අනෝරා මල් වැහි 06

හමුවීම් මහ පුදුමාකාර බව තාරා සිතුවාය. සියල්ලටම වඩා අහඹු හමුවීම් පුදුමාකාර බව තාරා සිතුවාය.නොසිතු නොපැතු මොහොතක නොසිතු විලාසයෙන් ඔහුව යලි දකින්නට ලැබීම අමුත්තක් ලෙස තාරා හිතින් පිලිගත්තාය. 

ඔහුගේ සිනහවට පිළිතුරක් ලෙස තමා සිනාසිය යුතුද කියාවත් නිනව්වක් තිබුනේ නැත. එහෙත් නොදැනීම වගේ දෙතොල මද සිනහවකින් හැඩවෙන්නට ඇති වග තාරා තේරුම්ගත්තේ ගී වැල් අතරින්ම දෙතොල විදා පිදූ සිනහව ඔහුගේ දෙනෙත් අග්ගිසටත් ඇදී ගිය පසුවය.

“ඔබේ දෙනුවන් මැවුම්කාරයි

මගේ හැඟුමන් පෙමින් පායයි

ආදරේ නම් මේ දැනෙන්නේ 

මදහසයෙන් මුව සැරසේවී

දෑත ගන්නම් හීන නිම්නේ 

මා සොඳුරු හැඩකාරී”

ගීය ගයා අවසානයේ ඔහු තමා කරා ආවේත් ඒ සිනහව සමගින්මය. තමන් කිව යුත්තේ කුමක්ද, ඔහු මොනවා අසාවිද යන්න ගැන කුතුහලයක් සිත උඩ පැලපදියම්ව තිබුන නමුත් තාරා ඒ මොහොත සැහැල්ලුවෙන් භාරගත්තාය.

මේ ඔහුව හමුවන දෙවන අවස්තාවය. පලමු අවස්තාවේදීවත් ඔහු ගැන එහෙමකට කියා විශේෂත්වයක් නොදැනුන තැනක මේ දෙවන හමුවීම සිදුවන්නට තිබූ අහඹුතාවයන් ගැන තාරා තප්පරයක් වැය කර සිතුවාය.

“මැඩම් කොහොමද?”

ඔහු සුන්දර සිනහවකින් මුව සරසාගෙන ගිටාරය අත් දෙකින්ම අල්ලාගෙන අසයි. තාරා කල්පනා ලොවින් මෙලොවට ආවේ ඒ වදන් ඔස්සේය. ගීයක් ගයා අවසාන වෙද්දිත් අවන්හල එහෙමකට කියා පිරී තිබුනේ නැත. එහෙත් එහි යම්කිසි පිරුණු බවක් නොවුවා නොවේ. පාලුවක්, තනිකමක් රජයනවා වුව ඒ පාලුව තනිකම තුල මේ අවන්හලට ආවේණික යම් කිසි අපූර්වත්වයක්, පිරුණු බවක් තිබෙන බව තාරා සිතුවාය.

“මැඩම්ට මාව මතකද දන්නෙ නෑ. මම ආයු…”

තමා ඔහුගේ ප්‍රශ්නයට පිලිතුරක් නොදුන් බව තාරාට මතක් වූයේ ඔහු තමාව හඳුන්වාදෙන්නට වදන් සොයමින් ඉද්දීය. අමතක වු ලෙසින් හැසිරෙන්නට ඉඩකඩ කොතෙක් තිබුනද තාරාගේ මිනිසත්කම, කරුණාබර බව එයට ඉස්සර විය. 

“අනේ නෑ මට මතකයි.එදා ආයුර් එකේදි මට හම්බුනානෙ”

තාරා පැවසුවේ ආයාසයෙන් සිනහව මුව මත ඇඳගනිමිනි. එදා ට්‍රීට්මන්ට් එක අතරවාරයේ, බොහෝ කලකින් ගතටත් සිතටත් දැනුන සුව පහස අතරවාරයේ තමන්ට හැඬුණු බව මොහුට මතකද යන්න තාරාගේ හිතට ගැටලුවකි. එය ඔහුට මතක නැති නොවන්නට කාරණවක් නැති බව සිතෙද්දි ඔහු දෙස බලා හිඳින්නටතබා ඔහු අසල රැඳෙන්නටවත් බැරි අන්දමේ අපහසුතාවයක් සිතට දැනේ. අනෙක් අතට තමන් ඒ ගැන එහෙමකට කියා වද විය යුතු නැත. දිනකට මිනිසුන් රැසක් යන එන ආයුර් ස්පා වැනි තැනක තෙරපිස්ට් වරයෙකුට කඳුලක් හෙලූ පමණින් කස්ටමර් කෙනෙක්ව මතකයේ තබාගන්නට හේතුවක් තිබිය නොහැක.

“මැඩම් නිතරම මේ කැෆේ එකට එනවද?”

ඔහු අසන්නේ මොහොතකටවත් ඒ සිනහව දෙතොලිනුත් දෙනෙතිනුත් ඉවත් කරගන්නේ නැතුවය. එය එක්තරා අතකින් පැහැදිලි, පිවිතුරු සිතුවිලි ජනිත කරවන්නක් වුවද තාරාට එයින් මද අපහසුවක් නොදැනුනා නොවේ.

“නෑ. මම අදමයි ආවෙ”

“ඒක තමයි මම මැඩම්ව මීට කලින් දැකල නෑ”

“ඔයා මෙහෙ වර්ක් කරන්නෙ පාට් ටයිම්ද?” 

“නෑ මැඩම් මම මෙහෙ වර්ක් කරන්නෙ නා. ස්පා එකේ මගෙ ඕෆ් ටයිම් එක ගොඩක් වෙලාවට ඊව්නින්ග්ස් වල වැටෙන්නෙ. මම සින්ග් කරන්න විතරයි මෙහෙ එන්නෙ”

තාරා සිනාසුනාය. ස්පා එකක සේවය කරද්දි ලැබෙන වැටුප මදි නිසාවෙන් ඔහු මෙසේ අවන්හල්වල ගී ගයමින් හිඳින බවත්, දුප්පත් තරුණයෙකු විය හැකි බවටත් තාරා සිතෙන් ඔහුව තක්සේරුවට ලක් කරාය.

එතනින් එහා කිව යුත්තෙ කුමක්ද කියා අදහසක් තාරාට තිබුනේ නැත. තවදුරටත් තමා ගිලී හුන් වේදනාවේ ගිලෙන්නට, චිරායු ගැන මතකයන්වල ගිලෙන්නට නොහැකි බවක් තාරාට දැනුනි. මෙතෙක් වෙලා මේ අවන්හලේ පිරී තිබුන, තනිකමේ ගිලුන හිත සනසන පාලුව මේ තරුණයා සමග කතබස් කිරීමෙන් පසු ගිලිහී ගිය බවක් දැනෙද්දී තව දුරටත් අවන්හලේ රැඳෙන්නට උවමනාවක් තාරාට තිබුනේ නැත.

පැමිණ මහ වේලාවක් ගත නොවුවද අහසත් වටපිටාවත් තිබුනේ අඳුර පිලිගන්නට දෑත විහිදමිනි. අනෙක් අතට මේ මෙවන් ගමනක් පැමිණි පලමු දවසය. ඉතින් කලින් නිවෙස බලා යාම හොඳය. චිරායු වෙනසකට හෝ කලින් පැමිණියහොත් තමා මෙසේ පමා වී ඒම ගැන ඔහු වරදවා සිතන්නට හැක. ඒ සිතුවිලි රැහැන ඔස්සේ තාරා මේසය මත තිබූ තම බෑගය අතට ගත්තාය. බිල්පත රැගෙන එන්නැයි වේටර්වරයෙකුට අතින් සන් කලාය. නික්ම යනු පිණිස සැරසුණාය. වේටර්වරයා ගෙනා බිල්පත සහිත පොත තුලට තම බැංකු ඩෙබිට් කාඩය් ඇතුලත් කලාය. නැවත ඔහු බිල ගෙවා ආ පසු එය ගත්තාය. මේ සියල්ල සිදුවෙද්දිත් ඔහු මද සිනහවක් දෙතොලේත් දෙනෙතේත් රඳවාගෙන බලාගෙනම උන්නාය. 

“ඕකේ, මම එහෙනම් ගිහින් එන්නම්. නයිස් ටු මීට් යූ”

තාරා ඒ සිනහවෙන් මිදෙනු පිණිස අත වනා අවන්හලෙන් නික්මුනාය.එහෙත් එහි සිට යලි නිවසබලා එද්දිත් ඒ තරුණයා සිත පත්ලේ කෙලවරක සිනාවෙමින් හිඳි බව තාරා දුටුවාය.

අවන්හලේ හිඳ තාරා ආවේ අන්දකාරයෙන් වැසී තිබූ නිවෙසකටය. චිරායු වේලාසනින් පැමිණ ඇතැයි කියා සිතූ නිවෙස තුල චිරායුගේ සෙවනැල්ලකවත් සේයාවක් ඇඳී තිබුනේ නැත. නිවසේ විදුලි පහන් එකින් එක දල්වමින් ගිය තාරා විසල් විසිත්ත කාමරයේ සුවපහසු සෙටිය මත ඇද වැටුණාය. ඒ නිසොල්මනේ තවත් වේලා තනිකම සුන්දරව ගීතයක් අසමින් විඳ දරාගන්නෙ නැතුව චිරායු වෙනුවෙ පාලු, අන්දකාර නිවසකට ඒම ගැනය. චිරායු වෙනස් වී ඇතැයි සිත රවටාගැනීම ගැනය.

මද කුසගින්නක් නැගී එන බව දැනුනද කුස්සියට ගොසින් කිසිවක් පිලියෙල කරගන්නා රිසියක් තාරාට තිබුනේ නැත. උයන්න හිතෙන්නේ කන්න ආසා කරන මිනිසුන් ඉද්දි පමණකි. 

හෙමින්සැරේ පිය ගැට පෙල නැග යමින් ඉද්දී තාරා පසෙක බිත්තියේ අමුණා ඇති තමාගේත් චිරායුගේත් විවාහයේදී ගත් ජායාරූප නැවත බැලුවාය. මදකට පියගැටපෙලේ නතර වී නැවත ඒ ජායාරූප වල හිනාවෙමින් හිඳින චිරායුත් තාරාත් දෙස බැලුවාය. මතකයෙන් ඒ මොහොත වෙත ගියාය.

“ඔන්න රෙජිස්ටාර් ඉස්සරහ මම කතා කරද්දි මගෙ දිහා බලන්න එපා”

චිරායු කිව්වේ කණට කොඳුරමිනි. ඒ මොහොතේ තාරාත් චිරායුත් උන්නේ ජායාරුප වලට සිනාපාමිනි. චිරායු කියන කතා තාරා භාරගත්තේ ද සිනවෙමිනි. තමන්ගේ සාරි පොටේ එක් කෙලවරක් අල්ලා ගෙන තනින් මෙතනටත් මෙතනින් අතනටත් චිරායුත් තාරාත් ඇවිදිමින් උන්හ.

“ඇයි?”

“ඔයා මගෙ දිහ බැලුවොත් මට වැරදෙයි කියන එක”

“පිස්සු. හරි කමක් නෑ. මම බලන්නෙ නැතුවම ඉන්නම්කො. ඔයා එතකොට වරද්දන්නෙ නැතුව කියන්නකො”

එදා රෙජිස්ටාර්වරයා ඉදිරියේ එකිනෙකාට විවාහ පොරොන්දු දෙද්දි තාරා චිරායු දෙස හොරැහින් බැලුවාය. ඒ මනමාල මද සිනහවක් දෙතොලේ රඳවාගෙන. ඉතින් මේ මිනිසා අදින් පසු සදහටම හිඳින්නේ තමන් පසෙකින් බව තාරා එදා සිතුවාය. 

එහෙත් අද තමා පසෙකින් නැත්තේත් ඒ මිනිසාමය. නිදන කාමරයට ගිය තාරා හෑන්ඩ් බෑගය කාමරය පසෙක් ඇති වේවැල් රාක්කය මත තබා සපත්තු ගැලවුවාය. අනතුරුව පැලඳ උන් කරාබුත්, ඇපල් අත් ඔරලෝසුවත් ගලවා තැබුවාය. දුරකතනය චාජ් වෙන්න දැම්මාය. මුදා හැර හුන් කෙස් කලඹ උඩට කර ගැට ගසා ගත්තාය. ඇඳුම්.කබඩය වෙත ගොස් හෙට දිනයේ කාර්‍යාලයට අඳින්නට ඇඳුමක් තෝරාගෙන එය මැද තැබුවාය. අනතුරුව නාන කාමරය වෙත ගොස් උණු දියෙන් ඇඟ සෝදා ගත්තාය. රෝස්මරී තෙල් හිස ආලේප කර හිස් කබල මසාජ් කරගත්තාය. මේ සියල්ල අවසාන වනතුරුත් චිරායු නිවස බලා අවේ නැත.

තාරා වට්සැප් පණිවිඩ කිහිපයක් යැවුවද චිරායුගේ පසින් එයට කිසිම පිලිතුරක් ආවේ නැත. සතියකට සැරයක් එන හිසරදය ඔලුව වෙලාගෙන ඇති බව දැනෙද්දි තාරා චිරායුගේ කාර්‍යාල කාමරය වෙත ගියේ පැනඩීන් පෙත්තක් අරගන්නටය.

කොතෙක් පැනඩෝල් බිව්වද සුව නොවන හිස කැක්කුම පැනඩීන් පෙති දෙකකින් ලැබෙන්නෙ එහි ඇති මාත්‍රාව ඉක්මන් නිදිමතක ගෙන එන නිසාදැයි කියා හරි අදහසක් නැත. එහෙත් මේ මොහොතේ අවශ්‍ය නින්දකුත්, හිස කැක්කුමෙන් මිදීමකුත්‍ ය.

මේ කාමරය කාර්‍යාල කාමරය යැයි නම් කර තිබුනද චිරායු නිවසේ සිටින වෙලාවලින් බොහෝ වෙලාවක් ගත කරේ ඒ කාමරය ඇතුලේය. තාරා ඒ කාමරය වෙත ගියේ ඉඳහිටකය. 

චිරායුගේ කාර්‍යාල මේස ලාච්චුවේ පැනඩීන් ඇති බව තාරා අත්දැකීමෙන් දනී. 

චිරායුගේ කාර්‍යාල මේස ලාච්චුවෙන් පැනඩීන් කාඩ් එකක් ගත් තාරා නැවත හැරී දොර වෙත විත් කාමරයේ විදුලි පහන් නිවනු පිණිස බිත්තිය මත රඳවා තිබූ ස්විචයට අත ගෙන ගියාය.

එහෙත් අත නතර වූයෙ දෙනෙත යමක් දුටු නිසාවෙනි. දොරට දකුණු පසින් ඇති වේවැල් කන්සෝලය උඩ තිබුනේ චිරායුගේ ගමන් බෑගයයි. ඒ ගමන් බෑගය මෙයට පෙර මෙසේ එලියේ තිබෙනු තාරා දුටුවේ මෙයට මාසකිහිපයකට පෙර චිරායුගේ උපන්දිනය සමරනු පිණිස කණ්ඩලම හෝටලයේ දෙදිනක් ගෙවන්නට ගිය නිවාඩුවෙය. කාමරයේය අල්මාරිය උඩ තබා ඇති බෑගය ඔවුන් එලියට ගත්තේ එවන් දුර ගමනක් යන මොහොතක පමණි.

එසේ නම් ඒ බෑගය චිරායුගේ කාර්‍යාල කාමරයේ කන්සෝලය මත තිබෙන්නෙ ඇයිද?

ඒ පැනය තමාගෙන් අසමින්ම තාරා වේගවත් පියවර තබා නිදන කාමරය වෙත දුව ගියාය. අල්මාරියව්හැර චිරායුගේ ඇඳුම් ඇති කොටස වෙත දෙනෙත් යොමු කලාය.

අනතුරුව ඇඳ මත කල්පනා කලාය. දෙනෙත් අගින් කඳුලු කැට ගලා හැලෙද්දී බොහෝ දේ සිතුවාය. ඒ සිතුවිලි සියල්ල සම්බන්ද වූයේ එකම අරමුණකටය.

“චිරායු ගෙදරින් යන්නද හදන්නේ?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles