මා හිස පිරිමැද 01

‘විදුර වරදත්ත සපුතන්ත්‍රි’ ගේ දේශපාලන ලිපිය ඉතා පරිස්සමෙන් කියවා හමාර කිරීමෙන් පසු, පුවත්පත නවා පුටුව මත තබමින් මම නැගිට ගතිමි. ඒ අකුරු අතරෙන් පිටතට ආව ද තවමත් මා සිටින්නේ ඒ කම්පනය අතරේ ය. ඔහු ගේ පුවත්පත් ලිපියක් කියවන හැම වතාවක ම මට එසේ වේ. හිස හිරි වැටී වාගේ, ඒ ලිපියේ තිබූ ඇතැම් තැන් යළි යළිත් මෙනෙහි වන්නට ගනී. එහි ඇතැම් පේළි මා දෙතුන් වර කියවන බව ඇත්ත ය. නමුත් හොල්මන් අවතාර සේ ඒවා මේ විදිහට මා තුළ හොල්මන් කරන්නේ ඇයි දැයි මා දන්නේ නැත.

විදුර වරදත්ත සපුතන්ත්‍රි ගේ වචන වලින් මා වන් කුරු කුහුඹු කෙල්ලක මෙතරම් වෙව්ළුම් කන එකේ, ඔහු ඒවායින් නො බිය ව පහර දෙන දේශපාලකයන් කෙතරම් වෙව්ලා යනු ඇත්ද කියා මට සිතා ගත හැකි ය. ඒවා වචන නොව පිහි තුඩු ය. නමුත් ඒ එක වචනයක් හෝ වගකීම් විරහිතව හිතු මනාපේ ලියවෙන ඒවා නොවන බව සහතික ය. ජනාධිපතිවරයා වේවා අගමැතිවරයා වේවා ඇමතිවරයෙකු වේවා අමාත්‍යාංශ ප්‍රධානියෙකු වේවා  නො බියව විවේචනය කිරීමට මේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියාට වන අභීත හා අදීන භාවය ගැන මා තුළ වන්නේ නො මඳ ගෞරවයකි. එය අද ඊයේ ඇතිවුණක් නොව මේ දූපතේ දේශපාලනය හා දේශපාලකයන් හාස්‍යයක් සේ දැනෙන්නට ගත් දා පටන් මා තුළ ලියලූවකි. මට දැනුණ පරිදි ඔහු කිසිදු දේශපාලකයෙකු ට හෝ දේශපාලන පක්ශයකට පක්ශග්‍රාහී නොවී මධ්‍යස්ථ තැනක සිට සියල්ල දුටුවේ ය. ඒ දකිනා දේ මනා තියුණු බවකින් යුතුව ලීවේ ය. එසේ ලියන්නට ඔහු ට වන කශේරුව ගැන මහත් ගෞරවයක් ද මා තුළ විය. කිසිදු දේශපාලකයෙකු ගේ සාක්කුවට නො වැටී දිගට ම පවතින්නට ඔහු ට වූ ශක්තිය ගැන විටෙක මම විශ්මිත වීමි. ඔහු මගේ වීරයා වූයේ ය. මගේ පරමාදර්ශය වූයේ ය. මගේ රහසිගත ප්‍රේමය ද වූයේ ය.

“තිසුරි ගෙ ක්‍රශ් එක වයසක ජර්නලිස්ට් කෙනෙක්”

උසස් පෙළ පන්තියේ දී බාලිකාවන් මට විහිළු කළේ එහෙම ය. ඔවුන් ට එක එක විදිහේ සිහින තරු සිටියෝ ය. නළුවන්, ගායකයන්, ක්‍රිකට් ක්‍රීඩකයන් ඒ අතරේ බහුල ය. ඉඳ හිට තරුණ මන්ත්‍රීවරයෙකු හෝ ඇමතිවරයෙකු ද ඒ අතරේ නොවූවා නොවේ. නමුත් මේ ලෝකේ දෙයක හොඳක් නො දකින මාධ්‍යවේදියෙකු ට, විශේෂයෙන් ම විකල්ප පුවත් පතක දේශපාලන ලියුම්කරුවෙකු ට වහ වැටුණ කෙල්ලක කොතැනකවත් සිටියේ නැත.

පෙර දා රාත්‍රියේ පටන් ගත් වර්ෂාව දැන් තුරල් කොට තිබිණි ද අද දවසට ම එක හිරු කිරණ කදම්බයක් හෝ පොළොව වෙත ළඟා වූයේ නැත. අහස ඝණ වලාකුළු වියනකින් වැසී ගොස් තිබේ. ඒ ඝණ වලා වියනත් එක්ක චණ්ඩිකම් කරන්නට හිරුට වුව නො හැකි සෙයකි. එහෙයින් ම පරිසරය සිහිලැල් ය. විදුර වරදත්ත සපුතන්ත්‍රි අලුත් ම සති අන්ත පුවත් පතට ලියා ඇති දේශපාලන ලිපිය කියවීමෙන් පසු මා වෙලා ගෙන උන් සිසිලස අතුරුදන් ව ගියේ හිරු දුටු පිනි මෙනි. මහත් උණුහුමක් දැන් මට දැනේ. දහදිය බින්දු කිහිපයක් මගේ උඩු තොල මත නැගී තිබේ. අද ඔහු පතුරු ගසා තිබෙන්නේ මගේ අම්මා ව ය. යකෙකුටවත් බය නැති වජිරපාණී වික්‍රමබාහු අමාත්‍යවරියව ය.

අත් දෙක පපුව මත බැඳ ගෙන මඳ වෙලාවක් සඳැල්ලෙන් එපිට ගැබ්බර ආකාසය දෙස බලා උන් මම ජංගම දුරකතනය ගෙන පුවත්පතේ නොම්මරය අංකනය කළෙමි. මට එහෙම කරන්නට සිතුණේ මන්දැයි නො අසා සිටිනු මැන! මට එහෙම කරන්නට ඕනෑ විය! වසර හතර පහක් තිස්සේ මම විදුර වරදත්ත ගේ රහසිගත පාඨකයෙකු පමණක් වීමි. කිසි දා ක මට ඔහු හා කතා කරන්නට ඕන වී නැත. මා කතා කළේ ඔහු ගේ අකුරු එක්ක ය. නමුත් අද මට එහෙම හදිසි ඕනකමක් දැනී තිබේ.

“හෙලොව්. ජනරාව පුවත්පත…මට පුළුවනිද ඔබට සහය වෙන්න…”

ඉලෙක්ට්‍රෝනික ගැහැනු හඬ මා අහසින් පොළොවට ඇද දැමී ය. කෙතෙක් කලබල වී ද යත් කුමක් පැවසිය යුතු ද කියා මට සිහි වූයේ මඳ පමාවකිනි. එද පවසන්නට යත්දී ගොත ගැනිණ.

“ම්…මට…මේ..මට…මිස්ට විදුර වරදත්තව දෙන්න පුළුවන්ද..”

ඉලෙක්ට්‍රෝනික කිකිණි සිනහවක් නැඟිණ. මම ජංගම දුරකතනය සවනෙන් මෑත් කොට, දෑස ඉදිරියට ගෙන වැරදීමක් වූවා ද කියා බැලුවෙමි.

“එයාව ඔයාට දෙන්න කියලද ඉතිං කියන්නෙ…”

“මට…මිස්ට විදුර වරදත්තට කතා කරන්න පුළුවන්ද..”

“කවුද මේ කතා කරන්නෙ…”

“මිස්ට වරදත්තට ලයින් එක දෙන්නකො”

“ඔයා එයාගෙ කවුද…පවුලෙ කෙනෙක්ද…දන්න කෙනෙක්ද…”

“අ…ඔව්. දන්න කෙනෙක්”

මම වහා කීවෙමි.

” නම මොකද්ද…”

“මේ ගෑනිට ඕන නැති දෙයක් නෑනෙ. ගෙදර ගෑනිව පත්තර කන්තෝරුවටත් ගෙනත් තියං ඉන්නවද මන්ද”

මගේ හිත කැරලි ගැසුවේ ය. නමුත් මේ වෙලාවේ මා තුළ සිටින්නා වූ කැරලිකාර තිසුරි බණ්ඩාරනායක ට අවසර දිය නො හැකි ය. එහෙම වුණොත් මට විදුර වරදත්ත සමගින් වචනයක් කතා කළ නො හැකි වනු ඇත.

“මං…සූරි”

“සූරි. හරි මං බලන්නං මිස්ට විදුර ඉන්නවද කියල”

එහා ඉමෙන් සංගීත නාදයක් ශ්‍රවණය වන්නට විය. මම ඇස් දෙක පියා ගෙන මුවෙන් හුස්මක් ගතිමි. වායු ගෝලය ජල වාශ්ප වලින් සන්තෘප්ත වී සිහිලැල් ව තිබි නිසා සීතලක් උගුර හරහා පපුව දෙසට රිංගා ගියේ ය.

විදුර වරදත්ත වාගේ මාධ්‍යවේදියෙකු සමගින් ඕනෑ ම කෙනෙකුට ඕනෑ ම මොහොතක කතා කළ නො හැකි බව මට වැටහුණේ සංගීතය තත්පර වීමේදී ය. ඔහු සිටිනවා ඇත්තේ රැකවල් ඇතිව ය. පක්ෂ භේදයකින් තොර ව දේශපාලකයන් විවේචනය කොට රටට ලියනා හැටියට ඔහු ට ඇමතියෙකුටත් වඩා සතුරන් සිටිත යුතු ය. මකර කටවල් දෙසීය විසිපහක් අතර මැද සිට ඔහු මේ තරම් කාලයක් මෙහෙම ලීවා පුදුම ය.

“හෙලොහ්”

ඒ ගොරෝසු පිරිමි හඬ සවනේ නොව මගේ පපුවේ වැදුණා සේ ය. නාඳුනන රිදුමක් දැනී මම පපුව අල්වා ගතිමි. ඇස් වල ගිනියම් තෙතමනයක් ඇසිල්ලකින් දැනී නො දැනී ගියේ ය. 

“ම්..මිස්ට…විදුර වරදත්ත…”

“ඔව්. විදුර තමයි. කියන්න සූරි…සූරි..මං හිතන්නෙ ඒක ඔයාගෙ පෙන් නේම් එක…එහෙම නේද…”

මට දැනුණු හැඟීම් වචන කොට කොහොම නම් ඔබට කියම් ද? ඔහු වාගේ දැවැන්ත මිනිසෙකු, ප්‍රබල හා ප්‍රකට මාධ්‍යවේදියෙකු, මේ දූපත කරවනා දේශපාලකයන් එක

රැයකින් කණපිට ගසනා විශ්මිත ලිපි ලියනා අනන්ත දැක්මක් ඇති මිනිසෙකු ට මගේ නම මතක හිටියේ කෙසේ ද? දුරකතන ක්‍රියාකරවන්නිය විසින් සූරි යන නම කියන්නට ඇත. නමුත් මේ කතා කරනා සූරි හා සූරි යන නමින් ඉඳහිටෙක පත්තරේ කවි පිටුවට කවක් ලියනා තැනැත්තිය එක්කෙනෙකු සේ ඔහු මොහොතක නිගමනයකට පැමිණියේ කෙසේ ද? අනිත් අතට පත්තරේ ට ඉඳහිට අන්වර්ත නමකින් කවක් ලියනා කෙනෙකු මතකයේ රඳවා තබා ගන්නට ඒ වගේ දැවැන්තයෙකුට හැකි වූවා කියා සිතීමත් මොන තරම් අද්භූත ද? පසු කාලයක මා දැන ගත් පරිදි, ඒ වෙලාවේ මගේ දුරකතන ඇමතුම එත්දී ඔහු පුවත්පතේ පළ වූ මගේ කවියක් කියවමින් සිට ඇත. ඒ මොහොතේ ම මගේ නමින් ඇමතුමක් පැමිණීම ඔහු ට තරමක චමත්කාරයක් වී තිබේ. 

“අනේ සර්…මට හිතා ගන්නත් බෑ වගේ…පත්තරේ කොනක ඉඳහිට චූටි කවි පේළියක් පළවෙන මගෙ නම සර්ට මතක තිබුණයි කියල”

මම හැබෑ ප්‍රහර්ශයකින් කතා කළෙමි. එය හරියට බලාපොරොත්තු නොවූ මොහොතක දිව්‍ය ලෝකයට යන්නට ටිකට් එකක් ලැබුණා වන් ප්‍රහර්ශයකි. බෝ ඈතක සිට කාලයක් තිස්සේ මම මේ මිනිසා දෙස බලා සිටියෙමි. නමුත් ඒ මිනිසා මගේ ළඟ ම හිඳ ඇති බව දැනෙත්දී ඇති වන්නා වූ උන්මන්තක රැළි, මට පිස්සු යයි මට ම දනවනා සුළු විය.

“මගෙ නම තිසුරි සර්. සූරි කියල කවි වලට දැම්මෙ…ඒව එච්චර හොඳ කවි නෙවේ කියල දන්න නිසා”

ඊට තවත් හේතු තිබිණ. මා කවි ලියන බව කවුරුන්වත්, මගේ පවුලේ අය හෝ මගේ මිතුරියන් හෝ දැන ගන්නට මට ඕනෑ නොවී ය. ඊට හේතුව මගේ කවි වලට වස්තු විෂය වූයේ අම්මලා ගේ දූෂිත දේශපාලනය වීමයි. අනිත් අතට මේ කවි ලියන්නේ වජිරපාණී වික්‍රමබාහු ගේ දියණිය කියා කිසිවෙකු දැන ගන්නවාට මම නො කැමති වීමි. නමුත් ඔහු ට මගේ නම මතකයේ තිබීම, ඒ කවි නිසා මට ලැබුණා වූ හොඳ ම දෙයක් බව මම දැන් දන්නෙමි. සැබවින් ඒ වෙලාවේ මට ඕන වුණේ හයියෙන් සින්දුවක් දමා ගෙන නටන්නට ය. නැත්නම් හූ කියාගෙන මිදුලට පැන වැස්සේ තෙමෙන්නට ය.

“එහෙම හිතන්න එපා තිසුරි. ඔයාගෙ පරිකල්පනය බොහොම සියුම් විදිහට ඒ කවි ඇතුළෙ තියෙනව. දක්ෂ කවියෙක් ඔයාගෙ ඇතුළෙ ඉන්නව කියල මං හිතනව”

“අනේ…ඇත්තටම මං කතා කළේ මගෙ කවි ගැන කතා කරන්න නෙවේ. ඒත් සර් වගේ කෙනෙක් ඒ කවියක් කියෝල තියන එක ඇත්තටම මට කියා ගන්න බැරි සතුටක්”

“හරි තිසුරි මොකටද එහෙනං මට කතා කළේ…ම්…”

ඔහු ගේ හඬ තානය ගොරෝසු වී ද ගැහැනු හිතක් තිගස්සවන කරුණා භරිත බවක් එහි තැවරී තිබෙනු මට දැනිණ. 

“අද පත්තරේ සර්ගෙ ආටිකල් එක කියෙව්වට පස්සෙ මට මේ කෝල් එක ගන්නම හිතුණ. ඇත්තටම මං සර්ව කියවන්නෙ ඕලෙවල්ස් කරන කාලෙ වගෙ ඉඳං. කොහොමද සර් ඔහොම ලියන්නෙ…ඔහොම ලියල…මේ දේශපාලන මඩගොහොරුව මැද්දෙ නෙළුම් මලක් වගේ පිපිල ඉන්නෙ කොහොමද…අනේ පරිස්සමෙන් සර්…”

එහෙම කියත්දී මගේ හඬ බිඳී ඇස් වලට තෙතමනයක් ඉනුවේ ඇයි? ගිනියම් යකඩ බෝලයක් හිර වුණා සේ උගුර රිදුම් දුන්නේ ඇයි? මම නොදන්නෙමි ද? නැත්නම් දන්නා නිසා ම මට එහෙම රිදුණි ද?

කෙසේ වෙතත් ඔහු රඳවා ගත් මොහොතක නිහැඬියාව ඇතුළේ දී මා ආලෝක වර්ෂ ගණනක වේගයෙන් ඔහු ගේ හදවතට සමීප වන බවක් මට දැනිණ. ඒ අතරේ විදුර වරදත්ත ගේ සුසුමක් සුළි සුළඟක් සේ හමා ගෙන ගියේ ය.

“තිසුරි දේශපාලන ලිපි ලියන්න උනන්දුයිනං…අපි ලියල බලමු. ඔයා කැමතිනං දවසක ඇවිත් මාව මුණගැහෙන්න”

“අනේ මං කැමතියි සර්”

මා පැන්න ගමන් එහෙම කීවේ ඔහු දැක ගැනීමේ හදිසි දොළක් මගේ ගැහැනු ආත්මයේ පත්ලකින් පැන නැගි නිසාවෙනි. නැතිව මට දේශපාලන ලිපි ලිවීමේ හෝ මාධ්‍යවේදියෙකු වීමේ හෝ කිසිදු උවමනාවක් නැත. ඉඳහිට මා කවියක් ලීවේ අපේ ගෙදර තුළදී දැනුණා වූ පිළිකුල් සහගත හැඟීම් සමනය කර ගැනීම වෙනුවෙන් පමණකි. මේ දූෂිත, දුර්ගන්ධයෙන් පිරි දේශපාලන ගොහොරුවේ මල් පිපෙන්නට ඔවුන් ඉඩක් තබන්නේ නැත. සුවඳ ඔවුන්ට අරහං ය. දුම්මල සුවඳට යකුන් පැන දුවනවා සේ, මිනිස් සුවඳ දේශපාලකයන් ව විසඥ කරයි. ඊට පෙර ඔවුහු මල් කඩා බිඳ සුවඳ විසුණු කොට දමති.  ඒ බව උදේ හවා දෑහින් දකිනා මට, පෑනෙන් දේශපාලන යකුන් දමනය කරන්නට යාම විහිළුවක් බව නො තේරෙනවා නොවේ. නමුත් මා පැන ගෙන විදුරට ‘කැමතියි’ කීවේ පත්තර කන්තෝරුවට ගොස් ඔහු හමු වීමට ලැබුණ අවසරය අහෝසි කර ගත නො හැකි ලෝභ කමට ය.

අම්මා ගෙදර ආවේ පරල වී ගෙන ය. ඔසරිය හැඳ ගෙලට කොණ්ඩ ගෙඩියක් බඳිනා ඇගේ සිංහල කුල කාන්තා පෙනුම දේශපාලනය වෙනුවෙන් උපදවා ගත්තකි. ඇයට වන්නේ කුළ කතකගේ කටක් නම් නොවේ. ඒ කට ඇරිය විට ගම් හතක ඝාණ්ඨාර එක වර නාද කරන්නා මෙනැයි තාත්තා සමච්චලයට වගේ කියා ඇති කතාව මට යළි සිහි වන්නේ මේ වගේ අවස්ථා වල ය. 

“අර විදුර වරදත්ත කියල ලියන ප ර ය කවුද කියල බලන්න ඕනෙ. ලබ්බට තියපු අත එහෙනං ඕකා පුහුලටත් තිබ්බ. වැරදි ගෑනිටයි මේ සැරේ ඒකා අත තිබ්බෙ. මූ යකෝ කවුරු කිව්වත් අහන්නෑ වගේනෙ. හිටපු ගමං අතුරුදහන් වෙලා යන්න ආස හිතිල වගෙයි. ඔය යකාට කතා කරල කියනව ගෑනිවයි දරුවන්වයි කාට හරි බාර දීල අන්තිම කැමති පත්තරේ ලියල තියා ගන්නයි කියල”

අම්මා, වජිරපාණී වික්‍රමබාහු, වරින් වර රජයන් කිහිපයක් යටතේ විවිධ අමාත්‍යාංශ වල අත්කැකීම් වලින් පොහොසත් අමාත්‍යවරිය සිය ආරක්ෂක නිලධාරීන් ට ගුගුළා ය. මගේ මුවග සමච්චල් සිනහවක් විය.

“අම්මට පුළුවන්ද ඒ ලියල තියන එක දෙයක් හරි බොරුයි කියල කියන්න…අම්මට එහෙම කියන්න පුළුවන්නං මාත් එනව ඒ ජර්නලිස්ට්ට ගලකින් හරි ගහන්න”

මා කතා කළේ ඉතාම ශාන්ත ස්වරයකිනි. යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩයින් ට පිරිත් පැන් සේ, මැති ඇමතිලා ට පිය වදන් අකැප ය.

“අනේ මේ තිසුරි මගෙ යකා අවුස්සගන්නැතුව ඉන්නව. පිට එවුං මොනා නොකියයිද…මේ ගෙදර එවුන්මනෙ මට පළවෙනි ගල ගහන්නෙ”

මෙතැන තාත්තා හිටියා නම්, ඔහු ගේ අඩ සිනහව මට මැවී පෙනෙයි. අම්මා ව මේ විදිහට යක්ෂාවේශ කළ මාධ්‍යවේදියාට මා මීට මොහොතකට පෙර ‘සර්’ යනුවෙන් ගෞරව සම්ප්‍රයුක්ත ව ඇමතුවායි අම්මා දන්නවා නම්, විදුර වරදත්ත ට කලින්  අතුරුදන් කරනු ඇත්තේ මා ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles