දාසයන් එකේ වත්තේ කානුවකට ගෙනත් දාලා හිටපු පොඩි කොලු පැටියව පොලිසියට කියන්නේ නැතුව වත්තේ අසීම් …කේසරට කතා කරලා දැනුම් දුන්නා .
” යකෝ ඕක මට කියලා වැඩක් තියෙනවද?.. කියපන් පොලිසියට…”
කියලා කේසර හිනා වුණත් …
” යෙක පාරක් ඇවිත් පලන්න තමා ශර්… යේක මාරයි…”
අසීන්ගේ වචන කේසරට තවමත් ඇහෙනවා වගේ..
එච්චරම කියන හින්දා කේසර අගල් චමින්ද ත් එක්ක මහා වැස්සක හැන්දෑවේ දාසයෙන් එකේ වත්තට ගියා අද වගේ මතකයි.වාහනයෙන් බහින්න හදනකොට වත්තෙ ලක්ශ්මන් කහපාට රෙද්දේ සුදුපාටින් සන්ලයිට් කියලා ගහපු තඩි කුඩයක් කේසරට ඉහලුවේ තෙලිඟු චිත්‍රපටියක වගේයි. ඒ වෙලාවෙත් යන්තම් පොද වැටි වැටි තිබුන හින්දා වත්තේ කණුවල දාලා තිබිච්ච ලයිට් එළි… වතුර පිරිච්ච පාර දිගේ දිලිසි දිලිසි පෙනුනා.
අසීම් ගෙ පවුල වෙච්චි ශකීලා අතේ සුදු පාට රෙද්දෙ , නිල් පාට හඳපලු මෝස්‌තර වැටිච්ච පරණ චීත්ත කෑල්ලක එතිලා කාගේ කවුද නොදන්න ඒ පොඩි එකා කේසර දිහා බලාගෙන හිටියා.
පොඩි එකාගේ ඇස්වල තිබිච්ච ලස්සන හින්දම කේසරට කතා කරගන්න බැරුව ගියා.හරියට කලු පබළු වගේමයි..කේසරට හිතුණා.පොලිසියට දැනුම් දුන්නොත් නීති මාර්ගයෙන් මහා ගොඩක් වැඩකටයුතු සිද්ධ වෙන හින්දාත් මේ වෙනකනුත් තනිකඩව හිටපු කේසරට පොඩි එකෙක් හදාගන්න බැරි හින්දත් මොකද කරන්නේ කියලා සෑහෙන වෙලාවක් කල්පනා කළා.පරිවාස දෙපාර්තමේන්තුවට ළමයව බාර දුන්නනම් කතාව එකෙන්ම ඉවර වුණත් ඒ පොඩි එකාගේ මොකක්දෝ අමුත්තක් තියෙනවා කියලා කේසරට හිතුනා. පොඩි එකාට හය මාසෙ පිරෙනකං ශකීල තමයි බලාගත්තේ. ඊට පස්සේ කේසර පොඩි එකා අරගෙන ගිහිල්ලා බාර දුන්නේ රත්නා ආච්චිට.ඒ වෙනකනුත් රත්න ආච්චි තමයි කේසර ගෙ ගෙදර උයන්න පිහන්න හිටියේ. වසන්ත උපුල් කුමාරට අවුරුදු හතරක් වෙනකොට තමයි නාලිකා ඒ ගෙදරට ආවේ.
නීතිය හැම අතටම නමන්න දැනගෙන හිටපු කේසර.. අම්මා තාත්තා නැතුව කානුවක හිටපු දරුවට උප්පැන්නේ නම විදිහට වසන්ත උපුල් කුමාර කියලා වාසගමක් නැතුව ලියාපදිංචි කළා.
කේසර මහත්තයා කේසර මන්ත්‍රී වෙලා කේසර ඇමතිතුමා වෙනකොට දකුණු අත විදිහට ජාදු ඉන්න එක.. පාතාලයට පවා දෙපාරක් හිතන්න දෙයක් ඉතුරු කරලා තිබුණා. පොට්ට කුසුම් ගෙන් අගල් චමින්ද ගෙන් ඒ වෙනකොට ජාදු තෙම්පරාදු වෙලා උන්නා.නාලිකා විවාහ වෙලා කේසරගේ මැදුරට එනකොටත් අවුරුදු හතරක විතර කොලු පැටියෙක් විදිහට වසන්ත උපුල් කුමාර සේවක සේවකයන් අතර හිටියා. එදා මෙදා තුර මේ මහා මැදුරේ සිද්ද වෙච්ච හැම දෙයක්ම ජාදු බොහොම හොඳින් දැනගෙන හිටියා. ඒ වුනාට නාලිකා නෝනා ගැන නම් ජාදු ට මහා ලොකු පැහැදිලි මතකයක් තිබුණේ නැහැ. මොකක් හරි හේතුවකට නාලිකා නෝනා සියදිවි නසා ගත්තා කියන එක විතරක් ජාදු දැනගෙන උන්නා……
සියයට සීයක්ම පැහැදිලි විදිහට අම්මව මතක නැති වුණත්
වර්ණාසිට හිතුනේ තාමත් මේ ගේ ඇතුලේ අම්මාගේ මතකය සුවඳ තියෙනවා කියලයි. සදාකාලිකවම තනිකඩව ඉන්නේ නැතුව නර්මදා වගේ නිවිච්ච ගතිගුණ තියෙන ගැහැණු කෙනෙක් තමන්ගේ ජීවිතයේ තනි නොතනියට අඬගහගත්තු එක තාත්තා කරපු බුද්ධිමත් දෙයක් හැටියට වර්ණාසි දැක්කා.
” මම ආපහු යන්න ඕනේ ආන්ටි… එහෙ මගේ වැඩ ගොඩ ගැහිලා.”
කියලා වර්ණාසි එදා මැද මිදුලේ එල්ලෙන ඔන්චිල්ලාවෙ ඉදං නර්මදා ට කිව්වා .
ඒ වෙනකොට වැල් ඔන්චිල්ලාවට එහා පැත්තෙන් නර්මදාගේ අතින්ම හදලා තිබිච්ච වැල් දොඩම් වැල් දෙකේ ගෙඩි පිරිලා තිබිනා. හොදම ගෙඩිවලින් හොඳම ගෙඩි දෙක තෝරලා මින්චි කොලත් එක්ක අයිස් කැට දාලා එකට කොටපු පැශන්ෆෘට් මොහිතො එකක් නර්මදා හදාගෙන ආවේ වර්ණාසි ට දෙන්නමයි.
” පුතේ.. ලංකාවේ නොඉඳ ඔයා යන්න හිතපු එක හොඳයි..
මෙහේ දි ඔයාට කැමති තරම් අත්තටු දිග අරින්න හම්බවෙන්නේ නැති වෙයි…තාත්තගෙ පැත්තෙන් ගත්තහම නං මෙහෙම කියන එක සාධාරණ නෑ..මොකද තාත්තා කැමතියි දැන් ඔයත් එක්ක එක පවුලක ජීවත් වෙන්න..ඒ උනාට පුතේ තව අවුරුදු කීපයකින් අපි නැති වෙලා යයි.ඔයා ජීවිතේ පටන් ගත්තා විතරයි.මොකටද පුතේ මේ වගේ රටකට වෙලා දුක් විඳින්නේ..”
“ඇයි ආන්ටි කියන්නේ දුක් විඳිනවා කියලා..”
“මගේ ජීවිත කතාවේ කාටවත් කියන්න බැරි තරම් දේවල් කොච්චර තියෙනවද පුතේ?.. පුතාට වගේ නිදහස් ජිවිතයක් මට තිබුණනම්.. මගේ ජීවිතේ ගොඩාක් මීට වඩා වෙනස් වෙනවා.”
කියාගන්න බැරි විශාල වේදනාවක් හිතේ හිර කරගෙන නර්මදා ඉන්න බව වර්ණාසිට හිතුනා.
” ආන්ටි.. ප්ලීස්.. ඇයි ඔයා ඔයාගේ කතාව මට කියන්නෙ නැත්තේ..මං ඇත්තටම ආසයි ඒක අහගෙන ඉන්න..”
වර්ණාසි කිව්වේ මෝහිතෝ එකේ පළවෙනි උගුර බොන ගමන්.
නර්මදා එල්ලෙන ඔන්චිල්ලාවේ අනික් පැත්තෙන් ඉඳගත්තේ කපු සාරියේ පොට කරකවලා බෙල්ල වටේ ගන්න ගමන්.
“ශාන්ත මට වඩා අවුරුදු දහසයක් වැඩිමල් ..අපි ජීවත් වෙලා හිටපු ඉඩමයි ගෙදරයි ..
මුදලාලි කෙනෙකුට සින්න වෙන්න ඔන්න මෙන්න තිබුනේ .ඉඩම බේරගත්තේ නැත්නම් මටයි අම්මටයි මල්ලිලා දෙන්නටයි පාරට බහින්න වෙන තත්වයක් තමයි තිබුණේ.. ඉඩම බේරගත්තේ නැත්නම් අපි හැමෝම අනාථ වෙන තත්වෙක තිබුණේ. මගේ මාමා කේන්දර බලන කෙනෙක්.ශාන්තත් ගොඩක් ඔය කේන්දර අරවා මේවා විශ්වාස කරන කෙනෙක්. කොහොම හරි මගේ කේන්දරේ තිබිලා තියෙනවා මාව කසාද බඳින කෙනාට කිරියෙන් පැනියෙන් උතුරනවා කියලා.අපේ මාමා ඔය කතාව ශාන්ත එක්ක කියලා තියෙනවා.ඒ කතාව මම දැනගත්තේ හුඟාක් කාලයක් ගිහිල්ලා.
අපි හිතන්නෙවත් නැති විදිහට ශාන්ත ඉදිරිපත් වෙලා අපේ සින්න වෙන්න යන ගෙදරයි ඉඩමයි බේරලා දුන්නා.ශාන්තට අපි ඒ ණය ගෙවන්න ඕනේ කොහොමද කියලා හිතා ගන්න බැරුව ඉන්නකොට එයා ඇවිල්ලා ඉල්ලපු එකම දේ මාව..මටවත් අම්මටවත් ඒ දේවල් විශ්වාස කරගන්න බැරුව ගියා.ඒ කොහොම වුණත් එතකොට මට හරියටම වයස දාහතයි දුව.එතකොට ශාන්තට වයස අවුරුදු තිස්තුනක්.. වෙන කරන්න දෙයක් නැති නිසා ඒ යෝජනාවට මට කැමති වෙන්න සිද්ධ වුණා.අපේ අම්මා හරියට ඇඬුව මට මතකයි.එතන ආදරයක් තිබුණෙ නෑ දුව …
එතන තිබුණෙ ව්‍යාපාර යෝජනාවක් විතරයි… විතරම විතරයි… ඒ හැම දෙයක්ම මම දැනගත්තේ ගොඩක් දවස් ගිහිල්ල.මාව කසාද බැන්දට ශාන්ත කවදාවත් මගේ ළඟට ඇවිල්ලා නෑ.දුවට මේවා කියන්න ඇත්තටම මට ගෑනියෙක් හැටියට හරි ලැජ්ජයි.ශාන්ත කියන්නේ මානසික රෝගියෙක්… ඒක මම හරියටම තේරුම් ගන්න කොට අපි කසාද බැඳලා මාස ගානක් ගිහිල්ලා ඉවරයි. ශාන්ත මාව හැමතිස්සෙම සැක කළා. මට කොහේවත් යන්න දුන්නේ නැහැ. කිසි කෙනෙක් එක්ක කතා කරන්න දුන්නේත් නෑ.. කොටින්ම මගේ මල්ලිලා එක්කවත් මට කතා කරන්න අවසර දුන්නේ නෑ. එහෙම අවසර දුන්නා නම් දුන්නේ ශාන්ත ඉන්න තැන විතරයි. හැමතිස්සේම මාව සැක කළා. මං හැමතිස්සේම ශාන්තගෙන් හේතුවක් නැතුව අහේතුකව ගුටි කෑවා. මගේ ඇඟේ නොතැලුණු තැනක් නෑ දුව..”
වර්ණාසිට නර්මදා ගැන හරියට දුක හිතුනා.
” අනේ ඇයි ආන්ටි එච්චර වේදනාවක හිරවෙලා හිටියේ..”
“පුතාට වගේ ශක්තිමත් හිතක් ශක්තිමත් ආර්ථික පරිසරයක් මට තිබුණේ නෑ. මම ශාන්ත එක්ක තරහ වෙලා ගියා නං මට ආපහු යන්න වෙන්නේ අම්ම ලඟට .
ඒ ගියත් මට ශාන්ත ගෙ නය ගෙවලා ඉවර කරන්න විදිහක් නැහැ. ඒ හින්දා මට මොන දේ කළත් ඉවසන්න සිද්ධ වුණා…අර පුතේ අපි සාමාන්‍ය කතාවටත් කියනව නේ කරුමය කසාදය වෙලත් එන්න පුළුවන් කියලා… මගේ කරුමයත් කසාදයක් විදිහට තමයි මගේ ළඟට ආවේ. ඒක මේ ආත්මෙම ගෙවලා ඉවර කලොත් හොඳයි කියල හිතාගෙන මම කොයි තරම් ඉවසලා ඇත්ද”…
නර්මදා ගේ කඳුළු පිරිච්ච ඇස් දකිනකොට වර්ණාසි වෙව්ලුවා. මනුස්සයගේ රිදෙන අතීතය ආයි ආයිත් අවුස්සලා අහන එක කොයිතරම් කැත වැඩක්ද කියලා වර්ණාසිට හිතුනා.