මගේ අම්මා නොහොත් වජිරපාණී වික්‍රමබාහු දේශපාලන චරිතයක් බවට පත් වන්නේ, ආසියාතික රට වලට පොදු වූ ‘අනුකම්පා ඡන්ද’ වලිනි. ආසියාතික බොහෝ රට වල දේශපාලකයෙකු ඝාතනයට ලක් කරනු ලැබූ විට හෝ මිය ගිය විට ඔහු ගේ බිරිඳට හෝ ඔහු වෙනුවෙන් පෙරට එන දියණියට විශාල ඡන්ද ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව ජනතාව විසින් උදා කර දෙනු ලැබේ. බොහෝ විට මේ අවස්ථාව උදා වන්නේ ‘අසරණ වන’ ස්ත්‍රීන්ට ය. අසරණ වීම, තමන් ව පාලනය කිරීමේ ලා සුදුසුකමක් සේ මිනිස්සු සිතති!
ලොයිඩ් වික්‍රමබාහු නම් වූ මගේ මව් ගේ පියා මිය ගියේ බෝම්බ ප්‍රහාරයකිනි. ඒ දකුණේ දේශපාලකයන් වේවා වෙනත් ජනතා නියෝජිතයන් වේවා ඉලක්ක කොට බෝම්බ ප්‍රහාර එල්ල කෙරෙනුයේ උතුරේ ත්‍රස්තවාදය විසිනැයි රටේ ජනතාවට ඒත්තු ගැන්වූ යුගයකි. නමුත් මගේ තාත්තා නම් කීවේ පප්පා ගේ ඝාතනය කොටි ත්‍රස්තාවාදී ක්‍රියාවක් නොව දකුණේ දේශපාලන කා කොටා ගැනීම් වල ප්‍රතිඵලයක් බවයි. තාත්තා ගේ හඬට ගේ ඇතුළේ ඉඩක් නැති එකේ ජනතාව අතරට කිසි සේත් එය සම්ප්‍රේෂණය වන්නේ නැත. නමුත් මගේ ළමා මනස තාත්තා ව විශ්වාස කළේ ය. පප්පා ගේ මළගම දා, ඔහුගේ නඩයේ උන් දේශපාලන චරිත අම්මා ව දේශපාලනයට ඈඳා ගත්හ. ඒ කිසිදු දේශපාලන දර්ශනයක් නැති, එල්ලෙන්නට වැලේ වැල් නැති, ගෙම්බන් සේ පක්ෂයෙන් පක්ෂයට පැන පැන සිටි, යන එන මං නැති අපතයන් රැලකට සිය මාර්ගය තව ටිකක් දිගු කර ගත හැකි එක ම ක්‍රමය වශයෙන් යයි තාත්තා කීවේ ය. ඒ වතාවේ මැතිවරණයේ දී වාර්තාගත ඡන්ද ප්‍රමාණයකින් අම්මා පාර්ලිමේන්තු ගියා ය.
“දැන් ඔයා මොනාද ඔතනට ගිහිං කරන්න හදන්නෙ…දේශපාලනය ගැන ඔයා මොනාද දන්නෙ…”
තාත්තා අම්මා ව ප්‍රශ්න කළේ ය. මා දන්නා තරමට අම්මා ඡන්දය ඉල්ලන්නට නාමයෝජනා භාර දෙන්නට තීරණය කළ වෙලාවේ තාත්තා විරුද්ධ වූයේ ය. එදා අපේ ගෙදර ලොකු රණ්ඩුවක් ඇති විය.
“ඔයා මට ඊරිසියයි. ඔයාට ඕනෙ මං ගෙදරට සීමා වෙච්ච ගෑනියෙක් කරන්නයි”
අම්මා එසේ අභියෝග කළ වෙලාවේ ඇගේ ඇස් වලින් නිකුත් වූ ද්වේශයේ කිරණ මට මේ දැන් මෙන් සිහි කර ගත හැකි ය.
“දැන් මාව නවත්තන්න ඔයාට තියා යම රජ්ජුරුවන්ටවත් බෑ. තාත්ත මැරුණෙ මට මේ වරම දීල. මාසෙ අන්තිමට සොච්චං පඩියක් ගන්න මුළු ජීවිතේම කඹුරන ඔයා වගේ රජයේ සේවකයෙක්ට තේරෙන්නෑ ජනතා නියෝජිතයෙක් වෙන එකේ වරප්‍රසාද”
“වජිරපාණී…”
තාත්තා අම්මා වෙතට ම ලං වූයේ ය. ඒ වෙලාවේ ඔහු ඇයට පහර දේවිද යන බිය මා තුළ හට ගත්තේ ඇයි දැයි නො දනිමි. ඊට පෙර තාත්තා කිසි විටෙක අම්මා ට අතින් පයින් පහර දී ඇතිවා නොවේ. ගැහුවා නම් ඔහු ගැහුවේ කටිනි. තාත්තා ගහන්නට සූදානම් වූවොත් පෙරලා පහර දෙන්නට වාගේ ය අම්මා පපුව ඉස්සරහාට දමා ගෙන ඔහු ඉදිරියේ පෙනී සිටියේ. ඇගේ ඇස්, පන්සලේ බුදු ගෙයි කොටසක සිතුවම් කර තිබූ අපායේ දර්ශන වල සිටි යක්ෂණියක ගේ සෙයින් මට පෙනිණ.
නමුත් තාත්තා ට ඊළඟට කියන්නට තිබුණේත් බණක් ම ය. අපි, අසීමිත ව බණ කියූ ද බණ ඇසූ ද රටක බණ පිළි නොපැදි කරුමක්කාර මිනිසුන් වන්නෙමු.
“වජිරපාණී…ජනතා නියෝජිතයෙක් වෙන්නෙ වරප්‍රසාද භුක්ති විඳින්න නෙවෙයි. ඔයා දේශපාලනයට එන එකේත් අරමුණ ඒ වරප්‍රසාද භුක්ති විඳින එකනං…ඔයාගෙං රටේ මිනිස්සුන්ට වෙන යහපතක් නෑ. ජනතා නියෝජිතයෙක් කියන්නෙ පොදු ජනතාව වෙනුවෙන් පෙනී හිටින මිනිහෙක්. ඒ මිනිසුන්ගෙ ප්‍රශ්න දුක් කම්කටොළු තේරුං අරං ඒවට උත්තර හොයන්න උනන්දු වෙන…ඒවට විසඳුම් දෙන්න කැප වෙන මිනිහෙක්. ඒකයි මං කියන්නෙ තාත්ත වගේම ඔයත් ඔය ජරාජීර්ණ වෙච්ච දේශපාලනේට අඩිය තියන්න එපා කියල. එහෙම හොඳ අරමුණක් ඇතුව වැඩ කරපු මිනිස්සු මේ දේශපාලනේ ඇතුළෙ හිටිය. හැබැයි තක්කඩි දේශපාලුවො උන්ගෙ පාර කපා ගන්න ඒ මිනිස්සුන්ව සාහසික විදිහට පරලොව යැව්ව. ඒ පව් වල වගකීම ත්‍රස්තවාදීන්ගෙ පිටේ එල්ලුව. ඔයාට ඔතනට ගිහිං කරන්න පුළුවං දෙයක් නෑ. ගෙදරට වෙලා ළමයින්ගෙ ඉගෙනීම ගැන බලාගෙන ඉන්න. මට පුළුවන් මගෙ පවුලට කන්න බොන්න අඳින්න දෙන්න”
“ඇති ඇති”
අම්මා කඩා ගෙන පැන්නා ය.
“අපේ තාත්තගෙ උදව් නිසා මෙහෙම කර ගත්ත. නැත්තං ඔයාගෙ පඩිය ඇති ඔයාගෙ වාහනේට පෙට්‍රල් ගහන්න විතරක්”
ඒ සමච්චලය තාත්තා ගේ කම්මුල හරහා එල්ල කරනා ලද අතුල් පහරක් සරි විය. ඔහු ගේ කම්මුලක මාංශ පේශීන් වෙව්ලා ගියේ ය. අංශභාග රෝගයට ගොදුරු වීමට යනවා වාගේ අප්‍රාණික ව ගිය හෙතෙම සෝෆාව මතට වැටුණේ ය. එපමණකි. ඉන් පසු තාත්තා අම්මා ගේ දේශපාලන කෙරුවාව ගැන ඇයට උපදෙස් දෙන්නට ගියේ නැත. ඒ ගැන වදනකුදු නො දෙඩුවේ ය. අම්මා සිය මාර්ගය තෝරා ගත්තා ය. තාත්තා ඒ මාර්ගයෙන් පැත්තකට විය. ඒ ගැන තව බොහෝ විස්තර පසුවට කියන්නට තබමි.
විදුර වරදත්ත සපුතන්ත්‍රී විසින් ලියන ලද දේශපාලන ලිපිය ගැන සිය සගයෙකු වෙතින් දැන ගැනීමෙන් පස්සේ අම්මා දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු සේ කිපුණා ය. සාමාන්‍යයෙන් ඇය පත්තර කියවන්නේ නැත. ඉස්කෝලේ ගමන නිම වීමෙන් පස්සේ අකුරක්වත් ඇය කියවා ඇතැයි සිතිය නො හැකි ය. ඉතින් පත්තරකාරයෙකුට මෙහෙම දේවල් ලිවිය හැකි වෙතැයි ඇය නො සිතන්නට ද ඇත. එහි විදුර වරදත්ත ලියා තිබූ, අම්මා විසින් සිය අමාත්‍යාංශය ආශ්‍රිත ව සිදු කරන ලද වංචා හා දූෂණ ගැන ඔහු දැන ගත්තේ කොහොමද කියා මා දන්නේ නැත. නමුත් ඒ කිසිත් බොරු නොවන බව මම දනිමි. වජිරපාණී වික්‍රමබාහු ගේ දියණිය ලෙස ඔහු ඉදිරියට යන එක ගැන මට ලැජ්ජාවක් නො දැනුණා ද නොවේ. එහෙයින් ම ඇයට වන නෑකම් ගැන ඔහු ගෙන් සඟවා කතා කරන්නට මම සිතා ගතිමි.
ජනරාව පුවත්පත් කාර්යාලයට මුලින් ම ගිය ඒ ගමන, මගේ දිවිය තුළ මා ගිය දුර ම ගමන කියා මම කියමි. මගේ කුඩා මෝටර් රථය එහි රථ ගාලේ නතර කොට, සැතපුම් ගණනක් පයින් ඇවිද ආවා සේ මම හති අරින්නට වීමි. මගේ උගුර කට වියළී ඇති බවක් දැනුණෙන් වතුර බෝතලයෙන් බාගයක් ම බීගෙන බීගෙන ගියෙමි. ඊළඟට කැඩපතෙන් මගේ මුහුණ දෙස බැලුවෙමි.
සාමාන්‍යයෙන් පිටතට යත්දී මම සරල හැඩ ගැන්වීමක් කරමි. අද මේක් අප් වැඩි ද කියා මට හදිසියේ ම සිතුණේ ය. ටිශූ එකක් දෙතොල් අතරේ තබා මම තවත් ටිකක් ලිප්ස්ටික් වල පැහැය අඩු කළෙමි. හැකි තාක් ස්වභාවික ලෙස වරදත්ත ඉදිරියට යන්නට මට ඕනෑ වූයේ ඇයි කියා මම මා නො විමසුවෙමි. හද ගැස්ම ඒ තරම් වැඩි වී තිබීම ගැන හෝ හේතු විමසීමක් මගෙන් සිදු වූයේ නැත.
“ගුඩ් මෝනිං”
එදා දුරකතනය ඔස්සේ ඇසුන ඉලෙක්ට්‍රෝනික හඬෙහි හිමිකාරිය ඇය බව මට වහා නිගමනය කළ හැකි විය.
“මට මිස්ට විදුර වරදත්තව මීට් වෙන්න පුළුවන්ද…අපොයින්මන්ට් එකක් දීල තියෙන්නෙ මට…”
මම හැකි උපරිමයෙන් ආචාරශීලී වීමි.
“මිස් සූරි ද…”
මා හිස සලන්නටත් පෙර ඇය මුව පුරා සිනහ වූයේ කලෙක සිට මා දැන හැඳින ගෙන සිටි පරිද්දෙනි.
“ඔහොම ඉස්සරහට යන්න. කෙලවරේ වම් පැත්තෙ තියන කියුබිකල් එකේ මිස්ට විදුර ඉන්නව”
කාපට් එකක් ඇතිරූ බිම පවා මගේ පාවහන් ගැටෙනා හඬ උස් ව නැගෙන්නා සේ මට දැනිණ. තදබල ගිම්හානයක දී බඳු දාහයක් මා වට කොට ගෙන තිබිණ. නමුත් කතෘ මණ්ඩල අංශය මුළුමනින් වායු සමීකරණය කොට ඇති බව පසුව මම දැන ගතිමි. පිළිගැනීමේ නිලධාරිනිය ඇය ම නම විමසා මා ඇතුළට එව්වේ විදුර වරදත්ත විසින් මගේ පැමිණීම ගැන ඇය දැනුවත් කොට ඇති නිසායි සිතෙත්දී ආඩම්බරයකින් පපුව පිරී ගියේ ය. මම දිගට ම ඇවිද ගෙන ගියෙමි. වට පිටේ සිටි කිසිවෙකු ගැන මගේ කිසිදු උනන්දුවක් වූයේ නැත. මම දිගට ම ඇවිදගෙන ගියෙමි. කෙලවර වම් පස කියුබිකල් එක හමු වෙන තුරු ඇවිද ගෙන ගියෙමි. සීතල වී ඇති වීදුරු දොරට අත තබනා තුරු මා සිටියේ වෙනත් ලෝකයක ය. නමුත් ඒ සීතල ස්පර්ශයෙන් මා මේ ලොවට ඇද දැමිණ. මම වෙව්ලන අතැඟිලි වලින් දොරට තට්ටුවක් දැමුවෙමි.
“එන්න”
එක වරක් අසා තිබි ගැඹුරු පිරිමි හඬ කතා කළේ ය. මා අසීරුවෙන් දොර තල්ලු කළේ දොරක් ඒ තරම් තදට හදන්නේ ඇයි දැයි සිතමිනි.
“ඉඳගන්න තිසුරි”
මා අසුන් ගත වූයේ යටි තොල දසන් අතරේ තද කොට ගනිමිනි. ඒ වදන් දෙක තුළ දිය වී තිබූ පුළුන්මය සිනිඳු බව, මා මහත් සුවපහසු කලාපයක අතරමං කරවන ලදී. නමුත් හිරු මඬලක් සදිසි වූ ඒ ඇස් බැල්ම මට කුමක් සිදු කළා ද කියා මා දන්නේ නැති බව ඉඳුරා කිව හැක.
“තිසූ ක්‍රශ් වෙලා ඉන්නෙ වයසක ජර්නලිස්ට් කෙනෙක්ට”
මීට වසර කිහිපයකට පෙර මගේ මිතුරියන් විසින් කිහිප වර ප්‍රකාශ කොට ඇති ඒ වගන්තිය මා අවට වන හැම ශබ්ද තරංගයක ම නැගී විත් මගේ සවන් ළඟ තදබදයක් ඇති කළේ ය. විදුර වරදත්ත සපුතන්ත්‍රී යන පුද්ගල නාමයේ වන බරැති තානය අනුව මට ද සිතී තිබුණේ අඩු ම තරමින් ඔහු වයස හැටක් ඉක්මවූ පුද්ගලයෙකු බවයි. විදුර ලියූ කිසිදු පුවත්පතක ඔහු ගේ ඡායාරූපයක් පළ නොවූයේ ය.
කෙසේ වෙතත් මගේ නිගමනය වැරදී ගොස් තිබේ. මේසය මත රිදී පැහැති නාම පුවරුවක ‘චීෆ් එඩිටර් විදුර වරදත්ත සපුතන්ත්‍රී’ යනුවෙන් ඉංග්‍රීසි අකුරෙන් ලියැවී තිබිණ. මා අසුන් ගෙන හිඳිනා තැනට සම්මුඛව හිඳිනා ඔහු තද කොළ හා කළු පැහැති කොටු වැටුණ කමිසයක් හැඳ එහි දිග අත් වැළමිට සන්ධිය තෙක් සිහින් ව නවා ගෙන සිටියේ ය. ඔහු ගේ කොණ්ඩයේ ද මුහුණ පුරා කප්පාදු කොට නඩත්තු කොට ඇති රැවුලේ ද තැන් තැන් වල සුදු කෙස් ගස් මතු වී පෙනේ. නමුත් ඒ මා සිතා උන් වයස්ගත මාධ්‍යවේදියා නොවේ. අත වූ ටිශූ එකෙන් මම මුහුණ පිස දා ගතිමි.
“ඉතිං…තිසුරි ටිකක් කලබල වෙලාද මන්ද”
ඇස් දෙක පහළට හරවා ගෙන මම දෙතොල් තෙරපා ගත් සිනහවක් නගා ගතිමි. ඔහු මූණ බලා සාස්තර කියයි!
“මේ…මිස්ට විදුර වරදත්ත නේද…”
“ඇයි ඔයාට ශුවර් නෑ වගේද…”
ඔහු මන බඳනා සිනහවක් පෑවේ ය. මම ඒ සිනහව දිග ටික දුරක් ගොස් අතරමං වීමි. ආපසු එන්නට පාර හොයා ගත්තේ මඳ තත්පර වීමකිනි. ඒ මුළු කාළය පුරා ඔහු කෙළින්, මා විනිවිද බලා සිටියේ ය.
“නෑ. මං ඒ නමත් එක්ක මවා ගෙන හිටියෙ…”
“වයසක පොරක් නේ…”
එවර ඔහු සිනහ වූයේ හඬ නැගෙන සේ ය. උදුල සඳ මඬලක් අහසට පැන නැගෙන්නා සේ, හිරු දහසක් එක වර පායා එන්නා සේ, මන්දාකිණියක් පියවි ඇසින් දුටුවා සේ ඒකාලෝකයක් මා අභියස පහළ විය. සිරුරේ හැම සෛලයක් ම කිසියම් ආරෝපණයක් ලැබු සෙයකින් පණ ගැහුණේ ය. මම ඔහු නමැති වශීය තුළ මෝහනය වෙමින් ඔහේ බලා සිටියෙමි.
“දැං වයසයි තමයි තිසුරි. පත්තර පිටු අතරටම වයස ගියා ඉතිං…මොනා කරන්නද…නේද…”
“මට ඒ නම මතක මං ඕ ලෙවල්ස් කරන්නත් කලින් ඉඳන්”
“ලියන්න අරං දැං අවුරුදු විසි හතක් පැන්න. මුලින් ම මේ තක්කඩි දේශපාලනේ ගැන ලියන්න පෑන අතට ගත්තෙ කැම්පස් එකේදි”
ඒ වෙලාවේ මට ඒ වචන අතර හමු වූයේ මගේ තාත්තා ව ය. දේශපාලනය වූ කලී තක්කඩින්ගේ ක්‍රීඩාවක් බව මා ඉගෙන ගත්තේ ඔහු ගෙනි.
මම හිතෙන් ගණන් හැදුවෙමි. ඒ අනුව ඔහු ට දැන් වයස හතළිස් හතක්වත් විය හැකි ය. ඊට මඳක් වැඩි වූවොත් මිස අඩු විය නො හැකි ය. මා හැට පහක් යයි සිතා උන් මිනිසාට වයස හතළිස් හතක් අටක් වේ. නමුත් තිස් පහක පෙනුමක් ඔහු ට තිබේ.
“ඉතින් ඉතින්…ඔයා මොනා හරි ලියපු දෙයක් අරං ආවද..”
ප්‍රශ්නය මා අභියසට විත් නතර වූයේ මා මීට වඩා දුර නොයා යුතු බව නො කියා කියමින් විය හැක. මම ඍජු ව ඔහු ගේ මූණ බලා කතා කළෙමි.
“ඇත්තටම මං මේ ගමන ආවෙ ලියන්න චාන්ස් එකක් ගන්න නෙවෙයි”
“එහෙනං…”
ඔහු ගේ ඇස් කණීනිකාවේ පුළුල් වීමක් සිදු විය. මම ඒවා අතරින් රිංගා පිරිමි ආත්මය තුළ කිමිදීමේ උත්සාහයක් දරමින් පිළිතුර දුන්නෙමි.
“ඇත්තට ම…සර්ව බලන්න”
විදුර වරදත්ත ගේ දෙතොල් පෙති අතරේ වූ මන්දහාසය මගේ ඇස් ඉදිරියේ හෙමි හෙමිහිට තුනී වී වියැකී යන්නට විය. ඔහු ගේ ඇස් කුඩා වී ඒ අතර නළල මත ඉසිහින් රැල්ලක් නැඟිණි.