මීට වසරකට පෙර දී ට වඩා දැන් ඔවුන් හැම කෙනෙකු ගේ ම ජීවිත ගලා යන්නේ වෙනස් රිද්මයකට ය. සියපත් ගෝල්ඩන් ටී ආයතනයෙහි අධ්‍යක්ෂමණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරයි. වියානා ගේ විවාහය දා, ජිතේන්ද්‍ර උත්සාහයෙන් දියණු කළ ඇමෙරිකාවට ලාංකීය තේ ගෙන්වා බටහිර ලෝකය පුරා බෙදා හැරෙන ව්‍යාපාරය වියානා හා සියපත් නමින් සමාන ලෙස දෙකට බෙදා දෙදෙනාට භාර කරනා ලදී. මයිකල් ගේ ගෝල්ඩන් ටී සිය දරුවන් තිදෙනා අතරේ බෙදා දෙන ලදී. ඒ අනුව දැන් එම ව්‍යාපාර දෙක එකට අනුබද්ධ ය. වියානා ට නම් ව්‍යාපාර ගැන කිසිදු උනන්දුවක් හෝ අවබෝධයක් නැති නිසා ඒ සියල්ලෙහි වගකීම සනාතන මත පැටවේ. සියපත් හුරුබුහුටි ලෙස ව්‍යාපාර ක්ශේත්‍රය අවබෝධ කර ගනිමින් ද සිය ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධි පාඨමාලාව හදාරමින් ද සිටින්නී ය. උසස් පෙළ විභාගය කළ ගමන් පංකජීව ව පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවකට අනුයුක්ත කෙරිණ.
සියපත් ලා ගේ පැරණි නිවස, ඒ වින්ටේජමය පෙනුම හා වටිනාකම සුරැකෙන පරිදි ම ඉදිකිරීම් ක්ශේත්‍රයේ නියුතු ආයතනයක් විසින් නවීකරණ කටයුතු සිදු කරනු ලැබිණ. වත්ත වටේ තාප්පය ඉදි කොට කැටයම් සහිත ලොකු ගේට්ටුවක් සවි කිරීමෙන් පස්සේ එය ගමේ වැදගත් පැරණි නිවෙසක පෙනුම ගත්තේ ය. ඒ කාලයක් තිස්සේ සියපත් ආශාවෙන් බලා සිටි දෙයකි. දැන් ඔවුන්ට එතැන අලුත් ම පන්නයේ නිවෙසක් සඳහා පිඹුරු පත් සැකසිය හැකි ය. නමුත් ඒ වින්ටේජමය පෙනුම, මිදෙන්නට අකමැති නොස්ටැල්ජියාවක සැනසුම හදවතට දෙයි. ඔවුන් අයිතිව සිටි අතීතයත් වර්තමානයත් එකට යා කරන එක ම භෞතික වස්තුව ඒ නිවස ය. ඔවුන් ගේ සියලු මතක ද කඳුළු ද සුසුම් ද සිනහ ද දරා ගත් මතක ගබඩාව ඒ ගෙදර ය. විටෙක වැඩ නිම වී එන හැන්දෑවක සියපත් මිදුලේ අලුතෙන් වැවූ මැලේසියානු තණ පලස කෙලවරක තබා ඇති චීනච්චට්ටි කැටයම් පුටුවක හිඳ ගේ දෙස බලා හිඳී. කෝටි ගාණක් මතක ඇගේ හදවත ළඟ පෙළ ගැහෙන්නේ ය. ඒ හැම මතක ඇබින්දක් ම ඇය හදවතින් තුරුළු කර ගනියි.
වියානා ගේ හා සනාතන ගේ කුළුඳුල් දරු උපත නිවුන් දරුවන් වූයේ ය. ඒ දියණියක හා පුතෙකි. ඒ දරු උපත මුළු පවුලට ම මංගල කාරණාවක් සරි විය. සියපත් ඒ සියල්ල දෙස බලා සිටියේ සිහිනයක් දකින්නා සේ ය. කුඩා නිවුන් දරුවන් දෙදෙනෙකු කියන්නේ මොන තරම් චමත්කාරයක් ද? එක්කෙනෙකු නිදි කරවත්දී අනිත් කෙනා අවදි වී හඬයි. එක්කෙනෙකු ට කිරි පොවත්දී අනිත් කෙනා කුසගිනි වී හඬයි. එක්කෙනෙකු ගේ නැපි මාරුකොට තබත්දී අනිත් කෙනා තෙමා ගනී. මුළු රාත්‍රිය පුරා ම දෙදෙනා ම අවදි වී ගෙන ය. එක්කෙනෙකු නොව දෙදෙනෙකු නාවන්නට සිදු වේ. එක්කෙනෙකු ගේ නොව දෙදෙනෙකු ගේ රෙදි හෝදන්නට සිදු වේ. ඇතැම් විට එය මිහිරි යුද්ධයකි.
“අපිත් ඉක්මනට බඳිමු”
සියපත් නිවුන් බිළිඳෙකු පපුවට තුරුලු කොට ගෙන සදාතන ගේ කාමරයට යන විටෙක එසේ නො කියා ඉන්නට සදාතන ට නොහැකි වේ. ඔහු බිළිඳු කොපුලත් සියපත් ගේ ගෙලත් සිප ගනී. ඇය බිළිඳා තුරුලු කොට ගෙන ම සදාතන ගේ පපුතුර තුරුලු වෙයි.
“අනේ මට බයයි සදාතන”
“ඇයි..”
“අපිටත් ට්වින්ස්ල හම්බ වුණොත්…”
“ඉතිං මොකද…හොඳයිනෙ…ට්වින්ස්ල ට්වින්ස්ල තුන් හතර පාරක් විතර හදමු”
“පිස්සුද අනේ…එකපාරක් හම්බුණොත් හරි කොහොමද කරගන්නෙ කියලයි මං මේ හිතන්නෙ..”
“ඇයි…”
“ඇයි කියන්නෙ…මේ බලන්නකො ඉතිං…මේ වගේ බෝනික්කො දෙන්නෙක් එක පාර හදන එක යුද්දයක් වගේනෙ. වියානා කියනෝ සනාතන අයියව රෑට ඇහැරෝගන්නත් බෑලු බබාල අඬද්දි. මේකා බොරුවට නිදි වගේ ඉන්නව ඇති අනේ”
“බලාගන්න ඔය ඉන්නෙ ඕනතරං අය. පොඩි පවුලක්ද මේක…අපිට තියෙන්නෙ හදල දෙන එක විතරයි”
සදාතන නැවත ද වරක් පහත් වී සියපත් අත පුළුන් කොට්ටයක් සේ සුවයට ගුලි වී ඉන්නා පැටියා ගේ මුව සිප ගත්තේ ය.
“ඉඹින්නෙපා හැම තිස්සෙම…බබාගෙ කම්මුල් මහත් වෙනවලු එතකොට…”
“ඒ කියන්නෙ බබාව නෙවෙයි මාව ඉඹින්න කියලනෙ”
සියපත් ගේ ගෙල දෙපසින් අල්වා සදාතන ඇගේ කම්මුලක් ඉතා තදින් සිප ගත්තේ ය.
“ඔයි…ය…බබත් බය වෙනව. ඔයාගෙ ලොකු තාත්ත දැං හරි ඕනවට වැඩියි පුතේ…මට හම්බ වෙනකොට හිටියෙ දහයටවත් ගනින්න බෑ වගේ”
“අපෝ ඔව්. උඹනෙ හදල ගත්තෙ මාව”
එවර ඔහු ගේ හාදුව දැඩි සිප වැළඳ ගැනීමක් වෙයි. මේ මුදු ප්‍රේමාලිංගන සියපත් ගේ ගැහැනු හද මඬල ප්‍රේමයෙන් ද නුරාවෙන් ද සන්තෘප්ත කරයි.
තරඟකාරී ව්‍යාපාරික ලෝකයක වෙහෙසකර වන සදාතන ට සියපත් යනු සිහිල් පිනි බිඳක තෙතමනය හදවතට දනවන්නිය වේ. බබාලා බලන්නට කියා දැන් හැම හවසක ම හෝරා කිහිපයක් ඇය කහවණුගොඩ මැදුරේ රැඳෙන්නී ය. සදාතන ගේ දවසේ කැමති ම අංශුව එයයි. කෙසේ හෝ ඇය ඔහු වෙත රඳවා ගන්නට හෙතෙම තැත් කරයි. බොරු හිස රදයක් කියා සියපත් ගේ උකුලේ හිස තියාගෙන ටික වෙලාවක් ඇයට කියා හිස පිරිමැද ගනී. ඇඳුමක් හොයා ගන්නත්, නාන කාමරයට යත්දී සාළුව දෙන්නටත් ඇය ඕනෑ වේ. ඒ හැම පුංචි උදව්වක් වෙනුවෙන් ම ඇයට ඔහු ගෙන් තිළිණයක් ලැබේ. ඒ ආදරය කැවරූ හාදුවක් හෝ උණුහුම් වැළඳ ගැනීමකි. එවන් සංස්පර්ශයක් සිය හදවත පතා උන් බවක්, ඒ මොහොතේ දැනෙනා සුවදායක හැඟීම ඇයට සිහි කරයි.
සුදර්ශනී දින දෙකකට වරක් හෝ දැන් කහවණුගොඩ මැදුරට දිව එයි. වියානා ගැබ් ගෙන සිටි කාලයේ නම් ඇය වෙනුවෙන් මොනවාම හෝ ඇය හදාගෙන ආවා ය. දැන් ඈ එන්නේ බබාලා බලා ගෙන වියානා ට මඳ සහයෝගයක් දෙන්නට ය. ඇය විතරක් නොව සුජීවා ද ලංකාවේ රැඳෙන දින වල නම් දියමන්ති ද දරු සුරතල් බලන්නට අමතක කරන්නේ නැත. අම්මලා වීමට වඩා අත්තම්මලා වීම වෙනස් අත්දැකීමකි. අම්මලා නො දන්නා බොහෝ දේ අත්තම්මලා දනිති!
තවමත් මදිරා ට දරුවෙකු ගැන ඉඟියක් ලැබුණේ නැත. හැම මාසයක ම නියමිත දින පමා වේ යයි පැතුමකින් ඇය බලා හිඳී. නමුත් වෙලාවටත් කලින් ඒ බලාපොරොත්තු සුන් කරන සලකුණු දකිනා ඇය සංවේගයට පත් වේ.
“ඕක ගැන හිතන්න එපා අනේ. වෙන වෙලාවක වෙයි. අනිත් එක ලෝකෙ හැම කපල් එකකට ම දරුවො ඉන්න ඕනෙ කියල එකක් නෑ. අපිට ලැබිල තියන ජීවිතේ සතුටෙන් ඉමු”
මදිරා ගේ හිත සනසනු වස් එහෙම වෙලාවට මනුල පවසයි.
“අනිත් එක මල්ලිලට බබාල දෙන්නෙක්ම ඉන්නෙ. අපේ වගේ තමයි”
“ඒ වුණාට…ඕන කෙනෙක් ඉස්සල්ලම අහන්නෙ තාම මුකුත් වෙනසක් නැද්ද කියල. එහෙම අහනකොට දැනෙන අන්කම්ෆටබල් ගතිය…”
මදිරා ගේ ඇස් වලට කඳුළක් කාන්දු වන්නේ සිනහව අතරින් ම ය.
“ලෝකෙ මිනිස්සු හැමෝවම සතුටු කරන්නවත් එයාලගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්නවත් අපිට බෑ. ඔයා දවසක අම්ම කෙනෙක් වෙයි. අපි ඒ බලාපොරොත්තුව තියං ඉමු. ඔයාට ඕනනං වීඕජී කෙනෙක් හම්බ වෙලා ට්‍රීට්මන්ට්ස් කරමු. මන්නං කියන්නෙ එහෙම කලබල වෙන්න ඕන නෑ”
මනුල එසේ කියත්දී ඇයට සහනයක් දැනේ. අවිනිශ්චිත භාවයේ ගින්දරින් හදවත දැවෙන්නට යත්දී සෙත් පිරිතක් වාගේ ගැයෙමින් ළඟ රැඳිය හැකි සහකරුවෙකු කියන්නේ ජීවිත කාලයක දී ඉපැයිය හැකි මාහැඟි ම වස්තුවකි.
ශාන්ත ගේ බොජුන් හල දැන් වඩාත් සශ්‍රීක ය. උඩු මහල ද ඈඳා ගෙන එහි කෑම ගැනීමේ පහසුකම් මැනවින් සපයා තිබේ. හැන්දෑ වන විට බොජුන් හල ඉදිරිපිට මෝටර් රථ පෙළකි. සිය කැමැත්ත පරිදි බොහෝ ආහාර වර්ග එහිදී මිල දී ගත හැකි ය. සේවයට සේවකයන් කිහිප දෙනෙකු ම සිටිති.
සුපුන් මාස හයකට පසු නිදහස් වී පැමිණියේ ය. මේ වන විට ඔහු ගේ පවුලේ අය සුපුන් අතින් වූ වරද වටහා ගෙන සිටි අතර, නිදහස් වූ වහාම ඔහු මැදපෙරදිග රැකියාවකට යැවීම ඔවුන් ගේ අරමුණ විය. අවසන ඒ සඳහා ණය මුදලක් ඉල්ලා ගත්තේ ශාන්ත ගෙනි. මේ වෙත්දී ශාන්ත මිල දී ගෙන තිබි වෑන් රථයෙන් සුපුන්ව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන ගොස් ඇරලූයේ ද ඔහු ම ය.
“හැදෙන්න බලහං බං. මේ ලෝකෙ ඕන තරං අවස්ථා තියනව. අපි මහන්සිවෙලා හොයා ගන්න ඕනෙ. ටිකක් කල් යන්න පුළුවන්. හැබැයි ඕනකම තියන මිනිහට වරදින්නෑ”
සුපුන් ට සමු දීමට පෙර ශාන්ත අවවාදයක් දුන්නේ ය. මාස හයක සිර දඬුවම සුපුන් ට ද ජීවිතයට වෙනසක අවශ්‍යතාවය ඒත්තු ගන්වා තිබිණ.
ව්‍යාපාරික සැසි හා මුණගැසීම් කිහිපයක් සඳහා මාසයක පමණ කාලයකට සදාතන ට විදෙස් ගත වීමට සිද වූයේ සියල්ල සාමාන්‍ය පරිදි සිදු වී ගෙන යත්දී ය. මේ වන විට සියලු ව්‍යාපාර බර පැටවී තිබුණේ සනාතන ගේත් සදාතන ගේත් හිස් මත ය. පියවරු දෙදෙන ම අවශ්‍ය උපදෙස් දෙමින් පසුපසට වී සිටියහ. කුඩා නිවුන් බිළිඳුන් දෙදෙනෙකු සමග වියානා තනි කොට යාම සනාතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ නිසා, ව්‍යාපාරික සංචාරයේ සමස්ථ වගකීම සදාතන මත පැටවිණ.
“අනේ එහෙම කරන්නෙ කොහොමද ඉතිං…මාසයක්ම මං තනියම ඉන්නෙ කොහොමද…”
මේ බව දැනගත් ගමන් ම සියපත් කන්කෙඳිරි ගෑවා ය.
“මට එක්කං යන්න පුළුවන්..හැබැයි මාමණ්ඩිගෙන් අවසර හම්බ වෙන්නෙ නෑනෙ”
සදාතන සිනහ වෙවී කීවේ ය. ඔහු ගෙන් දුරස් වී හිඳීම කෙතරම් දුෂ්කර ද යන වග ඇයට හරියට ම අවබෝධ වූයේ මේ සිදුවීමේදී ය. සදාතන ව ගුවන් තොටුපළ වෙත ඇරලවන ගමනට සනාතන හා වියානා ද සියපත් ද එක් වූහ. වියානා පැනගෙන ගමනට එක් වූයේ පැය කීපයක් බිළිඳුන් ගේ රාජකාරී වලින් නිදහස් වී සිටිත හැකි නිසාවෙනි.
“අනේ ඔය ආච්චිලයි නැන්දයි පැය දෙක තුනක් බලා ගත්තහම මොකද…දෙයියනේ…කොහොම හිටිය මන්ද මේ දැන් ළමයි දෙන්නෙකුටයි මනුස්සයෙකුටයි හිර වෙලා තියෙන්නෙ”
වියානා එසේ කීවේ නිදහස් සුවයක වින්දනය හදවතින් ම විඳිමින් වාගේ ය.
“ඒකනෙ…මේ සියපත් වගේ හිටියනං ඉවරනෙ…”
සදාතන පිටුපස අසුන දෙසට හැරී සිනහවකින් කීවේ ය. නමුත් ඒ වෙලාවේ සිනහ වෙන්නට සියපත් දැන සිටියේ නැත. ඇගේ මුවෙහි එක සිනහ බිඳක් හෝ නොවිණි. වියානා මඳහස් වතකින් ඇදෙස බලා හිඳ සදාතන වෙතට ඇසක් ඉඟි මැරුවා ය.
“කොහොමද කිව්වෙ නේ…එච්චර ඉක්මන්ට බඳින්න බෑ…නිදහසේ ටික කාලයක් ඉන්න ඕනෙ…බැඳල හිටියනං යනවනෙ එයත්. හොඳ වැඩේ පණ්ඩිතයට”
වියානා ගේ විහිළුවට හෝ කිසිත් කියා ගත නො හැකි තරමට ඇය වැහි බර අහසක් වාගේ අඳුරු වී ගෙන ද බර වී ගෙන ද සිටියා ය. ඒ වැහි වලාකුළ කඩාගෙන වැටුණේ සමු ගත යුතුව තිබූ අන්තිම මොහොතේ සදාතන ගේ පපුව මතට ය. යුවතිය දෑත් ඔහු ගේ බඳ වටා යවා තදින් ඔහු බදා වැළඳ ගෙන සිටියා ය. ඇගේ කඳුළු ඔහු ගේ කමිස පපුවට උරා ගත්තේ ය. සදාතන ඈ හිස පිරිමදිමින් ද අතොරක් නැතිව ඈ සිප ගනිමින් ද ඒ දුෂ්කර මොහොත තරණය කරමින් සිටියේ ය.
“අනේ මට ඔයා නැතුව දවසක්වත් ඉන්න බෑ වගේ සදාතන…ඔයා ආව ගමං අපි වෙඩින් එක ගමු”
සියපත් ඉකිලමින් කීවා ය. සදාතන සිය මනබන්ධනීය සිනහව හෙලා ඇය දෝතින් වැළඳ ගත්තේ ය.
“හා. ඊළඟට ට්වින් බබාල සෙට් දෙක තුනක් හදමු”
“අනේහ්…”
ඇය තව තවත් ඔහු ගේ පපුතුර මුහුණ සඟවා ගත්තා ය.
“අනේ ඉතිං ඔය කොල්ලට යන්න දෙනවකො දැංවත්”
පිටුපසින් වියානා ගේ හඬ ඇසිණ.
“පරිස්සමට ඉන්න මැණික. මාසෙ ඉක්මනට යයි. මේ මාසෙට මං කැමතියි. අපිට අපි නැතුව ඉන්න බෑ කියන එක තවත් හොඳට අපිට තේරුං කරල දෙයි මේ මාසෙ. මං එනකොට ඔයා වෙඩින් එකට ඕන හැම දේම ප්ලෑන් කරන් ඉන්න… ම්…මටත් පුළුවන් කමකට නෙවේ ඔයාව දාල යන්නෙ මේ. ආයෙ තනියම යන්නෑ හරිද…යන තැනක ඔයත් එක්ක තමයි”
“පරිස්සමෙං රත්තරං. කන්න කම්මැලි කමට බඩගින්නෙ ඉන්න එපා හොඳේ. නාල හොඳට ඔළුව පිහිදගන්න හරිද…නැත්තං හෙම්බිරිස්සාව හැදිල කියයි. මං සමහනුයි පැරසිටමෝලුයි සී විටමිනුයි දාල ඇති. ජැකට් නැතුව ඉඳල සීතලට උණ හදාගන්න එපා හොඳද…”
“හරි හරි බං. කාන්තාරෙකට යනව නෙවේ. යූඑස්ඒ වලත් ඩොක්ටර්ස්ල ඉන්නව”
සනාතන ගේ කතාවට සියපත් ට ශෝක කඳුළු අතරින් ම සිනහ නැගිණ. නමුත් ඕ නෝක්කාඩු කීවා ය.
“එයා බොරුවට බබාල පිටින් දාල ටුවර් එක නොයා මේ අහිංසකයව විතරක් යවනව. ළමයි නෙවෙයි…එයාට වයිෆ්ව දාල යන්න බැරි කම”
“අඩෝ…මේකි බලහංකො”
ඒ සිනහ අතරේ කම්මුල් මත කඳුළු වියළී ගිහින් පැල්ලම් පමණක් ඉතිරි වූයේ ය. ගුවන් තොටුපළක් කියන්නේ ම වෙන් වීමක වන සන්තාප සුසුම් දරා ගෙන අභිමානවත් ව විරාජමාන වන තැනකි. සියපත් හා සදාතන ද කෙටි කාලයකට එතැන දී දෙපසකට වෙන් ව ගියේ මේ භවය තුළ යළි මරණයෙන් මතු වෙන් නොවන්නට එක් වෙනා බලාපොරොත්තුවෙනි.
සමාප්තයි.