පතොක් මලක ප්‍රේමය -28

ඉනික්බිති උදා වූයේ මා තිගැස්මෙන් ද තරහින් ද ජීවත් වන කාලය ය.ඉතා සුළු කාරණාවකට පවා කෝප ගන්නට, රණ්ඩු කරන්නට මම උත්සාහ දැරිමී.
බෙහෙත් පෙති අහකට විසි කරන්නට ඕනෑතරම් සිත් වූව ද එසේ නොකර ඉන්නට මට හේතුවක් තිබිණ.මා ඔහු වැනි මිතුරෙකු අවශ්‍ය නැති බව කියද්දී පවා ධීර පැවසුවේ එක් දෙයකි.

“බෙහෙත් ටික හරියට බොන්න..”

එනිසාම ඕනෑවට වඩා චංචල වන්නට මට ඉඩ ලැබුණේ නැත.බෙහෙත් පෙති මා පාලනය කරන්නට සමත් විණි.

“නංගි, ධීරයා එක්ක මොකක් හරි අවුලකින්ද?”

මාලක අයියා මගෙන් විමසී ය.මම නැතැයි කියන්නට හිස වැනීමි.ධීර මේ පැත්තට නොඑන්නට හේතුව නිසල්ගේ කට කැඩුණු කතාවක් විය හැකියැයි සිතමින් මාලක අයියා නිසල්ට දොස් නගන්නට ගත්තේ ය.නිසල් මට සත්‍යය පහදා දුන් නිසාම ඔහු එසේ බැනුම් ඇසීම ගැන මට ඇති වූයේ දුකකි.

“මම හිතන්නෙ ධීර අයියගෙ මල්ලි තිස්සෙම නිසල්ලා එක්ක පැටලෙන නිසා ධීර අයියා අවුලින්.ඒ නැතුව විසල්වත් නිසල්වත් මොකුත් කියලා නෑ අයියේ..”

මට ඕනෑ වූයේ නිසල් බේරා ගන්නට ය.

ධීරට පණිවිඩයක් යවන්නට මට සහස් වරක් සිතිණ.මා තුළ ජීවත් වූ ආඩම්බරකාර දැරිය එයට ඉඩ තැබුවේ නැත.ඔහු මගේ ඒ වචනයට අමනාප වී කතා නොකර හිඳිනවා නම් මට ද ඔහු සමඟ මිතුරුකම් අවශ්‍ය නැත.නමුත් දරා ගැනීමේ සීමාව ඉකුත්ව ගිය දා කේතකීටත් චමත්කාටත් සියල්ල හෙළි කරන්නට මට සිතිණ.වචනවලට පෙර කතා කළේ කඳුළු ය. මා හඬන්නේ ඇයිදැයි කියාවත් මට පැහැදිලි නැත.

“ඔයාල අතරෙ අෆෙයා එකක් තිබ්බෙ නෑනෙ.ඒ හින්දා මටනම් කියන්න තියෙන්නෙ ඔය මනුස්සය එක්ක යාලුකං ඕන නෑ..පොඩ්ඩක් කොල්ලෙක් එක්ක කතා කරාම කොල්ලගෙ අම්මා මඟුල් කතා කරන්න එනවනම් අපෝ ඒ යාලුකං මොකටද?”

කේතකී පවසන්නේ තදිනි.චමත්කා මද වෙලාවක් ඈ දෙස බලා සිටියා ය.

“එහෙනං නිර්වාන්ගෙ අම්මත් සාරලගෙ අම්මට මංගල යෝජනා යවල තිබ්බෙ.ධීරගෙ අම්මා නම් මහ අමුතු වෙනස් මනුස්සයෙක් කියල අපි දන්නවනෙ.නිර්වාන්ට හයියක් තිබ්බෙ නැද්ද කෙලින්ම අහන දෙයක් සාරාගෙන් අහන්න..”

කේතකී එයට පිළිවදන් දුන්නේ නැත.ඇය නිවාඩුපාඩුවේ මුළුතැන්ගෙයට ගොස් කෝපි සෑදුවා ය.කතාව අවසන් බව සිතූ මමත් චමත්කාත් පාඩම් කරන්නට පටන් ගතිමු.

“අර මෝඩයෙක් හින්දා සාරාට ආදරේ ගැන විශ්වාස නෑනෙ..මායි නිර්වාන්ට කිව්වෙ, ඉස්සරලම ඕක අම්මලත් එක්ක කතා කරන් ඉන්න කියල.එතකොටම මේ ධීරයෙක් පැන්නනෙ..”

මට පහළ වූයේ සුළුපටු කෝපයක් නොවේ.නිර්වාන් මගේ හොඳම මිතුරෙකු බව සිතීම මට සතුටකි.ඒ හැඟීම බිඳ ගන්නට මට ඕනෑ වූයේම නැත.කේතකීගේ සැලසුම සම්බන්ධයෙන් ඇයට තදින් බැන වදින්නට මට සිතුණ ද චමත්කා මට පෙර ක්‍රියාත්මක විය.

“නිර්වාන්ට ඕක අහනවනම් අහගන්න තිබ්බෙ නැද්ද? ධීරයෙක් අපිට මුණ ගැහුණෙ මේ ඊයේ පෙරේදා. සාරා ඉන්නෙ පසන් ගැනම හිත හිතා කියලා නිර්වාන් දන්නව.හිත හදාගෙන කතා කරන්න අකමැති.ඒත් ධීරට සාරා කැමතිද හිතෙනකොට ආයේ අහන්නත් ඕන..මොනවද කේතකී මේ විකාර.ඕවට ඔයත් උඩගෙඩි දෙනවනෙ..”

නිර්වාන් තරමට මට ගැළපෙන කිසිවෙකුදු නැති බව කියන්නට කේතකී බොහෝ වෙලා ගෙවා දැම්මා ය.හදිසියේ වසින්නට ගත් අනෝරා වැස්ස දකින්නට සඳළු තලයට ගිය මම ගෙයන දෙස බලාගෙන බොහෝ වෙලා ගෙවා දැම්මෙමි.ආන්ටී සිටුවා ඇති මල් ගස් වල මල් පිරී ගොස් ය.ඒ මල් පෙති වැසි දියට තැලී බිම පතිත වේ.ආදරය අහිමි ව ගිය පසු හිතක් කඩා වැටෙන්නේ ද එසේ නොවේදැයි සිතමින් මම දිගු මිනිත්තු ගෙවා දැම්මෙමි.

“සාරා..” වැස්සේ සිතුවිලි පටලමින් හුන් මගේ අතකින් අල්ලා ගත්තේ චමත්කා ය.

“මට හිතෙන්නේ ඔයා දැන් ඇත්ත දන්න නිසා ධීරට සොරි කියන එක හොඳයි.ධීරගෙ අම්මා විකාරයි.නිසලයා එවෙලෙ හිටියේ යස්සයා වැහිලා. ඒවා නිසා ඔයා ධීර නැති කරගන්න එක මෝඩ වැඩක් සාරා..”

මම හිස සලමින් අසා සිටියෙමි.චමත්කා මගේ අත පිරිමදිමින් මඳක් හුන්නා ය.

“පසන්,නිර්වාන් එක්ක ධීර තියලා බැලුවම මට හිතෙන්නෙ ඔයාට ගැලපෙනම කෙනා ධීර.පිටින් පේන දේවල් වලින් අර දෙන්නම ඉස්සරහින් ඉන්නව තමයි.උන් දෙන්නම ධීරට වඩා හැන්ඩ්සම්.ඒත් ඔයාව පරිස්සමින් බලා ගන්නයි ඔයාට ආදරේ කරන්නයි අර එකෙක්ටවත් බෑ.පසන්නම් අපිට අදාළ නෑනෙ සාරා.ඒත් ඔය නිර්වාන් මහ බබෙක්.ඇත්තටම ගත්තමත් ඌ ඔයාට බාලයිනෙ.ඔයාට නිර්වාන් එක්ක හොඳ ගමනක් තියෙයි කියල මට හිතෙන් නෑ..”

නිර්වාන් අතිශය සැහැල්ලු සරල ජීවිතයක් සොයන තරුණයෙකි.රැකියාවේ ඉහළට යන අතර රටේ ප්‍රසිද්ධ ගායකයෙකු වන සිහිනයක එල්බ ගත් ඔහු ඒ මාවතේ ගමන් කරන්නට ගතහොත් මට ඔහු මඟ නොහැරී තිබේවිදැයි මම සිතුවෙමි.

“ධීර අයියා පොඩ්ඩක් පොලිෂ් කරලා ගන්න ඕන..නිකං සීයා තාත්තෙක් වගේ අඳින්න නොයා පොඩ්ඩක් පොෂ් වෙලා ඉඳපං කියල මං කියන්නංකො..”

චමත්කා එසේ කියා ඇගේ දුරකථනය මට පෑවා ය.එහි ඇත්තේ ධීරට යැවූ ෆේස්බුක් මිතුරු ඇරයුමකි.

“මගෙ රික්වෙස්ට් එක ගනීනෙ..මං එයාට හෙමින් කතා කරන්නං..ඔහොම තරහ වෙලා ඉන්න ඕන නෑ..”

චමත්කා මට තනිව හිඳින්නට හැර නික්මුණා ය.දුරකථනය නාද වූයේ එවෙලෙහි ය.නොදන්නා අංකය ධීර දැයි සිතමින් මම එයට සම්බන්ධ වූයෙම්.

“සාරා..”

අහසෙහි ද මසිතේ ද අකුණක් පුපුරා ගියේ එක්වරම ය.

“අහස ගොරෝනවා.අකුණු ගහනවා…”

මම නොගැළපෙන කතාවක් පැවසුවෙමි.ඇතැම්විට මගේ මුවට එන්නේ එවැනි නොගැලපෙන වචන ය.නමුත් එහි අරුත් තෝරා ගන්නට නොහැක්කක් ද නැත.

“හෙණ ගහනව නම් ගහන්න ඕන මටනෙ.පොඩ්ඩක් කතා කරමුද?”

අනෙක්පස හඬ එසේ කියද්දී මම එයට අවනත වීමි.චමත්කා එහෙමෙහෙ ඇවිදිමින් මොනවාදෝ දුරකථනයේ ලියන අන්දම මට මෙතැනට පෙනෙයි.කේතකී පාඩම් කිරීම පසෙක දමා නිර්වාන් සමඟ සංවාදයක බවට ඇගේ ලැප්ටොප් තිරය සාක්ෂි දරයි. මම දුරකථනය කනෙහි අලවාගෙන ගැහෙමින් හුන්නෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles