මා හිස පිරිමැද 33

සමහර දේවල් සැබෑ ජීවිතය මත සිදු වෙත්දීත් අපට දැනෙන්නේ අප සිහිනයක් දකින්නා සේ ය. ඒ මොහොත මට දැනුණේ ද එසේ ය. ඒ වෙලාවේ පමණකුදු නොව ඊට වසර කිහිපයකට පසු අදත් ආපසු හැරී බලත්දී මට දැනෙන්නේ එසේ ය. 

විදුර ව එදා කිරුලපන දී ඔහු ගේ රිය ලුහුබැඳ නවතා ගත් පිරිසක් විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටියේ කොතැනක දැයි ඔහු දන්නේ නැත. එහිදී ශාරීරික වශයෙන් ඔහු ට හිරිහැර නො කළ බව ද මුලින් ම ඔහු ගේ දුරකතනය ගෙන සිම් පත කඩා විනාශ කළ බව ද විදුර කීවේ ය. ඒ අඳුරු ගුහාවක් වන් නන්නාඳුනන හුදෙකලාවේ කොයි තරම් කාලයක් ජීවත් වෙන්නට වේවි ද හෝ කොයි මොහොතක ජීවිතයෙන් සමු ගන්නට වේවිද කියා නො දැන ඔහු ගෙවූ දුක්ඛිත ජීවිතය ගැන අසන්නටවත්, යළි සිහි කරන්නටවත් මා කැමති නැත. ඔහු ගෙන් දුරකතන ඇමතුම එන්නට මොහොතකට පෙර විදුර ව දෑස් බැඳ ගෙනැවිත් පාළු පාරක දමා ගොස් තිබේ. ඔහු දුරකතන ඇමතුමක් ගෙන තිබෙන්නේ ටික දුරක් පයින් ඇවිද සන්නිවේදන මධ්‍යස්ථානයකිනි. ඉන්පසු ත්‍රිරෝද රියක නැගී කැළණියේ ගෙදරට පැමිණ තිබේ.

විදුර එනවායි කීවාට අප පෙරමග බලා සිටියේ ගැහෙන හදවත් වලින් කිසිත් සිතා ගත නො හැකිව ය. නමුත් ඇත්තට ම ඔහු පැමිණි විට ඒ ප්‍රහර්ශය මා පාෂාණිභූත කරවන්නට ඇත. විදුර ගේට්ටුවෙන් ඇතුලු වූ ගමන් අම්මා කෑ ගසා හඬා ගෙන ඔහු බදා ගත්තා ය. කඳුළු පිරි ඇස් දෙකකින් මම පසෙකට වී බලා සිටියෙමි. නංගී මගේ අතකින් අල්වා ගත්තා ය.

ඔහු ගේ හිස කේ ද රැවුල ද අයාළේ වැවී තිබිණ. වෙනදාට වැඩිය සුදු කෙස් ගණනක් ඒ රැවුලේ ඇති බවක් මට දැනිණි. කඳුළු පටලයක් නිසා ඒ දීප්තිමත් ඇස් වල අමුතු ශෝකී බවක් තැවරී තිබුණා විය යුතු ය. මා ඔහු දෙස ම බලා සිටියදී විදුර ඇස් වලින් මට ඔහු වෙතට කතා කළේ ය. දෙතොල් තද කොට නැගූ සිනහවකින් යුතුව මම ඔහු වෙතට ඉගිළුණෙමි. විදුර එක අතකින් අම්මාව සිය පපුවෙහි හොවා ගෙන ම අනිත් අතින් මා එහි සිර කොට ගත්තේ ය.අප දෙදෙනා ගේ ම හිස් මුදුන් සිප ගනිමින් ඔහු ඉකි ගගහා හැඬුවේ ය. ඒ ඉකිළුම තුනී වී යන්නට විනාඩි ගණනාවක් ම ගත විය.

“තෑන්ක් යූ තිසූ…මං එනකල් ඔයා මගෙ පවුල අත් අරින්නැතුව හිටියට”

“මං ඉක්මනට තේ ටිකක් ලෑස්ති කරන්නං. ලොකූ…මල්ලිට කන්න දෙන්න මොනා හරි කඩේට දුවල ගේනවද…”

අම්මා විදුර වෙතින් මෑත් වූයේ පසු ගිය කාලය පුරා ම ඇගෙන් දැකිය නො හැකි වූ ජවයකිනි.

“අක්කෙ යං…පෑන් කේක් ලැවරිය වගේ දේවල් ඇති මේ වෙලාවට. ගිහිං බලමු”

“හොඳ කෙසෙල් ඇවරියකුත් බලල ගේන්න”

ඇසිල්ලකින් ඔවුහු සියල්ලෝ විසිර ගියහ. මගේ උරහිස වටා අතක් දමා ගත් විදුර සිය කාමරය වෙතට ගෑටුවේ ය. මම ඔහු ගේ බඳ වටා මගේ දෑත ම දමා ගෙන ඔහු ට වෙළී සිටියෙමි. කියන්නට අසන්නට දේවල් කොයි තරම් තිබිණි ද මේ මොහොතේ ඒ කිසිත් සිහිපත් වූවා නොවේ. මගේ ඇස් වලින් සතුට වාන් දමන්නට ඇත. නමුත් මට වචන අමතක වී ගොස් තිබුණේ ය.

“ඉතිං තිසූ…”

ඔහු මා වාඩි කරවමින් ම යහනේ මා අසලින් වාඩි වූයේ ය. ඒ කම්මුලක් හා කන් පෙත්තක් වැසෙන සේ මගේ අතක් තබා ගෙන, මහපට ඇඟිල්ලෙන් මම ඒ ඝණ රැවුල වැවුණ කොපුල පිරිමැද්දෙමි.

“ජූජක බමුණ වගේ”

සිනහවක් එක්ක ළදරු හඬකින් මා එසේ කීවා මතක ය. 

“මොකෙක් වගේ”

කියමින් ඔහු ඉතා තදින් මා ඒ සිරුරට තද කර ගත්තේ ය. ඊළඟට මගේ මුහුණ පුරා රැවුල ගාමින් මා සිප ගත්තේ ය. කිති ගැන්වී මම හඬ නගමින් සිනහ වීමි.

සිනහව! 

මා සිනහ වූයේ කොයි තරම් නම් කාලයකට පස්සේ ද? සිනහ වෙන්නට අමතක වී ඇති බවක් තබා මීට පෙර සිනහ වෙන්නට දැන සිටි බවක් හෝ මට අමතක වී තිබුණ සෙයකි. විදුර ගේ ගෙදර සිසාරා ඒ සිනහ හඬ පැතිර ගියේ ය. කඳුළු හා සුසුම් වලට හුරු වී තිබි ගෙදරක්, එක පාරටම මෙවන් සිනහවක් විශ්වාස කර ගත නො හැකි ව උඩ බිම බලන්නට ඇත.

“මේක හීනයක් නෙවෙයි නේද…”

ඊළඟට මම ඔහු ගේ ගෙල බදා ගෙන ඒ උරහිසේ හිස තියා ගතිමි. මගේ ගෙල පාමුල ට ඔහු ගේ දෙතොල් පහස දැනිණ.

“මටත් හිතා ගන්න බැරි තරමයි රත්තරං”

“දෙයියන්ට පින් සිද්ද වෙන්න ඔයා ආවනෙ…මට ඒ ඇති. මං බයේ හිටියෙ…එයා එනකොටත් ඔයා ගෙදර ඇවිත් නැති වෙයි කියල”

“කවුද එයා…”

“ඔයාගෙ මැණික් කැටේ…අපේ පුතා….පොඩි විදුර පැටියෙක්..”

එසැනෙන් විදුර මා දෙඋරහිස් වලින් තදින් අල්වා ඈත් කළේ ය. ඔහු ගේ ඇස් කෙවෙනි අග රැල්ලක් නැඟිණි. ඒ ඇස් වඩා සිහින් වූයේ ය. මම මඳහසකට දෙතොල් මත ඉඩ හළෙමි.

“තිසූ..”

“හ්ම්. එයා සනීපෙං ඉන්නව. ආත්තම්මයි නැන්දලයි ලොකු අම්මයි එයාට තනියක් දැනෙන්න දුන්නෑ. තිබුණ එක ම අඩුව තාත්ත…දැන් එයත් ඇවිත්…පුතා සතුටෙන් විදුර”

මම ඔහු ගේ අතක් ගෙන මගේ කුස මත තැබුවෙමි. අදහා ගත නො හැකිව වාගේ මදෙස බලා උන් ඔහු අලුත් ස්නේහයකින් මා ඉතා තදින් වැළඳ ගත්තේ ය. ඊට පස්සේ අප්‍රමාණ පීතෘ ස්නේහයකින් මගේ කුස සිප ගත්තේ ය. මම ඒ හිස පිරිමදිමින් ඔහු ව මගේ ළයෙහි හොවා ගතිමි.

“කොහොමද මැණිකෙ මෙච්චර දේවල් තනි හිතකින් දරා ගෙන මගෙ අම්මවත් බලා ගෙන හිටියෙ…”

“කරදර කාල ඉක්මනට ඇවිත් යන එක හොඳයි විදුර. ඉස්සරහට එන්න තියෙන්නෙ සතුටයි කියන එක දැන් අපි දන්නවනෙ. මේ රත්තරං පැටියව ඔයා එනකල් පරිස්සං කර ගන්න එක තමයි මගෙ ඔළුව උඩ පැටවිල තිබුණ ලොකුම වගකීම. එයාගෙ තාත්තට එයාව බාර දෙනකල්…”

“තාත්ත එයාගෙයි එයාගෙ අම්මගෙයි දෙන්නගෙම වගකීම බාර ගන්නව…ආයෙ කවදාවත් ඕගොල්ලොන්ට මෙච්චර තනිකමක්…එහෙම අසරණ කමක් දැනෙන්න දෙන්නෑ..”

“අක්කේ…තේ ලෑස්තියි. අයිය එක්ක එන්න”

නංගී ගේ හඬ කාමරයට පිටතින් ඇසිණ. ඒ තේ මේසය ආදරයෙන් පිරුණා වූ එකකි. ඔහු ට සිදු වූ දේ සැකෙවින් දැන ගත්තා ට පස්සේ කිසිවෙකු ඒ ගැන කතා කළේ නැත. මොනවා කතා කරන්න ද? සියලු යාඥාවන් වලට සොබා දහම දයාර්ද්‍ර පිළිතුරක් ලබා දී තිබේ. ඔහු ගේ පැහැර ගැනීම පිටුපස වජිරපාණි වික්‍රමබාහු සිටිනා බවට එක වතාවක් හෝ නො කියා සිටින්නට විදුර ප්‍රවේසම් වූයේ ය. නමුත් එය අම්මා ගේ ක්‍රියාවක් බවට දැන් මට සාක්ෂි අවැසි නැත. අක්කා කියනවා වාගේ අම්මා කළ වැරදි වලට දඬුවම් විඳින්නට ඇයට සිදු වනු ඇත. නමුත් ජීවත් වන තුරා ඇයව හැකි උපරිමයෙන් රැක බලා ගන්නට අපි අපට ම පොරොන්දු වී සිටිනෙමු. 

මා ගෙදර රඳවා ගොස් කොණ්ඩා රැවුල් කපා ගෙන ආ විදුර දිය නා අලුත් ඇඳුමෙන් සැරසී අප ඉදිරියට ආවේ ය.

“දැං ඔය ඉන්නෙ විසි පහක කොල්ලෙක් වගේ”

නංගී විහිළු කළා ය.

“විස්සක කෙල්ලෙක්ට හරියන්න තිහකවත් කොල්ලෙක් වගේ ඉන්න එපැයි”

විදුර ඒ විහිළුවට විහිළුවකින් ම පිළිතුරු දුන්නේ ය.

“හැටක් වුණත් දැන් ඉතිං ගැලවීමක් නෑ කොල්ලො”

අක්කා ගේ කතාවට කවුරුත් සිනහ වූහ. එදා ඔහු ගෙදර සිටිනු ඇතැයි අම්මා බලාපොරොත්තු වූව ද විදුර සූදානම් වූයේ බෝඩිමට යන්නට ය. ඊට පෙර, ඔහු පොලීසියට ද ඉදිරිපත් වී සිදු වූව ගැන කට උත්තරයක් දී පැමිණියේ ය.

සුපිරි වෙළෙඳ සැලකින් ඔහු අලුත් එළවළු, පළතුරු හා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් මිල දී ගත්තේ ය. විදුර ගේ හිතේ තිබුණා වූ දේවල් ගැන මා දන්නේ නැත. නමුත් ඔහු අලුත් සතුටකින් ද බලාපොරොත්තුවකින් ද පිරී සිටිනා බවක් බැලූ බැල්මට දකිත හැකි විය. බෝඩිමට පැමිණි ගමන් ඔහු කළේ බතක් ලිප තබනා එක ය.

“අද මං මගෙ අත් දෙකෙන් මට පුළුවන් තරං රසට උයල ඔයාට කන්න දෙනව. එතකොට පුතා දැනගනී තාත්ත ලියන්න විතරක් නෙවෙයි උයන්නත් දන්නව කියල”

මා උදව් කරන්නට හැදුව ද ඔහු ඊට ඉඩ දුන්නේ නැත. හැම දේ ම කළේ ඔහු තනිව ය. ප්‍රධාන ආහාරයට පෙර, ලොකුවට එළවළු කපා කඩල, කවුපි, පරිප්පු වැනි ධාන්‍ය වර්ග ද එක් කළ ප්‍රණීත සුප් බඳුනක් විදුර මට පිළිගැන්වූයේ ය. මම එය තොල ගාමින් ඔහු ගේ පිරිමි ඉහුම් පිහුම් දෙස බලාන උන්නෙමි. රතු ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කහ පාට බෙල් පෙපර්, ලූණු කොළ හා ඉස්සන් බැදෙන්නට දමා ඔහු ඊට බිත්තර ද එක් කළේ ය. ලුණු, සෝයා සෝස් වැනි කුළුබඩු පදමට එක් වී බෝඩිම පුරා සුවඳ හැමුවේ ය. ඉන්පසු ඊට බත් දමා බටර් ස්වල්පයක් ද එක් කරමින් පෑන් එක උඩ දමමින් මිශ්‍ර කළේ පළපුරුදු චෙෆ් කෙනෙකු වාගේ ය. සුප් බී බඩ පිරී තිබුණ ද ඒ සුවඳ නිසා මට නොකා සිටිය නො හැකි විය. කෑම ගැනීමෙන් පස්සේ බෝඩිමේ කුඩා තනි යහනේ වැතිරී අපි මඳක් විවේක ගතිමු. සැබවින් ලොකු විවේකයක අවශ්‍යතාවය මට නම් තදින් ම දැනුණේ විදුර ගේ මූණ දැක්කාට පසු ය. ඒ වන තෙක් වෙහෙසක් කියා දෙයක් මට දැනුණේ හෝ නැත්තේ කෙසේ ද? 

ඔහු ගේ ළමැද සුව යහන් තලාවේ මුහුණ තියා ගෙන, අතකින් ඔහු බදා වැළඳ ගෙන, නෙතු පියාන මම සුවදායී ලෝකයකට වී සිටියෙමි. විදුර ගේ ඇඟිලි තුඩු හිස කේ අතරේ සෙනෙහස තවරමින් එහෙ මෙහෙ සැරුවේ ය. එහෙම ම නින්ද ගොස් මා යළි අවදි වූයේ හෝරාවකට වැඩිය ඉක්ම ගිය පසු ය. විදුර ඒ ඉරියව්වේ ම මා තුරුලු කොට ගෙන සිටියේ ය.

“තිසූ”

“ම්…”

“මං තීරණයක් ගත්ත”

“මොකද්ද…”

“මෙච්චර කාලයක් මං හිතං හිටියෙ ලියන එක තමයි මගෙ ජීවිතේ කියල. ඒත් තව දුරටත් එහෙම හිතන්න බෑ. මගෙ අම්මයි ඔයයි ගැන විතරක් නෙවෙයි…දැං මං අපේ පැටිය ගැනත් හිතන්න ඕනනෙ. එයා ගැන දැන ගන්න කලින් වුණත් මං හිත හිත හිටියෙ ඔය දෙන්න මං නිසා මොන ගින්දරක් උහුලගෙන ඇද්ද කියලයි. පෑනට වැඩිය මට ඔය දෙන්න වටිනව තිසූ. ඒක නිසා ඔයයි අපේ බබයි වෙනුවෙන් පෑන පැත්තකින් තියන්න මං තීරණේ කළා”

විගස හිස ඔසවා මම විදුර ගේ මූණ දෙස බැලුවෙමි.

“මෙච්චර කල් ලියලත් මේ රටේ මිනිස්සුන්ගෙ ඔළු හදන්න අපිට බැරි වුණා. කී දෙනෙක් ඇත්ත ලියන්න ගිහින් මරල දැම්මද…අදටත් අතුරුදහන් ජර්නලිස්ට්ල ගණන කීයක්ද…ඒත් වැඩක් තියනවද…මේක හදන්න පුළුවන් රටක් නෙවෙයි. දැං මං මගෙ ගෑනියි දරුවයි ගැන හිතන්න ඕනෙ අනිත් හැම දේටම කලින්”

මට සුසුමක් හෙළිණ. නව යොවුන් වියේ පටන් මා වසඟ කළ ජනමාධ්‍යවේදියා විදුර වරදත්ත බව ඇත්ත ය. නමුත් ඔහු ට තෝරා ගැනීමක් කරන්නට සිදුව තිබේ නම් ඊට ඉඩ හැරිය යුතු ය.

“ඔයාගෙ කැමැත්තක්. ඔයා කවුරු විදිහට කොහොම මේ ලෝකෙ පැවතුණත්…මේ ආදරේ වෙනස් වෙන්නෑ. මගෙ ජීවිතේ තියෙනකල් මං ඔයාගෙ පැත්තකින් මෙහෙම ඉන්නව”

“යං”

“කොහෙද…”

“ඔයාව ගෙදර බස්සල එන්න. ඒ ගමං රෙජිස්ට්‍රාර් හම්බ වෙලා අපිට දවසක් වෙලාවක් ගමු. ම්…”

එය තනිකර ම සිහිනයකි. ඒ සිහිනය නිමා වෙන්නට පෙර කී වතාවක් බිය වී ගැස්සීගෙන අවදි වෙන්නට නියමිත ද කියා මම නො දනිමි. නමුත් මම ඒ සියල්ලට මුහුණ දීමේ සූදානමින් නැගිට ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles