මල්කාන්ති වූ කලී සිය දරුවන්ගේ නිදහසට කිසි දා බාධා නො කළ අම්මා කෙනෙකි. ඔවුන්ගේ තීරණ ගැන අදහසක් දුන්නා මිස බලපෑමක් නො කළ අම්මා කෙනෙකි. නමුත් මේ වෙලාවේ ඔවුන්ට ඉඩ දී නිකං බලං ඉන්නට ඇයට ඕනෑ වූයේ නැත. සිය අභිමතාර්ථය ජයග්‍රහණය කරවනු වස් ඇයත් නො දැන ඇය අරගලයකට අවතීර්ණ වී සිටියා ය.
මල්කාන්ති ඉක්මන් ගමනින් සයුරංගනා ගේ නිවස ඉදිරියට යන විට ඇය රූපවාහිනී නාලිකාවට යාමට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියා ය. කලබලකාරී විලාශයකින් යුතු මල්කාන්ති දුටු සයුරංගනා ගේ හද ගැස්මෙහි ක්ෂණික තීව්‍ර වීමක් සිදු විය. සැබවින් ඇයට වචන අමතක විය.
“අනේ රංගනා බලන්නකො..මං කපු මහත්තය අතේ අර මනමාලිගෙ ගෙදරට පණිවිඩේත් යැව්ව හෙට එහෙ එනව කියල..මේගොල්ලො මේ ට්‍රිප් එකක් යන්න දාගත්ත කියනව”
සයුරංගනා යමක් කියන්නට උත්සාහ කළා ය. කිව යුත්තේ කුමක් දැයි හරියට ම නො දැන වුව යමක් කියන්නට ඇයට ඕනෑ විය. නමුත් තොල් සැලුණා පමණකි. ඇගේ මුවින් වදනක් පිට වූයේ නැත.
“අනේ ඕක වෙන දවසකට දාගන්න රංගනා. මේක වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවේනෙ…”
මල්කාන්ති ගේ දෑස් සයුරංගනා වෙතින් ඉල්ලීමක් කරමින් සිටියේ ය. ඒ ඉල්ලා සිටීමෙහි මහත් ආයාචනාත්මක බවත් සයුරංගනා දුටුවා ය. ඇගේ පපුවෙහි පිච්චීමේ සංවේදනයක් ඇති විය. ඇය අසරණකමෙහි කරවටක් ගිලී යමින් සිටියා ය. මල්කාන්තිට බෑ කියන්නට බැරිකමක් සයුරංගනා වටකොට ගත්තේ ය.
“අනේ ඇන්ටි…ම්..මං..”
ඇයට ගොත ගැසිණ. පාරමී ඉක්මන් ගමනින් ඔවුන් වෙත ආවේ එතකොට යි. යශෝදර ද තේමිය ද ඈ පිටුපසින් පැමිණියහ. සයුරංගනා පිහිට ඉල්ලන දෑසකින් ඔවුන් දෙස බැලුවා ය.
“අම්ම මේ කෙල්ලට බණින්නෙපා හරිද…මේක අපි දාගත්ත ගමනක්”
පාරමී එසේ කීවේ තරමක් තදිනි.
“කවුද බැන්නෙ…මට පිස්සු කියල හිතුවද රංගනාට බණින්න…මං කිව්වෙ මේ ගමන වෙන දවසකට දාගන්න කියල”
මල්කාන්ති පාරමී දෙසට දැඩි බැල්මක් හෙලා දැඩි ස්වරයකින් ම කීවා ය.
“මට..මට ප්‍රශ්නයක් නෑ පාරි. ඕගොල්ලො තීරණේ කරන්න. මං…ඕන දවසක යන්න කැමතියි”
එහෙම කියාගන්නට තරම් තමන්ට දිරිය දීම ගැන සයුරංගනා දෙවියන්ට ස්තූතිවන්ත වූවා ය. හිස කෙලින් තබා ගෙන සිටියාට ඇගේ ඇතුළාන්තයෙහි පුදුම කැළඹීමක් වේ. එය දරා ගත නො හැකි තරම් අසහනකාරී බවකි. අපහසුවකි.
“නෑ ඒ දවස වෙනස් කරන්නෑ”
සියල්ලන් අතරින් පෙරට ඇවිත් ප්‍රදීපාගාරයක් සේ නැගී සිටියේ ඔහු ය. යශෝදර රාමනායක ය. සයුරංගනා ගල් ගැසී ගියා ය. තමන් පත්ලට ම සමතලා වන්නා සේ මල්කාන්ති ට දැනෙන්නට විය. යශෝදර ගේ ඇස් වල තියුණු ස්ථිරසාර බවක් විණි. කිසිවෙකුට, දෙවියන්ටවත් ඔහු වෙනස් කළ නො හැකි බව ඒ පෞරුෂය නිහඬව මුත් හඬ නගා කීවේ ය. සයුරංගනා ට සිය දෑත් වල හීගඩු පිපෙනු දැනිණ. ඇය දෑත් දෑතේ අතැඟිලි වලින් පිරිමැද ගත්තා ය. මල්කාන්ති අදහා ගත නො හැකි දෑසකින් වැඩිමල් පුතු දෙස බලා සිටින්නට වූවා ය.
“ලොකු පුතා…”
“වෙනස් කරන්නෑ අම්මෙ…ඒ වගේම…වෙනස් කළත්…මං ඔය මනමාලියො බලන ගමන් වලට එන්නෑ. අම්ම ඒව දාගන්නත් එපා. මට කියන්න තියෙන්නෙ එච්චරයි”
යශෝදර ගෙතුලට ගොස් කෝපි මේසය මත තබා තිබූ රියෙහි යතුර අතට ගත්තේ ය. මල්කාන්ති ගේ ඇස් වලට කඳුළු පිරී එමින් තිබිණ.
“ඔයා ආවත් නැතත් අපි මේ ගමන යනව රංගි. ඒක නිසා නිකං අපරාදෙ ඔයා යන්නෑ කියල කියන්නෙපා. අම්ම රංගිගෙන් එහෙම පොරොන්දුවක් ගන්නත් එපා. ඒකෙන් වෙන්නෙ ඒ කෙල්ලට යන්න නැති වෙන එක විතරයි”
එය හදිසියේ නැගී ආ සුනාමියක් සේ ය. ඇවිත් එය එහෙම ම යළි බැස ගියේ ය. නමුත් සෝදාපාළු වීමක සලකුණු හැම තැන ඉතිරි ව තිබිණ. මහත් මූසල නිස්සාර බවක ශේෂයන් අවශේෂ ව තිබිණ.
“යං”
යශෝදර රියට නැගෙනා ලෙසට සයුරංගනා ට හිසෙන් ද ඉඟි කොට ගොස් රියට නැගුණේ ය. සයුරංගනා හිටියේ බයබිරාන්තව ය. ඇය පාරමී දෙස ද මල්කාන්ති දෙස ද මාරුවෙන් මාරුවට බැලුවා ය. මෙතෙක් ඈතට වී නිහඬ ව සිදු වෙන දේ දෙස බලා උන් ජයරත්න ඇය වෙතට ආවේ ය.
“දුව මේ දේවල් නිසා ඔළුව අවුල් කරගන්නැතුව යන වැඩේ හරියට කරන්න”
ඔහු ඇගේ හිස් මුදුනෙහි අත තබා කීවේ ය. පපුව පැලෙන්නට එන දුකක් සයුරංගනා ට දැනිණ. ඇස් කඩා ගෙන ගංවතුරක් සේ පිටාර ගලන්නට එන කඳුළු වලට ඇය වැටකඩොළු බැඳ ගෙන සිටියා ය.
“ගිහිං එන්නං අප්පච්චි”
කියා ඕ ජයරත්න ඉදිරියෙහි නැවී ඔහු ගේ පාදය අතින් ස්පර්ශ කළා ය.
“හොඳයි හොඳයි තෙරුවන් සරණයි”
“මං යන්නං ඇන්ටි”
“හරි රංගනා. පරිස්සමෙන් ගිහින් එන්න”
මල්කාන්ති සිටියේ ද අහසින් පොළොවට වැටුණා වන් අන්දමන්ද වීමක් තුළ ය. පාරමී සයුරංගනා ගේ බඳ වටා අත දමා ගෙන රිය වෙතට ඈ හා ගියා ය. ඇයට මිතුරියගේ පහසෙහි සැනසිලි හැඟීමක් නො දැනුණා නොවේ. නමුත් හදවත මැද්දේ සූර්යයෙකු ගේ උණුහුම විය.
“අවුල් යන්නෙපා හරිද…”
පාරමී ඒ වචන තුනෙහි උපරිම ආදරයක් තැවරුවා ය. සයුරංගනා සිනහ වීමේ උත්සාහයකින් හිස සැළුවා ය. සිනහ වෙනවාට වඩා මේ වෙලාවේ හඬන එක පහසු බව ඇයට දැනෙමින් තිබිණ. නමුත් ඕ වඩා අපහසු දේ තෝරා ගන්නට රිසි වූවා ය.
රිය නික්ම යත්දී ජයරත්න ගේ පපුවෙන් සුසුමක් ගිලිහී ගියේ ය. ඔහු මල්කාන්ති දෙසට යොමු වූයේ ය.
“දැන් කාලෙ ළමයි අපේ කාලෙ ළමයි වගේ නෙවෙයි නංගියෙ. දැන් තරුණ ළමයි හිතන පතන විදිහ වෙනස්. ඒ ළමයි ජීවිතේ දකින විදිහ වෙනස්”
මහා අවබෝධයක් ඔහු ගේ ශාන්ත ස්වර අතරේ විය.
“මං එකක් දන්නව..මේ දරුවො නරක ළමයි නෙවෙයි. එයාලගෙ හිත් රිද්දන්නෙත් නැතුව…අපේ හිත් රිද්දගන්නෙත් නැතුව අවබෝධයකින් කටයුතු කරන්නයි තියෙන්නෙ”
ඇය එකට එක කීවේ නැත. වේදනාත්මක පරාජිත බවක් මල්කාන්ති ව වටකොට ගෙන තිබිණ.
“පහළ තැනින් වතුර බහිනව වගේ හැම එකටම රංගි අක්කව අල්ලගන්න එපා අම්මෙ. පව් නැද්ද ඒ කෙල්ල…රස්සාවට යනකොට උදේ පාන්දරම ඔළුව කෑවහම ගිහිං ඒකවත් හරියට කරගන්නෙ කොහොමද…අනික මේ ක්ලාක් වැඩක් කරනව නෙවේනෙ…”
ගෙදර ගිහින් තේමිය ද අම්මාට දොස් කීවේ ය. මල්කාන්ති කාටත් නොපෙනී කඳුළක් පිස ගත්තා ය.
“අන්තිමට අම්ම තමයි හැමෝටම වැරදි. හැම දේටම වැරදි”
ඇය නාසය උඩට ඇද්දා ය.
සයුරංගනා සිටියේ ග්ලැස්යරයක් වී ය. ඇගේ පපුව සුළං කපොල්ලක් සේ විය. පෙනහලු වලින් වරින් වර සුසුම් බැහැර විණි. ගැබ්බර වළාවක් සේ ඇය දරා සිටියා ය. කඩා වැටෙන්නට පෙර තවත් ඉවසිය යුතුයි කියා ඉවසා ගත්තා ය.
“ඔහොම ඉන්න එපා”
අන්තිමට යශෝදර මුමුණා කීවේ ය. සයුරංගනා ඔහු දෙස හිස හරවා බැලුවා ය. පැත්තට පෙනෙනා ඒ මුහුණේ මහා කරුණාවක් ඇයට දැනේ. ඉකි ලලා හඬන්නට සිතෙන්නේ එතකොට ය. ඒත් ඇය සියල්ල තමන් තුළ වාවා ගත්තා ය.
“මං ඉන්නවනෙ”
“අනේ ඔහොම කියන්නෙපා යශෝදර”
තවත් දරා ගන්නට බැරිව ඇය උගුර යටින් කීවා ය.
“මට මේ ඇති. ඔයා දුන්නු හැඟීම ආත්ම ගාණකට මට ඇති. කොහොමද කියන්නෙ..කොහොමද කාටවත් තේරුං කරන්නෙ…ගිම්හාන් මගෙ මහත්තය…අවුරුදු පහක් මං එයා ළඟ හිටිය. එයා මට මෙහෙමයි කියන්න අඩුවක් කළේ නෑ. හැම දේම දුන්න. හිඟන්නියක් වෙලා ඉපදුණ මාව එයා ළගට අරං රැජිණකට වගේ සැලකුව. මං මොනාද එයාට කියන්නෙ…මට මොන අඩුවක් කළා කියන්නද…ඒත්…මංවත් දන්නැති අඩුවක් තිබුණ. එයාටත් එහෙම දැනුණද කියල මං දන්නෑ. ඒ අඩුව මොකද්ද කියල මට තේරුං යන්න ගත්තෙ එයා නැති වෙලාත් කල් ගෙවෙනකොට. ඒක මහ අමුතු හිස්තැනක්. එයා ගෙනත් දීපු කිසි දේකින් පියවන්න බැරි වුණ හිස්තැනක්. මේ මං ගිම්හාන් ගැන වරදක් දොසක් කියනව නෙවෙයි. එයා මට ආදරේ කළාද නොකළද කියල මං දන්නෑ. ඒත් අපි අතරෙ කවදාවත් පියවන්න බැරි හිස්තැනක් හීනි දිය පාරක් වගේ ගලං ගියා. අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ දිය පාරට වැටිල අපිට තදින් ලං වෙන්න ගියෙ නෑ කියල දැන් මට හිතෙනව. ඔව් අපි කවදාවත් රණ්ඩු වෙලා නෑ. එයා මට කිසි දේකට දොස් කියල නෑ. මටත් එයා ගැන කියන්න වචනයක්වත් එයා ඉතුරුකරල ගිහින් නෑ. අපි හරි සාමයෙන් ඒ ගේ ඇතුළෙ ජීවත් වුණා. ඕන කෙනෙක් හරි ලස්සන පුංචි පවුලක් කියල කියන විදිහට අපි ජීවත් වුණා. ඒත් අර හීනි දිය පාර හැමදාමත් අපිව ටිකක් ඈත් කරල තිබුණ. එයාගෙන් මට කවදාවත් නොදැනුණ හැඟීම…වෙන කිසි පිරිමියෙක් නිසා මීට කලින් මං විඳල නැති ඒ හැඟීම…එක වචනයක්වත් කතා නොකර හිටියත් ඔයා ළඟදි මට දැනෙනව. යශෝදර…ඔයා දන්නවද මට ඒ ඇති. මේ ජීවිත කාලෙටම ඇති. මං දන්නව…මට ආයෙ පිරිමියෙක්ගෙං ආදරයක් ගැන අහන්න ඕන නෑ. මට ආයෙ කාටවත්ම ලං වෙන්න ඕන නෑ. ඔයා ඒ මනමාලි බලන්න යන්න. ඔයා ලස්සන පොඩි ගෑනු ළමයෙක්ව බඳින්න ඕන කියල මං පිළිගන්නව. දරුවෙක් ඉන්න කණවැන්දුම් ගෑනියෙක් නෙවෙයි. ඔයාගෙ අම්ම නොකියා කියන්නෙ ඒක. දෙයියනේ ඒක ඒ අම්මගෙ අයිතිය. මං එයාට කිසිම දොසක් කියන්නෑ. මං ගැන හිතන්නෙපා යශෝදර. එසඳිව හදාගෙන තනියම ජීවත් වෙන්න මට පුළුවන්. දැන් මං සතුටෙන්. ඔයා ඒක දන්නව. ඒ සතුට එහෙමම තියෙද්දෙන්. ගෙදර ප්‍රශ්න ඇති කරගන්නෙපා. මං නිසා එහෙම කරන්නෙපා. ප්ලීස්…”
ඒ තරම් දෙයක් කියා ගන්නට හිතට හයිය ලැබුණේ කොහෙන්ද කියා සයුරංගනා දන්නේ නැත. නිහඬ කඳුළක් කොපුල් තලා දිග රූරා යමින් තිබිණ. නමුත් ඇයට සැහැල්ලුවක් දැනිණ. අනපේක්ශිත ලෙස යශෝදර ඇගේ උකුල මත වූ සුරත අල්වා ගත්තේ ය.
“දැං මං ජීවත් වෙන්නෙ හරි මැරෙන්නෙ හරි ඔයයි එසඳියි නිසයි. වෙන කවුරු නිසාවත් ඒක වෙනස් වෙන්නෑ. අම්ම මගෙ හිතේ අම්මට අයිති තැන හැමදාම ඉන්නව. හැබැයි ඔයයි එසඳියි ඉන්න තැන වෙනස් කරන්න අම්මටත් බෑ. ඒක එච්චරයි”
“යශෝදර”
“අපි හෙට ඒ ගමන යනව”
“යශෝදර..”
“මිනිස්සු එයාලට හිතෙන දේවල් කියයි. හිතන දේවල් හිතයි. මිනිහ මැරිල අවුරුද්දක් යන්නත් කලින් වෙන මිනිහෙක්ට ලං වෙන්න මේ ගෑනිට පුළුවන් වෙලා කියල හිතන මිනිස්සුත් එහෙමම හිතාගත්තාවෙ සයූ. ඒ මිනිස්සු දකින්නෙ ඒ මිනිස්සුන්ට පේන කෝණ වලින් මිසක් මුළු දර්ශනේ ම නෙවෙයි. කිසි කෙනෙකුට කවදාවත් ඒව වෙනස් කරන්න බෑ. පිටින් බැලුවට ඇතුළෙ තියෙන දේ පේන්නෑ. ඒත් ගිම්හාන් දන්නව මොකද්ද වුණේ කියල. එයා යන්න ගිය නිසා එයාගෙ වයිෆ් ළමයත් එක්ක මේ ලෝකෙ මැද්දෙ නතර වෙන්න ඕන කියල හිතන්නෑ ඌ. සුළි කුණාටුවක් වුණත් ඇවිත් යනව සයූ. අපි ටිකක් අල්ලන් ඉමු. මගෙන් ඈත් වෙන්න හදන්නෙපා”
ඇගේ අත අල්වා ගෙන ඉන්නා ඒ අත මත සයුරංගනා ගේ දෑස් නතර වී තිබිණ. ඒ අත තදින් වැළඳ සිප ගන්නට මහ රළක් සේ නැගී හා ආශාවේ හැඟීම ඕ උපන් ගෙයි ම ගබ් සා කොට දැමුවා ය.