන..”

නැත ඒ කතාව අවසන් කරන්නට වූයේ නැත. අයියාගේ සුවිසල් දෑත විත් නතර වුයේ කම්මුල මතය. දකුණු පස කණ අස්සෙන් කීං ගා සද්දයක් නැගෙනුත්, ලෝකයම මොහොතකට නතර වූ බවකුත් දැනෙද්දී දෙනෙත් අග්ගිස්සෙන් කඳුලක් පැන්නේ නිරායාසයෙනි. ඒ දුකට නොවේ වේදනාවටය. නොසිතූ මොහොතක නොපැතූ මොහොතක කම්මුල මත විසල් සැරයෙන් පතිත වූ අයියගේ අත නිසාවෙන් කම්මුල දැවෙන ගතියක් දැනෙද්දි අත කම්මුල වෙත ඇදුණේ නිරායාසයෙනි.

“කිසල්”

අම්මා වාඩි වී උන් බංකුවෙන් නැගිට්ටේ එසේ කෑගසමිනි.

“ප්‍රශ්නයක් විසඳගන්න උනා කියල නංගිට ඔහොම අත උස්සනවද? ඔයා යන්න මෙතනින් මම නංගි එක්ක කතාකරන්න මේ ගැන”

“කතාකරන්න? කතාකරන්න තව මොනවද ඉතුරු වෙලා තියෙන්නෙ. වනචරකම් කරනව මදිවට තව ලොකු කතා කියන්න එනවද. මේ ගෑණිට පිස්සු. කසාද බැඳපු මිනිස්සු තමුසෙල වගේ මෝඩ කෙල්ලන්ව රවට්ට ගන්නෙ ඔය වගේ ගෑණිව ඩිවෝස් කරනව කියල තමයි. එ උනාට උන් ඔක්කොම කරල ඉවර වෙද්දිත් ඒ ඩිවෝස් එක ලැබිල නෑ. අනික ඕයි තව පවුලක් කඩල දාලා ඒ මිනිහව අල්ලගත්තට උඹ හිතනවද ඌ උඹටත් ඕකම කරන එකක් නෑ කියල”

අයියාට කෝප ගන්නට දෙයක් තමා විසින් කල බව නොදන්නවා නොවේ. එහෙත් මේ කතාවේ කිසිදු විස්තරයක් හරියාකාරව නොදැන මෙසේ කෑගැසීම කොපමන නිවැරදිද යන ගැටලුව කඳුලු වලින් පෙඟුන දෑස් අස්සෙන් වුව සිතට දැනෙමින් තිබිණ. අම්මාගෙ බල කිරීමත් වද කිරීමත් මත එතනින් නික්ම ගියද අයියා උන්නේ ප්‍රශ්නය එතනින් අවසන් කරන්නට බලාපොරොත්තුවෙන් නොවේ.

“මොකද්ද ළමයො ඔයා මේ කරගත්ත විනාසෙ? මොන ලැජ්ජ නැති වැඩ ද මේවා?”

අම්මාගේ මුවින් නික්මුණ ඒ වදන්වලට වඩ සිතට වේදනාවක් ගෙන ආවේ ඒ වචනවල තැවරී තිබුන වේදනාව, සහ කලකිරීම මෙන්ම විශ්වාසය බිඳුණු හැඟීමයි.

“අපි මොනතරම් ඔයාට ආදරෙයිද පුතේ? කොච්චර අපි ඔයාව විශ්වාස කරාද? අනික කිසිම දවසක අපි ඔයාට පිරිමි ලමයෙක් එක්ක යාලුවෙන්න එපා කියල කිව්වෙ නෑනෙ. ඒත් මෙහෙම දෙයක් කරගනී කියල කවුද හිතුවෙ”

අම්මා උන්නේ තනිවම තමන්ටම කියාගනිමින් මෙනි. එහෙත් ඒ වදන් විත් හී පහරක් මෙන් හිත මැදට වැදෙද්දී දැනුන වේදනාව කඳුලු උපදවන්නකි. කම්මුල් දිගේ උණුහුමට ගලා යන කඳුලු බිඳුවල ලුණු රස දෙතොලට දැනෙමින් තිබුණි.

“ඇයි පුතේ ඔයා මේ බැඳපු මනුස්සයෙක් එක්ක යාලුවුනේ? ඔයා කොච්චර ලස්සනද පුතේ? මං කොච්චර කියල තියෙනවද ඔයාට පිරිමි බලාගෙන ඉන්නෙ ලස්සන ගෑණු ලමයින්ව ඩැහැගන්න ඒ හන්ද පරිස්සම් වෙන්න කියල”

“අම්මේ අනුප නරක මනුස්සයෙක් නෙවෙයි”

අම්මාගේ අඳෝනාව මැද වචනයක් හෝ එසේ පිටකරගන්නට අවකාශ ලැබුණ මොහොතේ උශාලි එසේ පැවසීය. එහෙත් අම්මාගෙ නෙතින් විහිදුනේ ගින්දර වන් බැල්මකි.

“නරක මනුස්සයෙක් නෙවෙයි නම් කසාදයක් කරගෙන ඉද්දි තව කෙල්ලෙක් එක්ක යාලු වෙනවද? ඔක්කොටම වඩා ලැජ්ජ නැත්තෙ ඔයාට. හරිහමන් කෙල්ලෙක් නම් කසාදයක් බැඳපු කෙනෙක් එක්ක යාලු වෙනවද? ලැජ්ජ නැද්ද ලමයො තමන් වගේම තව ගෑණියෙක් ගෙ ජීවිතේට ඔහොම ගින්දර දෙන්න හිතුවෙවත් කොහොමද?”

“අම්මෙ අනුප ඩිවෝස් වෙන්න යන්නනෙ. ඒ මං හින්ද නෙවෙයි එයාව මට හම්බෙද්දිත් ඒ දෙන්නා සෙපරේට් වෙලා ඉඳල තියෙන්නෙ. එයාගෙ වයිෆ්ට වෙන අෆෙයාර් එකක් තියෙනව”

“කොච්චර කිව්වත් මැරුණත් කසාද බඳපු මිනිහෙක්ට ඔයාව දෙන්න අපි කැමතිවෙයි කියල හිතාගෙන ඉන්නවනම් හොඳ හිතින් ඒ අදහස අත් ඇරගන්න. තාත්තාව යකෙක් කරගන්නද හදන්නෙ?”

මේ ඉතින් පහසුවෙන් විසඳාගන්නට නොහැකි ගැටලුවක් බව නොදැන උන්නා නොවේ. මෙය මෙතරම්ම ගින්දක් වී දැල්වේයැයි නොසිතුවද ජීවිතේ වෙන්නේ ඉතින් අප බලාපොරොත්තු වෙන දේවල්ම නොවේ. ජීවිතය එයාකාරය. අහිමි වීම්ද හිමිවීම් ද දෛවයට අනුව තිරණය වූ ඒවා මිස අපට උවමනා පරිද්දෙන් සැකසුණු දේ නොවේ.

නිවස තිබුනේ අන්දකාරයක ගිලීය. වෙනදා මෙන් අම්මා මේසයට කෑම ඇරියේ නැත. අම්මාත් අයියාත් කැම කෑවාද කියාවත් නොදන්නේ ඔවුනට මුහුණ දීමට අපහසු නිසාවෙන් කාමරයට වී හුන් බැවිනි. අම්මා ඉන්නේ සියල්ලන්ටම වඩා හිත් වේදනාවක බව උශාලි නොදන්නවා නොවේ. එහෙත් තමා විසින් මේ කරමින් හිඳින්නේ වරදක් නොවන බව සිත පවසයි. ඉතින් ආපසු හැරීමක් ගැන සිතාගන්නටවත් නොහැක. අනෙක් අතට අනුප සොඳුරු මිනිසෙකි. විවාහක පිරිමින් ගැහැණු ළමුන්ගේ ජීවිතවලට එබිකම් කර ඒ ජීවිත මල් මෙන් පුබුදින්නට පෙරාතුවම නටුවෙන් උදුරා දමන කතා බොහොමයක් අසා තිබුනද අනුප එවන් මීනිසෙකු නොවන බව හිතට විශ්වාසය.

ආදරය ගොඩ නැගී තිබෙන්නේ ඒ විශ්වසනීය අත්තිවාරය උඩිනි. එහෙත් තමා එය කොතරම් තේරුම් ගත්තද අම්මාත් තාත්තාත් අයියාත් අනෙත් සමාජයත් මේ කාරණාව හරියාකාරව තේරුම් ගන්නේ හෝ යහපත් ඇසකින් එදෙස බලන්නේ නැති බව නොදත් කරුණක් නොවේ.

රාත්‍රිය එළඹුනේ ඒ හැඟීම් සහ සිතුවිලි ගංගාවන් අතරින් සිත ගලා යද්දීය. වෙනදා මෙන් සිතට එකගව තාත්තා සමග කතා බහ කරන්නට හැකියාවක් නැති බව දැන උන්නද තාත්තාව මග හැරීම නොකල යුත්තක් බව නොදන්නවා නොවේ. අනෙක් අතට අම්මා මේ වනවිටත් මේ පිලිබඳව තාත්තාට පවසාඅ ඇති බව දන්නා බැවින් ඒ ඇමතුම මග හැරීම ප්‍රශ්නයකට විසඳුමක් සෙවීමට වඩා එකී ප්‍රශ්නයෙන් පලා යාමක් වග නොදන්නවා නොවේ.

“හෙලෝ”

තාත්තා එහා පසින් අමතන්නට පෙර උශාලි එසේ පැවසුවේ හිතේ වූ කැළඹීම එලියට පෙන්වන්නට නොකමැත්තෙන් මෙනි.

එහෙත් තමාගේ වෙව්ලුම් සහගත හඬේ ඒ කැළඹීමත්, බියත් ගැබ් වී ඇති බවත් එය තාත්තාට තේරුම් ගන්නට අපහසු නොවන දෙයක් බවත් සිත දනී.

“පුතා”

සුපුරුදු ආදරයත්, කරුණාවත් ගැබ් වූ තාත්තාගේ හඬ සිතට අස්වැසිල්ලකි. තාත්තා සියල්ල දැන ගෙනත් සුපුරුදු පරිද්දෙන්ම කතා කරන්නේ තාත්තා මේ ප්‍රශ්නය දෙස අයියාත් අම්මාත් නොබලන කෝණයකින් බලන නිසා බව උශාලිට විශ්වාසය.

“හෙලෝ තාත්තේ”

“කොහොමද පුතා?”

“හොඳයි. තාත්තට කොහොමද?”

“මම හොඳින් ඉන්නව අද ශිෆ්ට් එක ටිකක් කලින් ඉවර උන නිසා මට එන්න පුලුවන් උනා”

ඉන්පසුව ඇති වූ නිහඬතාවය බිඳින්නට වචන එක්කහු කරේ රණවීර මහතාය. බිරිඳ විසින් දුව ගැන කියන්නට යෙදුණේ බරපතල කාරණාවකි. තමන් ඈත රටක රැකියාවක නිරත වී හිඳ්ද්දී තම බිරිඳට තනිවම බොහෝ සටන් වලට මුහුන දෙන්නට සිදු වන බව රණවීර නොදැන උන්නා නොවේ.

තාත්තා නැති නිවසක් යනු පහසුවෙන් ප්‍රශ්න ඇතිවිය හැකි තැනක් බව බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙකු ලෙස දැන උන්නද දුව මෙයාකාර තිරණයක් ගෙන නිවස පුරා වේදනාවක සලකුණු තබන්නට හේතුවක් වනු ඇතැයි කිසිදාක සිතා තිබුනේ නැත.

අනෙක් අතට බිරිඳ විසින් තමන්ට කියන්නට යෙදුනේ පුතා විසින් කියූ කාරණාවලින් ඇය තේරුම් ගත් දේ පමණකි. ප්‍රශ්නකය එක පැත්තක් විතරක් බලා ඒ ප්‍රශ්නය විසඳන්නට යෑම තේරුමක් නැති දෙයකි. ඉතින් මේ ගැන දුව සමග කතාබස් කරන්නට සිතුවේ ඒ නිසාමය.

“පුතා, තරුණ කාලේ අපේ හිත් එහෙ මෙහෙ යනවනෙ. ඒක හරි නෝමල්. ඔයාලගෙ වයසෙ අපි ඉද්දි ඒ කාලෙ එහෙම ටෙක්නොලොජි එකදියුණු වුනේ නැති උනාට අපිත් ඒ දවස්වල ඔයාලා වගේම තමයි. සමහරවෙලාවට ඔයාල ගන්න තීරණ අපිට ඇත්තටම තේරෙන්නෙ නැති වෙලාවල් තියෙන්න පුලුවන්. ඒත් අපි නිතරම තීරණයක් ගනිද්දි හිතන්න ඕන මේ තීරණේ මගෙ හිතට සතුටක් ගෙනාවට මේ තීරණේ නිසා වෙන කෙනෙක්ට දුකක් කරදරයක් වෙන්න පුලුවන්ද කියන එක.

පුතාට තේරෙනව නේද මම කියන දේ?”

තාත්තා හිමින් සැරේ තම සිතටත්, ඒ ඔස්සේ මේ ඇති වී තිබෙන ප්‍රශ්නය ගැනත් කතා කරමින් හිඳින බව තේරුම් යද්දි නිහඬ ව අසා සිටිනවා හැර කරන්නට දෙයක් උශාලිට තිබුනේ නැත. අනෙක් අතට තමා විසින් විවාපත් පිරිමියෙකු සමග සබඳතාවයක් ඇති කර ගැනීම අම්මා සහ තාත්තාගේ හිතට වේදනාවකුත්, බියකුත් ගෙන ඒමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.“මම කියන්නෙ නෑ පුතා වරදක් කරා කියල. මොකද මම පුතාගෙ පැත්තෙන් කතාව තාම ඇහ්‍ය්වෙ නෑනෙ. ඒ නිසා ඔයාම මට කතාව කියන්න. ඒ කතාව ඉවර වුනාම අපි ඩිසයිඩ් කරමු මොකද්ද අපි කරන්න ඕන කියල”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles