මා හද තුළ ඔබ 21

තඹරු ගේ හිත තුළ විවිධාකාර සිතිවිලි ඇතිවෙමින් ද නැතිවෙමින් ද විකාරරූපී සිතුවම් මැව්වේ ය. ඇය හුස්ම ගත්තේ ඉක්මනට ය. ඊටත් වැඩි වේගයෙන් කඳුළු පේළි කම්මුල් පසු කොට ගියේ ය. පපුව වේගයෙන් උස් පහත් විය. නමුත් ඇය කතා නො කළා ය. අඩු තරමින් සිය රියට ගොඩ වෙන ලෙස සමනල් කළ යෝජනාව වුව ප්‍රතික්ෂේප නොකළා ය. වචනයකින් හෝ විරුද්ධ නොවී ඊට නැගුණා ය. සමනල් ඉක්මනින් රිය පදවන ගමන් ම වරින් වර හිස හරවා යුවතිය දෙස බැලුවේ ය. ඇගේ වත ශෝකාන්තයක් සහිත පොතක් සේ ය. ඒ තරම් සන්තාපයකින් මුසපත් ව තිබේ. තෙත්බර ව තිබේ.

“බය වෙන්නෙපා. තාත්තට සනීප වෙයි”

කුමක් පවසන්නෙම් දැයි බෝ වෙලාවක් සිතීමෙන් පස්සේ සමනල් එසේ මුමුණා ගත්තේ ඒ මුණිවත දරනු නො හැකි වූ හෙයිනි. තඹරු ඔහු දෙස බැලුවා ය. ඔහු කවුරුන් වුණත් මේ වෙලාවේ ඔහු ගේ ගෙලෙහි එල්ලී හඬන්නට ඇයට අවැසි විණි. ඒ තරම් ඇයට ඒ පීඩනය දරනු නො හැකි ව තිබිණි.

“හොස්පිට්ල් ගෙනියලද දැන් තාත්තව…”

හරියට යමක් වටහා ගැනීමේ අපේක්ෂාව සමනල් වෙත විය. අතින් මුව වසා ගත් තඹරු වඩාත් තදින් හඬන්නට පටන් ගත්තා ය. සමනල් ගේ හදවත තරමක් කළබල විය. ඇය මේ විදිහට හැසිරෙන්නට හේතුවක් තවමත් ඔහු ට සිතා ගත නො හැකි ය.

“තාත්තට සනීප නෑ කියල මං මිස්ට පෙරේරාට කිව්වෙ ඇත්තම නෙවේ”

තඹරු ගේ ඒ ප්‍රකාශය සමනල් තව දුවරටත් වියවුල් කරනා සුළු වූයේ ය.

“එහෙනං ඇයි මේ…ඔයා ඇයි හිටපු ගමං ගෙදර යන්නෙ…ඇයි තඹරු මෙහෙම අඬන්නෙ…”

“තාත්ත සුයිසයිඩ් කරගන්න හදල”

ඒ වචන ටික පිට වූයේ මහා විලාපයක් එක්ක ය. කොයි තරම් කැළඹී ගියේද යත් රිය පදවාගන්නට හෝ අපහසු වන තරමට සමනල් ගල් ගැසී ගියේ ය..ඒ හින්දා ම ඉඩක් ඇති අයිනක් බලා ඔහු රිය නතර කළේ ය. සමනල් ගේ දෑත් යන්තමින් වෙව්ලමින් තිබිණ. නමුත් ඔහු ට අවශ්‍ය වූයේ මේ වෙලාවේ හිස පිරිමැද ඇය සනසන්නට ය.

“ඉ…තිං…”

“අනේ මගෙ අම්ම පව්. එයා කොච්චර දුක් වින්දද…එයා මොන කරං දේවල් උහුලගත්තද මට අමාරුයි කියන්නැතුව…එයා බය වෙලා හොඳටම…අම්ම මෙච්චර අසරණ වෙලා මීට කලින් කවදාවත් මට කතා කරල නෑ. දැං මට වැඩිය බය අම්ම ගැන”

“අපි ඉක්මනට ගෙදර යමු”

හිතට දිරිය ගෙන සමනල් යළි රිය පාරට ගත්තේ ය. සමහර දේවල් සිදු වන්නේ හරි පුදුම විදිහට ය. අහම්බෙන් නුගේගොඩ හන්දියේ දී දුටු කෙල්ලක හඹා ගිය ගමනක් මේ වගේ ගමනාන්තයකට එළඹීම ද එවන් පුදුමයකි. සමනල් ට මේ සියල්ල ඔහු ගේ පවුලේ දේවල් සේ දැනේ. සිය වගකීම් සේ දැනේ.

“හිත දුර්වල කරගන්න එපා තඹරු. පිරිමි හයියක් නැතුව තාත්ත වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු ඔයාගෙ අම්මයි ඔයයි මටනං දැනෙන්නෙ වීරවරියො වගේ. මේකත් කොහොමහරි පැනගමු. ෆේස් කරගන්න අමාරුම තැනක් වුණත්…ඔය දෙන්නට පුළුවන්..දැන් මල්ලිත් ලොකුයිනෙ. එයත් ඕගොල්ලොන්ට ලොකු හයියක්නෙ. අවුරුදු ගාණක් ලෙඩ ඇඳක දුක් විඳින පිරිමියෙක්ගෙ මානසිකත්වය තේරුං ගන්න අපි ට්‍රයි කරමු. තාත්තට කෑගහන්න එහෙම එපා හරිද…ඒක මෝඩ වැඩක් වුණත් දැන් අපි එයාට ඒ ගැන දොස් කියල වැඩක් නෑ. ඒකෙන් වෙන්නෙ එයා තවත් පහලට වැටෙන එක”

මග දිගට ම තඹරු ගේ හිත හැදෙන්නට සමනල් බෝ දේවල් කීවේ ය. ඒ සියල්ල ඇගේ සවන් මක පතිත වූ මුත් කිසිත් හිතේ රැඳුණා දැයි සරක සහිත ය. ඇය අමුතු ම ලෝකයක හුදෙකලා වී සිටියා ය. කේක් ඇන්ඩ් කොෆී ඉදිරියේ රිය නැවතෙත්දී තඹරු ගේ පපුව දැවී ගියේ ය. මේ වගේ වෙලාවක කවදාවත් එහි දොර වැසී තිබෙන්නේ නැත. ඔවුන් වෙනුවෙන් ජීවය ගලා ආවේ ඒ දොරටුවෙන් ය. හැම මොහොතක ම කේක් ඇන්ඩ් කොෆී තුළ එක් පාරිභෝගිකයෙකු හෝ ගැවසීම ඔවුන් ගේ ප්‍රාර්ථනාව විය. ඔවුන්ට ජීවත් වෙන්නට දිරිය ශක්තිය ගෙන ආවේ ඒ ගේට්ටුවෙන් ඇතුළු වෙන මිනිසුන් ය. නමුත් අද මහ දවාලේ එය වැසී ගොස් තිබේ. තඹරු ගේට්ටුව විවර කරමින් සමනල් දෙස බැලුවේ ඔහු ට ඇතුළට ඇරයුම් කරන්නට මෙනි. ඔහු මේ විදිහට ඇය සමග පැමිණි එක හිතට හයියක් වාගේ දැනෙන්නේ කිමදැයි ඇය නො දැන සිටියා ය.

ගේට්ටුවේ හඩ ඇසුණ විට ය රන්මුතු ගේ හිතට සැනසීමක් දැනුණේ. එතෙක් සෝෆාව මත හිඳ දිවාකර නිදනා කාමරය වෙත නෙතු තියාන උන් ඕ තොමෝ නැගිට පියගැටපෙළ දෙසට ආවා ය. ඒ වෙලාවේ සමනල් දකින්නට ඇය බලාපොරොත්තු වූයේ ම නැත.

“තාත්තට සනීප නෑ කියල තඹරු කලබලෙන් ඔෆිස් එකෙන් ආපු නිසා මං එයාව එක්කං ආව ආන්ටි”

“අනේ මොකද අම්මෙ වුණේ…”

රන්මුතු සමනල් ට සේ ම සිය දියණියට ද එකවර ප්‍රතිචාර දක්වන්නට අපොහොසත් වූවා ය. සිතිවිලි සේ ම ඇගේ උගුර ද හිර වී තිබුණා විය යුතු ය.

“මට ඒ කිසි දෙයක් හිතාගන්න බෑ. ඒ මොකද්ද වෙන්න යන්නෙ කියල ඇත්තටම තේරුණේ නෑ”

මඳ නිහැඬියාවකට පස්සේ ඕ මුණිවත බින්දා ය.

“හරියට නිකං ෆිල්ම් එකක ඉන්සිඩන්ට් එකක් වගේ…තාත්ත වීල් චෙයා එක ස්ටෙයාකේස් එක පැත්තට හයියෙන් පැදං එනව පෙනුණ. ඒත් ඒ මොකටද කියල ඒ තත්පරේට තේරුං ගන්න බැරි වුණා වගේ. ගල් ගැහිල මං හිටගෙන බලං ඉන්නකොට වීල් චෙයා එක පඩිපෙළෙං පෙරළුණා. තාත්ත විසි වුණා. මං දන්නෑ බබූ මං කොහොම තාත්තව අල්ලගත්තද කියල…සමහර විට ඒ මං නෙවේ. අපි දිහා බලපු දෙවි කෙනෙක් වෙන්නැති බේරුවෙ”

“බයවෙන්නෙපා. දැං මං ඉන්නවනෙ…”

තඹරු අම්මා ගේ හිස සිය උරයෙහි රඳවා ඇගේ හිස පිරිමැද්දා ය. ඒ මොහොතට රන්මුතු ට ඇගේ අම්මා තුරුලේ ඉන්නවා වන් සැනසිලි හැඟිමක් දැනිණ. නමුත් ඇය කුමක් කරන්නද කියා තඹරු දැන සිටියේ නැත.

“අනේ බොහොම ස්තූතියි පුතා. මං ඒත් හිතුව බස් එකේ එනකොට බපූ එන්න කීය වෙයිද කියල. කැබ් එකක් දාං එන්න කියල කියන්න කීප සැරයක් මතක් වෙලා අමතක වෙලා ගියා”

 සමනල් වෙනුවෙන් ස්තූතිවන්ත වන්නට රන්මුතු ට සිහි වූයේ ඒ වෙලාවේ ය.

“අංකල් දැං නිදිද ආන්ටි…”

“නින්ද ගියා මගෙ හිතේ. එයාටත් දරාගන්න බැරිම මොහොතක් එන්නැති ඉතිං…”

නැවතත් ඉකිබිඳුම් සරකි. සමනල් කල්පනාවක නිමග්න ව ආලින්දයෙහි සක්මන් කරන්නට වූයේ ය. තඹරු රෝද පුටුව හරවා බැලුවා ය. එය මුළුමනින් ඇද වී තිබේ. සඳැස් ගෙදර පැමිණි විට ඔහු එක්ක ගොස් එහි ඇද ඇර පිරියම් කොට ගෙන පැමිණිය යුතු යයි ඇය සිතා ගත්තා ය.

“මං බොන්න මොනාහරි ගේන්නං”

කියමින් රන්මුතු පහළට ගිය ඉක්බිති සමනල් තඹරු වෙත විත් සිටගත්තේ ය.

“තාත්තව කවුන්සලර් කෙනෙක්ට පෙන්නුවොත් හොඳ නැද්ද…”

මීට පෙර තඹරු ට එවැන්නක් කල්පනා වී නැත. අම්මා තාත්තා වෙනුවෙන් බටහිර වෙදකම් ද දේශීය වෙදකම් ද අඩුවක් නැතිව කළ බව ඇය දනී. නමුත් මානසික වෙදකමක් ඔහු ට කිසි දා ලබා දී නැත. එවැන්නක් අවශ්‍යයි කියා ඔවුන්ට සිතුණේ ද නැත. වසර ගණනාවක් ලෝකයෙන් දුරස් වී උඩු මහලක කාමරයක් සිය ජීවිතය කරගෙන සිටිනා මිනිසෙකු ගේ මනස මොන තරම් ව්‍යාකූල විය හැකි ද? එහෙම කෙනෙකු ට සිය ජීවිතය තොර කර ගැනීමේ සිතිවිල්ලක් පහළ වීම ගැන විශ්මිත විය යුතු ද?

“ඒ ගැන කල්පනා කරල බලන්න තඹරු. මං හිතන්නෙ මේ වෙලාවෙ ඒක කරන්නම ඕනෙ”

රන්මුතු ගෙන ආ බීම වීදුරුව හිස් කරමින් සිටියදී සමනල් ට දුරකතන ඇමතුමක් ආවේ ය. ඔහු ඊට පිළිතුරු දෙමින් ම පහළ මහලට බැස්සේ  ය. තඹරු ඔහු පසු පස ආව ද රන්මුතු ට දැනුණේ දිවාකර තනි කොට යා නො හැකි භීතියකි. මරණීය සෙවනැල්ලක් ඇය බිය වද්දමින් තිබිණ.

 ගිහින් එන්නම් කියා තඹරු ට ඉඟියකින් පවසමින් සමනල් මෝටර් රථයට නැගී නික්ම ගියේ ය. යළි මතු මහළට  ගියා ඕ අම්මා ළඟ බිම හිඳගෙන ඇගේ හිස රන්මුතු ගේ උකුළේ තබා ගත්තා ය.

“මොනාද අම්මෙ අපි දැං කරන්නෙ…”

ඒ ප්‍රශ්නයට පිළිතුරක් ඒ වෙලාවේ ඔවුන් දෙදෙනා ම දැන සිටියේ නැත. දිවි තොර කර ගන්නවා නම් මීට පෙර එසේ කළ යුතු වූයේ රන්මුතු යි. නමුත් ගැහැනුන්ට තරම් ජීවිතය විඳ දරා ගැනීමේ හයියක් පිරිමින්ට ඇත්තේ නැත.

“දැං අපි තාත්ත ගැන ගොඩක් කල්පනාවෙන් ඉන්න වෙනව කියල විතරයි මං දන්නෙ බබූ…මට කැෆේ එකට වෙලා හිත හදාගෙන වැඩක් කරගන්න පුළුවන් වෙයිද මේ විදිහට…අපි අමාරුවෙන් මේ තත්වෙට අරං ආපු බිස්නස් එක…ඒක නැතිකරගෙනත් බෑ…තාත්ත ජීවිතේ නැති කර ගත්තොත්…අපිට වෙන මොනා ඉතුරු වුණත් මොකටද…එතනිං පස්සෙ අපි හිත් හදාගෙන ජීවත් වෙන්නෙ කොහොමද…මේව හිතනකොට මට පිස්සු වගේ බබූ…”

“හැම ප්‍රශ්නෙකටම එකපාර උත්තර හොයන්න බෑ අම්මෙ. එහෙනං අපි ටික දවසකට හරි කැෆේ එකේ උදව්වට කාවහරි ගමු..මිස්ටර් සමනල් කිව්ව වගේ…තාත්තට මෙන්ටල් ට්‍රීට්මන්ට්ස් ඕන තත්වයක් දැන් තියෙන්නෙ. අපි මේ අවුල් ටික කොනක ඉඳල ලිහාගන්න බලමු…මට ජොබ් එකක් තියන නිසා…කැෆේ එකට ගන්න කෙනාට සැලරි එකක් දෙන්න වෙන එක ගැන නොහිතා ඉමු. දැනට අපි එහෙම යමු”

තඹරු ගේ අදහසට රන්මුතු එකඟ වූවා ය. සියල්ලට කලින් දිවාකර ගේ මනසට ප්‍රතිකාර කළ යුතු බව පැහැදිලි ව පෙනෙන්නට තිබුණේ ය. ඔහු අවදි වූ පසු වුව රන්මුතු සේ ම තඹරු ද කතා බහ කළේ එවැන්නක් නො සිදු වූවා මෙනි. දිවාකර තඹරු ට ද මුහුණ නොදී ඉන්නට උත්සාහ කළේ ය.  ඔහු කරන්නට ගිය වරදෙහි බරපතලකම ඔහු ට නො දැනුණා නොවේ. නමුත් මනස සන්සුන් කරගන්නා එක පහසු වූයේ නැත.

ටික වෙලාවකට පසු සමනල් යළි පැමිණියේ අලුත් රෝද පුටුවක් රැගෙන ය.

“මල්ලි ආවහම මං අරක හදාගන්න යන්න හිටියෙ”

“ඒක හෙමිහිට කරගමු. ඒක හදනකල් තාත්තට ඇඳටම වෙලා ඉන්න බෑනෙ තඹරු. ආ මගෙ යාළුවෙක් ඉන්නව ඩොක්ටර් කෙනෙක්…මං එයාගෙන් ඇහුව කවුන්සලර් කෙනෙක් ගැන. මට කන්ටැක්ට් නම්බර් එක දුන්න. අපි කතා කරල අපොයින්මන්ට් එකක් ගමු”

   සමනල් රෝද පුටුව සැකසීමෙන් පසු දුරකතන ඇමතුම ගත්තේ ය. එන්න යයි නො කියා ම එන්නද කියා නො අසා ම ඔහු ඔවුන්ගේ ජීවිත වෙත පැමිණියේ කෙසේ දැයි තඹරු ට සිහි වී අමතක ව ගියේ ය. පිටස්තර පුද්ගලයෙකු ගේ උදව් නැතිව ඔවුන්ට සිය කටයුතු කර ගන්නට හැකි ය කියා කියන්නට ඕනෑ වී ද සමනල් ගේ මූණට එහෙම කියන්නට බැරි කමක් ද වූයේ ය. කුරු කුහුඹු ආත්මයක් සේ ඇය හැකිළී, දුර්වල වී ගිය මේ වෙලාවේ තඹරු ට ඔහු පෙනෙන්නට වූයේ යෝධ ගලිවරයෙකු සේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles