ඊයේ පාටිය නිසාවෙන් උදැසන කෑම සැකසිය යුතු නැති බව ප්‍රභාත් පැවසුවේ රැයෙමය. එවන් දිනයක සුපුරුදු සම්ප්‍රදායික සැමියෙකු නොවී සැලකීමම කැළුමිණී ට අනුව ප්‍රබාත් හා ආදරයෙන් බැඳෙන්නට හේතුවකි.
වෙනදාට වඩා පමා වී ඇහැරුණද රැකියාවට යාමට ප්‍රභාත් සූදානම් වෙද්දී ඔහුට තේක සකසා ගෙනවිත් දුන්නාය.
“පරක්කු නොවී ගෙදර එන්න. මම අද ස්පෙශල්හදන්නම් ඩිනර් එක. ඔයා දවල්ට කන්නෙ කොහොමද?”
මේ ප්‍රභාත් දිවා ආහාරය ගෙදරින් ගෙන නොයන පලමු අවස්ථාව නොවුණද විවාහ දිවිය තුල මෙවන් ප්‍රශ්න ඇසීම සුපුරුදු ය. දෛනික ජීවිතයේ කොටසකි.
“ඕඩර් කරල ගන්න පුලුවන් නෙ බබා. ඔයාට අද අර මීටින් එකට යන්න තියෙනවද?”
අද තමා විසින් භාරගන්නා ලද අලුත්ම කන්ටෙන්ට් රයිටින් ප්‍රොජෙක්ට් එකක බ්‍රීෆ් එක ලබා ගැනීම සඳහා ඒ ආයතනයේ සම්බන්ධීකරුවන් හමුවීමට යාමට තිබෙන බව කැළුමිණී දැනුවත් වී දැන් දින කිහිපයකි. නිරතුරුවම එසේ එලියට නොයන නිසාවෙන් අද වේලාසන ගොසින් ඒ මීටිම අහවර කල, එළියෙන් යමක් කා, කඩ සාප්පු අතරේ මද වේලාවක් සැරිසරා එන්නට තීරණය කර තිබෙන බව කැළුමිණී ප්‍රභාත්ට දැනුම් දුන්නේ සතිය මුලදිය.
අද සිකුරාදාය. ප්‍රභාත් සිකුරාදා දිනයට නිවසට එන්නට මදක් ප්‍රමාද වන බව කැළුමිණී අත්දැකීමෙන් දනී. ඒ සති අන්තයේ හදිසි වැඩක් වැටීම වලක්වාලනු පිණිස ඉතිරි වී ඇති වැඩ කොටසකින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉටු කර ඒමට කාලය ගන්නා බැවිනි. ඉතින් ප්‍රභාත් එන වේලාව වෙද්දි නිවසින් බැහැර තමාට ඇති සියලුම වැඩ රාජකාරි අවසන් කර නිවසට විත් රාත්‍රී ආහාරය සැකසීමට උවමනාවටත් වඩා වේලාව තිබේ.
ප්‍රභාත් රාජකාරිය සඳහා නික්ම ගියයින් පසුව නිවස අස්පස් කර, රෙදි සෝදා කැළුමිණී සූදානම් වූයේ මීටිම සඳහා පිටත්ව යන්නටයි. නිවසේ උන්නද මනාව නඩත්තු කරන සිරුර නිසාවෙන් තවමත් මෙයට වසර කිහිපයකට පෙර රාජකාරියට හැඳි ඇඳුම් පැළඳුම් අඳින්නට හැකිවීම වාසනාවකි.
නිල් මල් වැටුන පෙන්සිල් කට් සායට සුදු පැහැ ලේස් බ්ලව්සය මනාව ගැලපේ. සුදු පැහැ මුතු කරාබු යුවලද, ඉතාම සුලු ප්‍රමාණයකින් යුතු වුවත් මනාව තැවටූ අඳුන් සහ වත්සුණු ද රූපය සම්පූර්ණ කරයි. දුඹුරු පැහැ කාර්‍යාලීය බෑගය අතට ගෙන ප්‍රධාන දොරෙන් පිටතට ආ කැළුමිණී යතුර බෑගයට දමාගත්තේ තමා හැර වෙනත් අයෙකුට එන්නට ඉඩක් නොදෙනු පිණිසයි. අනෙක් අතට එහෙම එන්නට කෙනෙකුද නැත. තමාගේ මව් දෙමව්පියන් මිය පරලොව ගොස් සිටින නිසාවෙන්ද, සහෝදර සම්පතක් නැති නිසාවෙන්ද, තමාට කියා හිඳින්නේ දෙණියාය හිඳින පබෝධා නැන්දා විතරක් නිසාවෙන්ද ඒමට කිසිවෙකුත් නොමැති බව සහතිකය.
අනෙක් අතට ප්‍රභාත්ගේ මව් දෙමව්පියන් වුවද හිඳින්නේ කොළඹම නිසාවෙන් එසේ එනවානම් පෙර දැනුම් දීම පුරුද්දය.
උදෑසන බඩට දමාගත් ටෝස්ට් බ්‍රෙඩ් දෙකේ අඩුපාඩු මකන්නට මෙන් පරිපූර්ණ බ්‍රන්ච් එකක් ලැබුනේ මීටිමේදීය.මීටිම පැවැත්වුනේ බැරිස්ටා අවන්හලක නිසාවෙන් “කැමති දෙයක් ඕඩර් කරන්න” යැයි ආයතනයෙන් පැමිණි පුද්ගලයා කීවද කැළුමිණී ඕඩර් කරේ උණුසුම් කෝපි කෝප්පයකුත්, චිකන් සහ චීස් සැන්ඩ්විච් එකකුත් පමණි. එය තමාට පමණටත් වඩා ප්‍රමාණවත් බව කැළුමිණී දනී.
“ඔයා කෑවද?”
ඉඳහිට ඉඩක් ලැබෙන විරාමයක ප්‍රභාත්ට කෙටි පණිවිඩයක් යැවීම කැළුමිණීගේ පුරුද්දය. අනෙක් අතට අද ප්‍රභාත් දිවා ආහාරය නිවසින් රැගෙන නොගිය නිසාවෙන් හිතට කොහොමටත් පොඩ්ඩක් හරි මදි ගතියක් ද දැනේ.
වෙනදාක නම් කෙටි පණිවිඩයක් යැවූ සැනින් එයට පිළිතුරු එවන ප්‍රභාත් අද මැය එකහමාරක පමණ තමන්ගේ මීටිම අවසන් වන තුරුත් එයට පිළිතුරු නොඑවීම ගැන යම් කිසි තිගැස්මක් සිතේ නොතිබුනා යැයි කිව නොහැක.
එහෙත් මීටිම අවසන්ව වන් ගෝල් ෆේස් මෝල්හි මිමෝසා සාප්පුවේත්, අලුතෙන්ම විවර කල ඇබ්සලූට් බේසික්ස් සාප්පුවේත් සැරිසරද්දි ඒ හැඟීම මදකට තුරන් විය.
වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණයට ඉදිරියෙන් පෙනෙන ගාලු මුව දොර පිටිය දකිද්දී අතීතය මතක් වීම කැළුමිණීට අමතක කල නොහැකි දෙයකි.එදවස රැකියාවේ වැඩකටයුතු අවසන්ව ප්‍රභාත්ට එවකට තිබුන මෝටර් බයිසිකලයේ නැගී තමාත් ප්‍රභාතුත් එන්නේ ගාලු මුවදොර පිටියටය.
උණු උණු වඩේ මල්ලක් රැගෙන, නොඑසේනම් ගිනියම් සැඳෑවක් සිසිලස කරනු පිණිස හිමකිරමක් රැගෙන අනාගතය ගැන අනන්තවත් දේ කතාබස් කරමින් ගෙවී ගිය අතීත මතකයන් සිහියට එන්නේ දෙතොල් පෙති ලිහි සිනා මල් විලකට ඉඩකඩ සකසමිනි.
“අපි කසාද බැඳල කොහෙද ඉන්නේ?”
ඒ ගාමු මුවදොර පිටියේ තණකොල ගොඩේ හාන්සිවී රාත්‍රී ආකාසය දෙස බලමින් ගෙවී ගිය සැඳෑවකි. තමාට එහා පසින් හාන්සි වී හිඳින ප්‍රභාත් වෙතින් නික්ම හා මුදු පිරිමි සුවඳක් රැඳි සුලඟත්, නෙතට ඉහලින් වියනක්ව වැතිර උන් තරු පිරි ආකාශයත් ජීවිතය පරිපූර්ණ කර බවක් එදා තමාට සිතුණ බව කැළුමිණීට තවම මතකය.
“ම්ම්ම් මම නම් කැමතියි තනියම ඉන්න. ඔයා කැමතිද? ඔයා කැමතිනම් අපිට ගෙයක් ගන්න පුලුවන්”
“ඔයාලගෙ අම්මල තරහ වෙයිද ඒකට?”
“මොකටද ලමයො අම්මල තරහ වෙන්නේ?අපි එතකොට වෙනම ෆැමිලි එකක්නෙ”
අම්මා කෙනෙකුගේ ආදරය තුරුණු වියේදිම අහිමිවීම නිසාවෙන් ආදරවන්තයාගේ නිවසේ ඔවුන්ගේ මව් දෙමව්පියන් සමග ජීවත් වීම පිළිබඳ බයක් සිතේ නොතිබුණා නොවේ. උයන පිහන විදිය, ගේ දොර අස් පස් කරගන්නා විදිය ගැන උගෙන ගන්නට උවමනාවක් නොතිබුනේ අම්මාගේත් තාත්තාගේත් ආදරය මැද්දේ හැදී වැඩුණ නිසාවෙනි.
එහෙත් ජීවිතය අම්මාගේත් තාත්තාගේත් ආදරය ජීවිතයෙන් උදුරාගත් පසු ජීවිතය ගැන බියකුත්, අවිනිශ්චිතබවකුත් නොතිබුනා නොවේ.
ඒ හැඟීම යම් තරමකට හෝ මිදුනා නම් ඒ ප්‍රභාත්ගේ ජීවිතාගමනයෙන් පසුවය. මේ ගෙවුණ කාලය පුරාවටම අම්මා කෙනෙකුගේ ආදරයත් තාත්තා කෙනෙකුගේ රැකවරණයත් ලබාදෙන්නට ප්‍රභාත් ඉමහත් කැපවීමක් කල බව කැළුමිණීට රහසක් නොවේ.
“ඇයි ඔයා එහෙම ඇහුවේ?”
“මම ගොඩක් උයන්න දන්නෙත් නෑ ප්‍රභාත්. මට හරි බයයි ඔයාලගෙ අම්මල එක්ක ජීවත් වෙන්න ගියොත් මට ගෙදර වැඩ බැරි හන්ද අම්මල මොනව හරි හිතාවි කියල”
එදා තමා ඒ බිය ප්‍රභාත්ට පැවසුවේ පැකිලෙමින් ය. එහෙත් හදවත පුරවා ආදරය වපුරාගෙන උන් ප්‍රභාත් එයට සිනාසෙන්නට කාලය වැය නොකර හිත සනසනු පිණිසම කටයුතු කරන්නට විය.
“බබා, මම ඇත්තටම කැමතියි තනියෙන් ඉන්න. අනික් එක ඔයාට එහෙම මට දෙයක් කියන්න ඕන කියල හිතෙනවනම් ඒක මට කියන්න. අපි මැරි කරාම විතරක් නෙවෙයි. දැන් උනත් එහෙමයි. ඔයාට දැනටම මට ඔයාට පීරියඩ්ස් හැඳුණම අමාරු දවස් ගැන කියන්න පුලුවන් නම් අපි දෙන්න මැරි කරාම ජීවත් වෙන්න ඕන විදිය ගැන දෙයක් කියන්න බැරිකමක් තියෙන්න බෑනෙ.
ඔන්න මම දැන්ම කියන්නම්. මම ඔයාට හැමදේම කියනව. ඒක අද වගේම හෙටත් එහෙමයි. ඔයත් මට හැමදේම කියන්න. ඔයා දන්නවනෙ මම ආසම නෑ මිනිස්සු මට දේවල් හංගනවට. විශේෂයෙන්ම මම ආදරේ කරන මට ආදරේ කරන මිනිස්සු.
ඒ නිසා ඔයාට මොන විදියෙ දෙයක් කියන්න තිබුණත්, මොන ප්‍රශ්නෙ ආවත් ඒක මට කියන්න. මට හංගල පස්සෙ ඒක වැඩි උනාම කියනවට මම ආස නෑ”
එදා පවා නිම්න ගැන නොකියූ රහසක් සිත අස්සේ හිඳ සිත සෙමෙන් කොණිත්තනු දැනුණද ඒ විස්තර කීම ගැන තමා එදත් බොහෝ වෙලා සිතූ බව මතකය. නිම්න පිළිබඳව අමතක කරන්නට වෙර දරන මතකයන් මේ ගෙවී ගිය වසර කිහිපය පුරාවට තමාගේත් ප්‍රභාත්ගේත් විවාහ ජීවිතයට අඳුරක් ගෙන එන්නට සමත් නොවුනද ඇතැම් විටක හිත අස්සේ හැංගී තිබී උඩට මතුවන ඔහු පිළිබඳ හැඟීම් ප්‍රභාත්ව රැවටීමක්ද කියා පවා තමා තමාගෙන් බොහෝ වර අසා ඇත.
එහෙත් ඇතැම් දේ නොකියා හිඳීමම යහපත් බව ඒ සිතම පවසද්දී නිම්න ගැන මතකය සඟවා තබන්නට කැළුමිණී කටයුතු කලාය.
නිවසට යද්දී හවස පහයි කාල වී තිබුණි. ප්‍රභාත් එන්නට තව අඩුම පැයක්වත් ගෙවෙන බව දන්නා නිසාවෙන් උයන්නට පමා නැතැයි සිතා ගේට්ටුව අසලින් බැස්සද නොසිතූ මොහොතක ගේට්ටුවෙන් එහා දකින්නට ලැබුණ දෙය සිත මොහොතකට කුතුහලයට බර කලාය. සැකයක් සේයාවක් සිත මත ඇන්දාය.
එහෙත් ඒ සියල්ලටම මත්තෙන් දෙතොල් මත සිනාවක් ඇඳ ගන්නට කැළුමිණීට අපහසු වූයේ නැත.
අහස ගුගුරෑවෙත්, වැසි බිඳු මොර ගෙඩි මෙන් ඇද හැලුනේත් නොසිතූ පරිද්දෙනි.
ඒ මේ මොහොතේ තම නිවසේ කුඩා ගෙමිදුලේ ඔහුව දකින්නට බලාපොරොත්තු නොවුවාක් මෙන් බලාපොරොත්තු රහිතව ඇද වැටුණ වැස්සකි.