නිම් නැති නිම්නය 15

දික්කසාදය සඳහා සිතාසි අත පත් මොහොතේ කාශ්‍යප ගේ ආත්මය දෙදරා, පුපුරා, කැබලි වී, සුණු විසුණු වී, අළු දුහුවිලි වී ගියේ ය. එය වූ කලී බෝ වෙලාවක් කම්පන තරංග වල තීව්‍රතාව පහ ව නො ගිය විදාරණයකි. දික්කසාදය! එය මුහුණ දීමට ඒ තරම් අසීරු සිදුවීමක් වෙතැයි විවාහය හැර ආ ගමනේ දී ඔහු ට සිතී තිබුණේ නැත. එසේ ම ආරාධනා මේ සා ඉක්මනින් එවන් ක්‍රියා මාර්ගයකට යතැයි ද ඔහු සිතුවේ නැත. දික්කසාදය! එය සිදු වෙන්නට යයි!

කාශ්‍යප කාර්යාලයෙන් පිට වූයේ ය. ඔහු ගේ සපත්තු අඩි පොළොවේ ගැටෙත්දී නැගුණ හඬ ඔහු ව ම බියපත් කරවනා ලදී. රිදුමක් ද දැවිල්ලක් ද දැවීමක් ද කියා වෙන් කොට හැඳින ගත නො හැකි සංවේදනයක් බඩ පපුව පුරා මීදුමක් සේ ගලා හැලෙමින් ද ඉතිරී පැතිරෙමින් ද තිබිණ. එය බෙහෙවින් බරැති හැඟීමකි. හිස බිමට යොමු කර ගෙන රථ ගාල වෙතට ගිය හෙතෙම රියෙහි නැගී, යන්නේ කොහේ දැයි අරමුණකින් තොර ව ම එය පණ ගන්වා ගත්තේ ය. කොළඹ නගරය පුරා ඇතැම් විට එක ම මග කිහිප වර වන සේ වට ගසමින් සිටි ඔහු ට නැවතීමක අවශ්‍යතාවය තදින් දැනෙන්නට වූයෙන්, බම්බලපිටිය දෙසට රිය ධාවනය කොට සමුද්‍රාසන්න මං පෙතක ඇතුළතට ම වන්නට රිය නතර කළේ ය. රියදුරු අසුන ළඟ පැති වීදුරුව විවර කළ ඔහු, අසුන මඳක් පසු පසට වන සේ පහසුවට සකසා ගත්තේ ය. දිගු කමිස අත් වල බොත්තම් පන්නා, වැළමිට සන්ධිය තෙක් ඒවා ඔසවා දැම්මේ ය. අනතුරුව අසුනේ දිගා වී ඇස් පියා ගෙන සුරතේ ඇඟිලි වලින් නළල තද කොට ගත්තේ ය. හිස පුපුරු ගසමින් ඇති බවක් ඔහු ට දැනුණේ ඒ වෙලාවේ ය. 

මේ සිදු වන්නේ හොඳ ම දේ ද කියා සිතන්නටවත් අයිතියක් තමන් වෙත නැති බව ඔහු නො දැන සිටියා නොවේ. නමුත් කාශ්‍යප එහෙම සිතුවේ ය. ගේ අත්හැරියේ ඔහු ම වී ද, මේ ක්‍රියා මාර්ගය ගන්නට ඇය ඉක්මන් වූවා වැඩි යයි ඔහු ට සිතිණ. පපු කුහරය තුළින් මේ හමා යන තද කුණාටුව හෘදයාබාධයක පෙර නිමිත්තක් විය නො හැකි ද කියා, හිටි ඉරියව්වේ සිට ම වමතින් පපුව අල්වා ගෙන ඔහු සිතුවේ ය. කාශ්‍යප හෙමි හෙමිහිට පපුව පිරිමැද ගත්තේ ය. ඒ අතරේ ඔහු ත් නො දැන ම ඇස් කෙවෙනි වලින් පිට වූ කඳුළක් කන් පෙත් අතරින් සැඟවී ගත්තේ ය. 

විවර වූ කවුළුවෙන් රිංගා ගත් බලහත්කාර මුහුදු සුළඟක් රිය තුළ දඟයක් පෑවේ ය. ඒ තෙත් බර ලවණ සුළඟේ කඳුළු සුවඳ තැවරී තිබිණ. ඔහු ට සාගරයේ ඉකිබිඳුම් හඬ ඇසිණ. මේ මරණාසන්න මොහොත යයි කාශ්‍යප සිතුවේ ය. ඔහු ට නොයෙකුත් කල්පනා පහළ විය. ආරාධනා ගේ පින්තූරයක් බඳු සිනහවත් සඳ මුහුණත් ඇස් වල තදින් ඇලී සිටිනවා සේ විය. බිඟුනි ගේ ළෙංගතු හා හෘදයාංගම ආදරයත්, සඳයුරු ගේ බිළිඳු කිරි සුවඳත් ඔහු ගේ පපුව පත්ලෙන් නැගී ආවේ ය. සිදුහත් නම් අඹු දරුවන් දමා අභිනික්මන් කළේ සංසාරික නිර්වාණ මාර්ගයක් සොයා ගෙන ය. නමුත් ඔහු සෙවූ නිර්වාණය කුමක් ද? එය හුදු ආත්මාර්ථකාමී හැඟීමකින් සිදු කළ අත්හැරීමක් බව කාශ්‍යප ඉඳුරා දැන සිටියේ ය. නමුත් ඒ වෙලාවේ වෙන කරන්නට දෙයක් තිබුණේ නැත. තමන් විශ්වාස කොට පැමිණ ජීවිතය ඉත සිතින් බෙදා ගත් ගැහැනියක අත් හැර දැමීම සාහසික බව ඔහු නො දැන සිටියා නොවේ. නමුත් ඒ වෙලාවේ සිතුණේ, හදවතින් ඇය ළඟ නො සිට ඇය තව දුරටත් රැවටීම පාපයක් කියා පමණකි. අවස්ථාවේ හැටියට ඔහු ගත්තේ හදවතට එකඟ තීරණයකි. නමුත් එය කිසි සේත් සාධාරණ වූවක් නොවේ. සාධාරණීකරණය කරන්නට ද නුපුළුවන.  අනිත් කාරණය, එසේ සිතීම ද හෘදය සාක්ෂියෙන් ගැලවීම වෙනුවෙන් මවා ගත් ව්‍යාජයක් නොවන්නේ ද?

ආරාධනා හා දරුවන් අත් හැරීමත් සෞභාග්‍යා තෝරා ගැනීමත් අතරේ වන සැබෑව නිරුවත් ව දකින්නට ඇස් පියා ගෙන ම කාශ්‍යප උත්සාහ කළේ ය. විවිධ හේතු මත පිරිමි හා ගැහැනු උනුන් අත් හරිති. පෙම් කොට හෝ නො කොට විවාහ වී ද විවාහයෙන් යම් කලක් ගත වෙන විට ඒ බැඳීම කඩා බිඳ ගෙන යන්නට හේතු කාරණා උදා විය හැකි ය. නමුත් කාශ්‍යප ට ආරාධනා අත් හරින්නට කිසිදු හේතුවක් තිබුණේ නැත. පෙම් කොට විවාහ නොවී ද ඇය කුළ ගෙයි මිණි පහන් දැල්වූ පාදපරිචාරිකාවකි. අන්න අරක ය කියා ඇඟිල්ල දිගු කොට පෙන්වන්නට වරදක් අදට ද ඇය වෙතින් ඔහු ට සොයා ගත නො හැකි ය. එනයින් මේ අත් හැරීම කාගේවත් වරදක් මත සිදු වූවක් නොවේ. එය තනිකර ම මනුශ්‍ය හැඟීම් මත සිදු වූවකි. නමුත් ඊට වරද කරුවෙකු සිටී. ඒ ඔහු ය! මන්ද යත් විවාහ බැඳීමක් ගැන තීරණ ගැනීම කිසි සේත් හැඟීම් මත නොව බුද්ධිය මත සිදු කළ යුත්තක් වන බැවිනි.

කාශ්‍යප වූ කලී කුඩා කල පටන් ඔහු ගේ ඉලක්ක වෙත ගිය මිනිසෙකි.  ඉලක්ක කොට ගත් යමක් ජයග්‍රහණය කොට ගෙන මිස ඔහු ගේ ගමනක් නැවතී නැත. ඒ නිසා ම ඔහු ට අතර මග නතර වන හෝ පරාජය භාර ගන්නා මානසිකත්වයක් වූයේ ම නැත. ඒ මනෝ තත්වය මත එල්ල වූ එක ම කම්මුල් පහර සෞභාග්‍යා අහිමි වීම ය. එද ඔහු ගේ කිසිදු අඩුපාඩුවක් වූ නිසා නොවේ. සෞභාග්‍යා ව උදුරා ගැනුණේ ඒ දෙමව්පියන් ගේ ව්‍යාපාරික ගිවිසුමක් වශයෙනි. 

සෞභාග්‍යා රැක ගත නො හැකි වීම කාශ්‍යප තුළ ඇති කළේ බලවත් හීන මානයකි. ඒ පරාජයේ සෙවනැළි නිතර ම ඔහු ගේ මනසෙහි හොල්මන් කරන්නට ගත්තේ ය. සපුරා ගත නො හැකි වූ ඉලක්කයක් ගැන හැඟීමක් ඔහු ට එලවා එලවා පහර දෙන්නට විය. ඉන් මුවහ වනු වස් ඔහු ගාල් වූ සෙවන ආරාධනා නම් විය. ඒ හෙවන යට සැක සංකා නැතිව රැය පහන් වූයේ ය. ලෝකයට පේන්නට සුන්දර බිරිඳක් ද පැටවුන් කෑ ගසන කැදැල්ලක් ද ඔහු ට වූයේ ය. නමුත් ලෝකය තබා ආරාධනා වුව දන්නේ නැති ව සඟවා ගෙන උන් ඉඩක් කාශ්‍යප ගේ හද නිධානයෙහි විය. සෞභාග්‍යාගෙන් මිස වෙන කිසිවෙකු වෙතින් ඒ ඉඩ පුරවා ගත නො හැකි බව කාලයත් සමග ඔහු වටහා ගනිමින් සිටියේ ය. නමුත් වෛවාහක බොහෝ ගැහැනුන් පිරිමින් මෙන්, ඒ ගැන පැමිණිලි කරන්නට කෙනෙකු නොමැතිව කරබා ගෙන ජීවිතය ගෙවමින් සිටියේ ය. හිස් තැනක් කියන්නේත් කොයි තරම් බරක් ද කියා දන්නේ එහෙම මිනිසුන් පමණකි. ඒ අතරේ හරි හදිසියෙන් සෞභාග්‍යා යළි සිය ජීවිතයට පසෙකින් පායා එත්දී කාශ්‍යප ට දැනුණේ පෙර කී හිස් තැන පිරී යන වේගය ගැන හැඟීමක් පමණකි. එතැන්හිදී අනිත් සියල්ල අවශේෂ වී ගියේ ය. එය වැරදි වී ද, වැරැද්දක් වෙන බව දැනුණා වී ද ඔහු ට ඒ වැරැද්දෙන් අත්මිදෙන්නට ඕන වුණේ නැත. 

එදා ආරාධනා යටපත් කර ගෙන උන් වේදනාව යළිත් ඉස්මතු වී ආවේ ය. ඇය හාල් හෝදා රයිස් කුකර් එක ක්‍රියාත්මක කළේ නාසය උඩට අදිමිනි. ඒ බැඳීම තව දුරටත් එපා කියා ම සිතුණේ වී ද බැඳීමක් කඩා දමත්දී රිදුම් ඇති වෙන එක වලකා ලිය නො හැකි ය. ඊටත් වඩා අනපේක්ෂිත ලෙස අමු අමුවේ ම බැඳීම් වල පෙකණි වැල් කපා දමන්නට සිදු වෙත්දී!

“ඒක පිච්චීමක්නං ඔයා තරංම මාත් පිච්චෙනව රාධා. ඒක දුකක්නං ඔයා තරංම මාත් දුක් වෙනව. ලොකයියට එහෙම කරන්න ඕනෙ කියන කුරිරු සතුටට යටින්…මහා ලොකු දෙයක් අපිට නැති වෙලා යනව කියන දරා ගන්න බැරි වේදනාව පපුව තද කරනව”

එදා දවල් සැනසුම් පායට පැමිණ සිටි කාවින්දි නෙත කඳුළක් පිස දා ගත්තා ය. ඒ නෑ කම් මේ දික්කසාදය නිසා නැති ව යන්නේ නෑ කියා ඉර හඳ සපථ කොට කීව ද වේදනා අකා මකා දමන්නට ඒ සමත් වන්නේ නොවේ.

“මං හැම තිස්සෙම හිතන්නෙ…ගිය ආත්මෙක අපි ඔක්කොමල එකට එකතු වෙලා ලොකු පාපයක් කරල ඇති කාවි”

“ලොකයිය වගේ කෙනෙක්ගෙන් මෙහෙම වරදක් වෙයි කියල හීනෙකින්වත් මං හිතුවෙ නෑ. කාටද හිතන්න පුළුවන්…එයා එහෙම කෙනෙක්ද දෙයියනේ…අපි කොහොම කාව විශ්වාස කරන්නද…ඉස්සර මං පොඩියියට කියනව රාධා දිහා එහෙම බලල අහු වෙන්න එපා කියල. ඔයාව මේ ගෙදරට එක්කං එන්න මට තිබුණ එකම බය පොඩී ඒ කාලෙ. හතර වටේම කෙල්ලො යාළු කර ගන්න පොඩී ඔයාට නරක විහිළුවක් හරි කළොත් අපේ යාළුකං නැති වෙයි කියලයි මං බයේ හිටියෙ. ලොකයිය ගැන ඔයාට කියපු දවසෙ මගෙ හිතේ තිබුණ සතුට…ඒ සතුට තරංම අද මං විඳෝනව රාධා. වෙලාවකට මට හිතෙනව මේක දරා ගන්න බැරුව මං මැරෙයි කියල. ලොකයියට ඔයාව නැති වුණ එක ගැන දුකක් නෙවෙයි ඒක. අපිට ඔයාව නැති වෙයිද කියන එක ගැන බයක්…මට ඔයාව නැති වෙයිද කියල බයක්..”

“ඒ…යි”

ආරාධනා කාවින්දි ගේ අත් ගොබයෙන් අල්වා ගත්තේ එක් වර ම ඇය හඬන්නට පටන් ගත් නිසා ය. ඒ ඉකිළුම තව දුරටත් දරා ගන්නට කාවින්දි සමත් වූයේ නැත.

“පිස්සුද…එහෙම මුකුත් වෙන්නෑ. මේ මං වගේ හිත හයිය කරං ඉන්නවකො…පොඩි එකෙක් වගේ අඬන්නැතුව”

ආරාධනා සිනහවක් නගා ගත්තේ අතිශය හිත දැඩි කර ගෙන ය. හඬන්නය කියා හදවත ඉල්ලා සිටින වෙලා වලදීත් සිනහ වෙන්නට සිදු වෙන එක කෙතරම් දුෂ්කර ක්‍රියාවක් ද කියා දන්නේ එහෙම මොහොතවල් අත් විඳින්නට සිදු වූ මිනිසුන් ය. හිත නිතර හැඬුම්බර වූවාට හා ඉඳහිට කඳුළක් ඉනුවාට, කඳුළු වලට කිසිත් කළ නො හැකි බව දැන් ආරාධනා දනී. කඳුළු වලට කරන්නට හැකි හිසරදය හදනා එක විතර ය. 

“මං සැනසුම්පායෙ නැති වුණා කියල අපේ යාළුකං නැති වෙන්නෙ කොහොමද…මට ගමනක් යන්න ඕන වුණොත් ඔයාටයි කතා කරන්නෙ. ඔයාට වැඩක් තිබුණොත් මං ඉන්නවනෙ අනේ හැමදාම. දැං ඉතිං වයසත් ගෙවී ගෙන යනව. අපි ඉස්කෝලෙ හිටිය හරි කැම්පස් එකේ හිටිය හරි පොඩි උන් නෙවේ. ළමයින්ගෙ අම්මල දැන්. ඒත් වයසට යද්දිත් එකටම වයසට යං කාවි. මගෙ ළමයි දෙන්නගෙ නැන්දා ඔයා. ඒ දෙන්නටත් හැමදාම ඔයා ඕනෙ. ඒගොල්ලොන්ගෙ ආච්චි සීයා ඕනෙ. බාප්ප ඕනෙ. කාශ්‍යප ගියාට පස්සෙ බිඟු කවීශ්වරට ගොඩක් ක්ලෝස් වෙලා. සමහර විට උසාවියෙන් කාශ්‍යප ට ළමයි දෙන්න ගෙනියන්න දවසක් දෙයි. මං ඒ කිසි බැඳීමක් කඩල දාන්නෑ කාවි. ඔයා නැතුව මට කවුද යාළුවෙක්ට කියල ඉන්නෙ…”

මේ වගේ සාමාන්‍ය කතා බහේදීත් මේ තරම් උගුර රිදෙන්නේ ඇයි දැයි ආරාධනා දැන සිටියේ නැත. එදා දිවා ආහාරය පිසුවේ ඔවුන් දෙදෙනා එක්ව කතා බහේ යෙදෙමිනි. කවීශ්වර දිවා ආහාරයට ගෙදර පැමිණියේ ඔහු ගේ අලුත් මෝටර් රථයෙනි. 

“දැනටම මේකෙ කෙල්ලො කී දෙනෙක් විතර දාං ගියාද…”

කාවින්දි එසේ විමසුවේ ආරාධනා සමග මිදුලේ රෙදි වනනා අතරේ කවීශ්වර රියෙන් බසිත්දී ම ය.

“අඩෝ”

කවීශ්වර නැගණිය ගේ කොණ්ඩෙන් ඇද්දේ ය. කාවින්දි පසෙකට පැන ගත්තා ය.

“පද හදන්නෙපා හරිද…”

ආරාධනා ගේ මුව මත මඳහසක් තැවරී ඇති බව, පැත්තක් පමණක් පෙනෙනා ඒ මුහුණේ ඉරියව්වෙන් වුව කවීශ්වර  දනී. ඒ මඳහස ආඩම්බර එකකි. සාඩම්බර එකකි. ඇය මේ ගෙදරට එන්නට ගත් මුල් යුගයේ ඒ බැල්මේ වූ ආඩම්බරය, කාශ්‍යප ගේ මනාලිය වී පැමිණියාට පස්සේත් එසේ ම තිබිණ. පෙර දී ඇය ඔහු මගහැරියාට ගෙදර සාමාජිකයෙකු වූවාට පස්සේ එහෙම නො කළ බව කවීශ්වර ට මතක ය.

“මෙන්න කවීශ්වර තේ එක”

කියා ගෙන කාමරය ඇතුළට ම ආ වෙලාවකත් ඔය මඳහස සේ ම ආඩම්බරය ද එසේ ම පැවතිණ. කාශ්‍යප විසින් අත් හැර දැමුණු පසුය කියා ද මඳහස් රැල්ලක හෝ ඇස් බැල්මක පවා ආඩම්බරයේ වෙනසක් නැත. ආරාධනා කියන්නේ ඒ සාඩම්බරයට ය.

“කාශ්‍යප කෝල් කළා”

ආරාධනා තිගැස්සීගෙන වාගේ කවීශ්වර දෙස හැරී බැලුවා ය. ‘අයියා’ කියා කට පුරා ඇමතුණු කාශ්‍යප දැන් නිකං ම නමින් අමතන්නට තරම් කවීශ්වර ඔහු කෙරේ බිඳී ගොස් තිබේ.

“ඉතිං…”

කීවේ කාවින්දි ය. කවීශ්වර ආරාධනා ගේ තියුණු බැල්ම මගහැර කාවින්දි දෙස බලා ගෙන පිළිතුරු දුන්නේ ය.

“සිතාසි ලැබිල. මිනිහ ශොක් වෙලා ඉන්නෙ”

“අනේ ඉතිං කවීශ්වර…එයාමනෙ කියල එව්වෙ මට නඩු දාන්න කියල. මේක මං එයා අපහසුවට පත් කරන්න කරපු දෙයක් නෙවේනෙ”

“හරි හරි ඉතිං…ඔයා වොරි වෙන්න ඕන නෑ ඒ ගැන. කොච්චර වීර පාට් දැම්මත් තමන්ගෙ වෙලා තිබුණ දේවල් නැති වෙලා යනව කියල දැනෙන මොහොත…ඕන වීරයෙක් ශොක් කරනව…”

“හොඳ වැඩේ. ශොක් නෙවෙයි වෙන්න ඕන එයා. හිතං හිටියෙ නඩු දාන්නැතුව රාධා එයා වෙනුවෙන් පතිවත රැක ගෙන කවද හරි ආයෙ එනකල් බලං ඉඳියි කියල වෙන්නැති”

“කාශ්‍යප මොකද කිව්වෙ කවීශ්වර…”

“මොනා කියන්නද…ඇත්තෙ ලැජ්ජාව. එයා නෙවෙයිනෙ ඩිවෝස් කේස් එක ෆයිල් කළේ ඔයානෙ…එයාවනෙ රිජෙක්ට් කළේ. මං දන්නැද්ද අපේ ලොකයිය හිතන විදිහ ගැන. ඕන නෑ. ආයෙ ඔය මනුස්සය කියපු දෙයක්වත් මේ ගෙදර කියන්න ඕන නෑ. ඒ වගේම ඔයා එයාව හම්බ වෙන්න කතා කරන්න ඕනත් නෑ”

කවීශ්වර නැගණිය ගේ තර්ජනය දෙස බලා සිටියේ ඉස්සර ඇය ආරාධනා දෙස බැලූවොත් ඇස් උගුල්ලනවායි කියත්දී වාගේ බැල්මකිනි. ඒ කොක් හඬලන සිනහව වෙනුවට මේ වෙලාවේ ඔහු ගේ දෙතොල් අතරෙහි වූයේ නො ගිනිය හැකි තරම් ක්ෂුද්‍ර වූ, මන්ද්‍ර වූ මඳහසකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles