දෙහිතක කතාවක් 31

පබෝදා විසින් කියන්නට යෙදුන කාරණාව ඔස්සේ කැලුමිනීට රැකියාව පැත්තෙන් උදව් කරන්නට හැටියක් තමා ළඟ ඇති බව අරවින්ද දැන උන්නේය

“රස්සාවක් කරන්න ඕන නෑ රත්තරන් ඔයාටයි දරුවටයි දෙන්නටම මුලු ජීවිත කාලෙම උපරිම සතුටෙනුයි සැපෙනුයි ඉන්න දෙන්න මට පුලුවන්” කියා කැලුමිනීට කියන්නට තිබුනා නම් අපූරු බව සිතුනද මේ එයට හරිම මොහොත නොවන බව අරවින්ද දැන උන්නේය

එහෙත් මේ ඒ මොහොත කරා යන්නට තැනෙන මං පෙතකි. ඉතින් ඒ මංපෙත මලින් සරසාලන්නට තමාට බැරිකමක් නැත.

“මම මෙහෙම කිව්වට පබෝදා මිස් මං ගැන මුකුත් වරදක් හිතන්න එපා. මගේ ඔෆිස් එකේ අකවුන්ට්ස් වැඩ ඔක්කොටම වගේ උදව් කරේ සඳරුනේ. 

සඳරු දැන් කැම්පස් ආවම ගියාම මට එතනට කොහොමත් වෙන කෙනෙක්ව හොයාගන්න වෙනවා. එදා මට මතකයි මං එහෙ ආවම ඒ ළමය කිව්ව එයා දෑනටම කරන්නෙත් අකවුන්ට්ස් ඇන්ඩ් මාකටින් පැත්‍තෙ වැඩක් බව

පබෝදා මිස්ටයි ඒ ළමයටයි ගැටලුවක් නැත්තම් මට පුලුවන් අපෙ ඔෆිස් එකේ ඒ අකවුන්ට්ස් වැඩ ටික බලන එකට ඒ ළමයව ගන්න”

අරවින්ද ඒ ඉල්ලීම පබෝදාට කරේ කල හැකි ඉතාම විනීත ආකාරයටය. 

පබෝදා ඒ වදන් ඔස්සේ කියවෙන කතාව කුමක් වුවත් අරවින්දගේ දෙනෙත් ඔස්සෙව් කියවන්නට යෙදුන දීප්තිමත් කතාව තේරුන් ගත්තාය. මෙවන් දීප්තිමත් දෙනෙතක් මෙයට වසර ගණනාවකට පෙර තමා වෙතත් නැඹුරු බොහෝ සුන්දර එහෙත් වේදනාවකින් කෙලවර වූ කතාවක් කියූ බව පබෝදාට මතක් විය

එහෙත් කාලය වෙනස් ය. හිඳින තත්‍ත්වයන්ද වෙනස් ය. එදා තමාට ඒ දිලිසෙන දෙනෙතට පිටුපාන්නට වුවද කැළුමිනී මේ දිලිසෙන දෙනෙත් ඔස්සේන් කියන්නට හදන කතාව අසා හිඳින්නටවත් මොහොතක් හෝ වැය කරාවිද යන්න ගැන පබෝදාට සැකයක් නොතිබුනා නොවේ

එහෙත් මේ පුංචි ලමුන් නොවේ. ජීවිතේ මැදි වියට එළඹි මිනිසුන්‍ ය. කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක් ද යන්න ගැන අපි ඔවුන්ට කියා දිය යුතු නොවේ.

පබෝදාගේ වදන් මත සැඳෑ වී කැලුමිනී හමු වන්නට එහි එන්නට අවසර ලබා ගත් අරවින්ද නික්ම ගියේ සතුටිනි. සැබවින්ම තමන්ට සඳරුගෙන් වන පුරප්පාඩුව මකාලන්නට යමෙකු අවශ්‍ය බව ඇත්තකි. එහෙත් කැලුමිනීට ඒ අවස්තාව ලබා දී තමා විසින් පුරවන්නට යන්නේ ඒ පුරප්පාඩුවම පමණක් නොවන බව අරවින්ද දැන උන්නේය

සයිඩ් කාරය සහිත ස්කූටරයේ නැගී නිවස බලා යන තුරුත් අරවින්දගේ මුවගින් උරුවම් බෑමක් ඔස්සේ එලියට විසි වූයේ ඒ හිත අභ්‍යන්තරයේ වූ ප්‍රේමයේ වින්දනාත්මක බිඳිතිය. 

සීරුවෙන් කඳු අතරින් ආ සුදු පැහැ අවුඩි කාර් රිය නතර වූයේ එන්සල්වත්ත තැපැල් කාර්‍යාලය අසලය. දහවල් තුන පසු වී තිබුණ නිසාවෙන්දො තෑපැල් කාර්‍යාලය වසා දමා තිබුනි. එහෙත් යා යුත්තේ කා හමුවන්නටද කියා දන්නා බැවින් ගැටලුවක් නැත. අසාගත යුත්තේ ඇයගේ නිවසට යන පාරය.

සුදු පැහැ අවුඩිය ආයෙමත් පණ ගැන්වී මදක් දුර ඇදී ගොස් නැවතුනේ තේ දලු පිරුණු මලු වගයක් කරේ තබාගෙන පල්ලම් බහින මිනිසුන් දෙදෙනෙකු අසලිනි.

සිනා කටක් සමග විවර වුන සුදු පැහැ කාරයේ රියදුරු අසුනින් එබිකම් කර තැනැත්තා සමග සිනා නොවී සිටින්නට හැකියාවක් ඒ ගම්වාසීන්ට තිබුනේ නැත.

“පබෝදා ගුණසේකරගෙ ගෙදර කොහෙද තියෙන්නෙ?”

එහෙත් ඒ මිනිසුන් එකිනෙකාගේ මුහුණ බැලුවේ එවන් අයෙකුව නොදන්නා බව කියන්නට මෙනි.

“පබෝදා ගුණසේකර? අර තැපැල් කන්තෝරුවේ වැඩ කරන්නේ”

සුදු පැහැ කාරයේ ආ තැනැත්තා නැවතත් එකම ඇසුවේය

“අහ් අර කන්දෙ ගෙදර නෝන ගැන අහන්නේ?” 

ඒ වදන් ඔස්සේ පබෝදා ගුණසේකරගේ කන්දෙ ගෙදර සොයා ගෙන අවුත් එහි පාමුල නතර වුවද එකී කන්ද තරණය කර ඒ නිවසට ගොසින් ඇයව හමුවන්නට සිතට සවියක් නැති බවක් දැනුනේ ඇයිද කියා තමන් නොදන්නා බව ඔහුට සිතුනේය.

මේ මෙයට පෙර එන්නට ද පසුව එන්නට ද තිබූ ගමනක් නොවේ. කිසිදාක එන්නට වෙතැයි කියා නොසිතුවද දැන ගත් පසුව එන්නට වූ ගමනකි. 

මෙතරක් දුරක් ආ පසුව මේ ගමන මේ මගින් නතර කර යාමට හැකි වුවද ඒ ඇයට කරන වරදකි. අසාදාරණයකි. ඒ සිතුවිල්ල ඒ කන්ද තරණය කර ඒ නිවසට ගොසින් ඇය හමුවන්නට දෙපා වලට සවියත් හිතට සවියත් එන්නත් කරේය.

ඒ කුඩා කඳු ගැටය උඩ තිබූ කුඩා නිවස එතරම්ම සැප පහසුව සහිත තැනක් ලෙස නොපෙනුනද සිත අස්වසන්නට සමත් වන අන්දමේ නිස්කලංක වටපිටාවකින් වට වී තිබුනකි.

නිවසේ ඉදිරිපස දොර තිබුනේ හැර දමාය. ඒ කුඩා නිවසේ අස්සක හිඳ එන කුමක් හෝ ඉමිහිරි කෑමක සුවඳක් නැහෑපුඩු පුරවද්දී හෙතෙම සියලු ශක්තිය යොදා ඇයව ඇමතුවේය

“ගෙදර කවුද?”

පබෝදාත් කැළුමිනීත් උන්නේ කුස්සියට වී පෑන් කේක් සකසමිනි. හවස තේ බොන්නට ගොස් හිඳිද්දී පෑන් කේක් කන්නට කැළුමිනීට ආ පුදුමාකාර ආසාව ඒ උයමනට රුකුල් දුන්නකි

නැන්දා විසින් හදන හදන පෑන් කේක් එක කටට රුවා ගනිමින් උන් කැලුමිනීත් පබෝදාත් උයමන නවත්වා එකිනෙකාගේ දෙනෙත් මත කුතුහලයේ රේඛා ඇඳගත්තේ මෙවන් මොහොතක මෙහි එන්නටත්, ඇවිදින් ඔහොම ආගන්තුක බවක් හඟවන්නටත් කෙනෙකු තමාට නොවන බව දන්නා නිසාවෙනි.

සයිඩ් කාරයේ නැගී අරවින්ද පබෝදාගේ නිවස කරා ඇදුනේ උදෑසන පබෝදා සමග කතා කර පරිද්දෙන් කැලුමිනී හමු වී තමාගේ තේ කම්හල් කාර්‍යාලයේ ඇති රැකියා පුරප්පාඩුව ගැන කතා කරනු පිනිසය.

ඒ ඔස්සේ සිත මත ඇඳගත් බලාපොරොත්තු රැසක මල් සිත මත පිපෙන්නට ඉඩ හැර වෙන දෙයක් වෙනු ඇතැයි කියා කැලුමිනීගෙන් ඒ බව අසන්නට අරවින්ද සිතා ගත්තේය.

“උඹ ඉද්දිම ඒ ළමයව අරගන්න එකට උඹ තරහ නෑනෙ”

අරවින්ද කෝකටත් සඳරුට මේ බව කියන්නට සිතුවේ මුල සිටම සහෝදරයෙකු පුතෙකු ලෙස තමා ළඟම උන් ඔහුව පැත්තකට කර දමා තමා තීරණ ගන්නා බවට සිතුවිල්ලක් කිසිවකුගේ සිත මත මුල් අදින්නට ඉඩ නොදීය

“මං ඒ අක්ක මෙහෙ එන්නත් කලින් නෙ කිව්වෙ මහත්තයට තව කෙනෙක්ව බලන්නය කියල”

සඳරු කියන්නෙ සුපුරුදු සිනහව මුව මත ඇඳගනිමිනි.නිතර දෙවෙලේ තම නිවසේත් කැලුමිනී අක්කා ගැන කතාවන් ඇතිවෙන නිසාවෙන් සඳරු උන්නේ ඇයව තමාගේ අක්කා හා සමාන තැනක තබාගෙනය. ඉතින් ඇය මේ මොහොතේ හිඳින දුකෙන් වේදනාවෙන් ගැලවෙනු පිණිස ඇය වෙනුවෙන් යමක් කරන්නට හැකිනම් අපූරු බව සඳරු සිතුවේය

“ඔව් ඒ උනාට මං හිතුව උඹේ හිත රිදෙයිද දන්නෙ නෑ කියල”

“මගෙ හිත රිදෙන්නෙ මොකටද? මම ඇත්තටම සතුටුයි ඒ අක්කට එහෙම හරි උදව්වක් කරන්න ලැබෙන එක ගැන”

“මං උඹේ පඩිය අඩු කරන්නෙ නෑ හොඳේ. අනික උඹ කැම්පස් ගියාමත් මම උඹට ඒ විදියටම උදව් කරනවා”

“ඕකනෙ ඉතින්. හැමතිස්සෙම මහත්තය සල්ලියක් අල්ලගන්නවනෙ”

“හරි හරි මං ආයෙ ඔය ගැන වචනයක්වත් කියන්නෙ නැතුව ඉන්නම්කො. එහෙනම් කොල්ලො මං යනවා. උඹ යද්දි පොඩ්ඩක් බලපන් පිටිපස්සෙ දොරවල් හෙම වහලද කියල. අද කෑම අරන් එන්න යන්නෝන නෑ. මම යනවනෙ ඒ ගමන් අරන් එන්නම්” කියමින් සයිඩ් කාරය සහිත බයිසිකලය පන ගන්වා ගෙන අරවින්ද නික්ම ගියේ කුරුල්ලෙකුගේ සැහැල්ලුවත් සතුටත් සිතේ දරාගෙනය

කඳු අතරින් ඇදී යන මද සුලඟ ගී තනුවක් සේ දැනෙද්දී අරවින්ද සිතෙන් කැලුමිනී හා කියන්නට යන දේ ගැන සිතමින් උන්නේය.

සයිඩ් කාරය සහිත මෝටර් සයිකලය කඳු වටා වගා කර ඇති තේ පඳුරු පසු කර විත් නැවතුනේ අරවින්දගේ සිත් විල පිපුනු උන්මාදිනිය වෙසෙන කඳු පාමුලයි. එහෙත් සිත පුරා මෙතෙක් වූ සතුට වසාගෙන කුතුහලයක සේයාවන් ඇඳෙනු අරවින්දට දැනුනේය.

ඒ කඳු පාමුල නවතා තිබූ සුදු පැහෑ අවුඩි කාරය දැකීම නිසාවෙනි. එහි පුවරුවේ සඳහන් WP සලකුණ නිසා “ඒ කැළුමිනීගෙ හස්බන්ඩ් ද? කියන සිතුවිල්ල සිතට ආවේ නැතුවා නොවේ

එහෙත් ඒ සිතුවිල්ල ඉවතලමින් ඉන්පසුව සිතට ආවේ වෙනත් පැනයකි

“ඒ මනුස්සය ඇවිල්ල ඉන්නෙ කැළුමිනීව ආයෙ එක්ක යන්නද? එහෙම නැත්තම් බැනල යන්නද?”

ඒ කුමක් වුවත් එය සිත බර කරවන්නකි. එහෙත් ඒ බයම වේගයෙන් කඳු ගැටය නැග යන්නට අරවින්දගේ දෙපයට රුකුල් දුන්නේය

කඳු ගැටය ඉහල දකින්නට ලැබුනේ අරවින්ද දකින්නට බලාපොරොත්තු වූ දසුන නොවේ.

කැළුමිනී උන්නේ ඉස්තෝප්පු කෑල්ලෙ තබා ඇති වේවැල් පුටුවේ වාඩි වී හිස දෑත් අස්සේ ඔබාගෙනය. විසිරුනු කෙස් කැරලි ඇගේ මුහුණ වසා ගනිමින් වැටී තිබුණි.

සෙමෙන් ගැස්සෙන උරහිස් කියා පෑවේ කැළුමිනි හඬන බව නොවේද?

එහෙත් අරවින්දගේ සිත වඩාත් බියපත් කලේ ඒ නොවේ

ගැස්සෙන උරහිස් වලින් යුතුව හඬමින් උන් කැළුමිනී ගේ හිස මත අත තබාගෙන බිම බලා ගෙන හුන් තරුණයාය.

ඔහු උන්නේ බරපතල කල්පනාවකය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles