“ප්‍රශ්නයක් ආවම ඒකට තියෙන හොඳම විසඳුම ප්‍රශ්නෙ ඇතිකරන මනුස්සයට යටත් වෙන එකයි කියල හිතන එක වැරදියි අරුණලී. ඒක ඔයා ඔයාටම කරගන්න වැරැද්දක්. දැන් ඔයාම හිතන්නකො ඔයා කලබල වෙලා අරගන්න ගිය තීරණේ හන්ද ඔයා හිතනවද කවදාවත් ඔයාට මේ ප්‍රස්නෙ අවසානයක් දකින්න පුලුව වෙයි කියල?”
මනෝ උපදේශකවරිය වෙත යන්නට තීරණය කලේ අරුණලීමය. ඒ කිමල්ගේ වචන නිසා මෙම තමන්ට මෙසේ ජීවත් වෙන්න වෙන්න බැරි බව අරුණලීම තේරුම් ගත්ත නිසාවෙනි.
ජීවිතය හැමදාකම සතුටෙන්ම පිරි තිබිය යුතුයයි කියන්නට නොහැක. එහෙත් තමන් ගන්නා තීරණ අනුව ජීවිතයේ දුක සහ සතුට තීරණය වෙන බව පිලිගත යුතුමය. මේ ගෙවෙන දුක්බර කාලය තමාට පමණක් නොව අම්මලාටද දුකකි. වේදනාවකි. තමන්ව උස්මහත් කරන්නට දුක් වින්දයින් පසු අම්මලා තවදුරටත් තමන් නිසා දුක් විඳින්න ඕනෑමද?
“මම මෙනුකට කියනව මම ආයෙ සෙට්ල්වෙන්න කැමතියි කියල. සමහරවිට සමහරවිටඑයා සම්පත් ඇත්තටම වෙනස් වෙන්න කැමති වෙයි නේද? එහෙම උනොත් අවුලක් වෙන්නෙ නෑනෙ. අම්මලටත් කරදරයක් නෑ. ඒ නිසා මම එහෙම කරනවා”
කිමල් කතා කල මොහොතේ අරුණලී එසේ කිව්වේ ඇත්තටම එය කරන්නට සිතාගෙන හිටි හන්දාම නොවේ. ඒ හැරෙන්න වෙන දිය යුතු උත්තරයක් මේ ප්‍රශ්නයට තිබේදැයි හිතාගන්නට බැරි නිසාමය.
“දැන් එහෙම කලොත් හැමදෙයක්ම විසඳෙයි කියලද ඔයා හිතන්නෙ?” කිමල් වචන එහා මෙහාකලේ අරපරිස්සමෙනි. මොන දේ උනත් මානසිකව ආතතියකට පත්ව හිඳින මනුස්සයෙක් එක්ක කතා කල යුත්තේ පරිස්සමෙනි. අරුණලිත් මේ වෙලාවේ හිඳින්නේ ආතතියෙනි. තමන්ගෙන් පිටවෙන එකම එම වැරදි වචනයක් අරුණලීට වැරදි තීරණයක් ගන්නට හේතුවක් විය හැක.
“ඔව් මෙනුක හැම කරදරයක්න නතර කරාවි මම එයා එක්ක ආයෙ සෙට්ල් උනොත්. එයාට දැන් කොහොමත් ඕන ඒකනෙ. ඒක වෙනවනම් එයාට ආයෙ ප්‍රශ්න ඇති කරන්න හේතුවක් නෑනෙ”
“එයාගෙ ප්‍රශ්න විසඳුනාට ඔයාගෙ ප්‍රස්න විසඳෙයිද? ගෙදර ප්‍රශ්න විසඳෙයිද?”
කිමල් එසේ අහද්දී එයට කිව යුත්තේ කුමක්ද කියා අදහසක් අරුණලීට තිබුනේ නැත. මේ ඉක්මන් තීරණ ගැනිල්ලක් බව ඇත්තකි. ඉක්මන් වී තීරණ ගැනීම කරදර සහ විනාශයක් රැසකට පාර කපනවාක් බව දන්නා නමුත් මේ මොහොතේ මේ දුකෙන් කරදරවලින් මිදෙන්න වෙන යම් විදියක් නැති බවක් අරුණලී හිතුවාය.
“ඔයා ඔය හදන්නෙ මෙනුකගෙ ප්‍රශ්න විසඳන ක්රමයක්නෙ අරුණලී. ඔයා මේ වෙලාවෙ බලන්න ඕන ඔයාගෙ හිතට වදදෙන ප්‍රස්නෙ විසඳගන්න ක්‍රමයක් මිසක්කා ඔයාට ප්‍රශ්න ඇති කරන මනුස්සයගෙ ප්‍රශ්න විසඳන ක්‍රමයක් නෙවෙයි.
මෙතන ඇත්තටම අනුන්ටයි තමන්ටයි කරදර වෙන ප්‍රශ්නයක් ඇති කරල තියෙන්නෙ ඒ මනුස්සයමනෙ. ඉතින් එයා පත්තුකරපු ගින්න නිවාගන්න ඕන එයාමයි අරුණලී. ඔයා කරන්න ඕන ඒ ගින්නෙන් පිච්චෙන්නෙ නැතුව ඉන්න”
අරුණලී නැවත වරක් උපදේශනයට ආවේ ඒ අනුවය. කිමල් කියූ පරිද්දෙන්ම තමා කල යුත්තේ තමා මේ ගින්නෙ නොපිච්චී ඉන්න වෙර දැරීමය. මේ ගින්නෙන් පිච්චෙන්න හේතුවක් තමාට ඇත්තටම නැත.
“මෙනුක එක්ක තියෙන කමියුනිකේශන්ස් නිසානෙ මේ හැම ගැටලුවක්ම ඔයාට අහන්න වෙන්නෙ. ඔයාඑයා එවන පණිවිඩ වලට කලබල වෙන එක නවත්තගන්න පුලුවන් නම් අපිට පුලුවන් අරුණලී මේ ප්‍රශ්නෙන් ගොඩඑන්න.හැබැයි ඒක ඔයා වටේ ඉන්න අයට කරන්න බෑ. ඔයා විසින්මයි කරන ඕන.
ඔයා මෙනුක කතා කරන කොට එයාට රෙස්පොන්ඩ් කරන එකෙන් වෙන්නෙ මෙනුක හිතනව එයා වගේම ඔයත් එයාව හිතෙන් අතැරල නෑ කියල. ඒ නිසාම ආයෙ ඔයාව එයාගෙ පැත්තට හරවගන්න පුලුවන් කියල හිතන් එයා එය එක විදියට ඒ මැසේජ් එක ඔයාට කමියුනිකේට් කරනව. ඉතින් ඉස්සෙල්ල අපි බලන්න ඕන ඔයා ස්ට්‍රෝන්ග් වෙන්නෙ කොහොමද කියල”
උපදේශනයට පසු ආ නිවාඩු දවස් දෙක පුරාවටම මෙනුක කොපමණ පණිවිඩ එව්වත් ඒවා දෙස නොබලා ඉන්නට අරුණලී හිත තද කරගත්තාය.
ඒ වෙනුවට නංගී සමග චිත්‍රපට බලන්නට ගියාය. කාර්යාලයට නොගොය දවස් දෙකෙ මග හැරුණ වැඩ ඉවරයක් කලාය. මිනිසුන්ට මුහුණ දෙන්නට වේය යන බියෙන් කාමරය ඇතුලටම වී ගෙවූ දින අවසන් කර වත්තේ තණකොල උඩ ඇවිද ගියාය. ටවුමට ගියාය. එහෙත් හිත කෙලවරක මෙනුක මේ දැන් කොහේ හෝ සිට මතුවේය යන බියක අංකුරයක් නොතිබුනා නොවේ. එලියට ගොස් ගෙදර එන හැම වරකම මෙනුක ගෙදරට කතා කර විනසයක් කර තිබේය යන බිය සහමුලින්ම හිතෙන් ඉවත් කරන්න හැකියාවක් අරුණලීට නැත. ගෙදර දුරකතනය නාද වන වාරයක් පාසා ඒ මෙනුකද කියන ප්‍රශ්න හිතෙන් නොඅසා ඉන්න හැටියක් නැත. ඒ නිසාම අරුණලී දුරකතනයක් ලඟටවත් ගියේ නැත.
මුහුණුපොත් ගිණුම තාවකාලිකව ක්‍රියාවිරහිත කර දැමුවාය. එය සම්පූර්ණ සහනයකට හේතුවක් නොවුන නමුත් මෙනුකට තමා අමතන්නට ඇති මාර්ග වසා දැමීම මද අස්වැසිල්ලක් වූවායැයි කිව යුතුමය.
අරුණලී ආපසු කාර්යාලයට ගියේ ඊටපසු සතියේය. කාර්යායේදි තමා දුරකතනය පොලොවේ ගැසූ තැන දකිද්දී හිතට ලැජ්ජාවක් ආවද කිසිවෙකුටත් සිදු වූ කිසිවක්ම නොකියන්න කිමල් වීරවර්ධන කටයුතු කර තිබුන නිසා ඒ ලැජ්ජව සීමාසහිත විය.
“අප්පේ උඹ හොඳද දැන්? මල පාලුවෙ ඉඳියෙ උඹ නැතුව” කියාගෙන කේශීනී සේ හිතවත්කමක්ත් මිතුදමත් වපුරුවාගෙනය.
“උඹ ඩිංගක් කෙට්ටුත්වෙලා” කියා කේශිනී කියද්දී “උණ හැදිච්ච හන්ද වෙන්නැති” කියන්නට අරුණලී වචන එක්කහු කරගත්තේ ලැජ්ජව මැදිනි.
කතාබස් අවසානයේ සුපුරුදු මිතුරුදම් අතරේ ආපහු යතා තත්ත්වයට එන්නට අරුණලීට හැකිවිය. මොන දේ උනත් ඔෆිස්වෙලාවේ හැමදේම අමතක කර ඉන්නට හැකි බව අරුණලී ඒ අතරවාරයේම සිතුවාය.
අරුණලී කණ්ඩායමේ අනෙක් අය සමග සිනාසෙමින් ඉන්නවා දකින එක සතුටක් වුණත්, ඇයට මේ මොහොතේ අයිතිකරුවෙකු නැති බව දන්නවා වුණත් හිතේ ඇති ආදරණීය හැඟීම් තව බොහෝ කලකට යටපත් කරගෙන හිඳිය යුතු බව කිමල් දනී. මේ ඒ ආදරය අරුණලීට කියන්නට සුදුසු මොහොතක් නොවේ.
එක් බැඳීමක රැවටීමක් නිසා ඇතිවුන වේදනාව හලාහල විසක් මෙන් කෙනෙකුගේ ජීවිතය පුරා ගලා යද්දී ඒ වේදනාව නිවන්නට හැකි හොඳම ක්‍රමය තවත් ආදරයක් නොවන බව කිමල් සිතුවාය.
ඇයට මේ මොහොතේ අවශ්‍ය විශ්වාසයක හැඟීමය. රැකවරණයක හැඟීමය. සවන්දෙන්නෙකුගේ හැඟීමය.
ඉතින් සමහර මල් පිපිය යුත්තේම පමා වීය.
“හිනාවෙවී ඉන්නෙ අර පීපීටි එක ඉවරද?” කිමල්ගේ සුපුරුදු සමච්චල්සහගත හඬ කාර්යාල කාමරය පුරා පැතිර යද්දී මේ ඉතින් තවත් එක් සුපුරුදු අත්දැකීමක් බව අරුණලී හිතුවාය.
“අන්න අරය අදත් උදේම නැට්ට පත්තුකරගෙන, ඌට පුදුම තරහක් තියෙන්නෙ උඹ කා එක්කහරි හිනාවෙලා ඉන්න දැක්කොත්” කියා කේශිනී කිව්වාට වෙනදා මෙන් ඇය සමග කිමල්ට බනින්න අරුණලී කටයුතු කරේ නැත. මොන දේ උනත් එදා රැයේ කිමල් දුන් සහයෝගය අමතක කරන්නට නොහැක.
ලැප්ටොප් පරිගණකය මත අදාල පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එක ඕපන් කරගෙන අරුණලී කිමල්ගේ කාර්යාල කාමරය වෙත යද්දීත් ඔහු උන්නේ පසෙක ඇති පරිගණකයට දෙනෙත් ඔබාගෙනය.
“කෙස් එකේ කන්ටෙන්ට් ප්ලෑන් එක පටන් ගන්න ඕන. ඒකෙ ස්ට්‍රක්චර් එක හැදෙන්න ඕන විදිය ගැන අයිඩියා එකක් තියෙනවද?” කිමල් ඇසුවේ පරිගණකයෙන් මොහොතකට වත් දෙනෙත් මුදාගන්නේ නැතුවය.
අරුණලී දෙස බලන්නා හේතු දහසක් තිබුනද මේ මොහොතේ ඇය දෙස බැලීම ඇයව අපහසුතාවයට පත් කරන්නක් වේයැයි කිමල් සිතුවේය.
“මම ඒක වීකෙන්ඩ් එකේ හැදුවා. සර්ට ඇක්සස් දීල තියෙන්නෙ ගූගල් ශීට් එකට”
“ඕකේ, මට ආයෙ ෆෝවඩ් කරන්න ලින්ක් එක”
ඉන්පසුව ගෙවුණ කාලය පුරාවටම කිමල් සහ අරුණලී අතර රාජකාරියට එහා කිසිවක් කතා උනේ නැත. කිමල් දැන් දැන් තමාගෙන් යමක් අසතැයි අරුණලී ද අරුණලී දැන් දැන් කුමක් හෝ කියනුඇතැයි කිමල්ද බලාපොරොත්තු තබාගෙන උන්න නමුත් ඒ කිසිවක් සිදු නොවුනි.
“ඕකේ එහෙනං ඔයා කොපි රයිටින් ටීම් එකට ඕක බ්‍රීෆ් කරන්න. දැන් අකවුන්ට් එක ඇවිත්නෙ තියෙන්නෙ. වට්සැප් ගෘප් එකක් හදන්න. ඩෙඩ්ලයින් එක ගෘප් එකේම කමියුනිකේට් කරන්න”
“ඕකේ සර්” කියා අරුණලී නැගිට්ටේ ලැප්ටොප් පරිගණකය වසා දමමිනි. නෝට් බුක් එකත් දුරකතනයත් අතට ගෙන ලැප්ටොප් එකත් ගත්තේ කැබින් එකෙන් පිට වී යන්නටය.
“අරුණලී”
“සර්?”
“දැන් කොහොමද?”
ඒ ප්රශ්නය තමා කටෙන් පිට කලේත් එයට අරුණලී පිලිතුරු දිය යුත්තේත් අසීරුවෙන් බව කිමල් නොදන්නවා නොවේ. එහෙත් ඒ බව නොඅසා සිටීම අමනුස්සකමකි.
“වරදක් නෑ සර්, තැන්ක්යු උදව් කරාට” ඉන්පසුව කියන්නට දෙයක් නැතුව මෙන් කිමල් බලාඉද්දී අරුණලී කාමරයෙන් පිට වෙන්න සිතා දොරට අත තැබුවාය.
“අරුණලී”
“සර්?”
“මට සර් කියන්න එපා, කවුරුවත් එහෙම කතා කරන්නෙ නෑනෙ. ඔයත් අනිත් අය වගේ කතා කරන්න”
එයට පිලිතුර සිනාවක් සමග හිස සැලීමකි. පිටවෙන්නට සිතා දොරට අත තැබුවද ආයෙ ඇමතුමකි.
“අරුණලී”
“ම්ම්ම්” සර් කියා කියන්නට බැරි බව ඇත්තකි. එහෙත් ඔහුට වීරෙ කියා කියන්නට ද හිතක් නැත.
“ආයෙ ප්‍රශ්නයක් ආවොත් මට කියන්න. ඕන වෙලාවක කතාකරන්න”