එදා අපේ සාකච්ඡාව ඉවර වෙලා ගෙදර ආවට පස්සේ ආයිත් ඉක්මනින්ම අපි තුන්දෙනාට වෙලා කතා කරන්න ගොඩක් දේවල් තියෙන බව මට මතක් උනා.
ඒ වගේම ප්‍රහාන් ව ඒ ගොල්ලන්ට මුණ ගස්සන්න ඕනේ කියන එකත් මගේ ඔළුවේ තිබුණා.
එදා සාකච්ඡාවෙන් දවස් පහකට පස්සේ කොහොම හරි අපිට ආපහු හම්බවෙලා කතා කරන්න පුළුවන් වෙලාවක් දාගන්න පුළුවන් උනා.ඒ දවස වෙනකන් මම මග බලාගෙන හිටියා.
එදා දවස මට හරි අවිවේකී ගතියක් දැනුන.එහෙම වෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බැරුව ගියා.සමහර විට රත්නාලෝකට අනික් අයගේ හිත් කියවන්න පුළුවන් කියන අදහස ඊයේ කතාවලදි කිය වෙච්ච හින්දා අනිච්චානුකව මගේ හිත ඒ වෙනුවෙන් බය වුණාද කියලත් මට හිතුනා. මේල් නර්ස් ඉස්සරහා කිසිම දෙයක් කතා කරන්නේ නැහැයි කියලා මම තනියම හිතා ගත්තේ , මේ සිද්ධිය මම හිතනවට වඩා මහා බරපතල දෙයක් ඇතුලේ තියෙනවා කියලා හිතුන හින්දයි. ඇත්තටම තලා කිව්වා වගේ සමහරවිට දැනටමත් අපේ ටෙලිෆෝන් ටැප් කරලත් ඇති කියලා මට හිතුණා.රාජරත්නම් උදේම මට කතා කරයි කියලා මම හිතුවා.එක වෙලාවකට මට හිතුනා අහක යන ප්‍රශ්නයක් මම නිකං බොරුවට ඇඟේ දාගෙන කියලා.මොනවා උනත් මේකේ දෙකෙන් එකක් බේරුම් කරගන්නේ නැතුව එහෙම නැත්තං මේ ප්‍රශ්නයේ පොඩි හරි විසඳුමක් ලෙහාගන්නකම් මට නං හරියට නින්ද වත් යන එකක් නැහැයි කියල හිතුනා.අද දවස මගේ ඔලුවට පොඩි විවේකයක් ඕනේ කියලා මට හිතුණා
.අද ක්ලිනික් දවසක් නොවෙන හින්දා මම වෝඩ් එකට කතා කරලා මම අද එන්නේ නැහැයි කියලා කිව්වා. ඩොක්ටර් ආසිරිට වෝඩ් එකේ වැඩ අද කන්ටිනිව් කරගෙන යන්න කියලා මම කිව්වා. හිතේ ඔළුවේ තියෙන බර ගතිය අඩුවෙන්නත් එක්ක මම උණු වතුරෙන් හොඳට නෑවා.නාලා එළියට එනකොට මගේ වෝඩ් එකේ නර්ස් කෙනෙක්ගෙ ගෙදරක කිරි දානයක් තිබුණයි කියලා කිරිබත් අළුවා කොණ්ඩ කැවුම් එක්ක පැණි බේරෙන කිරි පැණි කෑලි හත අටක් එකට ඔතපු මුලක් එක්ක අඟල් හයක් විතර දිග ඇඹුල් කෙසෙල් ඇවරියකුත් මේසෙ උඩ තියෙනවා දැක්කා. වෙනදට වඩා ටිකක් වෙනස් කෑම වේලක් හින්දා ප්‍රහන්ගේ මූණේ යම්කිසි සතුටක් තියෙනවා කියලා මට හිතුනා.
“ප්‍රහාන්.. කොහොමද කොල්ලො.. එන්න කමු …”
කියලා සුපුරුදු ළෙන්ගතු ස්වරයෙන්ම ප්‍රහන්ගේ කරට අත දාලා මම කතා කළා.සමහර විට මම පෙන්නනම් උණුහුම් මිත්‍රශීලී භාවයට ප්‍රහාන් බොහොම කැමති බව මට පෙනුනා.
“ප්‍රහාන්.. මං දන්නවා ඔයාට දැන් සීයට අනූවක් විතර සනීපයි කියලා. “
මම එහෙම කිව්වහම ප්‍රහානගේ මූණ ලස්සන හිනාවකින් පිරුණා.මොනව උනත් ඒ හිනාව පිටිපස්සේ අහිංසකයාගේ ජීවිතේ මකන්න බැරි කැළලක් ඉතුරු වෙලා කියලා මට හිතුනා.
“ප්‍රහාන් අද තමයි තීරණාත්මක දවස වෙන්නේ.මම ඔයාට එහෙම කියන්නේ මම දන්නවා ඔයාට යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙච්ච කෙනෙක් කියලා.රාජරත්නම් ගැන ඔයා දන්නවනේ ..ඔයාගේ යාළුවනේ..එයා මේ හැම විස්තරයක්ම මට කිව්ව.”..
මම එහෙම කියනකොට ප්‍රහාන් මං දිහා බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියා.ඒ ඇස් වල අමුතු බලාපොරොත්තුවක් පිරිලා කියලා මට හිතුණා.සාමාන්‍ය කෙනෙක් විදිහට බොහොම චතුර කතාබහක් ප්‍රහානගේ මේ වෙනකනුත් තිබුණේ නැහැ.ඒ උනාට අපිට අදාල කරන අවශ්‍ය තොරතුරු ටිකවත් අඩුම තරමේ එළියට ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වුණා.
“අපි හැමෝම එකතු වෙලා උත්සාහ කරන්නේ ඔයාට වෙලා තියෙන අසාධාරණයට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න.ඔයාට බෙහෙත් කරන මේ මුළු කාලය පුරාවටම ඔයා දන්නෙ නැහැ මේ ප්‍රශ්නය වෙනුවෙන් අපි කොයි තරම් කැප වුණාද කියලා.දැන් මේ ප්‍රශ්නයේ අන්තිම හරියට අපි ඇවිල්ලා ඉන්නේ.ඊයෙ රෑ එළිවෙනකනුත් රාජරත්නමුයි මමයි අපේ යාලුවෙක් වෙච්ච ඩොක්ටර් තලංම්මැහැරයි මේ ගැන තමයි සාකච්ඡා කළේ. අපිට ඇත්තටම ඕනේ වෙන්නේ දැන් ඔයාගේ කටින්ම මීට මාස නමයකට කලින් ඔයාට සිද්ධ වෙච්ච සිද්ධිය දැනගන්නයි.ප්‍රහාන් අද රෑට මාත් එක්ක ඒගොල්ලන්ව හම්බවෙන්න යමු.ඒගොල්ලෝ ඉස්සරහ ඔයාගේ කතාව සම්පූර්ණයෙන්ම දිගහරින්න.අපි තුන්දෙනා ඇප කැප වෙනවා මේ සිද්ධිය ගැන හොයන්න.
ඔයා දන්නවද ඔයා වෙනුවෙන් රාජරත්නම් මාස හතරක විතර දීර්ඝ නිවාඩුවකුත් අරගෙනයි ඉන්නේ.එයාගේ රාජකාරීත් එක්ක මේ ප්‍රශ්නය එක දිගට එයාට හොයන්න බැරි හින්දා තමයි එහෙම තීරණයක් අරගෙන තියෙන්නේ. ඔයා හිතනවට වඩා මහ බරපතල කාරණා වගයක් මේ සිද්ධියේදී හොයාගත්තා.හැබැයි ඒ හොයාගත්තු දේවල් ඔයාගේ සිද්ධියත් එක්ක කොයිතරම් දුරට ගැලපෙනවද කියන්න අපි දන්නේ නෑ.”….
මම එහෙම කියනකොට ප්‍රහාන් මගේ අත අල්ලගත්තා.
“ඩොක්ටර් … ඔයාලට ගොඩක් ස්තූතියි මං වෙනුවෙන් මහන්සි වෙනවට.මට මතක හැම දෙයක්ම මම කියන්නම්..”
“ප්‍රහාන් .. මට මාර සතුටුයි කොල්ලෝ උඹ ඔහොම කතා කරනකොට. මගේ ජීවිතය මම බෙහෙත් කරලා තියෙන ලෙඩ්ඩු අතරින් බොහොම විශේෂිත ලෙඩෙක් තමයි ඔයා.මට හම්බෙලා ඉන්න ගොඩක් ලෙඩ්ඩු හූ කියලා කෑගහන අය.මට හැම තිස්සේම සිද්ධ වුනේ ඒගොල්ලන්ව පාලනය කරන්න බෙහෙත් දෙන්න.ඒ අතරින් ඔයා ගොඩක් වෙනස්.මට ඕන වුනේ ඔයාව කොහොම හරි කතා කරවන තත්වෙට ගේන්න.අන්තිමේදී මට හිතෙනවා පොඩි හරි දේකින් මම ජයග්‍රහණය කලයි කියලා.කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මම ඔයාගේ ජීවිතේ ප්‍රශ්නෙට දැන් මැදිහත් වෙලා ඉවරයි.ඒ ප්‍රශ්නය දැන් මගේත් ප්‍රශ්නයක් වෙලා.ඔය අද හවසට යන්න කැමතියි නේද..ඔයාට මතක හැම දෙයක්ම ඔයා කියන්නේ කැමැත්තෙන් නේද..”..
මම එහෙම අහනකොට ප්‍රහානගේ ඇස් වල කඳුළු පිරෙනවා මම දැක්කා.
“ඔව් ඩොක්ටර් .. මම තාමත් ඉන්නේ ඒ ගැන හරි හිත් වේදනාවෙන්.මට මතක හැමදෙයක්ම මම කියන්නම්.මං හිතන්නේ.. සමහර විට වැරදි කාරයෝ කියන්නේ කවුද කියන එකවත් අපිට තේරුම් ගන්න බැරුව යයි.සමහර විට ඇඟිල්ල දික් කරලා මෙන්න මෙයයි වැරදිකාරයා කියලා පෙන්නන්න පුළුවන් කෙනෙක් නැතුව යයි.අඩුම තරමේ මේ ප්‍රශ්නය අභිරහසක් නොවී තියෙනවට මම කැමතියි.”
මං හිනා උනා.
එතකොටම තමයි මට තලම්මැහැර ගෙන් දුරකථන ඇමතුමක් ආවේ.
“මචං අසේල .. මට අද රෑට ඩියුටි වැටිලා. අද හැන්දෑවේ තුනට විතර නම් හම්බවෙන්න පුළුවන්.මොකද කියන්නෙ.. “
“ආ හරි තලා.. මං එන්නං… රාජා ටත් කියන්නං…”
“හරි බං එහෙනං..”
කියලා තලා තිබ්බට පස්සේ මං රාජටත් පනිවිඩය දුන්නා . හැන්දෑවේ හම්බවෙන්න හිටිය අපි හදිසියේම අදහස වෙනස් කරලා දවල් තුන විතර වෙනකොට මුහුද අයිනේ තිබිච්ච රෙස්කි සී එකට එකතු උනා. අපි අද එතනට යමු කියලා කිව්වේ රාජා තමයි.
“එක අතකට හම්බවෙන්න හිටපු වෙලාවයි තැනයි දෙකම වෙනස් වෙච්ච එක හොඳයි..”
එහෙම කියලා රාජරත්නම් හිනා වෙන ගමන් කිව්වා..
“මේ අපේ ප්‍රහාන් කොල්ලද..”
තලා ඇහුවේ ප්‍රහන්ගේ අතට අත දෙන ගමන්…
“ඔව් මචං .. මෙයා තමයි .. මූව මේ තත්වෙට ගොඩදාගන්න මම කොච්චර මහන්සි වුනාද..”
“ඇත්තටම මට මාර සන්තෝසයි ඩොක්ට..ඔයා ඇත්තටම මාර විදියට මහන්සි වෙලා කොල්ලව ගොඩ දාලා තියෙනවා..ඇත්තටම ඔයා වගේ කෙනෙක් මේ රටට ආඩම්බරයක්..”
රාජරත්නම් කිව්වේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන..ප්‍රහාන් ව රාජරත්නම් බදා ගත්තේ ඉස්කෝල කාලේ ඉඳන් යාලුවගේ ප්‍රශ්නය තමන්ගේ අත්දෙකෙන්ම බදාගත්තා වගේ..
විනාඩි දහයක් විතර ප්‍රහාන් ඉකි ගගහා රාජරත්නම් බදාගෙන අඬනකොට කොච්චර සංවේදී අවස්ථාවලට මුහුණ දීලා ඉන්න දොස්තර කෙනෙක් වුනත් මගේ ඇස් දෙකට කඳුළු එන එක නවත්තගන්න බැරුව ගියා. එතකොට තමයි මටත් තේරෙන්න ගත්තේ මට නොදැනීම මම මේ ප්‍රශ්නයේ කොටස්කාරයෙක් වෙලා ඉන්නවා කියලා.එහෙම නැත්තං අනන්ත අප්‍රමාණ ලෙඩ්ඩුන්ගේ කඳුළු දැකලා තියෙන මට මේ වෙලාවේ ඇයි මගේ ඇස්වලට කඳුළු එන්නේ කියන එක හිතාගන්න බැරුව ගියා.
“අඩන්න එපා බං… දැන් අඬලා අඬලා උබේ ඇස් වල කඳුළු නැති බව අපි දන්නවා. උඹට උඹේ මුළු ජීවිතේම නැති උනා කියන්නත් අපි දන්නවා.හැබැයි එකක්..නැති වෙච්චි දේවල් අපිට ආපහු අරන් දෙන්න බැරි උනාට උඹට වෙච්ච අසාධාරණයට පුළුවන් තරම් සාධාරණයක් ඉෂ්ට කරන්න අපි හැමෝම මහන්සි වෙනවා. අඩුම තරමේ..ඒකෙන් සමහරවිට උඹට කිසිම දෙයක් හම්බවෙන්නෙ නැතුව යැයි…හැබැයි මින් මනතට උඹලා අපි වගේ අහිංසක මිනිස්සුන්ට ඒ පාපෙන් ගැලවෙන්න පුළුවන් වෙයි..”
රාජරත්නම් ප්‍රහාන් ව බදාගෙනම කිව්වා …
“කොල්ලො… උබ දන්න හැමදේම අකුරක් නෑර අපි තුන්දෙනාට කියපන්. “
තලම්මැහැර එහෙම කියන ගමන් මුහුද පේන පැත්තේ පුටුවක ඉඳ ගත්තා.
“ඉතින් කොල්ලනේ … මොනාද අපි අද බොන්නේ?..”
රාජරත්නම් ඇහුවේ පුංචි හිනාවක් එක්ක.
“මේ අහපං රාජා..මම අද රෑ අටට වැඩට ඉන්න ඕනේ..අද රත්නාලෝකගේ රෑ එළිවෙනකම් මම ළඟ ඉන්න දවස..මට අද මොකුත් සැර ජාති පාවිච්චි කරන්න බෑ…”
තලා කිව්වේ හිනාවෙවී…
“ම්ම්ම්..එහෙනම් අපි අද ශරීර සෞඛ්‍යයට යහපත් දෙයක් ගමු.”
එහෙම කියලා හිනා වෙච්ච රාජරත්නම් බැටර් ප්‍රෝන් බිග් ඩිශ් එකක් එක්ක ස්වීට් කෝන් චිකන් සුප් ලාර්ජ් එකක් ඕඩර් කලේ…
“මෙතන තමයි ලංකාවේ රසම සුප් එක තියෙන්නේ කියන ගමන්…”