අනෝරා මල් වැහි 33

මිතුන්ගේ විවාහ මංගල්‍යය අතරතුරේ බොහෝ වැඩ රාජකාරි අස්සේ සිරවී උන්නද තාරා මහිල්ගේ හිතේ උඩම කෙලවරක රැඳී හිඳ හිනැහෙමින් උන්නාය. මහිල් උන්නේ කා සමගවත් බෙදා හදා ගන්නට නොහැකි ප්‍රේමයක පැටලී ඒ සන්තුශ්ටියෙන් පිරී ගොසිනි. 

“උඹ අදම යනවද?”

“නෑ මචං මම අද ඉන්න කියල හිතුවෙ”

“ඉතින් මෙහෙ ඉඳපංකො”

“නෑ බං මම අද යාලුවෙක් එක්ක හොටෙල් එකක ඉන්නව”

“මේ මේ මොකද්ද ඒ සීන් එක? උඹට දැන් හොටෙල්වල නතරවෙන්නත් යාලුවොත් ඉන්නවද?” 

මිතුන් එක් අතකින් මත් පැන් වීදුරුව දරාගෙන අනෙක් අතින් මහිල්ගේ උරහිස වටා අත යවා සිනාවුණේ රහසක් එලි කරගත්තාක් මෙනි. 

“ඕකනෙ ඉතින් උඹල එක්ක මුකුත් කරන්න කියන්න බෑනෙ. කතා හදනවනෙ”

“අඩෝ මේ අපේ ඔය කතා හැදිලි නෑනෙ කියන්න දෙයක් තියෙනම් අහන්න දෙයක් තියෙනම් මම කෙලින්ම අහන බව උඹ නොදන්නව නොවෙයිනෙ”

“එහෙම දෙයක් නෙවෙයි බං. ඉතින්…”

“හරි හරි උඹ එහෙනම් වෙලාව ආවම අපිට ඒක කියහන්කො. කමක් නෑ කමක් නෑ. හැබැයි මචං හැබැයි වෙඩින් එක අපිට කියන්න ඕන හරි” කියා සිනාසෙමින් මහිල්ගේ කර වටා දමාගෙන උන් අත ඉවතට ගෙන තම මනාලිය වෙත ගියේය. 

මද පමනට ගත්තා වුවද මහිල් උන්නේ ආදරයෙන් ඇති තරම් මත් වීය. ඒ මත් බව මහිල් ව තාරා වෙත ඇද ගන්නක් විය. මිතුන්ටත් ශකිලාටත් සුබ පතමින් මහිල් ඔවුන්ගේ විවාහ මංගල සාදයේදී ගී ගැයුවාට ඒ ගී වලින් මහිල් හදවතින් ආමන්ත්‍රණය කලේ තාරාටය. මේ මොහොතේ මෙේ උත්සවයේ තාරා උන්නා නම් යාලු මිත්‍රයින් ඔවුන්ගේ පෙම්වතියන් බිරින්දෑවරුන් සමග නටද්දී ඒ අතරට එක්වන්නට තිබුණා නම් අපූරු බව මහිල් සිතුවේය.

“කෑවද?” 

තාරාගෙන් කෙටිපණිවිඩයක් ආවේ මහිල් රාත්‍රී ආහාරය ගන්නට සූදානම් වෙද්දීය. 

තාරාගේ කෙටි පණිවිඩයට කෙටි පණිවිඩයකින්ම පිලිතුරු යවනවා වෙනුවට මහිල් එයට ඇමතුමක් ගත්තේය.

“මැණික්”

මහිල්ගේ කටහඬේ රැඳුණු මත් බව තාරා තේරුම් ගත්තාය. එහෙත් ඒ මත් බව සිත කෝප ගන්වන්නක් නොවේ.

“ආ ශොට් එකක් දාගෙන වගේ කොල්ලා”

“ම්ම්ම් කෙල තරහද ඉතින් කොල්ල පොඩි ශොට් එකක් දැම්මට”

මහිල් අසන්නේ සිනාබරවය.

“නෑ නෑ තරහ නෑ. ඔයා කෑවද මහිල්?”

“තාම නෑ මගෙ පණ. ඔයා කෑවද රත්තරන්? මොනවහරි ඕඩර් කරගත්තද?” 

“හ්ම්ම් ඔව්, ඔයා කීයට වගේද එන්නෙ?”

“මම ටක් ගාලා එනව. ඔයා නිදාගන්නෙ නෑ නේද මම එනකම් ම්ම්ම්? නිදිමත ද?”

“නෑ. මම නිදාගන්නෙ නෑ. මම පොත් ටිකක් අරගෙන ආවනෙ. මම ඔයා ගිය වෙලාවෙ ඉඳල ඒව කියවන එක තමයි කරේ. මෙයාලගෙ ලස්සන පූල් එකක් තියෙනවනෙ. මම ඒකටත් ගියා ඔයා ගියාට පස්සෙ. ලස්සනයි අනේ. ඔයා ඉඳියනම් ශෝක් කියල හිතුනා මට. හෙට උදේ යන්න කලින් වෙලාව තිබුනොත් නාමු”

“හරි එහෙනං බඩපිරෙන්න කාලා, පොත් කියව කියව ඉන්න. මම ඉක්මනට එන්නම්”

මහිල් දුරකතන ඇමතුම අවසන් කර තැබූ පසුතාරා ක්ලෝසන්බර්ග් හෝටලයේ තමන් වෙනුවෙන් වෙන්වුණු මුහුද පෙනෙන, මුහුදු හුලඟ හමා එන කාමරයේ වේවැල් පුටුව මත දිගා වී පොත යලිත් කියවන්නට ගත්තාය. මේ තරම් නිදහසක්, සැහැල්ලුවක් තමන් අත්විඳින්නේ බොහෝ කාලයකට පසුව බව තාරා සිතුවාය.

කාමරයේ හිඳ බලන කල එක එල්ලේ පෙනෙන්නේ නිල්වන් මුහුදය. අහස වසා හිඳින සඳ එලිය ඒ නිල්වන් සයුරු තලටමත වැටී රටා නගන අයුරු තාරා බලා උන්නේ සුපසන් හැඟීමකිනි. 

ඈතින් පෙනෙන රූමස්සල කන්දත් ඒ පන්සලත් මේ රාත්‍රියේදී වුවත් පැහැදිලිව දැකගන්නට හැක.

පොත අස්සටම එබී හුන් තාරාට කාලය ගත වනු දැනුනේ නැති තරම් ය. අනෙක් අතට නින්දක් අහලකවත් නොතිබූ තරම් ය. සීතලට විත් ඇඟ මත හැපෙන මුහුදු හුලඟ නිදිමත ගෙන දෙන්නට වෙන දවසක හේතු වන්නට වුවත් අද ඒ සියල්ල උඩු යටිකුරු වී තිබුනේ අද දවස තරම්ම දෛවෝපගතවය.

මහිල් මිතුන්ගෙනුත් අනෙක් මිතුරන්ගෙනුත් සමුගෙන ක්ලෝසන්බර්ග් හෝටලයට ආවේ කුලියට ගත් ත්‍රීරෝද රියකිනි.  ඒ එන අතරවාරයේ ගතේ වූ මත් බවට එක්වූ සිහිල් මද පවන මහිල්ගේ සිත අස්සේ වූප්‍රේමණීය හැඟීම සියදහස් ගුණයකින් වැඩි කරන්නට හේතුවක් විය.

තව මොහොතකින් තාරාව තම දෑත අතරට තුරුලු කරගන්නට ලැබෙන බව මතක් වෙද්දී මේ වසර විසිපහ පුරවටම කිසිත් තරුණියක වෙනුවෙන් අවදි කරනොගත්තා වූ තුරුණු පිරිමි හැඟුම් අවදිවෙන බව මහිල්ට දැනුනි.

ක්ලෝසන්බර්ග් හෝටලයේ පඩි පෙල නැග ආ මහිල් එහි ලොබියේ උන් තරුණයාට සිනා මුසු මුහුණකින් සංග්‍රහ කරේය.

“ගුඩ් ඊව්නින් සර්”

“ගුඩ් ඊව්නින්, මට රූම් නම්බර් ටූ ටූ වන් වලට යන්නයි ඕන”

“මිස්ට ගොඩකන්ද නේද? මැඩම් ඉන්ෆෝම් කරල තිබ්බෙ. යන් සර්. මම රූම් එක තියෙන තැන් පෙන්වන්නම්.මිසිස් ගොඩකන්ද ඉන්ෆෝම් කරල තිබුනෙ මිස්ට ගොඩකන්ද එන්න ටිකක් ලේට් වෙනව කියල”

“මිසිස් ගොඩකන්ද” කියා ඒ තරුණයා කියද්දී මහිල්ගේ දෙතොලේ විසල් සිනාවකුත් හදවතෙ විසල් සතුටකුත් ඇති විය.

“මේ තමයි සර් රූම් එක” කියා ඒ තරුණයා එතනින් නික්ම යන තුරු බලා උන් මහිල් හෙමින් සීරුවේ දොරට තට්ටු කරේය.

තාරා ඇවිත් දොර හැරියේ ඒ මහිල් බව සිතමිනි.

“හෙලෝ මිසිස් ගොඩකන්ද” කියා දොරට ඉහලින් අතක් තබා තාරා වෙත නැඹුරු වී ප්‍රේමණීය සිනාවක් නැගුවේය.

“මේ අයි කම් ඉන් මිසිස් ගොඩකන්ද?” කියූ මහිල්ට කාමරය ඇතුලට එන්නට ඉඩ දී තාරා මදක් එහාට වූයේ මද මත් බව මහිල් වෙත ආරෝපණය කර තිබූ ප්‍රේමණීය තුරුණු බව වෙනුවෙන් නැගුනු සිනාවන් අපහසුවෙන් දෙතොල් සපාගෙන වලක්වාගනිමිනි.

“බීල ආවට නම් දඬුවමක් දෙන්න ඕන” ඒ සිනාව සඟවාගෙනම තාරා මහිල් වෙත බොරු අමනාප බැල්මක් හෙලුවාය.

“මොනවගේ දඬුවමක්ද දැන් දෙන්නෙ?” කියමින් මහිල් තාරාගෙ ඉණ වටා දෑත පටලා ඇයව වේගයෙන් තමා වෙතඇද ගත්තේය.

“මම මේ තාම කල්පනා කරන ගමන් මොනවගේ දඬුවමක්ද දෙන්නෙ කියල. රිදෙන්න දඬුවමක් දෙන්න ඕන” කියමින් තාරා හෙමින් සීරුවේ මහිල්ගේ කමිසයේ බොත්තම් එකිනෙක ගලවා රෝම කූප පිරුණු ඔහුගේ පපුව මත හිස තබා ඔහුගේ ජීවන සුවඳ විඳගත්තාය. 

තම පපුව මත හිසතබාගෙන තමාව සිඹින තාරාගේ හිස සිප ගන්නා අතරම තම ග්‍රහණය වඩා තද කරගත් මහිල් සෙමෙන් පහත් වී තාරාව ඔසවා ගත්තේය.

“අද බලමුකො රිදෙන්නෙ කාටද කියල”  කියමින් තාරාව වඩාගෙන සයනය මත නිදි ගන්වා සෙමෙන් කමිසය ගලවා පසෙක දැමූ මහිල් සෙමෙන් පහත් වී තාරාගේ දෙතොල වෙත නැඹුරු වුණාය.

“තරහද?”

ඉන්පසු එලඹුණේ කෙතරම් සුන්දර මිහිරිතම හෝරාවන් කිහිපයක්ද කියා කියන්නට තාරා දැන උන්නේ නැත.  ඒ හෝරා කිහිපය අවසානයේ ගැඹුරු නින්දකට වැටී සිහින් හඬින් ගොරවමින් උන් මහිල්ගේ පපුව මත හිස තබාගෙන තාරා ගැඹුරු කල්පනාවක වැටී උන්නාය.

මේ මොහොත මෙතරම්ම සුන්දර ඒ මහිල් සමග ගෙවෙන නිසාවෙන් බව තාරා නොදන්නවා නොවේ. ඉතින් හොඳම දෙය චිරායු සමග මේ බව කතා කරසියල්ල එකලස් කරගැනීම බව ඒ රාත්‍රිය නින්දත් නොනින්දත් අතර ගෙවමින් තාරා සිතුවාය. 

තමා මේ මොහොතේ විඳිනේ ගැහැණියකට ජීවිතය තුල විඳින්නට හැකි උපරිම ආදරයත් සතුටත් බව තාරා සිතුවාය. එහෙත් ඒ ආදරයත් සතුටත් වෙනුවෙන් තව දුරටත් චිරායුව රවට්ටන්නටවත් රිදවන්නටවත් තාරාට උවමන වූයේ නැත.

හෙට ගාල්ලේ සිට ගියවහාම චිරායු සමග මේ ගැන කතා බස්කරන්නට තාරා සිතාගත්තේ ඒ අනුවය. 

එක් බැඳීමක් වෙනුවෙන් තවත් බැඳීමක් නැති කරගන්නට සිදුවන බව තාරා එදා රාත්‍රියේ සිතට පැහැදිලි කර දුන්නාය.

එදා රැයේ මහිල්ට තුරුලු වී තාරා නින්දට ගියේ වඩා පැහැබර හෙටක් හෙට දිනයේ අත්විඳිනු දකිනු බලාපොරොත්තුවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles