මා හිස පිරිමැද 24

“තිසූ…ඇයි…”

මා ඇස් ලොකු කොට ගෙන ද ඇස් පිය නො සලා ද බය බිරාන්තව ද බලා සිටියදී විදුර මවෙත ලං වෙමින් විමසී ය.

“අම්..ම..අම්..ම..”

මගේ මුවින් හරියට වචන පිට කර ගත නො හැකි වූයේ ය. මම අතැඟිල්ලකින් අම්මා ගිය දෙස පෙන්වීමි. විදුර යමක් අවබෝධ කොට ගන්නට ඇත. ඔහු මගේ ළඟට ම ඇවිත් උරහිස් මත දෑත් තබා මූණට එබුණේ ය.

“වජිරපාණි වික්‍රමබාහුද දැන් මෙතනිං ගියේ..”

මට හැකි වූයේ ඔව් යි හඟවන්නට හිස සලන්නට පමණි. විදුර වහා දොර විවර කරන්නට දොරගුල වෙත අත දිගු කළේ ය. මගේ හද ගැස්ම ප්‍රකෝටි වාරයකින් ඉහළ නැංවෙන්නට ඇත. මම එපායි හඟවමින් ඔහු ගේ ඇඟේ එල්ලුණෙමි. අමනුශ්‍ය බලවේගයක් දුටුවා සේ මා බියපත් ව ඇති බව විදුර වටහා ගන්නට ඇත.

“තිසූ…බය වෙන්න එපා මැණික. මොන දේ වුණත් මං ඉන්නවනෙ…ම්…”

මම විදුර වෙත බර වීමි. අතැඟිලි වලට හසු වූයේ ඔහු දඹුල්ලෙන් ගත් සැහැල්ලු කළු කමිසයේ මැද හරියේ පියවූ බොත්තමක් සහිත පෙදෙස ය. නො පියවූ බොත්තම් වලින් නග්න වූ ඔහු ගේ කේෂර පපුවෙහි මම මුහුණ හොවා ගතිමි. එහි හරි මැද දෙතොල් තද කොට මා ඒ පපුව සිප ගත්තේ නැගී ආ ඉකිළුම හිර කර ගෙන ය. මගේ ඇස් පියවී යන්නට ඇත. විදුර දෝතින් මා ඔහු වෙතට තවත් ලං කොට ගත්තේ ය. 

“සොරි. අයිම් සොරි විදුර. මං මහ ස්ටබර්න් කෙල්ලෙක්. මොකද්ද මං මේ කළේ…ඒගොල්ලො ඇවිත් තියෙන්නෙ අපිව හොයාගෙනනං…මං මොනාද දෙයියනේ කරන්නෙ…මං කොහොමද ඔයාව පරිස්සං කර ගන්නෙ…ඔයාට මුකුත් වෙන්න දෙන්න බෑ…”

එය පුදුම බියකි. බයට මා වෙව්ළුවේ ය. මගේ දෙතොල් සැලී ගියේ ය. තවත් ටික වෙලාවකින්, බිළිඳු දැරියක වාගේ ඔහු මා දෑත් මතට ගත්තේ ය. පුළුන් පොදක් වාගේ මා රැගෙන ගිහින් හෙමිහිට ඒ යහන් තලාව මත්තේ තැබුවේ ය. තව දුරටත් මගේ බිය බිඳකිනුදු තුනී නොවී පැවතිණ. විදුර මා මතින් පහත් වී නළල සිප ගත්තේ ය. ඊළඟට මගේ ලවන් මත සිය දෙතොල් තෙරපා දෙකොපුල් ද සිම්බේ ය.

“මහ ලොකුවට කට කියවන්නෙ කොහොමද…ඒ වුණාට අම්මගෙ හෙවනැල්ලටත් බයයි”

මම ඔහු ගේ ගෙලෙහි එල්ලී ඒ හිස මගේ ළය මත සතපවා ගතිමි. මගේ දෑතින්, මට පුළුවන් උපරිමයෙන් ඔහු එහි තද කොට ගතිමි. මට දැනුණු බිය අතිමහත් ය. කකුල් වල පණ නැති ගතියක් වූයේ ය. උගුර කට වියළී ගිහින් තිබිණ. අතක ඇඟිලි විදුර ගේ හිස පිරිමදින්නට විය.

“මට බය මං ගැන නෙවේ. අම්මගෙ හෙවනැල්ලක් හරි ඔයාට වැටෙයි කියලයි මං බය රත්තරං. එහෙම වුණොත් මට මැරෙන්න තමයි වෙන්නෙ. ඔයා දන්නවද…දැං මට ඔයා නැති ජීවිතයක් ඕන නෑ”

“එයා මෙහෙ ඇවිත් තියෙන්නෙ මොකටද… “

මඳ නිහැඬියාවකට පස්සේ මම අත දිගු කොට යහන මත වූ දුරකතනය ගෙන අක්කා ට කතා කළෙමි.

“අනේ අක්කෙ..අම්ම මේ හොටේල් එකේ ඉන්නව මං දැන් දැක්කනෙ”

“මොකක්…ආ…අද එයා මීටින් වගේකට ගිහිං එන්නෙ හෙටයි කියලනං කිව්ව. ඉතිං මොකද වුණේ…”

“මං ආසාවෙන් හිටියෙ රෑ වෙනකල්ම වැව දිහා බලා ගෙන ඉන්න. එළියට යන්න දොර අරිනකොට ම අම්ම කොරිඩෝ එක දිගේ යනව. එක තත්පරෙන් මිස් වුණේ. එයාට අපි ගැන ඔත්තුවක් ලැබිලද…”

“මං කියන්නද…නිකමට අම්මට කතා කරල මං ඔයාට කෝල් බැක් කරන්නංකො”

ඇඳ විට්ටමට කොට්ටයක් හේත්තු කොට විදුර ඊට පිට දී සිටියේ ය. මම ඔහු ගේ බඳ මතින් අතක් යවමින් උරහිසත්, පපුවත්, අත් ගොබයත් අතරේ හිස තියා ගතිමි. ඒ අතින් ඔහු මා ලං කර ගත්තේ ය. 

“මදැයි කණ්ඩලමෙ ලස්සන බලං ඉන්න හිතුව. දැං ඉතිං ඩිනර් ගෙන්නගන්න වෙන්නෙත් රූම් එකටම තමයි”

“කමන්නෑ. මට මෙහෙම ළඟට වෙලා තුරුල් වෙලා ඉන්න පුළුවන්නෙ”

“ඇයි මෙච්චර ආදරේ…”

මගේ මුහුණට වැටුණ තෙත කියඹු වැලක් ඔහු සවන් පෙත්ත පිටුපසට කළේ ය.

“දන්නෑ…”

“හැමදාම අපිට මෙහෙම බයෙන් ඉන්න බෑ නේද…”

“හ්ම්”

“වෙන දෙයක් වෙන්න කියල මං ඇවිත් ඔයාගෙ අම්ම එක්ක කතා කරන්නද අපි ගැන…තාත්තටනං දැනටමත් මාව මතක නෑනෙ”

“එපා එපා”

දෙවියනි මට දැනුණ බියක්! අම්මා ඔහු ට කොයි තරම් ද්වේශ කරනවාද කියා මම හොඳට ම දනිමි. ඉතින් කොහොම මා ඔහු ව ඒ මරු කටට යවන්න ද? 

අක්කා අම්මා ට කතා කොට තිබිණි. එදා හැන්දෑවේ මැල්සිරිපුර ජන හමුවක් හමාර වී  රාත්‍රියේ හෙරිටන්ස් හි නවාතැන් ගන්නා බවත්, පසු දා උදේ ම පොළොන්නරුවේ පැවැත්වෙන රැස්වීමක් සඳහා නික්ම යන බවත් ඇය කියා තිබේ. මගේ බිය තුනී වී ගොස් ඇඟට ලේ ටිකක් ඉනුවේ ඒ වෙලාවේ ය. 

පිටතට ගොස් සුළං සුව විඳීමේ අදහස අපි අත් හැර දැමුවෙමු. හෝටල් පරිශ්‍රයේ ඕනෑ ම තැනක දී අම්මාට අප හසු විය හැකි බැවිනි. ඒ වෙලාවේ එක ම ආරක්ෂිත ක්‍රමවේදය වූයේ කාමරය තුළට වැදී ගෙන ඉන්නා එක යි. ඒ රාත්‍රියේ අපි අප ගැන බොහෝ දේ කතා කළෙමු. හදවත් ඇතුළේ හංගා ගෙන උන් බලාපොරොත්තුවේ කන්ද කෙතරම් උස් ද කියා වැටහුණේ ඒවා ටික ටික පිටතට එත්දී ය. එක අතකට එහෙව් රාත්‍රියක ඒ වගේ ලං ව අප ට අප දරා ගන්නට සැලැස්වීම ගැන මම විශ්වයට ස්තූතිවන්ත වීමි.

වඩාත් අසීරු වූයේ පසු දා උදයේ නික්ම යන්නට සූදානම් වූ මොහොතයි. 

“මෙහෙමම මෙතනින් ලෝකෙ නතර වෙනවනං…මේ විදිහට දිගටම හැමදාම අපිට මෙහෙම ඉන්න තිබුණනං”

මම විදුර ගේ පපුව සිප ගෙන සිටියෙමි. ඔහු මගේ හිස් මුදුන සිපගෙන සිටියේ ය. ඔහු ගේ සුසුම් වල උණුහුම මට දැනිණ.

“මේ අපි මේ විදිහට වෙන් වෙලා යන අන්තිම වතාව කියල හිතමු තිසූ. ආයෙ අපි මෙහෙම හම්බ වෙන්නෙ හැමදාම එකට ඉන්න”

තව හෝරා කිහිපයක ගමනක් පුරා අපට එක ළඟ රැඳිය හැකි බව ඇත්ත ය. නමුත් හදවත් බිත්ති නාය යමින් මට දරුනු රිදුමක් දුන්නේ ය. දෙවියන් වහන්සේ විසින් එක් කළා වූ අය කිසි සේත් මිනිසුන් විසින් වෙන් නො කළ යුතු ය. 

“මට යන්න බෑ වගේ”

මම ඇස් පියා ගෙන තදින් ඔහු බදා ගෙන මිමිණුවෙමි.

“ආයෙ එන්නනං යන්න ඕනෙ තිසූ කියල කියන්නෙපා. මේක හරි අමාරුයි විදුර. මෙහෙම ළඟින් ඉඳල වෙන් වෙලා යනකොට මට දැනෙන්නෙ මගෙන් කෑල්ලක් ඔයා ළඟ වගේ…ඔයාගෙන් කෑල්ලක් මං ළඟ වගේ. ඒ සම්පූර්ණ ෆීලින් එක දැනෙන්නෙ ඔයා ළඟ ඉද්දි විතරයි”

“මං දන්නව. තාත්ත ආගිය අතක් නැති වෙච්ච එකත් එක්කනෙ ඔයා මං ළඟට එන එක ටිකක් පස්සට ගියේ. මං ගෙදරටත් කියල දවසක් දා ගන්නං රෙජිස්ට්‍රේශන් එකට. ඊට පස්සෙ ටික දවසකට නිකවැරටිය පැත්තට ගිහිං හරි ඉඳල එමු”

තීන්දුවක් ගෙන නික්ම ආව ද හිතේ යම් බරක් ශේෂ වී තිබිණ. පෙර දිනය පුරාවට මා නොදුටු තාත්තා, මා දුටු වන සිනහ කටක් පුරවා ගත්තේ ය.

“මං බැලුව පොඩි දුව මට නොකියම මාව දාල කොහෙ හරි ගිහිං කියල”

පපුව හෝස් ගා දැවී ගියේ ය. ගෙදර අත්හැර එකවර විදුර වෙත යන්නට බැරි බැඳීමක්, හිතේ පැටළුණ කටුවක් ව මට රිදවී ය. තාත්තා හරි ඉක්මනින් වියපත් වෙමින් සිටී. ඔහු ගේ හිස කේ ඉතා ඉක්මනින් සුදු වී තිබේ. රැවුල් කොට වැවෙත්දී මුළු නිකට ම සුදු ය. අම්මා ට හිතුවක්කාර වී විදුර වෙත ගියෝතින් යළි කිසි දාක මට තාත්තා දකින්නට නො ලැබෙනු ඇත යන භීතිය මහ භයානක විලාශයකින් මා වෙලා ගත්තේ ය.

“ඊයෙ රෑ වෙනකල් කීප සැරයක්ම කෝ තිසූ කියන එකමයි වැඩේ. මං ඉතිං එක එක උත්තර දීල එපා වෙලා හිටියෙ”

අක්කා කීවා ය. බැඳීම් කියන්නේ දුකක් ම ය. නමුත් ඒ බව දැන දැනත් අපි තව තවත් බැඳෙමු. සසර තව බොහෝ දිගු කොට ගන්නෙමු. 

“පාළුයි මට”

හැන්දෑ අඳුරත් එක්ක විදුර මට කතා කළේ ය. ඒ පාළුව මගේ හදවත පසාරු කර ගෙන ආත්මය පත්ලට කිඳා බසිනු  දැනිණ.

“මටත්”

“ඔයාගෙ සුවඳ දැනෙනව දැනෙනව වගේ”

මගේ නෙතු පියවිණ. ඔහු ගේ දෙතොල් පහස සිරුර උණුහුම් කරන්නා සේ දැනිණ.

“කොච්චර දවස් තව අල්ලං ඉන්නද මෙහෙම…ම්…”

“වැඩි දවස් බෑ. තාත්ත දවසට දෙකට වයසට යනව වගේ විදුර. ඊයෙ දවසෙම මාව ඇහුවලු. මට හරි දුකයි”

“අපේ අම්මත් එහෙම තමයි. දැන් නිතර නිතර අසනීප වෙනව. මං නිසා වුණ ලොකුම දේ එයා ලෙඩෙක් වුණ එක”

“දැන් මේව තනියම උහුලගන්න දරාගන්න බෑ වගේ”

“මටත්…ඔළුව අතගගා ඔයා මගෙ ළඟට වෙලා ඉන්නවනං කියල හිතෙනව”

“තිසුරී”

පහළ මහළ දෙසින් අම්මා ගේ හඬ නැගුණේ අපේ ඒ කතා බහ අතරේ ය. 

“අම්ම කතා කරනව. මං ගන්නං”

කියමින් මම වහා ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. ඇයිදෝ මන්දා පෙර දා රාත්‍රියේ හෙරිටන්ස් හෝටලයෙහි දී ඇය දුටු වෙලාවේ සේ ම මගේ හදවත අධිවේගයෙන් ස්ඵන්දනය වෙන්නට ගති. අම්මා ගේ හඬ තුළ වෙනදා මට පුරුදු නැති යමක් කැළතී තිබිණ. මේ විදිහට හඬ නගා වෙනදාට ඇය මා අමතන්නේ ද නැත. මම දෙගිඩියාවෙන් යුතුව පහළ මහළට ගියෙමි. ඇය ගෙදර ආ ගමන් ය. තවම උස් අඩි පාවහන් හෝ ඔසරිය ගලවා ද නැත. අම්මා නො සන්සුන් ලෙස ආලින්දයෙහි සක්මන් කරමින් සිටියා ය. “ඇයි අම්මෙ” කියා අහන්නටවත් පණ නැති ලෙසක් මට දැනෙමින් තිබිණ. හැරී මදෙස නො බැලී ද මා පැමිණ ඇති බව අම්මා දැන ගත්තා ය.

“කවුද ඒ කොල්ල…”

අහසින් පොළාවට වැටුණා සේ මා කම්පිත ව ගියේ ය. අම්මා අසන්නේ කවුරුන් ගැන විය හැකි ද? ඇය විදුර ගැන දැන ගෙන ද? මගේ උගුර කට වියළී යන්නට විය.

“මං අහන්නෙ කවුද ඒ කොල්ල..”

එවර ඈ ගුගුළේ වහළ ගැලවී යන තරම් උස් හඬිනි. මගේ දත් ඇඳි දෙක කට කටස් ගා එකට ගැටෙන්නට විය. 

“මො…මො…මොන…කොල්ලද අම්මෙ…”

මම ගොත ගැසුවෙමි. හෘද ස්ඵන්දනය නතර කරවන බියක් මට දැනුණේ ය. විදුර ගේ ජීවිතය ගැන ඒ තරම් බියක් මා පසාරු කර ගෙන ගිය මුල් ම වතාව ඒ ය.

“ඊයෙ රෑ කණ්ඩලම හෝටලේ හිටිය කොල්ල. තිසුරි…තමුං හිතන්නෙ මං කවුරු කියලද…රූම් එකේ දොර ඇරියෙ තමුං කියල මං දැක්කෙ නෑ කියල හිතන්නෙපා. ඒ වෙලාවෙ හැරිල මං තමුන්ට කතා නොකළෙ මගෙ ආත්ම ගෞරවේ ගැන හිතල. ඕනනං ඒ මිනිහ කවුද කියල එවෙලෙම මට දැනගන්න තිබුණ. හැබැයි එහෙම නොකර මං තමුන්ගෙන් අහන්නෙ වැදගත් විදිහට මේක විසඳගන්න. ඒ කවුද කියල මට කියනව. ඊට පස්සෙ මං හොයල බලන්නං අපිට ගැලපෙන කෙනෙක්ද කියල. එහෙම නැත්තං අද හෙටම කසාද බන්දන්න කෙනෙක්ව හොයන්නං. මං මෙච්චර දවස් හිතං හිටියෙ තමුන්ට එච්චර ගායක් නෑ කියලයි. ඒත් ඒක එහෙම නෙවෙයිනෙ. මං හරියට තීරණයක් ගන්නකල් මීට පස්සෙ තමුන්ට මේ ගෙදරින් පිටට අඩියක්වත් තියන්න බෑ. සෙකියුරිටි එකට ඒ ගැන මං දැනුං දීලයි තියෙන්නෙ”

“අම්…ම…”

එසේ කෙඳිරි ගෑවේ මගේ සිත ය. දෙවියනි මා කොහොම නම් විදුර ගේ නම අම්මා ට කියන්න ද? මට මනාලයන් සොයන්නට කලින් එතකොට ඇය ඔහු ගේ ජීවිතයට නරකක් නොකර සිටිනු ඇත්ද? එතැන එහෙම ම මා මිය යනවා නම් හොඳ යයි මට සිතිණ. කෑ ගසා හඬා ගෙන මම පියගැට පෙළ දිග දිව ගියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles