මා හිස පිරිමැද 26

ජීවිතයේ සමහර පරිච්ඡේද අපට මතක තිබෙන්නේ සිහිනයක කොටස් සේ ය. ඊට හේතුව ඒ සිදුවීම් අතරේ දී අප කිසියම් නිර්වින්දිත තත්වයක සිටීම විය හැකි ය. පියවි සිහියෙන් මුහුණ දෙන්නට බැරි හා ඔරොත්තු දෙන්නට බැරි සිදුවීම් ජීවිතය ඉදිරියට එත්දී, ඒවාට මූණ දීමේ වඩා පහසු මග ලෙස ජීවිතය විසින් ම තෝරා ගනු ලබන්නේ පියවි සිහියෙන් මඳක් ඈත් වීම කියා මම දැන් සිතමි. ඒ දින කිහිපය තුළ මා සිටියේත් එබඳු තත්වයක ය. නිවැරදි සිහියෙන් කළ නො හැකි දේවල් උන්මන්තක තත්වයේ දී කළ හැකි ය. එතකොට පියවි සිහිය ඇති මිනිසුන් ඒ ගැන දොස් කියන්නේ නැත. පියවි සිහියෙන් දරා ගත නො හැකි දුක් කඳක්, මනා සිහිය නැති වූ කල පැවතෙන්නට හැරිය හැකි ය. 

මම විටෙන් විට පියවි සිහිය ලබමින් ද ඉන් දුරස් වී මනෝ ලෝකයක  සරමින් ද සිටියෙමි. මා හැබෑ ලෙස පියවි සිහියෙන් සිටින්නේ කවර අවස්ථා වලදී දැයි ගෙදර අයට තබා මට පවා නිරවුල් නොවී ය. විදුර කතා කරනා විට මා මොනවා කියවූවා දැයි ඊට ටිකකට පසු මට ම සිහිපත් කර ගත නො හැකි ය.

මීට ආසන්න කාලයක මගේ අත පත් විදුර ගේ අත් අකුරෙන් ලියැවුණ දම් පාට තද කවරයක් සහිත සටහන් පොතෙහි, ආශ්‍රිත සිදුවීම් ගැන විදුර සටහනක් තබා තිබේ. මට නිරවුල් නැති ඇතැම් සිදුවීම් මා ගලපා ගන්නේ එයත් සමග මට මතක තැන් සමපාත කිරීමෙනි. 

“වෘත්තීය ජීවිතය තුළ දී අභියෝග යනු මට සාමාන්‍ය දෙයකි. වඩාත් සරල ලෙස කියන්නේ නම් මගේ මාධ්‍ය ජීවිතය මුළුමනින් අභියෝගයකි. නමුත් මීට පෙර පුද්ගලික ජීවිතය මට මේ සා අභියෝගයක් වී නැත. 

කිසි දා ක ජීවිතයට ස්ත්‍රියක වද්දා නො ගන්නට මා ගෙන තිබි තීරණය කෙතරම් නිවැරදි දැයි වඩා හොඳින් පසක් වන්නේ දැන් ය. නමුත් තිසුරි ජීවිතයට එන එක වලකා ගන්නට මට පහසු වූයේ නැත. පසුව ඒ සඳහා උත්සාහ කිරීම ද මම අත් හැර දැමුවෙමි. ඒ, ඇය එනවාට මගේ අකමැත්තක් නැති බව මට ම දැනුණ නිසාවෙනි. සැබවින් මගේ ජීවිතය වෙත පැමිණි හොඳ ම දෙය ඇයයි. සමස්ථ මිනිස් වර්ගයා වෙනුවෙන් ලියමින් අප්‍රමාණ වූ සුවයක් විඳිමින් සිටි මට, මෙලොව වන සුවදායක ම හා ප්‍රීතිමත් ම තැන ඇය ළඟ බව දැනෙන්නට ගෙන තිබේ. 

වජිරපාණී වික්‍රමබාහු විසින් තිසුරි ව නිවාස අඩස්සියෙහි තබා ගැනීම මට දැරිය නො හැකි විය. තිසුරි වූ කලී අත්දැකීම් බහුල තැනැත්තියක නොවේ. ඉතා ළාබාල වූ යුවතියකි. ඇගේ ප්‍රේමය වඩා ගැඹුරු එකක් වී ද මේ සිදු වෙමින් පවත්නා දේවල් ඇයට ඔරොත්තු නො දෙනා බව මට දැනෙන්නට පටන් ගෙන තිබේ.

වජිරපාණී සිටිනුයේ මැතිවරණ උණුහුම තුළ ය. මේ වෙලාවේ ඇයට සිය දියණිය පෙමින් වෙලී සිටිනුයේ කවුරුන් සමගද කියා හොයා බලන්නට තරම් උවමනාවක් නැත. නො එසේ ව එය සොයා දැන ගැනීම, කණ්ඩලම හෝටලයෙන් විමසූ කල අපහසු වන්නක් නොවේ. නමුත් තවමත් ඇය එවැන්නකට යොමු නොවී ඇතැයි මම සිතමි. තිසුරි ව දැනට නිවාස අඩස්සියෙහි තබා ගෙන සිටිනුයේ පසු විපරම් කටයුතු පහසු වීම සඳහා විය යුතු ය.  මා කවුරුන්දැයි තිසුරි විසින් හෙළිදරව් නො කිරීම ඇයගේ සැකයට තුඩු දෙන්නට ඇත. නමුත් මේ ඒ ගැන සොයන්නට කාලය හා ශ්‍රමය වැය කිරීමට කාලය නොවේ කියා ඇය තීරණය කරන්නට ද ඇත.

මට දරා ගත නො හැකි වූයේ තිසුරි උහුලා ගෙන උන් පීඩනය යි. ඒ පීඩනය ඇය විශාධයට පත් කොට, දිවි හානි කර ගැනීමේ සිතිවිල්ලක් වුව ජනිත කරන්නට බැරි නැතැයි මම දැන සිටියෙමි. වෙන දෙයක් වුණාවේ යි සිතා දවසක් මා වජිරපාණි ට කතා කළේ මේ සියල්ල යම් තැනකින් ඇරඹිය යුතු නිසාවෙනි. 

“මං එක්කයි තිසුරිගෙ සම්බන්දයක් තියෙන්නෙ. මං කැමතියි මේ ගැන කතා කරන්න ගෙදරට එන්න”

වජිරපාණී ගේ පැත්තෙන් තත්පර කිහිපයක නිහඬතාවයක් ඇති විය. 

“හ්ම්. අද හවසට එමු ගෙදරට”

එපමණක් කියා ඇය දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. මට කිසියම් සහනයක් දැනිණ. නමුත් ඒ යට ගින්දරක් නො වූවා නොවේ. මා ඇය හමු වූවත් නැතත් ඉදිරියේ දී මා කවුරුන් දැයි ඇය විසින් සොයා ගනු ඇත. නො එසේ නම් එවැන්නක් නොවී හෝ තිසුරි සදහට මට අහිමි වී යනු ඇත. ඒ දෙකෙන් මූණ දෙන්නට වඩා පහසු වූව සේ මා තෝරා ගත්තේ පළමු වැන්න ය.

මා ගෙදරට එන බව මම තිසුරිට නො කීවෙමි. ඇයට ඒ බිය දරා ගත නො හැකි ව කුමක් සිදු වනු ඇත්දැයි සිතා ගත නො හැකි බැවිනි. යම් කිසි තත්වයකට මුහුණ දීම, කලින් ඒ ගැන දැන ගන්නවාට වඩා පහසු යයි මම විශ්වාස කරමි.

මා යන විට වජිරපාණී වික්‍රමබාහු ගෙදර විත් සිටියා ය.

“මං එනව කියල දන්නව. තිසුරි මැරි කරන්න ඉන්නෙ මං”

කියා කියූ පමණින් ආරක්ෂක අංශය ගේට්ටුවෙන් මා ඇතුළට ගතතේ වජිරපාණි ඒ ගැන ඔවුන් ව දැනුවත් කොට තිබි නිසා විය යුතු ය. ආලින්දයෙහි අසුන් ගෙන මඳ වෙලාවකින් දොඩම් යුෂ වීදුරුවකින් සේවකයෙකු මට සංග්‍රහ කළේ ය. මා එය තොල ගාමින් සිටින අතරේ ඉසුරි පිය ගැට පෙළ බැස ගෙන පහළට එමින් සිටියා ය. මා දුටු වන එහෙම ම නතර වූ ඕ මදෙස බලා සිටියේ තුෂ්ණිම්භූත ව ය. මම සිනහවක් වෙනුවෙන් දෙතොල් වල ඉඩක් හැදුවෙමි. ඉසුරි එහෙම ම හැරී යළි ඉහළට දිව ගියා ය. ඊළඟට ඇය ආවේ තිසුරි ද සමග ය.

ඇය හිස පීරා තිබුණේ නැත. කිසිදු පිළිවෙලකින් තොර ව වනා ගෙන සිටි කොණ්ඩය දින ගණනාවකින් පීරා නැතැයි බැලූ බැල්මට පෙනිණ. කොට කලිසමකින් හා බාචු ටී කමිසයකින් සිටි ඇගේ දෙපා වල දම් පාට පටි සහිත ලා නිල් රබර් පාවහන් යුගලක් විය. ඇය වඩාත් ලං වන විට, පා ඇඟිලි වල නියපොතු මත ලා දම් පැහැ නිය ආලේපන ගල්වා ඇති බව මම දුටිමි.

මම සරල සැහැල්ලුවකින් මඳහසක් පෑවෙමි. නමුත් තිසුරි සිනහ වෙන්නට අපොහොසත් වූවා ය. ඇගේ තොල් කොනක් ගැහී යනු මා බලාගෙන ය.

“ඇයි මේක කළේ…ඇයි…ඔයා ආවෙ…”

ඇය අසීරුවෙන් අසා ගත්තා ය. ඒ හඬ වේදනාවෙන් බරිත ය. ඒ ඇස් භීතියෙන් මුසපත් ය. දෑසින් හැඬුවේ නැතිවාට ඇය හදවතින් හඬන හඬ මට ඇසිණ.

“මට තවත් හැංගිල ඉන්න බෑ තිසූ. ඔයා මෙහෙම විඳෝනව බලං ඉන්නත් බෑ. අපි මේකට ෆේස් කරමු. මොකක්ම හරි වෙයිනෙ”

වැස්සට පෙඟුණ මල්පෙත්තක් වාගේ කම්පිතව ඇය අසුනක් මතට වැටුණා ය. වජවජිරපාණී වික්‍රමබාහු කඩිනම් ගමනකින් පැමිණ අප ඉදිරියේ අසුන් ගත වූයේ ඒ වෙලාවේ ය. 

“හරි. අපි කතා කරමු”

ඇගේ දෙතොල් මත වූ දේශපාලනික සිනහව මට වහා හැඳිනිය හැකි විය.

“තිසුරිව බඳින්න ඕන කියන්න වෙන්තිනෙ මේ ආවෙ…නේද…”

“ඔව්”

කෙටි පිළිතුරකින් මම තිසුරි දෙස බැලීමි. ඇගේ මුහුණ කඳුළු මේඝයකට සැරසී සිටියේ ය. බය වෙන්නට එපා යි මම දෑසින් ඇයට ඉඟි කළෙමි.

“හරි. තිසුරිව ඉල්ලන්න මොනාද සුදුසුකං…බිස්නස් මොනාද….”

“මං ජොබ් එකක් කරන්නෙ…බිස්නස් නෙවෙයි”

“හ්ම්. මොකද්ද ජොබ් එක…”

“මං පත්තරේක වැඩ කරනව”

“ඕ…ජර්නලිස්ට් කෙනෙක්”

එවර ඇගේ මුවග නැඟුණු සිනහවේ වූයේ සමච්චලයකි. මමත් තිසුරිත් මුහුණෙන් මුහුණ බලා ගතිමු. තිසුරිගේ අසුනට පිටුපසින් සිටගෙන උන් ඉසුරි ගේ මුහුණේ වූයේ ද බියපත් නොසන්සුන්කමකි.

“මොකද්ද පත්තරේ…නම මොකද්ද…”

තිසුරි ඇතුළාන්තයෙන් විලාප නැගුවා ය. ඉනික්බිති එන්නට නියමිත සුනාමියක් වී ද අප එය පිළිගත යුතු ය.

“ජනරාවෙ…විදුර වරදත්ත මම…”

වජවජිරපාණී වික්‍රමබාහු මීට පෙර මා ගැන දැන නො සිටි බව ප්‍රත්‍යක්ෂ කරනා ඇගේ බැල්ම මම හඳුනා ගතිමි. ඒ ඇස් විසල් වූයේ ය. මොහොතකට ඇය ගල් ගැසුණා කියා සිතමි. ඒ වෙලාවේ තිසුරි ව පපුවට තුරුලු කොට ගෙන  ඇය සනසන්නට තදින් මට ඕනෑ විය. ඈ සිටියේ ඒ තරම් හැඟුම් කුණාටු ප්‍රවාහයකට මැදි වී ය. 

තත්පර කිහිපයකට පස්සේ වජිරපාණී වික්‍රමබාහු හී ගසක් සේ අසුනෙන් නැගිට ගත්තා ය. වචනයක් හෝ කතා නොකොට ඉක්මන් කඩිසර ගමනින් එතැනින් නික්ම ගියා ය. ඇගේ මුහුණෙන් කිසියම් අදහසක් ඇහිඳ ගන්නට මා උත්සුක වූ මුත් ඇය එහි කිසිදු හැඟීමක සෙවනැල්ලක් හෝ වැටෙන්නට ඉඩ තැබුවේ නැත. 

“අනේ…හ්”

කියා ගෙන නැගිට ගත් තිසුරි මගේ පපුවට බර වූවා ය. එතෙක් දවස් හිර කර ගෙන උන් කඳුළු මේඝය ඉහිර ගියේ ඒ වෙලාවේ ය. මගේ පපුව තෙමෙන තරමට ඇය ඉකි බිඳ බිඳ හැඬුවා ය. ඉසුරි ද අප අසලට ම වී සිටියා ය. මම හෙමිහිට ඇ’හිස පිරිමැද්දෙමි.

“සන්සුන් වෙලා ඉන්න. ම්…”

තිසුරි මට යන්නට දුන්නේ එසේ නොකොට බැරි කමට ය.

නමුත් වෙනස් වූ කිසිත් සිදු නොවූ බව ඇය මට දුරකතනයෙන් කීවා ය. අඩු තරමින් අප බලාපොරොත්තු වූ විදිහට ඇගේ ජංගම දුරකතනය හෝ වජිරපාණි විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. එක වචනයක් හෝ ඇය මා ගැන නො දෙඩූ බව ද තිසුරි කීවා ය.

ඉන් දින තුන හතරකට පසු පැවති මැතිවරණයේ දී වජිරපාණී වික්‍රමබාහු නියෝජනය කළ පක්ෂය පරාජය විය. අනිත් ප්‍රධාන පක්ෂයට වුව ආණ්ඩුවක් පිහිටුවීමට තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී තිබුණේ නැත. තවත් දේශපාලකයන් ගණනාවක් සමග ප්‍රතිවාදී පිළට එක් වී ඔවුන් සමග රජයක් පිහිටුවීම මගින් නැවත ද ඇයට ඇමති පදවියක් ලැබිණ”

මේ මා කියවූයේ විදුර ගේ සටහන් එකතුවේ අවසාන සටහන ය. අතරින් පතර තව බොහෝ සටහන් එහි තිබේ. මා යළිත් මේ සටහන කියවූයේ ඒ දින හා සම්බන්ධ සිදුවීම් ගැන මට වැඩි වැඩියෙන් මෙනෙහි වන්නට වූ බැවිනි. 

එදා, විදුර අපේ ගෙදර පැමිණි දවසේ හෙළන්නට බැරිව ඉතිරි වූ කඳුළක් මේ දැනුත් මගේ ඇස් කෙවෙනි වල පිරී තිබේ. සැබවින් මා වැඩිපුර ම හැඬුවේ ඊටත් පස්සේ බව ඉදිරියේ දී ඔබ පසක් කර ගනු ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles