“පුතා දැන් ඔය ගැන තැවි තැවි ඉන්න එක නතර කරන්න කියලයි මම නම් කියන්නේ”
පබෝධා උන්නේ කුස්සියේ හිඳ එලියට බහින්නට සකසා තිබෙන මැටි පඩිපෙල මත ඉඳගෙන කහට කෝප්පය අතේ තබා හුන් කැළුමිණීටය. තේ කෝප්පය ඇගේ අත මත රැඳි දැන් බොහෝ වෙලාවකි. දෙණියායේ සීතලට හසු වී එහි උණුසුම පහව ගොසින් දැන් බොහෝ වේලාවක් බව පබෝධා නොදන්නවා නොවේ.
එහෙත් ඈත පේන නිල්වන් සිංහරාජය දෙස බලමින් දෙනෙත් එකම අඩවියක තබා සිංහරාජය තරම්ම විසල් කල්පනා වනයක අතරමං වී හුන් කෙල්ලව ඒ කල්පනාවෙන් මිදීම පවක් බව පබෝධාට සිතුණි. එහෙත් කැළුමිණී කෙතරම් කාලයක් මේ දුකේ ගිලී හිඳින්න දැයි කියා සිතෙද්දී පබෝධාගේ හිත හෝස් ගා දැවී යයි. තමන්ද කාලයක් මෙවනිම ආදර කතාවක් නිසාවෙන් දුක් වින්ද බවක් පබෝධාට මතකය. ඒ වේදනා ලෝ දිය ගංගාවෙන් තමා ගොඩ ආවේ කෙතරම් අපහසුවෙන්ද කියා පබෝධාට අමතක නැත.
ඉගෙනීමද පසෙකලා මේ ගම්බද ජීවිතයකට තමා හුරුපුරුදු වූයේ එකී හුදෙකලාව ඔසුවක් කොට ආදරයේ වේදනාවෙන් බිඳුනු හිත සුවපත් කරගනු පිණිස බව පබෝධා මේ ගෙවුණු තිස් වසරකට ආසන්න දිවියේ අමතක කර නැත. එහෙත් ජීවිතය එයාකාර බව කැළුමිණී මෙන්ම තමා ද තුරුණි වියේදී නොදැන හුන් බව පබෝධාට මතකය. ඒ වේදනාව, ඒ සරතැස නිවා දැමුවේ කාලයේ සිහිල් පවනින් බව පබෝධාට මතකය.
අනන්ත කල්පනා සාගරයක ගිලී හුන් කැළුමිණී ගැඹුරු හුස්මක් හෙලා හැරුනේ නැන්දණියගේ ඒ වදන් වලටයි.
“මම ප්‍රභාත්ට නොකිව්ව එකම දේ මේ විදියට මාව විනාසම කරල දාවි කියල මම කවදාවත් හිතුවෙ නෑ නැන්දෙ. මට මටම සමාව දීගන්න අමාරුයි මං ඒ කිව්ව බොරුව ගැන. ඒත් ඒත් ඇයි ප්‍රභාත්ට බැරි උනේ මට එක වතාවක් හරි සමාව දෙන්න?
මං වරදක් කල බව ඇත්ත නැන්දෙ. ඒත් මම ගෙවිච්ච අවුරුදු හතරෙ කිසිම දවසක ප්‍රභාත්ට කිසිම දෙයක් හංගලවත්, එයාට බොරුවක් කරලවත් නෑ. එහෙම එකේ එයා කොහොමද නැන්දෙ එක පාරක්වත් චාන්ස් එකක් දෙන්නෙ නැතුව මාව මෙහෙම තැනකට ඇදල දැම්මේ?”
ඒ හඬමින් කිව යුතු කතාවක් වුවද කැළුමිණීගේ දෙනෙත් තිබුනේ වියලීය. ඒ දෙනෙත් බොඳ කරවාලනනු පිණිස උනන්නට කඳුලු ඇගේ දෙනෙත් අස්සේ ඉතිරි වී තිබුනේ නැත. එහෙත් කඳුලු ඉණුවේ නැති වුවද හිත තිබුනේ කියාගන්නට අපහසු තරම් වේදනාවක බරක් දරාගෙනය. ඒ අපහසුවෙනි. කැළඹීමෙනි. පශ්චත්තාපයෙනි.
“පුතේ ජීවිතේ සමහර කාල එනව අපිට කුණාටු වලට මූණ දෙන්න වෙන. එහෙම වෙලාවක මහ ගහක් වගේ කෙලින් ඉඳල හරියන්නෙ නෑ. අපිට සිද්ද වෙනව පොලොව දිහාවට නැවෙන්න. කුණාටුවක බේරිල ඉන්න ගොඩක් ගහ කොල කරන්නෙ ඒක.
මේ ප්‍රශ්නෙත් පුතේ කුණාටුවක් වගේ. පුතා වගේම ප්‍රභාතුත් මේ කුනාටුවෙ කරන්න ඕන කෙලින් හයියට ඉන්න හිතන එක නෙවෙයි නැවෙන එක. පොලොව දිහාවට නැවිල ඩිංගක් ඉවසන එක. ප්‍රභාත් පුතා ඒක නොකර හිටියට මයෙ පුතා එහෙම කරන්න ඕන නෑ. අපිට පුලුවන් පුතේ තනියෙන් උනත් ජීවිතේට මූන දෙන්න.
අනික්කෙක සමහර දේවල් අතාරින්න වෙනව නේ. ඒ වෙලාවට ඒ දේ අතාරින එක මොනතරම් දුකක් ද කියල අපිට හිතෙනවා. ඒ උනාට ඒ දේ අතෑරියම හිතට දැනෙන සැනසීම කොච්චරද කියල තේරුම්ගන්න පුතේ අපි ඒ දේවල් අතාරින්නම ඕන. සමහර දේවල් අතෑරියොත් විතරයි අපිට නිවිහැනහිල්ලෙ ඉස්සරට යන්න පුලුවන් වෙන්නෙ.
පුතාට මතකද ඉස්සර වත්තෙ ඇවිදිද්දි අපි ඇදන් ඉන්න ඇඳුමෙ තුත්තිරි ඇලවෙනවා?”
කැළුමිණී ඔව් කියන්නට හිස වැනුවේ නැන්දණියගේ දෙනෙත් අස්සටම කිමිදීය. ඒ දෙනෙත් අස්සෙ හෝ නැන්දණිය කියන්නට යන වදන් අස්සේ හෝ තමාට හිත හදාගෙන ජීවිතයට මුහුණ දිය හැකි යමක් සැඟවී තිබෙන්නැයි පැතුමක් ඇගේ හිත අස්සේ විය. ඒ පැතුම වූ කලී තමාට ජීවිතයේ ඉදිරියට මුහුණ දෙන්නට ඇති එකම බලාපොරොත්තුව බවද කැළුමිණී දැන උන්නාය.
“ඉස්සර එහෙම ඇවිදින්න ගියාම අපි පොඩි කාලේ ගමන යන එක නතර කරල ඇඳුමෙ ඇලවිච්ච තුත්තිරි ගලවන්න මහන්සි වෙනව. අන්තිමේ එක්කො ගමන යන්න වෙන්නෙ නෑ. එහෙම නැත්තම් හොඳටොම පමා වෙනව. අපේ අප්පච්චි එහෙම දවසක අපිට කිව්වා “ගමන යද්දි ඇලවෙන තුත්තිරි ඒ වෙලාවෙම ගලවන්න ඕනය කියල එකක් නෑනෙ. ගිහින් එද්දිත් ආය තුත්තිරි ඇලවෙනවා මේ පාරෙම යන හන්දා. ඒ නිසා එක්කො යන අහට ගිහිල්ල ඇලවිච්ච තුත්තිරි ගලවල දාන්නය, එහෙම නැත්තම් වෙන පාරක යන්නය” කියල.
ජීවිතෙත් ආන් එච්චරයි පුතේ. ජීවිතේට එන හැම ප්‍රශ්නෙකටම අපි එවෙලෙම උත්තර දෙන්න ඕන නෑ. එහෙම උත්තර දිදී ඉන්න සුනංගු උනෝතින් අපිට වෙන කිසිම දෙයක් කරගන්න පුලුවන් වෙන්නෙ නෑනෙ. පුතත් මේ වෙලාවෙ ඔය දැන් හිතේ ඇලවිලා තියෙන තුත්තිරියෙම ඇලවිල ඉන්න නරකයි කියල මං කියන්නෙ අන්න ඒකයි”
එක් අතකින් ආප්ප තාච්චිය අල්ලගෙන අනිත් අතෙන් අප්ප මිස්‍රණයෙන් හැන්දක් ගෙන චාස් ගා තාච්චියට දැමූ පබෝදා කියන්නට විය.
මිශ්‍රණය තාච්චිය වටේම ගෑවෙනු පිණිස තාච්චිය කරකවන්නට වූ පබෝධාගේ අත දිහාම බලාගෙන කැළුමිණී කල්පනා කරන්නට වීයේ නැන්දාගේ වදන් ගැනය.
ඒ තමා බලාපොරොත්තු වූ උත්තරය නොවන බව ඇත්තකි. එහෙත් හිත සනසාලන දිව මතුරක් වන් යමක් එහි ඒහි ඇති බව සෙමෙන් සිතට දැනෙමින් තිබුණි.
“ආප්ප කන්න නැන්ද මොනවද හදන්නේ?”
කැළුමිණීට පුරුදු බටර් සහ ලූණු තෙල් දාපුවා එක්ක ආප්ප කාය. එහෙත් මෙහි ඒවා හිබේදැයි කියා නොදන්නා අතරම වෙනස් රසකට ආප්ප කන්නට උවමනාවක් සහ දොලදුකක් ද සිත ඇතුලට ඇවිදින් ය.
“නෙල්ලි ලුණු මිරිසක් හදන්න හිතුවේ. පුතා කාල තියෙද?”
“නෙල්ලි දාලා ලුණු මිරිස් හදනවද?”
පබෝධාට සිනා ගියේ කැළුමිනී එය අහපු විදියටය. “එහෙනම් කාලම බලන්නකො අද”
ආප්ප සුවඳ පුංචි මුලුතැන්ගෙය සුවඳින් පුරවාලමින් හමා යද්දී නිවසේ ප්‍රධාන දොර පැත්තෙන් ආ කටහඬක් කැළුමිණී ගේ සවන් මත පතිත විය.
මෙතෙක් වේලා කඳු නිල්ල දෙස බලා හුන් කැළුමිණීගේ හිස හැරවුණේ ඒ හඬටය.
“නැන්දේ”
“මෙහෙ එන්න පුතේ. අපි කුස්සියේ”
නැන්දාගේ හඬින් ඒ ඇයට බොහෝ හුරුපුරුදු අයෙකු බව සහතික වුවත් කැළුමිණීට තිබුනේ කුතුහලයකි.
“අපි කියන්නෙ කවුද අප්පේ?”
කියාගෙන ආ හඬ එකම තැන නතර වූයේ කැළුමිණීව දැකීමෙනි.
ඒ පොඩි කොල්ලෙකි. ඉස්කෝලේ උසස් පෙල පංතිවල ඉගෙනුම ලබනවායැයි සැක සිතිය හැකි අන්දමේ කොල්ලෙකි. එහෙත් නොසිතූ මොහොතක තමාට හුරුපුරුදු තැනක නුපුරුදු අයෙක් දකින්නට වීම ගැන ඇති වූ ලැජ්ජාව ඒ කොල්ලාගේ කම්මුල් උඩ ඉහිරෙනු කැළුමිණී දුටුවාය.
“මේ මගේ අයියගේ දූ නේ පුතේ. ආව ඩිංග දවසක් මෙහෙ අපි එක්ක ඉන්න”
“මං ඒත් බැලුව කවුද කියල”
කොල්ලා කියන්නේ පබෝධා දෙස බලාගෙනය. එහෙත් ඒ මුව මත ඇඳුන සිනහව තමා වෙනුවෙන් බව කැළුමිණී නොදන්නවා නොවේ.
“මේ අපේ සඳරු. පුතා ඇවිල්ල බස් එකෙන් බැස්සෙ. ආන් එතන තියෙන අඩිපාරෙ කන්ද උඩහට ගියාම තමයි සඳරුගෙ ගෙවල් තියෙන්නෙ”
පබෝධාගේ ඒ හැඳින්වීම සඳරු ගැන කැළුමිණීටය.
“අක්කා නේද කොළඹ ඉන්නේ?”
සඳරු අහයි. එහෙත් තාම ඒ දෑස් තමන් වෙත නැඹුරු වී නැති බව දැනෙද්දී කැළුමිණීට සිනා ගියේ කොල්ලාගේ ලැජ්ජවටය. බාග දා මේ ගමේ කොල්ලන්ගේ හැටි විය යුතුය. අනෙක් අතට මේ ගමේ කොල්ලෙකි. අම්මාගේ සහ තාත්තාගේ මල ගමින් පසුව වුවත් තමා මෙහි ඇවිත් ගෙවූ කාලය ඉතාම අඩුය. එහෙම එකේ මේ ගමේ කොල්ලෙකුට දණිහ තරම් කොට කලිසමක් හැඳ සිටින කොළඹ කෙල්ලෙකු ඉදිරියේ දැනෙන ලැජ්ජාව ගැන හරි අදහසක් තමාට නැත.
“ඔව්, මල්ලි තාම ඉස්කෝලෙ යනවද?”
“ඒලෙවල් ඉවරයි කරල. රිසල්ට්ස් එනකම් තේ වත්තෙ වැඩ”
“තේ වත්තෙ කිව්වේ”
“සූරියබණ්ඩාර මහත්තයගෙ තේ වත්තෙ. අක්ක එද්දි දකින්න ඇති බස් එකේ. කන්ද වටේට තියෙන්නෙ”
බස් එකේ එද්දී අවට පරිසරය දෙසට නෙත් යොමා උන්නද ඒ දෙනෙත් මත පරිසර සුන්දරත්වය රඳවා ගන්නට බැරිවෙන තරමින් හිත කලබල වී තිබුන බව දන්නේ තමා පමණකි. එද්දී තේ වතු බොහෝමයක් දුටු බව මතකය. එහෙත් සූරිය බණ්ඩාර මහත්තයාගේ තේ වත්ත කුමක්දැයි කැළුමිණීට සිතා ගන්නට අපහසුය.
“ඔයා මොනවද ඉතින් තේ වත්තෙ කරන්නේ?”
කැළුමිණී කොල්ලාගෙන් ඇහුවේ නිකමටය. මෙතෙක් වේලා බොමින් උන් තේ මණ්ඩි ටික සින්කයට දමා සීතල වතුරෙන් කෝප්පය සෝදන අතරය. එහෙත් නිකමට එන් අසන එවන් දෙයක් පවා සිතට සැනසුමකි. ප්‍රභාත් ගැනම නොඑසේනම් හිත හිත ඉන්න හිත තිබෙන්නේ තෙහෙට්ටු වීය.
“පොඩි පොඩි ගණන් හදන වැඩ කරනව”
“මහත්තය හොඳ ද ඉතින්?”
“හොඳයි. පඩිත් හොඳයි. ඒ උනාට ඉතින් කැම්පස් යන්න උනොත් යනවා. මහත්තය එතකොට වෙන කෙනෙක් හොයාගන්නව කියල තියෙන්නෙ”
මෙතෙක් වේලා හිටගෙන උන් සඳරු උන්නේ කුස්සියේ ලී කොට බංකුව උඩ වාඩිවෙලාය. පබෝධා උන්නේ මෙතෙක් වේලා සැකසූ ආප්ප බැගයකට අසුරමිනි.
“මේ මුලේ තියෙන්නෙ මහත්තයගෙ පංගුව. පුතාගෙ කොටහ මේකෙ හොඳේ” කියමින් නැන්දා සිලි මලු දෙකක් සඳරු අත තැබුවාය.
“නෙල්ලි සම්බල් ද?” කොල්ලා අසන්නේ සිනාසෙමිනි. ඒ සිනාසීමම නෙල්ලි සම්බෝලයේ රස හඳුනාගන්නට කැළුමිණීට ප්‍රමාණවත් ය.
“ගිහින් එන්නම් අක්කේ, යනෝ නැන්දේ” කියමින් සඳරු නික්ම ගියේ සිනාවත් අරගෙනය. එහෙත් සඳරු විසින් තිළිණ කල සැහැල්ලු සිනහවක් කැළුමිණීගේත් පබෝධාගේත් මුව මත ඉතිරි වී තිබිණි.
“කාටද නැන්දෙ ඒ ආප්ප අරන් යන්නේ?”
“සූරියබණ්ඩාර මහත්තයගෙ අහ කවුරුවත් නෑ රෑට කෑමට. එහෙ උයන්න උන්නු කෝකිය මලායින් පස්සෙ තාම කවුරුවත් හම්බෙලා නෑ. ඉතින් රෑට අපෙ අහින් තමා කෑම අරන් යන්නේ. සඳරු ඇවිල්ල ඉතින් අරන් යනවා”
“වයස මනුස්සයෙක්ද?”
“අනේ නෑ, අවුරුදු තිස් අටක් විතර වෙයි මයි හිතේ”
“ඉතින් උයාගන්න බැරිද අනේ ඒ මනුස්සයට නැන්දට වද දෙන්නේ?”
“අනේ මොන වදයක්ද පුතේ, අනික ඒ මනුස්සය සල්ලිත් ගෙවනව. තැපැල් කන්තෝරුවෙ පඩියට අමතරව ඉතින් හොඳයිනේ”
ජීවිතේට එන එන විදියට සිනාබරව මුහුණ දෙන්නට නැන්දාට හයියක් ආවේ කොහෙන්දැයි කැළුමිණී දැන උන්නේ නැත. එහෙත් ඒ සිනාවට යටින් සැඟවුණ බොහෝ වේදනාබර කතාන්දර හිත් අලුයට ගිනි පුපුරුව දැවෙන බව පබෝධා දැන උන්නාය.
ජීවිතය එහෙමය. දුක මැදින් හිනාවෙන්නට කියා දීමය.