රිය මහ පාරේ ගියේ ඔහේ මෙනි. තාරා වාහනය පදවමින් උන්නද ඒ හරි සිහිකල්පනාවකින්ද කියා අදහසක් තාරාටවත් තිබුනේ නැත. තමන් ජීවිතය භාරගත්තේ එය මෙසේ අරමුණක් නොමැතිව ඉබාගාතේ යතැයි කියා සිතා නොවේ. එහෙත් සිත අස්සේ ගිගුම් දෙමින් උන් වේදනාව පහ කරගන්නට හැටියක් සිතාගන්නට තාරාටා ක්‍රමයක් තිබුනේ නැත.
ඊයේ රාත්‍රියේ චිරායු විසින් හිත මත පත්තු කල ගින්න මිතුදමේ සිහිලසෙන් නිවාලන්නට අමන්දා උත්සහ කරද තාරා දැවීමම තෝරාගත්තාය.
“දැන් උඹ කියන්නෙ ඒ මිනිහ ආව ගමන් කන්නෙවත් නැතුව නිදාගත්තද?”
වත්සුණු තවරා මනාව හැඩ කොට තබා තිබූ තාරා ගේ මුහුණත මත අමන්දා හදවතේ කැඩපත විසින් අඳින ලද ජායාවන් දුටුවාය. ඉතින් ඒ මුවින් නික්මුනේ නොඅසා ඉන්නට නොහැකි පැනයකි.
“මට තේරෙන්නෙ නැත්තෙ ඇයි චිරායුට බැරි කියල ප්‍රශ්නයක් තියෙනම් මාත් එක්ක කතා කරන්න කියල”
“මට හිතෙන්නෙ චිරායුට තියෙන ප්‍රශ්නෙ බං ප්‍රශ්නයක් නැති එක”
අමන්දා එසේ කිව්වද තාරා උන්නේ ඒ ගැටලුව ලෙහා ගන්නට තේරුමක් නැතුවය. ප්‍රශ්නයක් නැතිකම කිසිවෙකුට ප්‍රශ්නයක් වන්නේ කෙසේද?
ඒ කිව්වේ? යන පැනය නොඇසුවද තාරාගේ දෙනෙත් මත ඒ පැනය ඇඳී තිබෙනු දුටු අමන්දා එයව ඉන් පසු කියනට යන කතාවර ඌණ පූර්ණයක් කරගත්තාය.
“උඹල දෙන්නගෙ ජීවිත දැන් උඹලට පුරුදු වෙලා. උඹ කොච්චර තනිකමක් ගැන කතා කරත් චිරායු ඉන්නෙ එහෙම දෙයක් ගැන ගාණක්වත් නැතුව. මොකද උඹ එහෙම එලියට වැඩිය නොගියට උට යාලුවො ඉන්නව. ඌට යන්න එන්න හැන්ග් අවුට් ස්පොට්ස් තියෙනව. ඇත්තටම උබල දෙන්න අතරෙ ප්‍රශ්නයක් නෑ. උඹල දෙන්න අතරෙ තියෙන්නෙ විසඳගන්න ඕන් එහෙම නැත්තම් පුරවගන්න ඕන කොහොමද මොකෙන්ද කියල තේරුම් ගන්න බැරි විදියෙ තනිකමක්”
“ඉතින් ඒක හරි වැරදියිනෙ. මාව එහෙම කසාදයක් අස්සෙ ගෙයක් අස්සෙ තනි කරල තියන්න නම් අහවල් එකටද අපි කසාද බැන්දෙ?”
“උඹ හිතන්නෙ නැද්ද කවුන්සලින් වගේ ගිහින් බැලුව නම් හොඳයි කියල?”
“කවුන්සලින් යන්න ඕන මම ද? මම නෙවෙයිනෙ.ප්‍රශ්නෙන් සෆර් කරන්නෙ මම උනාට ප්‍රශ්නෙ තියෙන්නෙ චිරායු ලඟනෙ. චිරායුනෙ ප්‍රශ්නෙ. ඉතින් මම විතරක් කවුන්සලින් ගිහින් හරියන්නෙ නැනෙ. එහෙනං චිරායුත් එන්න ඕන. මේ මම කැවද බිව්වද කියලවත් හොයන්නෙ නැති මනුස්සය මාත් එක්ක කවුන්සලින් යන්න එයි කියල ඔයා හිතනවද?”
“දැන් උඹ මේ මගෙ ඇඟට කඩං පැන්නට වැඩක් නෑනෙ බං. උඹ හිතපන් මොකද්ද කරන්න ඕන කියල”
“මට වෙලාවකට හිතෙනව ඇත්තටම චිරායුට ඕන මගුලක් කරගන්න කියල ඩිවෝස් එක දීල ආපහු ගෙදර යන්න. ඉවරනෙ මේ මගුල එතකොට”
“අනේ ගොන් ගෑණි. යකෝ මිනිහ කතා කරන්නෙ නෑ කියල එහෙම එකපාර ඩිවෝස් වෙනවද? දැන් උඹ හිතන්නෙ මේ ඔහොම දේවල් වෙලා තියෙන්නෙ උඹට විතරයි කියලද? මොට්ටය නොවී උඹ මොලෙන් කල්පනා කරල බලපන් කරන්න පුලුවන් මොනවද කියල.
හිතපන්කො මහ ලොකුවට ඩිවෝස් කරනව කිව්වට උඹට චිරායු නැතුව ඉන්න පුලුවන්ද කියල?”
තමා චිරායුට ආදරය කල බව සැබෑවකි. තවමත් ආදරය කරන බව සැබෑවකි.එහෙත් ආදරය වුවත් දිය යුත්තේ පෙරලා එය ලැබෙන තැනකට නොවේද කියා තාරා සිතුවාය. අනෙක් අතට එහෙමයි කියා චිරායුව දමා යන්නට තමන්ට හැකියාව නෑ නොවේද? මොන දේ උනත් මේ විවාහය ඇරඹුවේ කිසි දිනක කිසිම හේතුවකින් හැර දමා යන්නට නොවේ.
එහෙත් මේ දුක, තනිකම දරාගන්නට ඇති ඉඩකඩ තව අල්ප බව තාරා දැන උන්නාය.
“මට මෙහෙම කරන්නෙ ඇයි?” කියා අසද්දීත් නිහඬවම එහා පස හැරී නිදියන මිනිසා තමා කෑ ගසා හඬා වැලපුනද එය ගණන් නොගන්නා බවට තාරා සිතෙන් සිතුවාය. එහෙත් ඒ කුමන හේතුව මැද්දේ වුවත් තමාට චිරායුව දමා යනට නොහැක. එසේ දමා ගොස් ලෝකය ඉදිරියේ දික්කසාද ගැහැණියක ලෙස හංවඩු ගැහෙන්නට නොහැක. ඒ සියල්ලටම වඩා බොහෝ අමාරුවෙන් දරුවන් දෙදෙනාගෙ ජීවිත ඔප දමන්නට කටයුතු කල අම්මාට ජීවිතයේ සැඳෑ සමයේවත් සතුටින් හිඳින්නට ඇති ඉඩකඩ අහුරාලන්නට නොහැක.
එහෙත් එහෙමැයි කියා මේ සියල්ල තව කොච්චර කාලයකට නම් දරාගන්නයි කියාද?
“මට චිරායු දාලා යන්න බැරි ලොකුම හේතුව අම්මා අමන්දා. මම ඩිවෝස් වෙලා ගෙදර ගිහින් කොහොමද අම්මගෙ මූන බලන්නෙ? තාත්තා නැතිවෙච්ච දවසෙ ඉඳල අම්ම මොනතරම් නම් මහන්සි උනාද අපිව මෙතනට අරගෙන එන්න.
අම්මා අක්කටත් වඩා බැලුවෙ මං ගැන. එහෙම එකේ මම ඩිවෝස් වෙලා ගෙදර ගියොත් අපේ අම්මට පිස්සු හැදේවි.
එහෙම බැලුවොත් මට ඩිවෝස් වෙන්නවත් නිදහසක් නෑ අමන්දා. මං…මං ගිය ආත්මෙක කරපු ලොකු පවක් වෙන්නැති බං මේ ගෙවන්නෙ. මං වරදක් කරල චිරායු මාව මග අරිනවනම් මම ඇත්තටම මෙච්චර දුක් වෙන්නෙ නෑ. මට දුක මම කිසිම වරදක් නොකර, කිසිම විදියකින් එයාගෙ හිත රිද්දන්නෙ නැතුව, ඇත්තටම ගෑණියෙක් තමන්ගෙ මිනිහට කරන්න ඕන හැම දේම කරල දීලත් චිරායු මාව අමතක කරල ඉන්න එක.
එයා හරියට ගෙදර ඉන්නෙ ඒ ගෙදර මම කියල කෙනෙක් නෑ වගේ. මාව පේන්නෙ නෑ වගේ. බෙඩ් රූම් එකේදි උනත් එච්චරයි. එයාට මහන්සි ඇති ස්ට්‍රෙස් ඇති ජොබ් එක මම නෑ කියන්නෙ නෑ. ඒ උනාට මාත් එක්ක වචනයක්වත් කතා නොකර ඉන්න තරම් එයාට ජොබ් එක ඉම්පෝටන්ට් ද?
අනික ෆයිනෑන්ස් සෙක්ටර් එකේ වැඩ කරන පලවෙනි මනුස්සය චිරායු නෙවෙයිනෙ. එහෙනම් අපෙත් මිස්ට කුලවංස හෙම නෝනල බබාලා එක්ක ට්‍රිප් යන්නෙ නැතුව ඉන්න ඕනනෙ.
මේක මගෙ පවක් කියල හිත හදාගන්නව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ දැන්”
ඒ වදන් අග සිනහවකි. එහෙත් එන සතුටට බර සිනහවක් නොවේ. දුකටත් ආත්මානුකම්පාවටත් බර සිනහවකි. තාරා ඒ වදන් අවසානයේ පෑ ඒ සිනහව දුටුවේ අමන්දා නමුත් ඒ සිනහව තාරා විසින් එල්ල කරනු ලැබුවේ තමන්ගේ අභ්‍යන්තරයට පව අමන්දා දැන උන්නාය.
“අපි මෙහෙම දෙයක් කරල බලමුද?”
අමන්දා එසේ ඇසුවේ ඒ සිනහවෙන් ඉරිතැලුනු හැඟුම් ඇතිවය. මෙඅන් මොහොතක නැති මිතුදම් ඉතින් කුමටද? අනෙක් අතට තාරා වනාහී පිරිමියෙකු පෙරුම් පුරා ලබාගත යුතු අන්දමේ ගැහැණියක බව අමන්දා දැන උන්නාය. රූමත්කම උගත්කම පරදවා ඇය ලඟ තිබූ මනුසත්කම, සොයා බැලීම වැනි දේ සහමුලින්ම විඳිනට ඉඩකඩ තිබියදීත් චිරායු මෙසේ හැසිරෙන්නට හේතුව කුමක් ද කියා අමන්දාට සිතාගන්නට හැකියාවක් තිබුනේ නැත.
“ඊට කලින් මට මේක කියපන්කො”
“මොකද්ද?”
“උඹට හොඳටම ශුවර් නේ චිරායු මෙහෙම උඹව ඩෝන්ට් කෙයාර් සීන් එකේ ඉන්නෙ ඌට වෙන අෆෙයාර් එකක් නැති හන්ද කියල?”
ඒ වනාහී විවාහක බිරිඳකගේ සිත උඩ ගිනි දල්වන්නට හේතුවන වදනක් වුවද තාරා එයින් දැවුනේ නැත. තමාව ගණන් නොගත්තද, තමා නොමැතිවාක් මෙන් ජීවත් වුවද සිතින් හෝ ගතින් එකතු නොවුවද චිරායු පුලස්ති කුලතුංග වනාහී එවන් මිනිසෙකු නොවන බවට විශ්වාසයක් ඔහුට හදවතින්ම ආදරය කල, ආදරය කරමින් උන් තාරා ඉන්ද්‍රචාපා මුණවීර තුල තිබුනි.
චිරායු ඉන්නේ තමාව එපාවීමකිනි. ඒ එපාවීම මත පමණක් තමාව ජීවිතයෙන් හැරදමන්නට බැරි නිසාවෙන් චිරායු රැකියාව මත්තේ පමණටත් වඩා වෙහෙසෙමින් හිඳින බව තාරා සිතුවාය.
ඒ එපාවීම මත ඔහු තමාව සිතෙන් අත් හැරදමමින් හිඳිනවා හැරෙන්න එතැනට වෙන කෙනෙකුව රැගෙන එතැයි කියා තාරා කිසිසේත් සිතුවේ නැත.