ආදරේ කියන්නෙ සෙක්ස් වලටද?

“ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි” මෙහෙම කියන්නෙ අපේ නන්දා මාලිනී මහත්මිය.

මේ සිංදුව විතරක් නෙවෙයි ආදරය කියන්නෙ රාගයෙන් සහමුලින්ම මිදුණ හැඟීමක් බව කියවෙන සිංදු අපි ඕනතරම් අහල තියෙනව. ඒ උනාට ආදරය කියන්නෙ ඇත්තටම රාගයෙන් තොර දෙයක්ද? රාගය කියන දේ එහෙම නැතිනම් සෙක්ස් කියන දේ ආදරයක් ඇතුලෙ තියෙන්න විදියක් ඇත්තෙම නැද්ද?

ආදරය කියන්නෙ හිත පතුලෙන්ම ඇතිවෙන ඉතාම සුන්දර හැඟීමක් බව මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. ආදරය කියන්නෙ අපි හැමෝම ජීවිතයේ එක මොහොතක හරි විඳල තියෙන දෙයක්නේ.

“ප්‍රේමය ලොව හැම තැනම ඇතී හැම දෙනටම හමුවෙලා ඇති

එනමුදු ප්‍රේමය කිමැයි කියා හඳුනාගත් කිසිවෙකුත් නැතී”

කියන්නෙ අන්න ඒ නිසා.

අපි ආදරය ඕනතරම් විඳල තියෙනව. සමහර වෙලාවට ආකර්ශනය හෝ ඒ වගේ වෙනයම් හැඟීමක් අපි ආදරය කියල වරදවා වටහාගෙනත් තියෙනවා.

ඒකට හේතුව හැබෑවටම ආදරය කියන්නෙ මොකද්ද කියන එක අපි නොදැන ඉඳීම.

ආදරේ කියන්නෙ මොකද්ද?

ආදරය කරන එක, ආදරය ලබන එක හරි උතුම්, චමත්කාර ජනක හැඟීමක්. එකම බැල්මකින් ආදරය ඇතිවෙන්න පුලුවන්. කාලයක් ගිහින් ආදරේ ඇතිවෙන්න පුලුවන්. මේ මොන විදිය උනත් ආදරේ හරි වටින බව මම අමුතුවෙන් කියන්න ඕන නැ.

අපි කියනවනේ “ආදරේ කියන්නෙ එයා මට ආදරය කලත් නොකලත්, හිමිවුනත් නොඋනත් ඇතිවන උතුම් හැඟීමක්” කියල. අපි කෙනෙකුට ඇත්‍තටම ආදරය කරනවනම් එයාගෙන් මට තෑගි බෝග නොලැබුනත්, මිල මුදල් නොලැබුනත්, එයා මට වඩා උසස් කෙනෙක් පහත් කෙනෙක් උනත් එයාට ආදරය කරනව කියන කතාව අපේ මිනිස් සමාජය ඇතුලෙ සංකල්පයක් වෙලා තියෙනව. ඒ සංකල්පය බිඳින්න බැරුව ආදරය නිසාම දුක් විඳින අය ඕන තරම් අපි අතරෙ ඉන්නවා.

ආදරේ නම් රූම් එක්ක යනවද?

“එයා ඔයාට ඇත්තටම ආදරේ නම් කවදාවත් ඔයාට රූම් යන්න එන්න කියන්නෙ නෑ” කියල අපි අතරෙ ඉන්න ගැහැණු ළමයින් ළඟ මතයක් තියෙනව. ආදරයට ශාරීරිය පහසක් එහෙම නැත්තම් මේ සෙක්ස් කියන හැඟීම ගෑවුනොත් ඒ ආදරය බොරුවක් බවත්, තමන්ගෙ සහකරු බොරු කාරයෙක් බවත් අපි ක්ෂණිකව තීරණය කරනවනෙ.

ඒ උනාට ටිකෙන් ටික දියුණු වෙල ලෝකෙක මිනිසුන්ගෙ අවශ්‍යතාත් වෙනස් වෙන බව අපි තේරුම් ගන්න ඕන නේද?

ඒ කාලෙ අපෙ ආච්චිල සීයල ආදරේ කරද්දි ලියුම් හෙම හුවමාරු කරගත්ත. අපෙ අම්මල කෝල් එකක් වගේ දෙන්නැති. 90 ගණන්වල අපි ටෙක්ස්ට් මැසේජ් යැව්ව. දැන් ඉන්න ළමයි ආදරය කරන්නෙ වට්සැප්, ඉන්ස්ටග්‍රෑම් වගේ දේවල් හරහා.

ඒ Adapt වීම අපිට පිලිනොගෙන ඉන්න බෑ. එහෙම උනොත් එකම තැන රැඳිල ඉන්න අපිට සිදු වෙනවා. ඉතින් ඒ විදියටම හිතුවොත් තමන්ගෙ ගෙදර පුටුවෙ වාඩිවෙලා ඉන්න ගමන් ලෝකෙ එහා කෙලවරේ වෙන දෙයක් උනත් ෆෝන් එකෙන් බලන්න පුලුවන් ලෝකෙක අපි රාගයට එහෙම නැත්තම් සෙක්ශුවල් එක්ස්පීරියන්සස් වලට නිරාවරණය වුනාට වඩා වේගයකින් වර්තමානයේ දරුවො නිරාවරණය වෙනවා.

ආදරයට සෙක්ස් තහනම් ද?

අපේ අධ්‍යාපන ක්‍රමය, සංස්කෘ තිය වගේ දේවල් නිසා මේ වගේ මාතෘකා එලිපිට කතා බහ කරන්න නුසුදුසු බව අපි හිතුවට ඒව ගැන දැනගන්න තියෙන කුතුහලය අපෙ හිතෙන් අයින් වෙන්නෙ නෑ.

ඉතින් ඇත්තටම සෙක්ස් කියන්නෙ ආදරේට තහනම් වචනයක්ද?

ආදරය කරද්දි ලිංගිකව හැසිරෙන්න ඕනමයි කියල අදහසක් නෑ. එහෙම නෑ කියල කියන්නත් අපිට බෑ. අපි ආදරය කරන කෙනාව ඉඹින්න, තුරුලු කරගන්න, උණුසුම විඳින්න අපිට හිතෙන එක සාමාන්‍ය මනුෂ්‍ය හැඟීමක්.

ඒක මහා ලොකු වරදක් නෙවෙයි.

ලිංගිකත්වය කියන්නෙ ජීවිතයේ එක කොටසක්. හැබැයි ජිවිතයක, ආදරයක තියෙන පදනම ලිංගිකත්වය වෙන්න බැහැ.ආදරය කිසිසේත්ම අපිට ලිංගිකත්වයට සමාන කරන්න විදියක් නැහැ.

ආදරය ඇතුලෙ හමුවන ලිංගිකත්වය

ලිංගිකත්වය ඔයාලගෙ ආදර කතාව ඇතුලෙ යම් තැනකදි ඔයාට මුණ ගැහෙන්න පුලුවන්. හැබැයි අමතක කරන්න එපා ආදරයක් බිහිවෙන්න එකිනෙකා කෙරේ තියෙන විශ්වාසය, කරුණාව, රැකවරණය, රුචිකත්වය, ගෞරවය,සහයෝගය සහ අවබෝධය කියන හැඟීම හේතු කරගෙන.

ඉතින් ආදරය කියන විසල් ගහේ එක අත්තක් විදියට ලිංගිකත්වය ආවට ඒ අත්ත දිගේ යනවද කියන එක තීරණය වෙන්නෙ ඔයාගෙ හිතේ ඔයාගෙ සහකරු ගැන කොපමණ විශ්වාසයක් තියෙනවද කියන කාරණාව මත.

ඔයා ඒ සබඳතාවය පටන් ගන්න ඕන ඒ විශ්වාසය මත. එයාගෙන් ඔයාට හානියක් නොවෙන බවට විශ්වාසයක් තියාගෙන. ඔයාගෙ කැමැත්ත ඇතුව.

ඒ වගේම පිරිමි ළමයගෙ පැත්තෙන් එයා තේරුම් ගන්න ඕන දෙයක් තමයි තමන්ගෙ පෙම්වතියට වේදනාවක් දැනුන තැනක එය තේරුම් ගන්න සහ අවබෝධ කරගන්න. අනවශ්‍ය බලපෑම් නොකරන්න. ඒ වගේම තමන්ට විවිධාකාර ආශාවන් තිබුණත් ඒ සියලුම හැඟීම පිටකල යුතුවෙන්නෙ අනෙක් පාර්ශ්වයේ පූර්ව අනුදැනුම සහ අනුමැතිය සමග බව.

සමහර අය හිතනව ලිංගිකත්වය නොමැති තැනක ආදරයට රැඳෙන්න බැරි බව. ඒක හරියට අර ෆිල්ම් එකක් බලන්න මූවි තියටර් එකකට යද්දි කෙනෙක්ට පොප්කෝන් නැතුව බෑ වගේ. හැබැයි එහෙමයි කියල අපිට කිසිම වෙලාවක ආදරය සහ ලිංගිකත්වය එකිනෙකට සමාන කරන්න බෑ.

ලිංගිකත්වය කියන්නෙ ආදරය Express කරන්න පුලුවන් එක විදියක් කියල කියන්න පුලුවන්. හැබැයි ඒ දේ නැතුව උනත් අපිට ආදරය පෙන්වන්න, දැනෙන්න දෙන්න පුලුවන් ක්‍රම තව මහ ගොඩක් තියෙනව. ආදරය කියන්නෙ හරි පිරිසිඳු දෙයක්. අපි එකිනෙකාට ආදරය කරද්දි අපි අපේ සහකරු සමග සම්බන්ධ වෙන්නෙ චිත්තවේගීයවආදරය අපේ හිතට නැවුම්, ප්‍රීතිමත් ආඩම්බර හැඟීමක් අරගෙන එනවා.කොන්දේසි විරහිතව අපි එයා ගැන හොයනවා.අපි ගතින් එයාගෙන් කොච්චර ඈත උන්නත් ආදරයේ සුවඳ අපි දෙදෙනා අතර හුවමාරු වෙනවා.

ආදරය කියන දේ අපිට එක වචනයකින් අර්ත දක්වන්න බැහැ. ඒක හැඟීම රැසක එකතුවක්. ආදරය කියන්නෙ ගැඹුරු හැඟීමක්. ලිංගිකත්වය ඇතුව උනත් නැතුව උනත් ආදරයකට පැවතෙන්න පුලුවන්.

ඉතින් තමන්ගෙ ආදර කතාව තමන් ලියාගත යුතු වන්නෙ තමන්ට ගැලපෙන විදියට. ලෝකයට ඕන විදියට, සමාජයට බයෙන් තමන්ගෙ හැඟීම් හිරකරගෙන සිටිය යුතු නැහැ.

ආදරය නිදහසේ විඳින්න. හැබැයි ඒ නිදහස එක්ක කොපමණ දුර තමා යා යුතුද කියන සීමාව අමතක නොකර.

Related Articles

Don't Miss


Latest Articles