(අ) හිමි සිහින -8

ආදරයේ විරහව ඒ ආකාරයට කිසිම ගෑනු ළමයෙක්ට දැනෙන්න හොඳම නෑ.තමන්ගේ ආදරවන්තයා තමන්ව අත් හැරීම සහ ඔහුගෙන් කිසිම ආරංචියක් නැති වීම කියන්නේ කාරණා දෙකක්.අත්හැරීම කොහොම වුණත් ඔහු ගෙන් කිසිම ආරංචියක් නෑ කියලා දැනෙන එක හරිම අමාරු දෙයක්.ඒ වගේ දෙයක් කිසිම ගෑනු ළමයෙකුට නොවිය යුතුයි කියලා මම හිතනවා.

මම හිටියේ කරකියාගන්න දෙයක් නැතුව.සුධාරකට කතා කරන්න ක්‍රමයක් නෑ.හොයාගන්න විදියක් නෑ.ඇත්තටම මට කර කියාගන්න දෙයක් නැතිව ගිය
එකේ පුදුමයකුත් නෑ. ආදරය අහිමි වීම කියන එක හොඳටම දන්නෙ රණවිරු බිරිඳක් සහ පෙම්වතියක් තමයි.මට ඒ කාලයේ නින්ද ගියේ නෑ.ඉගෙනීමත් කඩාකප්පල් වෙමින් තිබුණා.ඇත්තටම බැලුවනම් විශාදය පවා ඇති වෙමින් තියෙන්න ඇති.

මම ලස්සනට ලියන්නියක්.ඒ ලිවීමේ සම්පූර්ණ ගෞරවයත් සුධාරකට හිමි විය යුතු බව මම හිතනවා.තවමත් මගේ ලිවීම ගැන මට ලැබෙන ප්‍රතිචාරයක් තමයි ඒවා ඉතා සංවේදී කියන එක.මම මුලින්ම ලියන්න පටන් ගත්තෙ ලියුම්. මම ලිපියක් ලියනකොට කපන කොටන වැඩ නැතුව එක දිගටම ලියන්න හපන්කම් දක්වන්නියක්.හිතේ තියන සේරම දේවල් මම ඒ ලියුම් වල ලියනවා.

කිසිම සංස්කරණයකින් තොරව මම මගෙ හිතට එන හැම දෙයක්ම ලියනකොට මගේ ලිවීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වය ඉබේම වැඩෙන්න ඇති.ඉතින් ගෞරවය සුධාරකට මිසක් වෙන කාටද? දන්නවද? සුධාරක තවමත් ඒ ලියුම් ආරක්ෂා කරනවා.

මම ඉස්සර සිංහල සාහිත්‍ය විචාර ලියන්නේ අපූරු ක්‍රමයකට.පිටුවක් ඇර ඇර තමයි මගේ විචාරය ලියන්නේ.අතරමැද පිටුව වෙන් කරන්නේ ලියුම ලියන්න.අම්මලා පොත පෙරළුවත් ලියුමක් ගැන ඉව වැටෙන්නෙ නෑ.ලියුම තැපැල් කරන්න කලින් තමයි පෝස්ට් ඔෆිස් එකට ගිහින් කොළ කඩන්නෙත්.

එක වතාවක මම එහෙම ලියපු ලියුමක දිග පිටු පනස් හතරක්.

මම ඒ කිසිම ආරංචියක් නැති කාලේ කවි ලිව්වා.දුක කවි කළා.ලියුම් ලියමින් ඒවා ඔහුට ලැබෙන තුරු තැපැල් කළා.කොහොමටත් ඔහුගේ පිළිතුර එක කඩදාසියක් විතරයි.නමුත් ඒ එකම කඩදාසියේ ආදරේ වෑහෙන්න දේවල් ලියන්න ඔහුට පුලුවන් වුණා.

සුධාරක කියන්නේ හරිම නිහඬ කෙනෙක්.ඒ වුණාට ආදරේ ගැන දන්න කෙනෙක්.

මම අසීරු කාලය ඒ විදියට පහු කර ගත්තා.මගේ දුක වේදනාව තරමටම නිර්මාණශීලිත්වය වැඩි වුණා.ආදරේ ගැන කියන්න ඕනෑ නැහැනෙ.ඒක දවසින් දවස හැම තත්පරයකම ඉතිරී ගියා.දෑසින් නොදැක ජීවතුන් අතර ඉන්නවදවත් නොදැන මම ඔහුට මහා ගොඩක් ආදරේ කළා.

ඔහු ජීවතුන් අතර බව දැන ගන්න ලැබුණා.ඒ සමහරවිට මට ඔහු ලැබීම වෙනුවෙන් ම නෙවෙයි.රටට ඔහු වගේ දක්ෂ සොල්දාදුවෙක් අත්‍යවශ්‍යම නිසා වෙන්න ඇති.

සුධාරකගේ ගෙදර අය අපේ ගෙදරට නෑගම් එන්න ගත්තේ ඔය කාලයේදී.ඒ ඇවිත් යුධ හමුදාවේ විශිෂ්ටතම නිලධාරියෙක් වෙනුවෙන් ඔවුන් අපේ අම්මලාගෙන් දුව ඉල්ලනවා.අපේ අම්මලාට දෙන්න තිබුණේ හොඳ පිළිතුරු නම් නෙවෙයි.

“රෑට හොරෙන් ගෙදරට පැන්න හැටි,ජනෙල්වලට තට්ටු කරපු හැටි ඔයාලා දන්නවද? ඒ වගේ මිනිහෙක්ට දුව දෙන්න අපිට පිස්සුද?”

අම්මලා සැරෙන් අහනවා.එතන කිසිම සුහද ඥාති හමු වීමක් නම් වුණේ නැහැ.නමුත් සුධාරකලගේ අම්මලා කරුණාවෙන් සහ බැගෑපත්ව ඒවා ඉවසනවා.

“තරුණ කොල්ලො කෙල්ලොනෙ..ඕවා සාමාන්‍ය නැද්ද? තව පාරක් කල්පනා කරලා බලන්නකෝ..”

එයාලා එහෙම කියනවා.මේ විදියට පස් හය පාරකටත් වඩා මේ නෑගම් ඒම සිද්ධ වුණු බව ඔබ පිළිගන්නවාද?

1991 ජනවාරි මාසේ දවසක් උදා වුණා.මම අමතර පන්තියකට සහභාගී වෙන්න ගියා.මගේ පුංචි අම්මා වාහනේට වෙලා මාව එනතුරු ගේට්ටුව ළඟ බලාගෙන ඉන්නවා.සුධාරක වාහනයක් අරගෙන පන්තියේ මිදුලටම ආවා.මට එයට නගින්න බල කරන්න උවමනාවක් තිබුණේ නෑ.මම එයට නැග්ගා.

මම ඒ ගියේ ඉරණම් ගමනක්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles