එදා උපන්දින උත්සවය හරි ලස්සනට තිබුණා. මදුරි , ප්‍රියංවදා, ආලියා ට වඩා මොකක්දෝ හරි අමුතු හිත කීරි ගස්සන විදිහක් වර්ණාසිගේ තියෙනවා කියලා ජාදු ට තේරුනා. එතකොට වර්ණාසි ඇවිල්ල සතියක් විතර ගතවෙලා තිබුණේ. ඊට පහුවෙනිදා තිබිච්ච නිවාඩු දවසේ වර්ණාසිට ඕනේ වෙලා තිබුණා කළුතර බෝධියට යන්න.එදා කේසරගේ දේශපාලන හිත මිතුරන් එක්ක විශේෂ සාකච්ඡාවක් තිබිච්ච හින්දා කේසර දවසම හිටියේ නැහැ.
“ජාදු අපිට නර්මදා ආන්ටිවත් අරගෙන එන්නයි තිබුනේ..
එයා කොයි වෙලාවකවත් ගෙදරින් එළියට යන්න කැමති නෑ වගේ නේද….”
අහම්බෙන් එළියට යන්න පුළුවන් වුන දවසේ වර්ණාසි ජාදු එක්ක කිව්වා.
” නර්මදා මැඩම් එක විදිහක් බේබි… හරිම අහිංසකයි. යතොත් යන්නෙ පන්සල් විතරයි විතරයි. ඒත් අපි කළුතර බෝධියට යනවා කිව්වහම මම හිතුවා එයි කියලා..සමහරවිට ඊයේ මහන්සිය තාම ඇති..”
ඒත් ජාදුට ඒ වෙලාවේ හිතුනේ හොඳ වෙලාවට නර්මදා මැඩම් බෑ කිව්වේ කියලයි.. තනියම රස විඳ විඳ වර්ණාසි බේබිව අරන් යන ගමන ගැන ජාදු උන්නේ සතුටින්.
Andrea nozzle ගේ time to say good bye ඔපෙරාව වාහනයේ වාදනය වෙද්දී…
” වාව් ජාදුගේ ටේස්ට් එක මරුනේ කියලා..” වර්ණාසී ඉංග්‍රීසියෙන් කියනකොට ජාදු ලෝකෙ තියෙන අහිංසකම විදිහට හිනා වුණා. උපන්න දා ඉඳලා කොළඹ හතේ මිනිස්සුත් එක්ක ගැටිලා ගැටිලා ජාදු ට ඉංග්‍රීසි කතා කරන්න බැරි උනත් කියන දේවල් තේරුම් ගන්න හොඳට පුළුවන් වෙලා තිබුණ.
කේසර ලොකු සර් හෙට වර්ණාසි බේබිත් එක්ක කළුතර බෝධියට ගිහිල්ලා එන්න කියලා කියපු වෙලේ ඉඳන් ජාදු හිටියේ අමුතුම සිහින ලෝකෙක..ජාදු රෑ එළිවෙනකම් තනියම හිතුවා වර්ණාසි වගේ කෙල්ලක්ට ඇත්තේ මොන වගේ සංගීත ආසාවක්ද කියලා.. දිගටම හිතාගන්න උත්සාහ කළා. අන්තිමේදී නිකමට වගේ තමයි මේ වගේ ඔපෙරාවකට කැමති ඇති කියලා හිතුනේ. වර්ණාසි වගේ මටසිළුටු මල් පෙත්තකට ආදරේ කරන්න තමාට කොහොමටවත් බැරි බව දෙපාරක් හිරේ ගිය ජාදු තේරුම් අරන් හිටියා. හැබැයි කළුගලක් වගේ හයිය ජාදු ගෙ හිත මේ සමනල් පිහාටුව කොයි වෙලාවක හරි සසල කරලා තිබුණා. කවදාවත් නැති විදිහට ජාදුගේ ඇඟිලි තුඩු වෙවුලනවා වගේ දැනුනා. මූණට දාඩිය දාලා කන් පෙති රත් වෙනවා කියලා ජාදු ට දැනුනා. මාසයකට දෙතුන් පාරක් හම්බවෙන ප්‍රියංකා ඉස්සරහදිවත් මදුරිගෙන් නැලවෙන රාත්‍රී යාමවල් වලදීවත් මීට කලින් කවදාවත් ඒ වගේ හැඟීමක් දැනිලා නැහැයි කියලා මතක් උනා.
මං ආසයි
සිනිඳු දැනෙන
පිහාටුවක් අත ගාන්න..
අත මානෙන්
පරිස්සමෙන්
හුස්ම අරන්
බලන් ඉන්න….
කියලා එදා මගදී නවත්තලා වර්ණාසි රොටී කමු කියපු වෙලාවේ කාටත් හොරෙන් පිනි බැඳුණු මෝටර් රථ බඳේ ජාදු ඇඟිල්ලෙන් ලිව්වා.
ලියපු කවිය දිහා බලාගෙන වර්ණාසි හිනා වෙද්දී ජාදු ට ලොකු ලැජ්ජාවක් දැනුනා. ඉක්මනින්ම එක අතින් මකල දැම්මා. තමන් කෙල්ලෙක් ඉස්සරහා සම්පූර්ණයෙන්ම නිරුවත් වුණා කියලයි ජාදු ට හිතුනේ..ජය හින්ද් නයිට් ක්ලබ් එකේ පොට්ට කුසුම් එක්ක මදුරිගේ නුරාවන් විදිද්දීවත් මේ විදිහේ ලැජ්ජාවක් කවදාවත් ජාදු ට දැනුනේ නෑ…
“මොකක්ද ලිව්වේ? මට සිංහල කියවන්න බැහැ.”
වර්ණාසි ඇහැල මලක් වගේ හිනා වෙලා කියද්දි ජාදු ටික වෙලාවක් ඒ පිරිසිදු මූණ දිහා බලාගෙන හිටියා.
“නිකං… කවියක් “
“ඇයි මැකුවෙ “
දෙන්න ඕනේ උත්තරේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙච්ච ජාදු දුම් දාන රොටිය අතින්
වර්ණා සිට පෙන්නුවේ කමු කියලා කියන්න වගේ.
කළුතර බෝධියට වැටෙන පළවෙනි අවුරැල්ලේ තියෙන ලස්සන බල බල බල වර්ණාසි හිනා වුණා.රට වටේ ඇවිදින්න තාත්තගෙන් අවසර ඉල්ලපු වෙලාවෙ තාත්තා කිව්වේ දුව ඇවිදින්න යනවනම් ජාදු එක්ක විතරයි කියලයි . එක හිතින්ම වර්ණාසි හා කියලා කිව්වේ ජාදුගෙ ළඟදි තමන්ට කවදාවත් නොතිබුන විදිහේ ආරක්ෂාවක් දැනෙන්න පටන් අරන් තිබුණ හින්දයි. කේසරගේ ලොකුම විශ්වාසය ජාදු හින්දා කේසරගේ ලොකුම වස්තුව වෙච්ච වර්ණාසි ව රකින්න ඉඩදෙන්න දෙපාරක් හිතන්න ඕන වුණේ නෑ.
“බේබි දන්නවද …අද බේබිට ඇවිදින්න සර් මාව එව්වේ ලොකු සර්ට ඉන්න ෂුවර්ම කෙනා මම හින්දා කියලා…”
ජාදු කිව්වෙ ලොකු ආඩම්බරයක් හිතේ පුරවගෙන.
“ඔයා ඒ ලියන්නේ පුංචි පුංචි කවි නේද …මම හරි ආසයි ඒවට ..අගය නොකර කියන්න මොකක්ද ඒ ලිව්වේ කියලා..”
වර්ණාසි නැවත නැවතත් කැඩුණු සිංහලෙන් ඇහුවා. ජාදු බකස් ගාලා හිනාවක් එලියට වීසි කලා.
“ඇයි ඔයා හිනා වෙන්නේ..”
වර්ණාසී උණු ඉඟුරු ප්ලේන්ටි එක අස්සෙන්ම ඇහුවා.වර්ණාසි අමුතුම විදිහට මූණ ඇද කර කර කතා කරන හැටි ජාදු ට පෙනුනා. ඒ මූණ අත් දෙකට ගන්න ඇත්නම් එක තත්පරයකට කියලා ජාදු ට හිතුනා. “
හරි මං ලියන කවි.. මං බේබිට කියවන්නම්… බේබි ඉංග්‍රීසි කවි මට කියලා දෙන්න..”
ජාදු එහෙම කියනකොට තේ එක බිබී හිටපු වර්ණාසි ඇස් දෙක විතරක් උස්සල බලල හිනා වුණා. ඒ හිනාවට ඒ බැල්මට කියන නම ජාදු දැනගෙන උන්නේ නෑ.
“හරි ෂුවර්”
ඒ වෙලාවේ තිබුන මිහිර සේරම තමන් උරා ගත්තා කියන හැඟීම දනවන්නත් එක්ක ජාදු වතුර උගුරක් හරිම හෙමිහිට බිව්වා.
“අයිසෙ …ඒක පිස්තෝලයක් නේද..”
කියලා බෝධිය ළඟ සෙනඟ පරීක්ෂා කරන්න හිටපු පොලිස් නිලධාරියා ඇහුවේ සර්පයෙක් අතේ ගෑවුනා වගේ අත පිටිපස්සට ගස්සලා ගන්න ගමන්.
බය බිරාන්ත වෙලා පොලිස් නිලධාරියා ජාදු උත්තර දෙනකම් බලාගෙන හිටියා.
“මේ ඉන්නේ කේසර රණබාහු ඇමැතිතුමාගේ දුව.මම එයාගේ ආරක්ෂකයා”..
ඉස්සරහ බලාගෙන බොහොම හෙමින් උත්තර දෙන ගමන් ජාදු තමන්ගේ ෂර්ට් එක පහලට ඇදලා ඉන්න වහගත්තා.
තත්පර පහක් හයක් විතර ජාදුගේ මූණත් වර්ණාසිගේ මූණත් මාරුවෙන් මාරුවට බලාපු පොලිස් නිලධාරියා
” ඕකේ සර් “
කියලා සැලියුට් එකකුත් ගැහුවා. ජාදු ට හිනා ගියේ මුන්ගේ තියෙන බලු ගතිය වගේ කියන හැඟීමකින්.ඒ තරම් භයානක ආයුධයක් ජාදු ලග තියෙන බව මේ වෙනකන් නොදැන ඉදීම ගැන තිබුණු තරහ නිසා බෝධීන් වහන්සේ වැඳලා චෛත්‍ය ගර්භය ඇතුලටත් ගිහින් වැඳලා ආපහු වාහනයට එනකන්ම වර්ණාසි වචනයක්වත් කතා කළේ නෑ.
එදා වෛකාවෝ ගඟ ළඟදී ජෙරම් හදිසියේම තමන්ගේ අවසරයක්වත් සූදානමක්වත් නැතුව එකපාරටම තමන්ව සිප ගත්ත මොහොතේත් මේ වගේම පණ නැති ගතියක් එක්ක ලොකු තරහක් දැනුනු බව වර්ණාසිට මතක් වුණා.
නළුවෙක් වගේ ලස්සන උනාට පුස්තකාලයක් වගේ දැනුම තිබුණට තමන්ගේ ආදරය ඉල්ලගෙන පස්සෙන් ආවට ජෙරම්ව ඒ විදිහට එපා වුණේ ඇයි කියන්න වර්ණාසි තවමත් දැනගෙන හිටියේ නෑ.
එතන තිබුණද මං ගැන හොයලා බලන ගතියක්…. එතන තිබුණද පුංචි පුංචි විහිළු.. පුංචි පුංචි රස කතා ..පුංචි පුංචි හමුවීම් වගේ දේවල් ….දේශන සම්මන්ත්‍රණ විදග්ධ කතා රූපවාහිනී සාකච්ඡා පුවත්පත් සාකච්ඡා පුවත්පත් තීරුලිපි ගුවන් විදුලි සංවාද ඉවරයක් නැති දුරකථන ඇමතුම් ජෙරම්ගේ සෙනෙහසට බාධාවක් වුණාදෝ කියලත් වර්ණාසිට හිතුණා. තාත්තගේ දෙවෙනි විවාහය ආරංචි උනහමත් ඒ සැණින්ම ලංකාවට එන්න බැරුව ගියේ ජෙරම් තමන්ගේ හිත ළඟ හෙවනැල්ලක් වගේ පාවෙවී උන්නු හින්දයි .ජෙරම්ගේ තිබුණු අසාමාන්‍ය කාර්යබහුලකම හින්දම වර්ණාසිට හැමතිස්සෙම හිතුණේ තමන්ට ඕන වෙලාවෙ තමන් ළඟ නැති මනුස්සයෙක් මොකටද කියලයි.. එදා ගඟ ළඟදී කිසිම හේතුවක් නැතුව තමන්ව සිප ගත්තු වෙලාවෙදි වර්ණාසිට දැනුනේ ජෙරම් මොකක් හරි වුවමනාවක් තමන්ගෙන් පුරවගන්න හදනවා කියන හැඟීමක්..ඒක ඒ තරම්ම ප්‍රබලව දැනෙන්න ඇත්තේ තමන්ගේ උපත ලංකාවේ නිසා වෙන්න ඇති කියලා සිද්ධිය දැනගත්ත පුංචි අම්ම හිනා වුණා.
“යන ගමන් පොත් කඩයක් ළඟ නවත්තන්න …මට පොත් වගයක් ගන්න තියෙනවා.”
” ආ මං හිතුවේ කතා කරන්න වචන අමතක වෙලා කියල..”
එහෙම කියපු ජාදු කළු තමයි ලස්සනම පාට කියලා හිතෙන විදිහට හිනා වුණා.