බිඳුණු හිතකින් තාවකාලික සැනසුමක් සෙවූ තරුණියක්..

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

මාලිකා කසාද බැන්දෙ අවුරුදු 22. ඒ ඉස්කෝලෙ යන කාලෙ ඉඳල එයා ආදරේ කල තෙවින් ව. ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ආදරේ කියල මොකද්ද එකක් කරාට කසාද බැන්දයින් පස්සෙ තමා මාලිකාට වගේම තෙවින්ටත් තේරුම් ගියේ තමන් අතර තිබිල තියෙන්නෙ තාවකාලික ආකර්ශනයක් විතරයි කියල.

ඒ විදියට අවුරුදු ගානක් ආදරේ කරල කසාද බැඳපු ජෝඩුව මාස හය හතක් ඇතුලෙදි දික්කසාද උනා. දික්කසාදෙ තීන්දුව දීපු දවසෙ උසාවියෙන් එලියට ඇවිත් මාලිකා හිතුවෙ එකම එක දෙයයි. ඒ “තෙවින් මාව රැවැට්ටුව” කියල.

මාලිකාල හරියට සල්ලි තියෙන මිනිස්සු. මාලිකාල එක්ක බලද්දි තෙවින්ල එහෙම නෑ. දික්කසාදෙන් පස්සෙ වගේම කසාද අතරෙ හිත් රිදිච්ච හැම වාරෙකම මාලිකා හිතුවෙ “තෙවින් මාව කසාද බැන්දෙ සල්ලි වත්කම් වලට ලෝබකමේ මිසක් මට ආදරේට නෙවෙයි. එයා මාව රැවැට්ටුව. බොරු ආදරයක් පෙන්නල රවට්ටල මාව කසාද බැඳගත්ත” කියල.

බොහොම පොඩි වයසකදි කසාද බැඳලා ඉක්මනට දික්කසාද උනාට තනිකම එක්ක මාලිකා හයර් ස්ටඩීස් හොඳට කරා. රස්සාවෙන් උඩට උඩට ගියා. ඒත් තනිකම, කවුරු හරි ළඟ ඉඳියනම් හොඳයි කියන හැඟීම ටිකෙන් ටික වැඩිඋනා මිසක අඩු වීමක් උනේ නෑ.

ඒ තනිකමේ ගිලිල ඉද්දි තමයි මාලිකාට ප්‍රශාන්ව හම්බුනේ. ඒ ෆේස්බුක් ගෘප් එකකින්.

“මම මැරිකරලා”

ප්‍රශාන් කතා කරන්න ගත්ත මුල් දවසෙම එහෙම කිව්වා. මාලිකා ඒක දැක්කෙ ප්‍රශාන්ගෙ අවංක කම වගේ. තෙවින් තමන්ව රැවැට්ටුව කියල හිතාගෙන උන්නු මාලිකා ප්‍රශාන්ගෙ අවංක කමට ආදරෙන් බැඳුනා.

“ඔයා මටත් මම ඔයාටත් කොච්චර ආදරෙ කරත් අපිට කවදාවත් එකතුවෙන්න බෑ මාලි. මට සුමායාව දාලා එන්න බෑ.”

“ඔයා ඔහොම දුර ඉඳන් ආදරේ කරොත් ඇති. මට කවදාවත් ඔයාව අයිති කරගන්න උවමනා නෑ”

කතාව පටන් ගත්තෙ ඒ විදියට උනාට කාලයක් යද්දි මාලිකාට ප්‍රශාන්ව නැතුවම බැරි උනා. ඒ අතරෙ තමයි ප්‍රශාන්ගෙ වයිෆ් සුමායා ප්‍රෙග්නන්ට් උනේ. ප්‍රශාන් සහ සුමායාගෙ පලවෙනි දරුවා. ප්‍රශාන් උන්නෙ හරිම සතුටෙන්. හැබැයි ඒ සතුට අස්සෙ ප්‍රශාන්ට මාලිකාව ටිකෙන් ටික අතෑරියා.

“ඇයි ප්‍රශාන් ඔයා දැන් මට ඉස්සර තරම් කතා කරන්නෙ නැත්තෙ?”

“ඔයා දන්නවනෙ මාලිකා සුමායා ප්‍රෙග්නන්ට්. එයාට තනියම වැඩ කරගන්න අමාරුයි ටිකක්. මට ඉස්සර වගේ නිතරම ෆෝන් එක යූස් කරන්න වෙන්නෙ නෑ ඉතින් ඔෆිස් ඇරිල ඇවිල්ල මම දැන් ඉස්සරට වඩා සුමායාට උදව් වෙනව ගෙදර වැඩ වලට උනත්”

“ඒ උනාට ඔයාට මං ගැනත් හිතන්න බැරිද ප්‍රශාන්? සුමායාටව වගේම මට ඉන්නෙත් ඔයා විතරයි නේද?”

“මාලිකා ප්ලීස්, මේ කතා කරන්න පටන් ගනිද්දිත් මං කිව්ව ඔයාට මට කවදාවත් සුමායාව දෙවනි තැනට දාන්න බෑ කියල. ඇයි ඔයා ඒක අමතක වෙලා මාව අයිතිකරගන්න හිතල වගේ කතාකරන්නෙ?”

තෙවින්ගෙන් වෙන් වුනාට පස්සෙ මාලිකා දෙවන වතාවට හිත රිද්දගත්තෙ ඒ වචන වලදි. පලවෙනි වතාවෙදි තෙවින් තමන්ව රැවැට්ටුව කියල හිතුවට දෙවනි වතාවෙදි තමන්ව ආපහු ඒ වලටම වැටිල කියල මාලිකා තේරුම් ගත්තෙ ඒ වෙලාවෙදි. මාලිකා උපදේශනයට මං ලඟට ආවෙ ඒ විදියට.

මේ වගේ ගැටලු සමාජයට අලුත් නැහැ. Break ups එහෙම නැත්තම් සම්බන්දයක් බිඳ වැටීම කියන්නෙ මනුස්සයෙක්ට දරාගන්න අපහසු වේදනාවක්. සමහර අයට ඒ වගේ වේදනාවකින් මිදෙන්න හිත හදාගන්න සෑහෙන කාලයක් යනවා.

ඒ වගේ වෙලාවකදි ඔයා නොකල යුතුම දෙයක් තමයි අලුත් සබඳතාවයකට යාම. තමන්ටම තේරෙනවනම් තමන් කලින් සම්බන්දෙ බිඳීම නිසා ඇතිවුන හිත් වේදනාවෙන් සහමුලින්ම රිකවර් වෙලා නැ කියල අලුත් සම්බන්දෙකට යන එකෙන් වෙන්නෙ ඒ වේදනාව නැවත වතාවක් ඇති වීම විතරයි.

තාවකාලිකව හිත සනසගන්න පුලුවන් උනාට කිසිම වෙලාවද දීර්ඝ කාලින සුවයක් ලැබෙන්නෙ නැහැ. හරියට ශරිර වේදනාවක් දැනෙන ලොකු ලෙඩක් තියෙන වෙලාවට තාවකාලිකව ඒ වේදනාවෙන් මිදෙන්න අපි වේදනා නාශක ගන්නව වගේ. හැබැයි ඒකෙන් අපේ අසනීපය සුව වෙන්නෙ නැ.

ඉතින් අපි ඉස්සෙල්ලම කරන්න ඕන අපේ හිතට වේදනාවක් ගෙන ආව ඒ කාරණාවෙන් සහමුලින්ම රිකවර් වෙන්න උත්සහ කරන එක. එහෙම නැතුව තාවකාලික සුවයක් පතාගෙන අලුත් සබඳතාවයකට යන එකෙන් වෙන්නෙ අපි රෑ වැටුන වලේ දවල් වැටෙන එක විතරමයි.

ජීවිතේ ප්‍රශ්න එනව. ඒ ප්‍රශ්න හමුවේ අපි කඩා වැටෙනව. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ වේදනාවෙන් තමන්ව මුදවගෙන, ජීවිතේ හොඳින් ඉදිරියට යන වගකීම තියෙන්නෙ තමන් අතේ. ඒ වගේ වෙලාවක තමන්ට තේරෙනවනම් තමන්ට තනියම මේ වේදනාවෙන් මිදෙන්න අපහසුයි කියල උපදේශනයට යන්න. හොඳම මිතුරෙක් එක්ක තමන්ගෙ ප්‍රශ්නෙ බෙදාගන්න. හිත සතුටු කරන දේවල් කරන්න. ඒ ඔස්සේ රිකවර් වෙන්න උත්සහ කරන්න.

කිසිම මොහොතක තාවකාලික සැනසුමක් සොයාගෙන යන්න එපා.

ඒ තාවකාලික සැනසුම දීර්ඝ කාලීන වේදනාවක ඇරඹුමක් වෙන පුලුවන් බව අමතක කරන්න එපා!

Related Articles

Don't Miss


Latest Articles