රන්මුතු සිය යහනෙහි නිදන්නට පැමිණේවියි දිවාකර බලාපොරොත්තු වූයේ ම නැත. රෝද පුටුවේ හිඳ කාමරයේ ජනේලය ළඟ නතර වී රාත්‍රිය හා මුහු වූ මත්තේගොඩ නගරය දෙස බලා උන් ඔහු, කිසිවෙකු කාමරයට ආ හඬින් සිතුවේ ඒ තඹරු කියා ය.
“මං තව ටිකකින් ඇඳට යනව බබූ. ඔයා ගිහින් නිදියන්න”
රන්මුතු සිය කොට්ටය හෙමිහිට යහන මත තබා ජනේලය වෙතට ගෑටුවා ය. අනපේක්ෂිත මොහොතක ඇය දුටු දිවාකර තරමක් තිගැස්සී ගියේ ය. නමුත් ඔහු ඒ බවක් නො හඟවා සිනහවක් නගා ගත්තේ ය.
“ඔයාද…මං හිතුව බබූ කියල..ඔයා ගිහින් නිදියන්න රන්මුතු. මට ඇඳට යන්න පුළුවන්”
රෝද පුටුවෙන් ඇඳට මාරු වෙන්නට හෝ ඔහු ට තනිව නො හැකි දවස් ඕනෑ තරම් තිබී ඇත. නමුත් ඒ සියල්ල මානසික දුබලතා ය. දිවාකර ගේ ශරීරයේ ස්නායු පද්ධතිය පණ ගන්වනු වස් කළ හැකි සියල්ල රන්මුතු කරවූවා ය. බටහිර වෙදකම්, ශල්‍යකර්ම, ආයුර්වේද වෙදකම්, භෞත චිකිත්සාවන්…ඒ සියල්ල සාර්ථක වූවා නම් දිවාකර අද රෝද පුටුව අතහැර සාමාන්‍ය ලෙස ඇවිද යන්නෙකු විය යුතු ය. නමුත් එසේ කරගන්නට බැරි බාධකයක් ඔහු ඉදිරියේ වූයේ ය. ඔහු ට හැම විට ම දැනුණේ නැගී සිටින්නට බැරිකමකි. එය මානසික බාධකයකි. අද දිවාකර ඒ බාධකය බිඳහෙළා තිබේ!
“මේ කාමරේ නිදියන්නයි කියල බබූ මාව ඒ කාමරෙං පිටුවහල් කළා”
රන්මුතු සිනහවක් ඇතිව කීවා ය. දිවාකර ගේ පපුව මැද ම විදාරණයක් සිදු වූවා සේ ය. එක මොහොතකට හුස්ම පොද ශ්වසන මාර්ගයේ අතරමැදක හිර විය. ඔහු රන්මුතු දෙස බැලුවේ අසරණව ය. ඒ විදිහට ඇය විනිවිද බැලුවේ කාලයකට පසු විය යුතු ය. ඇය තවමත් තරුණ පාට ය. ඉස්සරටත් වඩා පිරිපුන් ය. පරිනත වෙත්දී ගැහැනු වඩාත් සුන්දර වෙති. ඒ ස්ත්‍රීත්වය ඔහු දෑසින් විඳගත්තේ ය.
“මට සමාවෙන්න රන්…”
එවර බෝම්බය පුපුරා ගියේ රන්මුතු ගේ හදවත මැද්දේ ය. ඇයට හුස්ම ගන්නටත් අමතක විණි. රන්! ඇය සිය ජීවිතයේදී කිසිවෙකු ඈ අමතනු අසන්නට වඩාත් රිසි වූ නම එයයි. ඇය එසේ ඇමතූයේ ද දිවාකර පමණි. නමුත් ඔහු ගේ මුවින් මේ ඒ නම කියවෙන්නේ දශකයකටත් වඩා වැඩි කාලයකට පසු ය.
“මං කවදාවත් ඔයාට වරදක් කරන්න හිතුවෙ නෑ. ඒත් මං නොදැනම වරදක් වෙලා තියනව. ඒත් මට බැරි වුණ වෙලාවෙ කරන්න පුළුවන් හැම දේම කරල අම්ම කෙනෙක් වගේ ඔයා මාවත් බලාගත්ත දරුවො දෙන්නව වගේම”
“අපි ඒව අමතක කරමු දිවාකර. එදා නතර කරපු තැනින් පස්සෙ අදින් අලුතෙන් පටන්ගමු. ජීවිතේ කියන්නෙ කපල කොටල එඩිට් කරල අපිට ඕන තැන්ටික විතරක් අරගන්න පුළුවන් දෙයක් නෙවෙයි තමයි. ඒත් අපි එහෙම කරන්න බලමු”
දිවාකර යහන වෙතට රෝද පුටුව හරවා යහනට මාරු වූයේ ය. පෙර කිසි දා නො දැනුණ චිත්ත ශක්තියක් ඔහු ට දැනෙමින් තිබිණ. රන්මුතු සුසුමකින් පපුව පුරවාගෙන බලා සිටියා ය. කවදටත් ඔහු වෙනුවෙන් ඇගේ හදවතේ අසීමිත සමාවක් තිබිණ. ඇය සියල්ල කළේ එබැවිනි. නමුත් මෙවැන් තැනකදී අතර මගක ආයේ ජීවිතය හමු වේ යයි ඇය සිතුවේ ම නැත.
“ඉතිං ඊට පස්සෙ උදාරිට මොකද වුණේ…”
ඒ උපදේශන සැසිය අවසානයේ පටන් රන්මුතු ගේ හිතට වද දුන් පැනයයි. ඇය යුගල යහනේ බිත්තිය පැත්තේ අයිනට ගොඩ වෙන ගමන් ඒ ප්‍රශ්නයත් පිටතට දැමුවා ය.
“මං දන්නෑ. සමහර විට ආපහු ගෙදර එන්න ඇති. සමහර විට නොඑන්න ඇති”
“ඒ මනුස්සයගෙ ජීවිතේට කරදරයක් කළාද කියල දන්නෑනෙ ඉතිං”
“දන්නෑ. දැන් කාලය හුඟක් ගෙවිල ගිහින්. ඒ දේවල් පාලනය කරන්නවත් වෙනස් කරන්නවත් කොහොමවත් මට බෑ. ඕනත් නෑ. අන්තිමට මිනිහෙකුට ඉතුරු වෙන්නෙ තමන්ගෙ ගෑනි විතරයි කියන එක තේරුං ගන්න දවසක් හැම පිරිමියෙකුගෙම ජීවිතේට එනව ඇති. දැන් මං ඉන්නෙ ඒ අවබෝධය ලැබිල. ඉතුරු ටික සැනසීමෙන් ඉඳල මැරිල ගියාම ඇති”
දිවාකර දෑස් වසා ගත්තේ ය. රන්මුතු මොහොතක් ඔහු දෙස බලා හිඳ ඒ උරහිසත් පපුවත් අතරේ සීරුවට හිස තබා ගත්තා ය. වැලමිට සන්ධියෙන් ඒ අත නවා දිවාකර ඇයව පපුවට ලං කොට ගත්තේ ය. ඉස්සර ඔවුන් නිදන්නට පුරුදු වී සිටි ආකාරය එයයි. නමුත් මේ දස වසරකටත් පසුව ය. තවමත් ඔවුන්ට ඒ කිසි දෙයක් අමතක වී ගොස් තිබුණේ නැත.
සමනල් නික්ම ගියේ ඔවුන් තිදෙනා එක්ව බෝ රෑ වන තුරු කතා කර කර සිටීමෙන් පසුව ය. ඒ අතරේ සඳැස් ගොස් තවත් කෝපි කෝප්ප තුනක් දමා ගෙන ආවේ ය. ඒ රැය සරාගී බවක කිමිදගෙන සිටියේ ය. සමහර මොහොතවල් තවත් දිගු වෙනවා නම් කියා හිතෙන තරමට මිහිරැති ය. නමුත් සමහර මොහොතවල් කවදාවත් අපේ ජීවිත වෙතට නො එළඹී තිබුණා නම් කියා හිතෙනා තරමි එනමුදු ඒ දෙවර්ගය ම අපේ පාලනයෙන් තොර ය.
“පරිස්සමෙන් යන්න. රෑ වෙලා නිසා කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්න”
නික්මෙන්නට රිය තුළට ගොඩ වූ සමනල් ට තඹරු මිමිණුවා ය. ඇගේ වදන් අතරේ වූ වීදුරු කටු මත ඇවිදිනවා වන් සීරුම් දැවිල්ල ඇයට ම දැනිණ. ඒ මොහොත ඒ තරම් බරට දැනෙන්නේ ඇයිදැයි ඇය දැන සිටියේ නැත. වෙන් වී යන්නට බැරි දුක් හැඟීමක් තදින් හදවත තෙරපී ය. සමනල් ගේ ඇස් වල දමා යා නො හැකි අසීරුවක් විය. නමුත් නොයා සිටිය හැකි නොවේ.
“මං ගිහිං මෙසේජ් එකක් තියන්නං. ඕගොල්ලො නිදියන්න”
රිය පණ ගැන්වෙත්දී සඳැස් අක්කාගේ උරහිස වටා අතක් දමා ගත්තේ ය. තද සීතලක් තඹරු ට දැනිණ. දත් දෙපෙළ කටස් ගා එකට හැපුණේ ය. සඳැස් ගේට්ටුවේ අගුළු දමා විදුලි පහන් නිව්වේ ය. දොර වැසුවේ ය. තඹරු පියගැට පෙළෙහි පිය තැබුවේ ඉතා හෙමිහිට ය. ඇගේ ම පියවර හඬට පවා හිත ගැස්සෙනවාට ඈ බිය වූවා ය.
“දොර ලොක් කරං නිදියන්න. මං තව ටිකක් පාඩං කරනවනෙ. සමනල් අයිය ගියාද කියල මං කෝල් කරල බලන්නං”
සඳැස් කාමරය දොරකඩ දී කීවේ ය. තඹරු හ්ම් කීවේවත් නැත. ඒ තරමට හිත ගොළු ගැහෙන්නට හේතුවක් ඇය නොදැන සිටියා ය. දොරගුළු ලත්දී ඇයට හැඬෙන්නට ආ තරමි. අවුරුදු විසි ගණනක ජීවිතයේ දී ඇය කාමරයක තනිව නිදන්නේ අදයි. කුඩා කල ඔවුන් හතර දෙනා ම නිදි ලැබුවේ මේ කාමරයේ එකට ලං කළ යුගල ඇඳන් දෙකක ය. තාත්තා වෙන කාමරයකට ගියාට පස්සේ ඔවුන් තිදෙනා බෝ කලක් එහි එකට ගුලිව නිදාගත්හ. රන්මුතු සඳැස්ව වෙන කාමරයක තනිව නිදන්නට යැවූ දා තඹරු හොඳට ම ඇඬුවා ය. තාත්තා ගෙන් හිස් වූ යහනේ මල්ලී ද නැතිව යත්දී දැනුණා වූ පාළුව වචන වලින් පැහැදිලි කරන්නට ඇය දැන සිටියේ නැත. කඳුළක් ව දිය වී ගියේ ඒ හැඟීමයි. ඊටත් පස්සේ ඊයේ රෑ වන තුරු ම ඇය අම්මා සමගින් එක යහනක් බෙදා ගත්තා ය. දවසේ බොහෝ සිදුවීම් ඔවුන් කතා කළේ නිදන්නට ඇඳට වැටෙනා හෝරාවේ, මුලින් ම කෙනෙකුට නින්ද යන තුරු ය. ඇතැම් විට අනෙකාට නින්ද ගිහින් බව නො දැන ඔවුන් දෙදෙනා ගෙන් කෙනෙක් දිගට ම කතා කළහ. සුසුමක් හෙළා පොරෝනාවට ගුලි වූයේ ඉනික්බිති යි. අද සිට අම්මාත් නැත. තඹරු බිත්තියට හේත්තු වී උන් බටර් පාට ටෙඩියාව තදින් තුරුලු කොට ගත්තා ය. සමනල් නමක් ගමක් නැතිව එවා තිබූ ටෙඩියා! ‘මන්කි’ ඇය ටෙඩියාට දී තිබූ නම එයයි! තඹරු හිස ඉහළට හරවා ජනේල කණ්ඩිය මත වන පතොක් මල් බඳුන දෙස ද බැලුවා ය. අහේතුක කඳුළක් ගලා ගිය බැව් සැබවි. නමුත් හැඬීමේ උවමනාවක් ඇයට වූයේ ම නැත. දුකක් තුන් හිතකවත් වූයේ ද නැත. ගැහැනුන් එහෙම ය. තමන් ගේ කියා හිතන සියලු දෙනා ගේ සතුට වෙනුවෙන් තනි වෙන්නට ඇයට පිළිවන. සන්තකය ඔවුන්ට දී හිස් අතින් බිම බලාගෙන සැනසෙන්නට ඇයට පිළිවන. ඔවුන් ගේ කුස් පුරවා හිස් කුසින් වුව සිනහ වෙන්නට ඇයට පිළිවන. ගැහැනු හිත් සතුටු වෙන්නේ තමන්ගේ අය පහසුවෙන් කියා තහවුරු කරගැනීමෙනි. තඹරු ද එවන් ගැහැනු ආත්මයකි.
සමනල් ගෙදර ගිය බවට පණිවිඩයක් තබනා තුරු නො නිදා ඉන්නට ඇය සිතා සිටියේ නැත. නමුත් කෝටි ගණනක් සිතිවිලි හිත ළඟට ඇවිත් විවිධ මතක අලුත් කරයි. නින්දත් නො නින්දත් අතරේ එක්තරා සෞම්‍ය ඉසව්වක දී ඇය තිගැස්සී නෙතු හැරියා ය. දුරකතන තිරය එළිය වී තිබිණ. ඇය වහා එය අතට ගෙන බැලුවා ය.
“මං ගෙදර ආව”
සුසුමක් හෙළා ඇය ඉංග්‍රීසි අකුරෙන් ඕකේ කියා වහා ලියා යැව්වා ය. ඊළඟ නිමේශයේ ඕ සුව නින්දකට එළඹෙන්නට වූවා ය. නින්ද කල් ගනිමින් බලා සිටියේ ඒ පණිවිඩය නෙතු ගැටෙනා තුරාවට බව සිත ඈට මතක් කළේ නින්ද අතරේදී ම ය.
සඳුදා ලස්සනට පායා ආවේ ය. සඳැස් ඉහළට එසැවී තඹරු ඕනේ කී සල් මල කඩා දුන්නේ ය.
“මට හිතෙනව අර චොක්ලට් එවපු හෝතම්බුවයි සමනල් කියන දේවදූතයයි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්ද කියල”
ඔහු එසේ කීවේ අක්කා විනිවිද බලමිනි.
“ගොංඅලියො”
තඹරු කඩා පැන්නා ය. නමුත් ඇගේ ඇස් වල වූයේ ආදරයයි.
“මිස්ට සමනල් මුලින්ම අඳුරන්නෙ අම්මවනෙ”
දෙතොල් උල් කරගෙන ඇය ඔහු ට රැව්වා ය.
“බලමුකො එහෙමද කියල”
“ඇයි තමුසෙ සීඅයිඩී එකේද…පොතක් බලාගන්නව පණ්ඩිතය”
තඹරු ගේ සිතේ සල්මල් සුවඳ හා පැටළුණ චමත්කාරයක් එහෙ මෙහෙ වෙමින් තිබිණ. ඉඳහිට ඒ සිදුවීම සිහි වී ඇයට තනිව සිනහ ගියේ ය. එදා කාර්යබහුල දවසකි. උදේ අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු සමග ම සාකච්ඡා පැවතිණ. වෘත්තීය මට්ටමේ කතා බස් වලින් පස්සේ ප්‍රකාශන ආයතනයට අදාල බෙදාහැරීමේ අංශයෙහි කලමණාකාරවරයා, තේ එකක් බොමින් තඹරු ගේ කියුබිකල් එකෙහි දී ඕපාදූප කතාවකට වැටුණේ ය. ඔහු ආයතනයේ පැරණිතම, ආරම්භක සාමාජිකයන්ගෙන් කෙනෙකි. ආයතනය පැමිණි ගමන් මග ගැන ඔහු තඹරු නොදත් කරුණු කියමින් සිටියේ ය. බෙදාහැරීම් කළමනාකාරවරයා විශ්වාසවන්ත සේවකයෙකි. නමුත් ගෑනු ළමයින් සමග කතා කරත්දී බොහෝ පිරිමින්ගේ තිරිංග බිඳ වැටී රහස් රකින්නට අමතක වී යයි.
“තඹරු දන්නවද අපි පටන් ගන්න කාලෙ දිවාකර පබ්ලිශර්ස්ල පත්තර ලෝකෙ හොල්ලගෙන හිටියෙ”
තමන් ගැන පුරාජේරු දොඩන්නට කවදාටත් වූ ලැජ්ජාව නොවන්නට, ඒ තමන්ගේ පියාගේ ව්‍යාපාරයයි කියා උදම් අනන්නට තරම් තඹරු ඉක්මන් වන්නට තිබිණි.
“හ්ම්”
“එතකොට ඕගොල්ලො පොඩි ළමයි වෙන්නැති. ඕගොල්ලො දන්නෑ මේව. හැබැයි අපේ බොස් එක රැයකින් ඒ ඔටුන්න එයාගෙ ඔළුවට ගත්තෙ කොහොමද කියල දන්නවද…”
බෙදාහැරීමේ කලමණාකාරවරයා ඒ ටික කීවේ වට පිටේ කිසිවෙකු අසා සිටී දැයි සැක හැර දැනගන්නට වට පිට බලමින් රහස් ස්වරයකිනි. උන් හිටි ගමන් සිරුරෙහි උණුහුම් වීමක් තඹරු ට දැනිණ. ඇගේ සිරුර මතින් දහදිය කඳුරු ගණනාවක් පැන නැගී ගලා යන්නට වූයේ ය. උන් හිටි ගමන් මේ සිදු වූයේ කුමක් දැයි ඇයට සිතා ගන්නට හෝ හැකි වූවා නොවේ.