ආතුරයන් මැද ආදරෙන් 9

“ඇයි ජාදු ආයුධ පාවිච්චි කරන්නේ…? මං දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. මං සාමාන්‍ය කෙනෙක් ..මොකද ඔහොම එකක් අරගෙන මේ ගමන ආවේ….”

වර්ණාසි ඇහුවේ ඇත්තම තරහක් හිතේ තියාගෙන .තමන්ට සුපුරුදු ඉංග්‍රීසියෙන්මයි.”

“බේබි  කේසර ලොකු සර්ගේ තරහකාරයෝ හැම තැනම. උන්ට ඕනේ අපේ සර්ව කොහොමහරි වට්ටන්න ..රිද්දන්න ..බේබිට මොනාහරි කළොත් වැඩිපුරම රිදෙන්නේ අපේ සර්ට…ඒක එහෙම නොවෙන්න වග බලා ගන්න එක මගේ වැඩක්”…

එහෙම කියපු ජාදු දකුණු අතින් නළල අත ගාගත්තා.
ජාදු ගේ ලස්සන කළු ඇස් දිහා බලන්න වර්ණාසි නොදැනීම කැමති වෙලා තිබුණා.   ජාදු  ළඟ තියෙන ආරක්ෂාව… ජාදු  ළඟ තියෙන හොයා බැලීම… තමන්ට කවදාවත් ජෙරම් ළඟින් දැනුනේ නැති බව වර්ණාසිට මතක් වුණා..

“ජාදු  කවදාවත් කෙල්ලෙකුට ආදරේ කරල නැද්ද …”

කියලා වර්ණාසි  ඇහුවේ හෙමින්.බොහොම මිහිරි ගසෙල් ගායනාවක් රථය ඇතුළෙ දොරවල් හතරෙම තිබුණු පුංචි බෆල් වලින් ඇහුනා. කොළපාටින් බර වෙච්ච රබර්වත්තක් මැද්දෙන් ගලාගෙන ගිය පාර අයිනේ බොහොම හෙමින් වාහනය නතර කරපු ජාදු  වර්ණාසි  දිහා පිටිපස්ස හැරිලා බලලා හිනාවුනා.

“නෑ “

කියලා කොහොම ගැඹුරු කටහඬකින් කිව්වා.

“ඇයි ඒ “

“කෙල්ලෙකුට ආදරේ කරලා කසාදයක් බැඳගෙන පවුලක් හදාගන්න තරම් මම හොඳ මිනිහෙක් නෙමෙයි බේබි . බේබිට හිතාගන්න බැරි හුඟක් දේවල් මගේ රස්සාව ඇතුලෙ තියෙනවා. මං දෙතුන් පාරක් හිරේ ගියා. තුන්දෙනෙක්ව මරලා තියෙනවා. හැබැයි ඒ හැම දෙයක්ම අපේ සර් වෙනුවෙන් කරපුවා.කුණු කානුවේ හිටපු මාව මේ තැනට එනකන් ගෙනාවේ අපේ කේසර සර්. එහෙම නොවුනා නම් මම අද කොහෙද.. බේබි  දැක්කනේ අර පොලිස් කාරයා මට සැලියුට් ගහපු හැටි…ඒ වගේ තැනකට මාව ගෙනාවෙ කේසර සර්… මට බොරු කරන්න ඕන නෑ බේබි . මට ගෑනු ඕන තරම් ඉන්නවා. හැබැයි මට උන් එක්ක  ආදර සම්බන්ධයක් තිබිලා නෑ.. මට උන් එක යාළුකං ඕනෙත් නැහැ.”…

එහෙම කියපු ජාදු  හිනා උනා .

“කුණු කාණුවක ඉන්න පණුවෙක් තරම්වත් මාව මගේ අම්මට වටින්නේ නැති වෙලා තිබුණා. මං ඉපදෙනකම්ම ඒ ගෑනි මොනතරම් උත්සාහ කරන්න ඇද්ද මාව මරලා දාන්න. ඉපදුණායින් පස්සෙත් මරාගන්න බැරි තැන කානුවට විසිකරලා යන්න ඇති.”

බොහොම වේදනාවකින් ජාදු  කතා කරනවා කියලා වර්ණාසි ට හිතුනා.ජාදු ගේ ගැඹුරු කටහඬින් බොහොම හෙමින්.. මේ දෙබස එළියට එනකොට වර්ණාසිගේ ඇස් වල නමක් ගමක් හේතුවක් නැති කඳුළු තිබුණා.සමහර කඳුළුවලට ස්ථිර හේතුවක් ඕනේ නැති බව කඳුළුවලටත් හිතිලා තිබුනා.

“බේබි ඕනෙම පරණ පොතක් හොයාගන්න පුලුවන් පරණ පොත් තියෙන මරු කඩ සෙට් එකක් මම දන්නවා. මම බේබිව එතනට අරගෙන යන්නම්.”

වර්ණාසිගේ මූණ වෙනස් වෙලා කඳුළු පිරුණු ඇස් දෙක දැක්කහම ඇතිවෙලා තියෙන තත්ත්වය වෙන අතකට හරවන්න ජාදුට ඕන වුණා. පොත් කඩයකින් නවත්තන්න කියලා කලින් වර්ණාසි කියපු හින්දා ජාදු  දන්න පරණ පොත් විකුණන සුපිරි කඩයක් මතක් වුණා.

  “ආරම්භයේදී පැවැත්මක් හෝ නොපැවැත්මක් නොතිබිණි.
එහි වායුගෝලයක්.. අහසක් සහ අහසින් ඔබ්බට ප්‍රදේශයක් නොතිබිණි…
මොන බලයක්ද එහි තිබුනේ?
ඒ බලය තිබුනේ කොහෙද ?
කවුද ඒ බලය?..
එය පරිමිතිද.. අපරමිතීද…. මරණයවත් අමරණීයත්වයවත් එහි නොතිබිණි.
රාත්‍රියත් දහවලත් වෙන් වී නොතිබුණි…
සුළඟක් හෝ හුස්මක් හෝ එහි තිබුණේ නැත.
දෙවියන් පමණක් ඔහුගේ ශක්තියෙන් හුස්ම ගත්තේය”…

එක දවසක් හැන්දෑවක ජෙරම්  රිග්වේදයේ පිටුවක් පෙරලගෙන.. කුම්බානා කෑම හලේ දී තමන්ට ඇහෙන්න කියවපු හැටි වර්ණාසිට සැනින් මතක් වුණා.මේ වෙලාවෙදි ඒ දෙය එකපාරටම ඇයි මතක් වුනේ කියලා වර්ණනාසිට හිතාගන්න බැරුව ගියා.

” ආරම්භයේදී අන්ධකාරයේ අන්ධකාරයෙන්ම වැසී ගියේය
සියල්ල ද්‍රව හා අරූපීවිය.දෙවියන්ද හිස්විය.එවිට දෙවියන් තුළ ගින්න ක්‍රියාත්මක විය.ඒ වගේම ගින්නෙන් ආදරය ඇතිවිණ. මෙය ආත්මයේ බීජය විය.ආදරයේ පැවැත්ම හා නොපැවැත්ම අතර ඇති බැඳීම ඇති විය.එහෙම කියපු ජෙරම් තමන් දිහා බලලා හිනා උනා . තමන් ජෙරම්  එක්ක කතා කරන්න හදද්දිම කාගෙන්ද ආපු දුරකථන ඇමතුමකින් ඒ හිනාව මැකිලා ගිය බවත් වර්ණාසිට මතක් වුණා.

පොත් කඩ පෙළ ළඟ ජාදු වාහනය නවත්තලා වර්ණනා සිට බහින්න දොර ඇරලා දුන්නා. වර්ණාසිත් එක්කම කඩේ ඇතුලටත් ආවා.මීට කලින් කවදාවත් මේ විදිහට ජාදු ගෙ හිත හොරා ගත්ත ගැහැණු ළමයෙක් එක්ක කවදාවත් පොත් කඩේකට  ගිහින් තිබුනෙ නෑ.. වර්ණාසිගේ හීනි ඇඟිලි තුඩු පොත්පත්වල ගෑවි ගෑවි දඟලන කොට පිටිපස්සෙන් ඉඳන් බලන් ඉන්න එක වෙනම ගතියක් කියල ජාදුට දැනුනා. පරණ පොතක් උනත් පින් කරලා තියෙනවා කියලා ජාදු ට හිතුනා.  ප්‍රියංවදා හොඳ කෙල්ල.. හැබැයි රසයක් නෑ. ඇඳෙන් එපිටට ඒකිගෙන් බෙදාගන්න තරම් දෙයක් නැති බව ජාදු ට දැනිලා තිබුණා.

අතින් අත නොඅල්ලා
හිතෙන් හිත බැඳුණු තැන
කඳුළු කැට අඩු නැතුව
සැඟවිලා ඉඟිකලා
හිනාවට පිටුපසින්
ඉන්නවා “මම “කියා….

ජාදුගේ ඇස්වලින් දීප්තියක් විහිදුණා .කවදාවත් කාටවත් කියවන්න ලැබෙන්නෙ නැති… අහන්න ලැබෙන්නේ නැති… ජාදුගේ හිතේ තියෙන රහස් කවි පොතේ, අලුත් පිටුවක අලුත් කවියක් ඒ විදිහට ලියවුනා.

“මොනවද අප්පේ ඔය තරම් පොත් ගොඩක්..මොනවද ඕවගෙ  තියෙන්නේ?..”

ජාදු ඇහුවේ පුදුමෙන් වර්ණාසි උස්සගෙන හිටපු පොත් ගොඩ දැකලයි.

“මේ පොත් මම එහේ හැමතැනම හෙව්වා.එහේ බුක්ෂොප් වල ..
ඒ උනාට හම්බවුණේ නෑ..පුදුමයි අහම්බෙන් හරි මෙතනින් හම්බවුනු එක..”

වර්ණාසි හිනා වුනේ තමන් මිලදී ගත්තු උපනිෂද් පොත් තුනට අමතරව ගත්තු තව පොත් කීපයකුත් අරන් එන ගමන්…

“හදවත තුළ ඇති කුඩා අවකාශය විශ්වය තරම් විශාලය.අහසත් පොළොවත් එහි තිබෙයි.ගින්න ද ආලෝකයද සුළංද දැන් ඇති සියල්ලද නැති සියල්ලද එහි ඇත.”

ස්වාමි ප්‍රභානන්දගේ ශ්ලෝකයක් වර්ණාසිට කටපාඩම් වුණේ ජෙරම්ගේ වාහනයේ ඉස්සරහා වීදුරුවේ බොහොම පොඩියට ස්ටිකර් එකක් විදිහට අලවලා තිබුණු දවස්වලමයි.

ජාදු හිනා වුණා.වර්ණාසී කට පාඩමෙන් කියපු ශ්ලෝකය භාගෙට භාගයක් තේරුනේ නැති උනාට වර්ණාසිගේ කටහඬේ තිබුණු ඒ මී පැණි ගතියට ජාදු  ආස වෙලා හිටියා.හදවත තුළ ඇති කුඩා අවකාශය විශ්වය තරම් විශාලයි..ඒ කොටසට නම් ජාදු ට ඇත්තටම ආස හිතුණා.ආපහු ආපහු සැරයක් කවුදෝ ඈතින් ඉඳගෙන ඒක කියනවා වගේ ජාදු ට ඇහුනා.

එදා හවස ගෙදර කෑම මේසේ නර්මදා අතින්  බොහොම රසවත් වෙලා තිබුණා.වර්ණාසි කවදාවත් කොස් ඇට කළු පොල් මාළුව කාලා නොතිබුණු හින්දා සෑහෙන වෙලාවක් නර්මදාට ඒක හදන හැටි කියන්න වුණා..වර්ණාසි වෙනුවෙන්ම මිරිස් අඩුවෙන් නර්මදා කළුපොල් මාළුවා හදලා තිබුණා.මොකක්දෝ දේශපාලන ගැටලුවකට ඔලුව හිර කරගෙන හිටපු කේසරට ඒ  සතුටු සාමීචි රස වෑහෙන කෑම කතා ඇහුනෙ නෑ.

මේ වැඩේ මුලින් පටන් ගන්න කොට ලොක්ක තමන් සම්බන්ධ කර ගත්තේ තමන්ගේ සහජ හැකියාව තේරුම් අරන් ඉන්න හින්දා කියලා කේසර හිතුවා.ඊළඟ ජනාධිපතිවරණයට තමන්ගේ නම ඉහළින්ම සභා සම්මත කරන්න ලොක්කා ඉදිරිපත් වෙන  හින්දා කේසරට මේ සිද්ධියට සම්බන්ධ වෙන්න බැහැයි කියන්නත් බැරුව ගියා.අන්තිමේදී දෙපාරක්ම ජනාධිපති ධූරය දරපු දයාවංශ ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගන්නයි යන්නේ..
විරුද්ධ පක්ෂය බෝම්බ සිද්ධියට තමන්ව බෙල්ල මුලින්ම අල්ලගෙන යනවා.සිද්ධියට අබ මල් රේණුවකින්වත් නොගෑවී ඒ මහා ක්‍රියාදාමය කරවපු දයාවංශ නිර්දෝෂී බබෙක් වෙලා ගැලවිලා යන්නයි හදන්නේ.
තමනුත් බන්දුලත් අමු අමුවේ මේ සිද්ධිය කරමුලටම අහු වෙන්නයි යන්නේ . ලස්සන වැඩේ කියන්නෙ ජනාධිපති ධූරයට මෙදා පාර තමන්ගේ නම යෝජනා කරලා ඒක සභා සම්මත උනාට පස්සේ මේ හැම කුනු ගොඩක්ම ආපහු අවුස්සපු එකයි.

මට දැනුයි තේරෙන්නේ… දයාවංශයට ඕන වුණේ මගෙන් පළිගන්න.උගේ වැඩේ මාව ඉත්ත කරගෙන කරව ගත්තා…ජනාධිපතිවරණයට මුලින්ම මාව දානවා.එතකොට ජය මහලා මේ සිද්ධිය ඇදලා අරන් මාව කපලම දානවා.ඊට පස්සේ දයාවංශගේ පුතා ලංකාවට ගෙනත් ගේමට දානවා.නාලිකාගේ සිද්ධියෙන් පස්සේ දයාවංශ ඉන්න ඇත්තෙ හිත යටින් තරහකින් කියලා දැනුයි මට දැනෙන්නේ.අන්තිමේ ඌ හින්දා මගේ ගෑනිත් මට නැති වුණා..
දැන් මාවත් මට නැති වෙන්නයි යන්නේ…

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles