ආතුරයන් මැද ආදරෙන් 14

පාර දිගේ වීදුරු කලුකරපු ජීප් රථය වේගයෙන් ජාදු  අරගෙන ගියේ හිතේ මුල්ලක නැගුණු විශාල බයකුත් එක්කයි..ඕනම දේකට මුහුණ දෙනවා කියලා තනියම හිතුවට වර්ණාසිට ඒ මොකුත්ම කියන්න ගියේ නෑ.වර්ණාසි බේබිට දශමයකින් හරි හානියක්  වෙන්න දෙන්නෙ නෑ මං..වෙතොත් වෙන්නේ මම මැරුණයින් පස්සේ… කියලා තමන් තමන්ටම දිවුර ගත්තා.

“මට බඩගිනියි ජාදු… මේ බොක්ස් එකේ සැන්විච් වගයක් තියෙනවා. කකා යමු…”

කියලා වර්ණාසි  අමාරුවෙන් හිනා වුණා.

“මම නර්මදා මැඩම් ව පන්සලට දාලා එන ගමන් හොඳ කොළ කැඳ එකක් බිව්වා. මට බඩගිනි නෑ… බේබි කන්න”…

“බේබි මට හිතාගන්න බෑ.. මේ මොකක්ද උනේ කියලා? ලොකු සර් ඔය තරම් කලබල වෙලා ඉන්නවා මම දැකලම නැද්ද  කොහෙද”…

තමන් කියපු කොළ කැඳ පණිවිඩය ඇහුනෙ නැති විදිහට වර්ණාසි  තමන්ට දික් කරගෙන හිටපු සැන්විච් පෙත්ත නොගෙන ඉන්න ජාදු ට හිතුනෙ නෑ.අනායාසයෙන්ම වර්ණාසි දික් කරගෙන හිටපු සැංවිච් එක අතින් අරගෙන කන ගමන්ම ජාදු කේසර රණබාහුගේ අරුම පුදුම කලබල වීම ගැන  කතා කළා.

“ලංකාවේ දේශපාලනය මේ තරම් කැතද …අහක ඉන්න මිනිස්සුන්ව ගාවගෙන බලය ගන්න යනවා කියන එක මට හිතාගන්නවත් බෑ.”

වර්ණාසි ඉංග්‍රීසියෙන් කිව්වා.බේබි  දන්වානම් බේබිගේ තාත්තල පාර්ලිමේන්තුවේ බලය අල්ලගන්න … බෝම්බ අටවලා කරපු විනාසය ඔහොම කියන්නේ නෑ… කියලා ජාදු ට කියන්න හිතුනත් කට වරද්ද ගත්තේ නෑ.

“මම ස්වාධීන කෙනෙක්… දේශපාලනයට මම කැමතිම නෑ. අඩුම තරමින් මගෙන් තාත්ති කවුද කියලා කවුරුහරි ඇහුවහම මම  කියන්නෙත් බිස්නස් කරන කෙනෙක් කියලා විතරයි… ඉතිං ඇයි ….මේ මටම මෙහෙම වෙන්නේ. “…

වර්ණාසි දුක කලකිරීම කලවං වෙච්ච  හඬකින් කිව්වා.

“ඉතින්.. දේශපාලනඥයෝ කවුරුත් බිස්නස් එකක් තමා කරන්නේ බේබි… ඒක තේරෙන තරමට පරිණත වුනොත් ඇති..ඔය ෆේස්බුක් එකෙත් තියෙන්නේ.. “..

කියලා ජාදු හිනාවුනා.

“මිනිස්සු බලයට තරම් වෙන මොනවටවත් කැමති නෑ බේබි… බලය ලැබුණහම මිනිස්සුන්ට අමුතුම පිස්සුවක් හැදෙනවා.ඒ පිස්සුව හදාගත්තු බලයට කෑදර මිනිස්සු තමන්ගේ එහා පැත්තෙ ඉන්න එකා මොකා උනත් කමක් නෑ ..අම්මා තාත්තා වුනත් බිල්ලට දෙනවා.”…

“තාත්තිත් එහෙමද ජාදු …”

කියල වර්ණාසි  ඇහුවේ ජාදු ගෙ කළු දිලිසෙන ඇස් දිහා කන්නාඩියෙන් බලන ගමන්.ඔව්  හරි නෑ හරි කියනවට වඩා හිනාවෙලා ප්‍රශ්නය මගහරින හැටි ජාදු කේසරගෙන් හොඳට ඉගෙන ගෙන තිබුන.ඒ හින්දා ඉතින් ඒකට ජාදු  හිනාවෙලා ප්‍රශ්නය මගහැරියා.

“ඇත්තටම ජාදු ..ඇයි තාත්තිගේ ඡන්ද මේ පාර ඔය තරම් අප්සට් වෙලා තියෙන්නේ…ඇයි කැම්පේන් වලට සෙනග නැහැයි කියලා කියන්නේ … එයා ජනප්‍රිය පොලිටීෂන් කෙනෙක් නෙවෙයි කියන එක ද  ඒ කියන්නේ.තාත්ති සාර්ථක පොලිටීශියන් කෙනෙක්  නෙමෙයිද”….

“බේබි බලන්නකෝ… අපේ ලොකු සර් මොනවා හරි කරලා ඔය නැතිවෙලා තියෙන ඡන්ද ටික ගනියි..රැස්වීම්වලට සෙනග අඩුයි  තමයි.. අර ජයමහල බෝම්බ කේස් එක හෙන තදට සර් පිට දානවනේ …මිනිස්සුන්ගේ හිත් කැඩිලා යනවා ඒ හින්දා…”

“එතකොට අපේ තාත්ති පරදීද”…

කියල වර්ණාසි  ඇහුවේ මේ රටේ දේශපාලන සෙල්ලම් ගැන කිසිම දෙයක් දන්නේ නැති හින්දයි.

“එහෙම ලේසියෙන් ලොකු සර් පරදින එකක් නෑ බේබි… බලය ගන්න ඕනම දෙයක් මේ මිනිස්සු කරනවා …”

කියලා ජාදු හිනා උනා.තමන්ගේ පිටුපස්සෙන් එන සෑම වාහනයක් ගැනම ජාදු  පුදුම විදිහට පරීක්ෂාවෙන් හිටියා. මේ හැම කතාවක් අස්සෙම ජාදු හැම තත්පර දෙක තුනකට වතාවක්ම පිටිපස්සේ කන්නාඩිය බලන ගමන් තමයි වාහනය ධාවනය කලේ…පැය හතරක් විතර යනකොට සිතියමේ දීපු පාරේ තුන් කාලක් විතර කාගෙන්වත් අහන්නෙවත් නැතුව වරද්ද ගන්නවත් නැතුව යාගන්න ජාදු ට  පුළුවන් වෙලා තිබුණා .
මේ වෙලාවට හරි නම් තමන් නවසීලන්තයට යන ගුවන් ගමන පටන් ගන්න ගෙදරින් යන්න තිබුණු වෙලාව කියල වර්ණාසිට මතක් උනා.ඒ වගේම මේ වගේ ජීවිත තර්ජනයකට මුහුණ දෙන්න තරම් තමාට ආත්ම ශක්තියක් නැති බවත් වර්ණාසිට දැනිලා තිබුණා.මොනවා වුණත් මේ සති දෙකෙන් පස්සේ නම් ආයෙත් ලංකාවේ පස්වත් පාගන්නේ නෑයි කියලා  හිතා ගත්තා . වර්ණාසිට ඒ තරම් ලංකාවෙ  දේශපාලනික රටාව ගැන බිංදුවටම කලකිරිලා තිබුණා .

“බේබි ඔය කියන තරම් ස්වාධීන වෙලා ඉන්නේ ලොකු සර්ගේ සල්ලි වලින්… ලොකු සර්ට සල්ලි තියෙන්නෙ ඔය කියන මැජර දේශපාලනය කරන හින්දයි….බේබිගේ තාත්තත් කුඹුරු කොටන ගොවියෙක් උනා නං… මුට්ට කර ගහන මිනිහෙක් උනා නම්… බේබිට ස්වාධීන වෙන්න හම්බවෙන්නේ නෑ…එහෙනම් බේබිටත් සිද්ධ වෙනවා  අවුරුදු දාසය පනිද්දිම මොනවාහරි රස්සාවක් හොයාගන්න.එහෙම නැත්තං රස්සාවක් හොයාගන්න බේබිටත් ජරා දේශපාලඥයෝ පස්සේ යන්න වෙනවා.පෝලිමේ ගිහිල්ලා තමන්ගේ හිතවත් දේශපාලනඥයන් දිනවන්නත් වෙනව.බඩුවල මිල ගණන් අහලා හූල්ලන්නත් වෙනවා.නැද්ද හොඳයි….”

කියපු ජාදු වර්ණාසි දිහා බලලා හිනා වුණා.

“..ඒකත් ඇත්ත ජාදු.. මට බැරිවෙයි ඒ  වගේ ජීවිතයකට මුහුණ දෙන්න”….

එහෙම කියපු වර්ණාසි  බිම බලා ගත්තා.

“නෑ  බේබි  එහෙම උනානං බේබි වර්ණාසි බේබි නෙමෙයිනේ…නිකම්ම නිකන් වර්ණාසි විතරයි.ඉපදුණු දවසේ ඉඳලම දුකටත් හුරු වෙලා තියෙයි.ගොඩක් හොඳට පෝලිම් සංස්කෘතිය දැනගෙන තියේයි
.එතකොට ඔය මූණ හඳක් වගේ දිලිසෙන්නේ නෑනේ.දුප්පත්කමිනුයි දුක්  විඳිල්ලෙනුයි,  මූණ කුරුලෑ පිරුණු කැලෑ පාරක් වගේ වෙනවා.”…

කියපු ජාදු වර්ණාසි  දිහා හොරෙන් බැලුවේ කෙල්ලෝ ලස්සන ටිකක් තරහා ගියහම කියලා දවසක් පොට්ට කුසුම් කියපු කතාවක් මතක් වෙච්ච හින්දා.

“තාත්තිත් එක්කම ඉඳලා ජාදුත් ඒ භාෂාව හොඳට ඉගෙන ගෙන…ඔයාටත් හොඳට පුළුවන් හැරෙන හැරෙන විදිහට කතාව හරවන්න …”..

කියලා වර්ණාසි හිනාවුනා.

“දැන් මං ඔය කතාවට තරහ නොවුනට …ජෙරම් නම් කියන්නේ කොල්ලෙක් ඔය වගේ නපුරු කතාවක් කිව්වහම කෙල්ලන්ට තරහ යන්න ඕනලු.ඒකලු හරි ක්‍රමය.එතකොට ඒ කොල්ලට පුළුවන්ලු ආපහු කෙල්ලව සනසවගෙන හිනස්සවගන්න”…

වර්ණාසි  ඉංග්‍රීසි සිංහල කලවම් භාෂාවෙන් එහෙම කියලා හිනාඋනා .

ජාදු ගේ වීදුරු ඇස් දිලිසුනා.

නමක් නැති
ගමක් නැති
කඳුළු  ඇස් හරි බරයි… අයිතිකරුවෙක් නොමැති
හදවතට බෝදුකයි…

මධුරිත් එක්ක ගත කරපු ප්‍රේම සල්ලාපවලදී ජාදු එහෙම කියලා හිනා වෙච්ච වාර අනන්තවත් තිබුණා.

“ජෙරම් …? කවුද ඒ…”

“එයා මගේ යාළුවෙක්”..

ජෙරම් කියන හාදයට ජාදු තමන්ගේ පිස්තෝලෙන් ඔලුවට කුඩු වෙන්න වෙඩිල්ලක් තිබ්බා. දැන් හිතට සනීපයි.වාහනයක් වුණත් ලස්සන වෙලා හැඩවෙලා ආරක්ෂා වෙන්නේ පළවෙනි ගැනුම්කාරයා ළඟදිම නෙමෙයිනේ.අවුරුදු ගානක් කැරකිලා කැරකිලා හරි වාහනයට පණ වගේ ආදරය කරන මිනිහෙක් අතට වාහනේ යනවා.අන්න එදාට ඌ තමයි මවුන්ට් එකක්වත් ගෙවෙනවට අකමැති කෙනා.ඔයිල් සීල් එක දශමෙටම බලන මිනිහ.හරි තත්පරයට ඔයිල් මාරු කරන කෙනා.ජාදු  තමන්ගේ කල්පනා ලෝකෙ හිරවෙලා වේගයෙන් ගමනාන්තය පැත්තට ගියා.පරිසරයේ ලස්සන දිහා බලාගෙන වර්ණාසි ත් ගල්වෙලා උන්නා .පටු පාරක ඉදිරියට යන කොට කොහේදෝ දේවාලයක වාර්ෂික තේරු පෙරහැරක් කන්ද උඩින් බැහැගෙන පතාක කොඩි සේසත් උස්සගෙන නාදස්වරම් පිඹගෙන එනවා ඈත තියාම ජාදු ට පෙනුන.මේකට මැදි වුනොත් පැයකටවත් වාහනය එහා මෙහා හොලව ගන්න බැරි වෙයි කියලා ජාදු ට දැනුනාම.. පිට කොන්ද  දිගට සීතල වේගෙන ගියා වගේ උනා.කොයි මොහොතක හරි කොහෙන් හරි උණ්ඩයක් එයි කියලා මහ බයක් දැනුන.කන්තාරා චිත්‍රපටියේ  වර්ෂා රූපම් විදිහටම තාලයක් ජාදුගේ හිත ඇතුළින් ඇහුණා.කොයි තරම් වාහනේ ඉදිරිපස ලාම්පු එළි දැල් වුවත් පෙරහැර බූරුවන්  පෙළක් වගේ නොනැවතී ඉදිරියට එන බව ජාදුට පෙනුන.දේව පිළිමයක් උස්සගෙන එන මිනිහෙක්ගේ මූණක් කටක් හොයන්න බැරි තරම් පාට කරපු මූණු තියෙන මිනිස්සු ඉදිරියට එන දිහා ජාදු  ගල්වෙලා බලාගෙන හිටියා.ජාදු ට පුදුම අසරණකමක් දැනුන.කුලී මිනීමැරුම් බාරගන්නා මිනීමරුවෙකුට මීටත් වඩා අනගි අවස්ථාවක් තියෙයිද…
තමන්ට මේ අවස්ථාව ලැබුණා නම් ඒක තමා වෙලාව කියලා තමනුත් තෝරගන්න බව ජාදු ට දැනුන.මේ කිසිම දෙයක් නොදන්න වර්ණාසි පෙරහරේ විසිතුරු බලාගෙන පුදුමයෙන් උන්නා.වර්ණාසිගේ අවධානය සම්පූර්ණයෙන්ම පෙරහරට තියෙන බව ඇස් කොනින් දැක්ක ජාදු බොහොම සීරුවට වාහනයෙන් එළියට බැස්සා.සූදානම් පිට තිබුණු පිස්තෝලය අතට ගත්තා.මූණෙ මස් පිඬු එක පෙළට තද වුණා.
කන් දෙක බළල් කුලේ කන් වගේ හතර වටේටම හරි හැරී හඬ ඇහුම්කන් දුන්නා….

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles