වටහා දීම 

එක වසරේ පන්ති භාර ගුරුවරිය හදිසියේම අසනීප වුණා. ඊට පස්සේ පන්තියේ වගකීම ඉස්සරහට තිබුණ මාස පහ වෙනුවෙන් බාර වුනේ විශ්වනීට. මේ විශ්වනීගේ පලවෙනි පත්වීම.තවම ඉස්කෝලේට ඇවිල්ලා මාසයයි. ඒ මාසේටම විශ්වනිට පන්ති කාමරයක් ලැබුණේ නැහැ. පුරප්පාඩුවක් නොතිබුණ නිසා විදුහල්පතිතුමා විශ්වනීට බාර දීලා තිබුණේ ගුරුවරු නිවාඩු දවස් වලට ඒ පන්ති වල දවස කළමනාකරණය කරගන්න.

විශ්වනී ඉස්කෝලේ ගියේ බෝඩිමක ඉඳන්. වෙනදාට වඩා වේලාසනින් නැගිටලා, බෝඩිමේ නැන්දාගේ කෑම එකත් අරගෙන හතටත් කලින් විශ්වනී ඉස්කෝලේට ගියා. අලුත් ටීචර් ගැන දැනගෙන හිටපු නිසා දරුවෝ ඇරලවන්න ආව අම්මලා  කිහිප දෙනෙක්ම පන්තියේ රැඳිලා උන්නා. විශ්වනීව දැක්ක ගමන් ඒ හැමෝම විශ්වනී දිහාවට ඇවිදගෙන ආවා.

“ගුඩ්මෝනින් ටීචර්…”

“ගුඩ්මෝනින් අම්මලටත්… මම පරක්කුයි නේද ? .”

විශ්වනී පන්තියට ඇතුළු වුණා. මාස හයක්ම ඉස්කෝලේ ඇවිල්ලා තිබුණ නිසා ළමයි දැන් එකිනෙකා එක්ක යාලු වෙලා. මහ සද්දේට කියව කියවා ඉන්නවා. පන්තිය අතුගාලා, පන්තියේ බුදු පහනත් තියලා ඉවරයි. විශ්වනී සැහැල්ලුවෙන් වට පිට බැලුවා. 

කොහොම හරි පලවෙනි දවස නම් ගෙවුණේම එකම කාලගෝට්ටියක් එක්ක. දොළහ හමාර වෙනකොට විශ්වනීට සෑහෙන්නම මහන්සියක් දැනුණා. 

“විශ්වනීට වැඩේ කරගන්න පුලුවන් නේ නේද ?”

“පුලුවන් සර්.. මං ඉක්මනට දරුවෝ ටිකට හුරු වෙන්නම්.”

විශ්වනී විදුහල්පතිතුමා මුණ ගැහිලා ආයෙම විවේකාගාරය දිහාවට  එන්න ආවා.

එතකොට තමයි දැක්කේ දොරෙන් එහාට වෙන්න හිටපු කාන්තාවක් විශ්වනී දිහාව බලාගෙන ඉන්නවා. විශ්වනී ඇයට හිනාවුණා. ඒත් ඇගේ හිනාවේ විශ්වනී බලාපොරොත්තු වුනාට වඩා මොකද්දෝ කතාවක් තිබුණා.

විශ්වනී ඒ දිහාවට ඇවිදගෙන ගියේ පන්තියේ  දරුවෝ දිහාත් බලලමයි.

“අම්මා මාව මුණ ගැහෙන්නද?”

ඇය හිස සැලුවා. විශ්වනී ඇයට ඉතා දයාබර  සිනහවකින් සංග්‍රහ කලා. 

“කියන්න අම්මා…”

“ටීචර් ට පොඩි දෙයක් කියලා යන්න ඕනි…”

“කියන්න අම්මේ…”

“ටීචර්… මං ගොවිතැන් කරන්නේ…. අපේ මනුස්සයත් ගොවියා.. “

“ඉතින්… හරි ශෝක් නේ…”

විශ්වනී ඇයට හිනාවුණා. 

“අනේ ටීචර්…. කලින් ටීචර්ගෙන් අපේ කෙල්ලට නොසෑහෙන්න අඩු ලුහුඬුකම්…. මේ මාස හයට ළමයා ඉස්කෝලේ ආවේ හරි කෝඩෙට… අනෙක් ළමයි ඔක්කොම එකතු වෙලා ටීචර් එක්ක පහුගිය අවුරුදු නාට්ටියක් එහෙම කලා… අපේ කෙල්ල ඒකට ඇඳගෙන ආව චීත්තෙයි හැට්ටෙයි සරු මදි කියලා , ටීචර් දරුවට කියලා වාඩි වෙලා ඉන්න කියලා… පොටෝ එකටවත් අරගෙන නැහැ….”

විශ්වනීගේ ඇස් රතු වීගෙන ගියා. කඳුළු පනින්න ඔන්න මෙන්න වගේ බව විශ්වනීට දැනුණා.  ඒ අම්මාගේ ඇස් වල කඳූලු නම් නැවතුණේ නැහැ. 

“අනේ.. එහෙම දෙයක් නෑ අම්මේ…”

“අපි ගොවියෝ කියලා, අනෙක් අම්මලාට කියලා ටීචර්… සමහර අම්මලා ඉතින් ඕවා නුහුරට බලන්නේ… ගොව්තැන් කරලා අපි සාරෙට ඇඳලා කරලා ඉන්නවා ටීචර් … මේක අපි ජීවත් වෙන්න ආස විදිය …”

විශ්වනී හරි අපහසුවෙන් ඒ “රැජිණ” ත් එක්කරගෙන විවේකාගාරය පැත්තට ඇවිදගෙන ගියා.

“ඒ ටීචර් එක්ක තරහක් හිතන්න එපා අම්මේ.. එක එක මිනිස්සු එක එක විදියනේ.. ඒත් මම දන්නවා, ඒ සිද්දිය නිසා දරුවාට හරි අසාධාරණයක් වෙලා තියෙන්නේ…. අපි දරුවාගේ හිත ආයේම නොරිදෙන්න හදමු… ගොවියෝ කියන්නේ රටටම බත දෙන රජවරු නෙහ්.. ඒක ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි …”

විශ්වනී එවෙලේට ගැලපුණ විදියට කාරණා කිව්වා.  ඒ අම්මා හිස සැලුවා.

“අපි අපි ගැන ඉහළින්ම ආඩම්බරයි ටීචර්.. ඒත් මේ…”

“ඒව හිතන්න එපා.. තමන්ට තමන් රැජිණක් නම්, රැජිණක්ම තමයි…”

 ඒ අම්මා විශ්වනීගේ අත් දෙකම අල්ලලා හරි සතුටින් ඉස්කෝලේ ගේට්ටුවෙන් එළියට ගියා. විශ්වනීට ඒ අත් වල බර හරි ලොකුවට දැනුණා. 

විශ්වනී ඊළඟ දවස් වල හවස් වරු වැය කලේම අර අම්මගේ හිනාව ක්ශය නොවෙන විදියේ යමක් කරන පිළිවෙලක් හිතාගෙන. 

විශ්වනී විස්තරේ කිව්වාම ඉස්කෝලේ ගුරුවරු ටික එක පයින්ම එක්ඟ වුණා උදව් කරන්න.

එක, දෙක වසරේ දරුවෝ අරගෙන යාබද ගමේ තිබුන වෙල් යායේ චාරිකාවක් ගියේ ඒ අනුව. උදේ හත හමාර වෙනකොට අම්මලා පේළියකට මායිම් වෙලා, දෙන්නා දෙන්නා වෙන්න අත් අල්ලගෙන දරුවෝ ටික ඉස්කෝලේ ගේට්ටුවෙන් පිටතට ආවා. බස් රථයක් සූදානමින් තිබුණා.

දරුවෝ ටික නියර දිගේ ඉඳගෙන ගොවි මහත්තුරු වී වපුරන විදිය බලාගෙන හිටියා. අතරින් පතර දරුවන්ට වී අහුරු ලැබුණා. දරුවෝ  ආසාවෙන් ඒවා ආයෙම වෙලට විසි කරනවා පේනකොට, විශ්වනි හරි ආසාවෙන් බලාගෙන හිටියා. සමහර දරුවෝ වෙලට බහින්න පොරේ.

“කවුරුත් වෙලට බහින්නේ නෑ… තේරුණාද ? අනිවාර්යයෙන් බෙහෙත් බීලා තමා වෙලට බහින්නේ…”

විශ්වනී අවධාරණය කලාම, දරුවෝ ටික අවනත වුණා.

ආයෙම එන්න කලින් ලැවරියා එක්ක කහට සංග්‍රහය සූදානම් කරලා තිබුණේ ගමේ කට්ටිය. 

“අනේ ශෝක් ඒක න..ම්ම්.”

විශ්වනී හරි සතුටින් අහගෙන හිටියා.

“පුතේ… ගොවිතැන් කරන අයට කියන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවද ??”

“ඕ…”

“කවුද ?”

“ගොවියෝ…”

“ඉතින්; කොහොමද අපිට ගොවියෝ වැදගත් වෙන්නේ ?”

“ඉතින් ටීචර් එයාලා නැත්නම් අපිට කන්න ජාති නෑනේ..බඩගින්නේ  අපිට ඉන්න  බෑනේ…”

විශ්වනී ආඩම්බරෙන් හිනා වුණා. අර අම්මගේ ඇස් ඊට පිටිපස්සෙන් ඉඳන් හරි ආඩම්බරකාර හිනාවකින් පිරෙනවා විශ්වනීට පෙනුණා.

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles