පොඩ්ඩන්ට රසම රස ඩෝනට් හදමු.  

ඩෝනට්ස් (doughnuts) වලට ආස කරන දැක්ක දැක්ක තැන ඩෝනට්ස්ම ඉල්ලන පොඩ්ඩෙක් ඔයාටත් ඉන්නවද?

පොඩ්ඩො විතරක් නෙමෙයි නැතුව අපි කවුරුත් ආසාවෙන් කන්න කැමති රසම රස ඩෝනට්ස් ගෙදරදීම හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් රසවත් රෙසිපියක් එක්කයි ඔන්න අද අපි ඔබත් එක්ක එකතු වුනේ. 

එහෙනම් අපි අද බලමු රසම රස ග්ලේස්ඩ් ඩෝනට්ස් (glazed doughnuts) හරිම විදිහට හදාගන්නෙ කොහොමද කියල?

මුලින්ම බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය (ඩෝනට්ස් 18 ක් සඳහා)

ඩෝනට්ස් සඳහා – 

  • කිරි කෝප්ප 1 ⅛ ක්
  • සීනි කෝප්ප ¼ ක්
  • වියළි ඊස්ට් තේ හැඳි 2 ¼ ක්
  • බටර් කෝප්ප ¾  ක්
  • බිත්තර 02 ක් (ගසාගෙන)
  • පිටි කෝප්ප 04 ක්
  • ලුණු කුඩු තේ හැඳි ¼ ක්
  • තෙල් ( බැඳගැනීම සඳහා )

තැවරුම සඳහා – 

  • කුඩු කරගත් සීනි කෝප්ප 03 ක්
  • ලුණු කුඩු ½ ක්
  • වැනිලා තේ හැඳි ½ ක්
  • සීතල වතුර හෝ කිරි කෝප්ප ⅓ ක්

සාදාගන්නා ආකාරය

අපි මුලින්ම ඩෝනට්ස් හදමු.

මුලින්ම කිරි මඳ රස්නයක් ලැබෙන සේ උණු කරගන්න. (සෙල්සියස් අංශක 100 – 110 ත් අතර) 

දැන් කිරි ටික සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයකට දමා එයට සීනි එකතු කරගන්න.

සීනි හොඳින් දියවන තුරු හැඳිගා එයට ඊස්ට් එකතු කරගන්න. කිරිත් සමඟ ඊස්ට් කලවම් කර විනාඩි 10 ක් පමණ තබන්න. 

බටර්, මයික්‍රොවේව් හෝ ඩබල් බොයිල් ක්‍රමය (උණුවතුර භාජයක් උඩින් බටර් භාජනය තබා දියවෙන තුරු තබන්න) දියකර ගන්න. 

දිය කරගත් බටර් හැන්ඳකින් සෙමින් හැඳිගා ගන්න. එවිට බටර් වල තද උෂ්ණත්වයක් තිබේනම් එය ඉවත්ව කාමර උෂ්ණත්වයට පත්වේ. 

කාමර උෂ්ණත්වයට පත්වූ දියකර ගත් බටර් වල ගසාගත් බිත්තර දෙක එකතු කර හොඳින් කලවම් කරගන්න. 

තරමක් විශාල භාජනයක් ගෙන එයට සාදාගත් බිත්තර සහ බටර් මිශ්‍රණය එකතු කරගන්න. 

එයටම කලින් සාදාගත් ඊස්ට් මිශ්‍රණය එකතු කරගෙන සාමාන්‍ය වේගයකින් බීටරයක් ආධාරයෙන් විනාඩි කීපයක් බීට් කරගන්න. (නැත්නම් හැන්ඳකින් හොඳින් කලවම් කරගන්න)

වෙනම භාජනයක් ගෙන පිටි සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් සාදාගත් පිටි මිශ්‍රණයෙන් ටිකෙන් ටික බිත්තර මිශ්‍රණයට එකතු කරමින් බීට් කරගන්න. 

පිටි සියල්ල බිත්තර මිශ්‍රණයට එකතු කරගත් පසු විනාඩි 05 ක් 07 ක් පමණ බීට් කරගන්න. 

පිටි මිශ්‍රණය ගුලියක් සේ සකස් වී ඇති බව ඔබට දැකගන්න පුළුවන්. 

දැන් වෙනම භාජනයක් ගෙන එහි තෙල් ස්වල්පයක් ආලේප කරගන්න. 

සාදාගත් පිටි ගුලිය එයට දමා උඩින් තෙල් ස්වල්පයක් ආලේප කර වතුර බේරාගත් තෙත රෙදි කැබැල්ලකින් හෝ පොලිතින් වලින් භාජනය හොඳින් ආවරණය පැය 08 ක් හෝ රැයක් ශීතකරණයේ තබන්න. 

පිටි මිශ්‍රණය ශීතකරණයෙන් ඉවතට ගන්න.

පැතලි මතුපිටක් හෝ ලෑල්ලක් මතට පිටි ස්වල්පයක් ඉස පිටි මිශ්‍රණය ඒ මතට දමා අඟල්  ⅓ ක් ¼ ක් පමණ ඝනකමක් ලැබෙන සේ තුනී කරගන්න.  

දැන් අඟල් 3 ක පමණ විශ්කම්භයක් ඇති කටර් එකක් හෝ පියනක් භාවිතයෙන් ඒ මත විශාල රවුම් කපාගන්න. 

රවුම් කපාගත් කටර් එකට වඩා කුඩා කටර් එකක් හෝ පියනක් (අඟලක පමණ විශ්කම්භයකින් යුතු) භාවිතයෙන් මැද රවුම් කපාගෙන ඩෝනට්ස් හැඩයෙන් යුතු රවුම් ලබාගන්න. 

රවුම් කපාගෙන ඉවත් කරගත් පිටි මිශ්‍රණය නැවත තුනී කර ඒවාගෙන් නැවත රවුම් කපාගන්නත් ඔබට පුළුවන්. (ඉවත් කරගත් පිටි ගුලියක් සේ සකසා නැවත තුනී කිරීමට පෙර විනාඩි 15 ක් පමණ තබන්න.)

දැන් සාදාගත් ඩෝනට්ස් බැඳ ගැනීමට පෙර කඩදාසියකින් වසා පැයක් හෝ පැය එකයි කාලක් පමණ තබන්න. 

දැන් තරමක් විශාල භාජනයක් ලිපතබා එයට ගැඹුරු තෙලේ බැඳීමට ප්‍රමාණවත් තරම් තෙල් එකතු කරගන්න. 

තෙල් හොඳින් රත්වූ පසු සාදාගත් ඩෝනට්ස් දමා එක් පැත්තක් රන්වන් පැහැවන තුරු දෙපැත්ත හරවමින් බැඳගන්න. 

ලිපෙන් ඉවතට ගත් ඩෝනට්ස් උණුසුම ඉවත්වන තුරු තබන්න.

ඒ අතර තැවරුම සාදාගන්න අපිට පුළුවන්. 

තරමක් විශාල භාජනයක් ගෙන එයට කිරි, කුඩු කරගත් සීනි, ලුණු සහ වැනිලා එකතු කර මෘදු මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් කලවම් කරගන්න. 

ඩෝනට් වල භාගයක තැවරෙන සේ නිමුණු ඩෝනට්ස් එකින් එක සාදාගත් තැවරුමේ ගිල්වා ගන්න. 

තවරුම ගෑවුනු කොටස උඩ අතට තබා එකින් එක අසුරා ගන්න. 

ඔන්න දැන් රසම රස ඩෝනට්ස් පිළියෙල කර අවසන්.

එහෙනම්, රසට පිරිසිදුවට හරියටම හදපු ඩෝනට්ස් ඔබේ පොඩ්ඩොත් එක්ක රසවිඳින්න දැන් ඔබටත් පුළුවන්. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles