මා හිස පිරිමැද 07

එදා රාත්‍රියේ අක්කා අපේ ගෙදර නතර වූවා ය. විවාහයට පෙර ඇය සිටි කාමරය තිබිණි ද ඇය මාත් එක්ක නිදන්නට ආවා ය. සැබවින් අප නිදා ගත්තේ රාත්‍රියෙන් හෝරා කිහිපයක් පමණකි. ඉතිරි මුළු කාලය කියවමින් සිටියෙමු. ඒ අතරේ අක්කා ට විශේෂයෙන් දැන ගන්නට ඕනෑ වූයේ මට දැන් පෙම්වතෙකු සිටිනවා ද කියා ය. ගෙදර පැමිණි පසු “දැන් ගෙදර. නිදියන්නයි හදන්නෙ. අද අක්කත් අපිත් එක්ක ඉන්නව. ගුඩ් නයිට්!” යනුවෙන් මම විදුර ට පණිවිඩයක් තැබුවෙමි.

“කොල්ලෙක් නෑ අනේ. ඉන්නව මාව සත පහකට ගණං ගන්නැති ක්‍රශ් එකක්. අද දවස පුරාත් මං කීයක්නං මෙසේජස් යැව්වද…සීන් කරනව. හැබැයි නෝ රිප්ලයි. අපිට හිටියොත් ඉතිං එහෙම අය තමා”

මම හඬ නගා සිනහ වීමි. අක්කා සුසුමක් හෙළුවා ය.

“අපේ හිතේ කිසිම කැමැත්තක් හැඟීමක් ඇති නොකරන මනුස්සයෙක් එක්ක ජීවත් වෙන එක හරියට කරුමයක් ගෙවනව වගෙයි නංගි. ඒක නිසා දවසක බඳින්න…ඔයා කැමති කෙනෙක්ව”

“අක්..කෙ…ඔයා සතුටෙන් නෙවේද හෂාන් අයියත් එක්ක ඉන්නෙ…”

“සතුට…ඇයි මං සතුටෙන් ඉන්නෙ…සතුටෙන් ඉන්න මට තියන හේතු මොනාද…”

මම නිරුත්තර වීමි. අක්කා කියන්නේ අපේ ගෙදර සිටියදී සුරංගනාවක් සේ උන් ගෑනු ළමයෙකි ඇයට පෙම්වතෙකු සිටියේ ය. නමුත් සාමාන්‍ය පවුලක විශ්ව විද්‍යාල සිසුවෙකු වූ ඔහු ට අක්කා විවාහ කොට දීම, දේශපාලන චරිතයක් වූ අම්මා ට මදිපුංචි කමක් විය. හෂාන් ගේ පියා චිරප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ඔහු ගේ ව්‍යාපාර එක් ක්ෂේත්‍රයක් ඉලක්ක කර ගත් එකක් නොව ක්ෂේත්‍ර ගණනාවක පැතිරුනකි. කෝටිපති ව්‍යාපාරිකයෙකු ගේ නිකමෙකු වන පුතෙකු වූ හෂාන් ට ඕනෑතරම් මුදල් වියදම් කරන ක්‍රම තිබිණි. ඒවා නීරස වන විට ඔහු අලුත් ක්‍රම හොයා ගත්තේ ය. රාත්‍රී සමාජ ශාලා වල ජනප්‍රිය චරිතයක් වූ හෂාන්, මෑතක සිට පුවත් මවන්නෙකු බවට ද පත් ව සිටියේ ය. මැතිවරණ ව්‍යාපාර වලදී අත දිග හැර මුදල් විය පැහැදම් කළ හැකි පවුලකට දියණිය පාවා දුන් අම්මා ට අක්කා ඒ සල්ලි කඳු අතරේ හුදෙකලා වූ බව දැනුණේ හෝ නැත.

“මං ඔයාට ඔය වෙඩින් එකට කලින් කිව්ව. හර්ෂ අයියත් එක්ක පැනල යන්න කියල”

මා කීවේ අක්කා ගැන සැබෑ දුකකිනි.  ඇය මුව කොනකට සිනහවක් නගා ගත්තා ය.

“ජොබ් එකක්වත් නැතුව එයා මාව එක්කං යන්නෙ කොහොමද නංගි. ඒ ගෙදරට එක්කං ගිහිං ඩිග්‍රි එක ඉවර වෙලා ජොබ් එකක් හොයා ගන්නකල් මාවත් බලා ගන්නයි කියල ඒ දෙමව්පියන්ට කියන්නද…ඒක පැත්තකින්ම තියමුකො. ඔයා හිතනවද මං එහෙම ගියානං අපේ අම්ම අපිව හොයා ගන්නැති වෙයි කියල. එහෙම හොයා ගෙන මාව නෙවෙයි අර අහිංසකයව ම ර ල දායි. ආදරේ වෙනුවෙන් මට එච්චර ආත්මාර්ථකාමී වෙන්න පුළුවන් වුන්නෑ නංගි”

ක්ෂණික ගින්නකින් මා දැවිණ. හර්ෂ යනු අම්මා ට කිසිදු සම්න්ධයක් ඇති මිනිසෙකු නොවේ. නමුත් විදුර වරදත්ත කියන්නේ අම්මා ට අංක එකේ සතුරෙකි. මා ඔහු මුණගැහෙනවා හෝ මගේ ලෝකයේ ඔහු වීරයා කර ගෙන සිටිනවා කියා දන්නවා නම් ඇය ඔහු ගැන කිසි සේත් දෙවරක් හිතන්නට ඉඩ තබා ගන්නේ නැත. ඔහු වෙනුවෙන් මා බෙහෙවින් කල්පනාකාරී විය යුතු යයි මා සිතා ගත්තේ ඒ වෙලාවේ ය. දේශපාලන පලිගැනීම් වලට වහන් වෙමින් අර තරම් ප්‍රවේසමෙන් ජීවත් වන ඔහු ට මා වන් සීනි බෝල කෙල්ලක ගේ ප්‍රේමයක් නිසා කිසි දාක අවැඩක් නො විය යුතු ය.

හෂාන් අක්කා ට බිරිඳක ගේ අයිතිවාසිකම් වලින් අංශුවක් හෝ ලබා නොදී, ඔහු ගේ සෙල්ලක්කාර ජීවිතය ගෙවනා බව අක්කා ඒ රාත්‍රියේ මට කීවා ය. ඔහු ට වෙනත් සම්බන්ධකම් එකක් හෝ ඊටත් වැඩියෙන් පැවතිය හැකි බවත්, අක්කා ගැන ඔහු කිසිදු තැකීමක් නොකරන බවත් ඇය කීවේ කඳුළින් නොව මඳහසිනි. නමුත් මම බෙහෙවින් කම්පිත වීමි.

පසු දා අප අවදි වන විට තාත්තා අප දෙදෙනාටත් එක්ක කිරිබත් උයා තිබිණ. අක්කාත් මමත් බෝ සතුටෙන් කිරිබත් බෙදා ගතිමු.

“ඊයෙත් මට බැරි වුණානෙ පොඩි දූගෙ උපන්දිනේට කිරිබත් ඩිංගිත්තක් හදන්න. කමක් නෑ අද ලොකු දූත් ඉන්න එකේ අපි අදත් සමරමු. කොහොමත් ඕගොල්ලො වගේ හොඳ දුවල දෙන්නෙක් ඉන්න සතුට…උපන් දිනේදි විතරක් නෙවෙයි හැම දවසකදිම සමරන්න ඕන දෙයක්. කන්නකො කන්නකො…කාල බලන්නකො රහද කියල”

තාත්තා හිටියේ සතුටෙනි. මාත් අක්කාත් දෙන්නා ම කිරිබත් කටක් මුවට ගත්තේ එකට ම ය. එය යන්තම් මුවෙහි දිය වන විට ම දැනුණේ ඉවසිය හැකි ලුණු රසක් නොවේ. මමත් අක්කාත් මූණෙන් මූණ බලා ගතිමු.

“ඇයි…රස නැද්ද…”

තාත්තා ඔහු ට පුරුදු උපේක්ෂා සහගත සිනහවෙන් ඇසුවේ ය.

“රසයි තාත්තෙ..හැබැයි චුට්ටක් ලුණු වැඩි වෙලා”

“හපෝයි කෝ බලමු”

කියමින් තාත්තා ද කිරිබත් කෑල්ලක් කෑවේ ය. ඔහු ගේ මූණ වෙනස් වී ගියේ තත්පරයකටත් අඩු කාලයකදී ය. 

“චුට්ටක්…හොඳ චුට්ට. මේක කටේ තියන්න බෑ ලුණුනෙ. මං හිතන්නෙ මං දාල නෑ කියල හිතං දෙතුන් සැරයක් ලුණු දාල”

තාත්තා අප දෙදෙනා ගේ ම අත් වල වූ කිරිබත් පිඟන් දෙක දෑතින් ගත්තේ ය. මට ඔහු පව් කියා සිතිණ. අක්කාටත් එසේ ම වන්නට ඇත. ඇයට ක්ෂණික ව ගණ දෙවි නුවණ පහල විය.

“හරි කමන්නෑ. අපි ආයෙ කිරිබතක් උයමු. ඕක මොකද්ද…මහ වෙලාවක් යන වැඩක්යැ”

එසේ කියමින් අක්කා හාල් හෝදන්නට ගත්තා ය. මම පොල් ගෑවෙමි. තාත්තා සිනහ වෙවී බලා සිටියේ ය.

“ජීවිතේ කියන්නෙ මේකට තමයි දරුවනේ. අපිට ලැබෙන දේවල් අපිට සුදුසුම විදිහට බාර ගන්න එකට. ඔය දෙන්න එහෙම දරුවො දෙන්නෙක් වුණ එක මට සතුටෙන් මැරෙන්න හේතුවක්”

“මොකද්ද අනේ..මැරෙන කතා කියන්නෙ දැන්ම…”

කියමින් අක්කා තාත්තා ගේ බෙල්ල බදා ගත්තා ය.

“කවද මැරුණත්…සමහර මිනිස්සුන්ට සැනසීමෙන් මැරෙන්න බෑ දරුවනේ”

“අම්මලගෙ මැතිසබේ අයට වගේ”

අප තිදෙනා ම හයියෙන් සිනහ වුණෙමු. කිරිබත පිසෙනා විට සුවඳ ය. ජීවිතය සතුටෙන් පුරවනා නිමේශයන් මේ ය. 

“ගුඩ් මෝනිං…අපි කිරිබත් කනව”

යනුවෙන් ඒ සතුට අස්සේ ම මම කිරිබත් වල පින්තූරයක් ද සමග විදුර ට පණිවිඩයක් තැබුවෙමි. ඔහු ඊට කහ පාට හිනා මූණක ඉමෝජියක් එවා තිබිණි. එය මට රටක් රාජ්ජයක් අත්පත් වූවා වන් ජයග්‍රාහී හැඟීමක් දනවන ලදී.

ඉනික්බිති මා විදුර ට දුරකතන ඇමතුම් දුන්නේ ම නැත. එය කෙතරම් දුෂ්කර ක්‍රියාවක් ද කියා දන්නේ එහෙම අත්දැකීමකට මුහුණ දුන් අයෙකු පමණක් විය යුතු ය. දුරකතනයක් අතේ තියා ගෙන, දුරකතන අංකය ද අතැතිව, කතා කළ යුතුමයි කියා හැඟෙන කෙනෙකුට කතා නොකර ඉන්නා එක පපුව පැලෙන්නට එන අත්දැකීමකි. පපුව පැළුණත් මම එය ඉවසා ගතිමි. මා නිසා විදුර ට කිසිදු අන්තරාවක් නො විය යුතුය යන සිතිවිල්ල අන් සියල්ල අභිබවා බලවත් ව නැගෙන්නට විය.

නමුත් මට ඔහු අමතක නැති බව හැකි හැම මොහොතක ම මම ඔහු ට දැනෙන්නට හැරියෙමි. හැම උදයක ම හ රාත්‍රියක ම අනිවාර්යයෙන් සුබ පැතුම් ස්ටිකරයක් එක් කළෙමි. දවසේ පුංචි ඉඩක් ලැබෙන කොයියම් හෝ අවස්ථාවක ඔහු ගේ මුහුණට සිනහවක් ගෙනෙතැයි සිතිය හැකි ස්ටිකරයක් යැව්වෙමි. ඉතා කලාතුරකින් ඔහු සිනහ මුහුණකින් ප්‍රතිචාර දැක්වූයේ ය. නමුත් මම ප්‍රතිචාර බලාපොරොත්තු නො වුණෙමි. ඔහු ඒ එකක් හෝ නො සලකා, නො බලා හිටියේ නැත. සතියකට වරක්වත්, ලස්සන මෝස්තර දැමූ ලියුම් කවරයක බහා ඔහු ගේ නමින් පත්තරේ ට කවියක් යවන්නට ද මම අමතක නො කළෙමි. ඔහු පසු කලෙක කීවේ, ආයතනයේ ලිපිකරු ඔහු ගේ නමින් එන ලියුම් මිටියත් එක්ක මා එවන ලියුම් කවරය උඩින් ම තබා දෙන්නේ “ගෑනු ළමයගෙං අදත් ලියුමක් තියෙනව”  කියා කියමින් බවයි.

 ඔය කාලයේ දී එක ම එක අවස්ථාවක පමණක් ඉකි ගසා හඬා ගෙන ඔහු ට ඇමතුමක් ගන්නට මට සිදු විය.

තාත්තා ගේ අමතක වීම් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නට පටන් ගත්තේ ය. මෙය දිගින් දිගට නැවත නැවත සිදු වෙත්දී මම ඔහු ට වෛද්‍යවරයා හමු වෙන්නට යෝජනා කළෙමි. නමුත් තාත්තා සිනහවකින් මගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය. 

“ඕක බෙහෙත් ගන්න ලෙඩක් නෙවෙයි ළමයො. වයසට යනකොට අමතක වීම කියන්නෙ සාමාන්‍ය දෙයක්”

නමුත් ඔහුත් එක්ක සෙම්ප්‍රතිශ්‍යා  උණකට බෙහෙත් ගන්නට පවුලේ වෛද්‍යවරයා වෙතට ගිය වෙලාවේ මම තාත්තා ගේ අමතක වීම් ගැන කීවෙමි. ඉතා සියුම් ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තාත්තා ඩිමෙන්ශියාව හෙවත් මතකය අහිමි වී යාමේ රෝගයට ගොදුරු වෙමින් හිඳිනා බව ඔහු නිගමනය ය. ඒ වෙලාවේ මට ඕන වුණේ එහෙම ම බිම පෙරළී කෑ ගසා හඬන්නට ය. නමුත් මගේ තාත්තා ඉදිරියේ එහෙම කරන්නට බැරි කමක් මට දැනිණ. 

“හරියට ට්‍රීට්මන්ට්ස් කරමු. එතකොට හරියයි”

මා තාත්තා ට සිනහ වෙවී කීවේ එහෙම ය. නමුත් ගෙදර විත් කාමරයේ දොර වසා ගෙන මම ඉකි බිඳ බිඳ හැඬුවෙමි. ඒ හඬනා අතරවාරයේ කාට ම හෝ ඒ ගැන කියා දුක බෙදා ගන්නට මට අවැසි විය. අක්කාටත් කලින් මා කතා කළේ විදුර ට ය. ඔහු පිළිතුරු දේවියි විශ්වාසයක් මට නොවී ය. නමුත් ඔහු ට කතා කරන්නට හදවතට ඕන විය.

“තිසුරි…”

මගේ නම ඔහු ගේ හඬින් ඇසෙත්දී මගේ ඉකිළුම විලාපයක් බවට පත් වෙන්නට ඇත.

“මට අඬන්න ඕනේ”

හඬමින් ම මම කීවෙමි.

“හරි. ඔයා අඬන්නකො. ම්…ඇති වෙනකල් අඬල ඉන්නකො. අපි ඊට පස්සෙ කතා කරමු”

අසාධ්‍ය රෝගයකින් පීඩා විඳි මිනිසෙකු ට කරුණාවත් වෛද්‍යවරයෙකු ගේ ආශීර්වාදාත්මක හඬක් සේ ය මට ඔහු ගේ හඬ දැනුණේ. මම හිතින් ඔහු බදා ගෙන ඉකිළමින් හැඬුවෙමි. 

” වැඩ තියනවනෙ. මං තියන්නං”

මට ඒ බවක් සිහි වූයේ හදිසියේ ය.

“නෑ නෑ ඒකට කමක් නෑ. කොහොමත් අද මං වැඩ නෑ. ඇයි කියන්නකො. මොකද වුණේ..ම්..ඇයි මෙහෙම අඬන්නෙ…”

“අනේ මගෙ තාත්ත”

“ඇයි තිසුරි…තාත්තට මොකද…”

“තාත්තට හැම දේම අමතක වෙලා යන්න අරං…එයාට ඩිමෙන්ශියා කියල අද ඩොක්ටර් කිව්ව. අනේ මට මගෙ තාත්ත ඕනෙ. මට ඉන්නෙ තාත්ත විතරයි. එයත් නැති වුණොත් මට මොකද වෙන්නෙ…මනුස්සයෙක්ට තමන්ව මතක නැති වෙලා යනව කියන්නෙ…එතකොට මොනාද ඉතුරු වෙන්නෙ…අනේ මට මේක දරා ගන්න බෑ. තාත්ත ඕනෙ මට..අනේ මට තාත්ත ඕනේ…”

කියමින් මම ඇස් දෙක දිය වෙන්නට හැරියෙමි. බෝ වෙලාවක් නිහඬ ව අසා සිටීමෙන්

පසු ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවේ ය.

“ඇයි අම්ම නැද්ද තිසුරි..තාත්ත විතරයි ඉන්නෙ කිව්ව නිසා ඇහුවෙ”

මා කෙතරම් බිය වූයේ දැයි ඔබ දන්නෙහි ද? ඇති වන තුරු හඬන්නට ඔහු මට උරහිස දුන්නේ ය. නමුත් මගේ අම්මා ගැන දැන ගත හොත් නිමේශයකින් ඔහු මට අහිමි වී යනු ඇත.

“ඉන්..නව…ඒත්..මං වැඩියම ළඟ තාත්තට”

“හරි. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලම ඔය ලෙඩේ සම්බන්දයෙන් තාත්තව පෙන්නන්න හොඳ ස්පෙශලිස්ට් කෙනෙක් කවුද කියල බලමු. ම්…”

“හ්ම්. අනේ  පින් සිද්ද වෙනව මේ වෙලාවෙ මාව අහං හිටියට. කරදරයක්නං කළේ…සොරි…”

“එහෙම නෑ”

ඔහු එය කීවේ උගුර යටින් වාගේ ය. මා වෙනුවෙන් ඔහු ඉන්නා බවට හැඟීමක් දැනී නො දැනී ගියේ ය. 

“ඕන වෙලාවක කතා කරන්න ඕනෙ හරිද…”

දුරකතනය තබන්නට පෙර විදුර මතක් කිරීමක් ද කළේ ය. ඇඳට වැටී කොට්ටයක් බදා ගෙන තවත් හෝරාවක් පමණ මම තාත්තා වෙනුවෙන් තනිව කඳුළු සැළුවෙමි. කිසිදු දරුවෙකු ගේ මව් පියන් කිසි දා අසනීප නො විය යුතු ය! වියපත් නො විය යුතු ය! 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles